Attention

එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ කපිල චන්ද්‍රසේන ඝාතනය කරලා.?

එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ කපිල චන්ද්‍රසේන ඝාතනය කරලා.?

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මියගොස් සිටියදී සිරුර සොයාගෙන ඇත.

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (07) දින අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණි.

කපිල චන්ද්‍රසේනගේ මරණය සියදිවි හානි කරගැනීමක්ද.? නැතිනම් ඝාතනය කිරීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර ඔහුගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

නැවතත් ඉහළ ගිය බොරතෙල් මිල

නැවතත් ඉහළ ගිය බොරතෙල් මිල

අද (08) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.59%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 101.65ක් ලෙස සටහන්ව ඇත.

WTI බොරතෙල් බැරලයක් 1.95%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.66ක් ලෙස සටහන්ව ඇත.

මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.66ක් ලෙස සටහන්ව ඇත.

PayPal ශ්‍රී ලංකාවට

PayPal ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සහ විදේශ විනිමය ගලා ඒමේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.

වසර ගණනාවක් පුරා මෙරට ව්‍යාපාරික ප්‍රජාව තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සහ නිදහස් සේවකයින් විසින් සිදුකළ ඉල්ලීම් සහ ඔවුන්ගේ බලවත් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් රජය මෙම සේවාව ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව එළඹෙන මැයි මස (15) වනදා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමට පැවති නීතිමය සහ තාක්ෂණික බාධා ඉවත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මෙරට පෞද්ගලික බැංකු පද්ධතිය එක්ව පසුගිය කාලය පුරා සිදුකළ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම අවස්ථාව උදා වී ඇත.

මින් ඉදිරියට විදේශීය සේවාදායකයින්ගෙන් ලැබිය යුතු ගෙවීම් ලබා ගැනීම සඳහා ව්‍යාජ විදේශීය ලිපින භාවිත කිරීමට හෝ අවධිමත් මුදල් හුවමාරු ක්‍රම මත යැපීමට මෙරට ව්‍යවසායකයින්ට අවශ්‍ය නොවන බව සඳහන් කරයි.

ප්‍රවාහනයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

ප්‍රවාහනයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

රජය විසින් ක්‍රියාත්මක කර ඇති “මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහන” යතාර්ථයක් බවට පත්කිරීම සඳහා මේ වනවිට නෛතික සහ ප්‍රායෝගික පියවරයන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ මගින් ප්‍රවාහනයේ ආරක්ෂාව ඉහළ ප්‍රතිශතයකින් තහවුරු කිරීමට අපේක්ෂා කෙරෙන අතර උපාය මාර්ගික තිරසර වැඩපිළිවෙලක් යටතේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම මෙහි අරමුණයි.

මෙම වැඩපිළිවෙල කෙටි, මධ්‍ය හා දිගුකාලීන ජාතික වැඩසටහනක් ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරේ.

ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික වැඩපිළිවෙල සඳහා මෙරට රක්ෂණ සමාගම්වල දායකත්වය ලබාගැනීමේ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ප්‍රවාහනයේ ආරක්ෂාව සඳහා මෙරට පිළිගත් රක්ෂණ සමාගම්හි දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ප්‍රමිතිගත, ආරක්ෂිත රථවාහන භාවිතයත්, සුරක්ෂිත රිය ධාවනයත් ඇතුළු ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කරමින් කටයුතු කරන රියදුරන්ට දිරි ගැන්වීම් ක්‍රමයක් රක්ෂණ සමාගම් මගින් ක්‍රියාත්මක කිරීමටත්, වාහනවල ධාවනයට සුදුසු තත්ත්වය මත පදනම්ව නව රක්ෂණාවරණ ක්‍රම හඳුන්වාදීමටත්, අධිවේගී මාර්ග සඳහා විශේෂ රක්ෂණ ක්‍රමවේදයක් ඇතිකිරීම පිළිබදවත්, පාපැදිකරුවන්, පදිකයින් සදහා විකල්ප වන්දි යෝජනා ක්‍රම හදුන්වාදීම පිළිබදවත් මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

එමෙන්ම ඩිජිටල් රක්ෂණ කාඩ්පත ප්‍රවර්ධනයත් දැනට කිසිදු රක්ෂණාවරණයකට ලක්නොවන දුම්රිය මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා නිශ්චිත රක්ෂණ ක්‍රමවේදයක් ඇතිකිරීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කිරීමත් ඇතුළුව සියලු අංශවල ප්‍රවාහන ක්ෂේත්‍රයන් සඳහා රක්ෂණ සමාගම්වල දායකත්වය ලබාගැනීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණ.

රථවාහන අනතුරු මගින් වසරකට සිදුවන 2,750කට අධික ජීවිත හානි අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රවාහනයේ ආරක්ෂිත ප්‍රතිසංස්කරණ සඳහා මගීන් සහ රියදුරන් වඩාත් සමීපව දායක කරගැනීමට රක්ෂණ සමාගම්වල නව යෝජනා ඉදිරියේදී ලබාගැනීමට නියමිතය.

අගමැති හරිනි සහ මාලදිවයින් ජනපති අතර හමුවක්

අගමැති හරිනි සහ මාලදිවයින් ජනපති අතර හමුවක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ හමුවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා – මාලදිවයින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව අවධානය යොමු කළ අතර උසස් අධ්‍යාපනය සහ ධාරිතා වර්ධනය ඇතුළු අධ්‍යාපනයේ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය.

තවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පවත්වා ඇත. 

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු පැළයක් රෝපණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළේය.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර කුඩා දරු දැරියන් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ.

මාලදිවයින් ජනපති දිවයිනට

මාලදිවයින් ජනපති දිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා, ලබන (06) වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මාලෙ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ‘UL 116’ දරන ගුවන් යානයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුට අමතරව ජනාධිපති ආර්යාව සමගින් උසස් නිලධාරීන් 20 දෙනෙකු මෙලෙස කටුනායක වෙත පැමිණ ඇත.

පසුගිය 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.

තවත් පොඩි ගාණකින් ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි

තවත් පොඩි ගාණකින් ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බැවින් ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටරයක් 382ක් වෙනවා. ආණ්ඩුව විකුණන හැම තෙල් ලීටරයකම රුපියල් 100ක සහනාධාරයක් දෙනවා තෙල් සංස්ථාවටයි, අනිත් සමාගම් වලටයි. අදත් ඔබලා ෂෙඩ් එකෙන් ගන්න ඩීසල් ලීටරයක් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට. රුපියල් 100ක් දෙනවා ආණ්ඩුවෙන්. ජනතාව බලාගන්න ආණ්ඩුවක්.

තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා මෙරට ජනතාවට අවශ්‍ය වන ඉන්ධන සහනාධාරය ලබා දෙන්න. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු එහෙමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. තවත් කුඩා ප්‍රමාණයන්වල ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි. උපරිම ලෙස සහනාධාර දෙන්න කටයුතු කරනවා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තියෙනවා.

ගල්අඟුරු මිල ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ජලාශවල ජලය යම් ප්‍රමාණයක අඩුවෙලා තියෙනවා. ඒ නිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කිරීමට සිදුවෙලා තියෙනවා. අපි තීරණයක් අරන් තිබෙනවා, විදුලි පාරිභෝගිකයන්ගේ සියයට 96කට කිසිදු මිල වැඩිවීමකින් තොරව සහානාධාරයක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණය කරලා තියෙනවා.” 

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

අද (29) දින පස්වරුවේ හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ බටල්ගල වත්ත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.

අනතුරට ලක්වූ බස් රථය, තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් එක් අයෙක් මියගොස් ඇති අතර තුවාල ලැබූ 20 දෙනෙකු පමණ දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව වාර්තා වේ.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ පාසල් සිසුන් ඇතුළු 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වේ.

විදුලි දුම්රිය ආරම්භ කිරීමට සූදානම්

විදුලි දුම්රිය ආරම්භ කිරීමට සූදානම්

කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (29) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා පළමු අදියර වශයෙන් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සැලසුම්, මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි අභියෝග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමටද තීරණය කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා සහ මුදල් අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන සහ මහමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Follow WhatsApp Channel