Attention

අගමැති මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

අගමැති මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

අද (24) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇත.

මැදපෙරදිග වර්තමාන තත්ත්වය සහ එයින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ඇති බලපෑම් පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කළහ.

මුළු ලෝකයේම යහපත සඳහා නැව් මාර්ග විවෘතව හා ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම නායකයින් දෙදෙනාම නැවත අවධාරණය කළහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී නායකයින් දෙදෙනා සමාලෝචනය කළේය.

තවද කලාපීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා සමීප සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර ඇත.

ඉන්දියාවේ අසල්වැසි ප්‍රථම ප්‍රතිපත්තියට සහ මහාසාගර් දැක්මට අනුකූලව බෙදාගත් අභියෝගවලට මුහුණ දීම සඳහා සමීපව එක්ව කටයුතු කිරීමට ඉන්දියාවේ ස්ථිර කැපවීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නැවත අවධාරණය කළේය.

අසල්වැසි සහ විශ්වාසනීය හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පොදු අභියෝගවලට මුහුණ දීමට එකමුතුවෙන් කටයුතු කිරීම යළි තහවුරු කළේය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවට

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවට

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480දක්වා ඉහළ නැංවීමටත්, උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන් ඩොලර් මිලියන 200ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුව විසින් එකඟතාව පළ කර ඇත.

මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda ඇතුළු නියෝජිත කණ්ඩායම අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දිට්වා ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

පශ්චාත් ආපදා තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බවද පැවසීය.

දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයේදී ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙතෙක් ලබා දෙනු ලැබූ ආධාර මෙන්ම ශ්‍රී ලංකාව සමඟ ගෙන යන පුළුල් සංවර්ධන සහයෝගීතාව මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යමින් ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම වත්මන් රජයේ අපේක්ෂාව බව පැවසීය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැකබලා ගැනීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මෙහිදී සඳහන් කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා, මධ්‍යම කඳුකරයේ ජල පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට ක්‍රියාත්මක කළයුතු වැඩසටහන් සඳහා සහාය වීමට සූදානම් බවද පැවසීය.

දරුවන් ආරක්ෂා කරගමු.. විශේෂ නිවේදනයක්

දරුවන් ආරක්ෂා කරගමු.. විශේෂ නිවේදනයක්

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ දැනුම්දීමක් කරයි.

උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ජලය සහ ස්වාභාවික දියර ආහාර හැකිතාක් දරුවන්ට ලබා දීමට කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

යම් දරුවෙකු නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන්ට වැඩිපුර ජලය පානය කිරීමට සහ දියර ආහාර ලබා දීමට කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කර ඇත.

උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින නිසා දරුවන් දිනකට දෙවතාවක්වත් ස්නානය කරවීමට කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගීවන අය ජලය පානය නොකිරීම හේතුවෙන් විජලන තත්ත්වය මෙන්ම තාප කම්පන තත්ත්වයක් වුවද ඇතිවිය හැකි බවත් එමඟින් මරණය පවා සිදුවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ,

“අව්වේ ඉන්නවා නම් පාසල්වල ක්‍රීඩා තරගවලට සහභාගී වෙනවා නම් මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන්. ඒ හින්දා වැඩිපුර වතුර බොන්න ඕනේ. ස්වාභාවික දියර ආහාර වර්ග පාවිච්චි කරන්න ඕනේ.

නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත රිදෙන එක වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම වැඩිපුර වතුර සහ දියර ආහාර ලබා දෙන්න. දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද මේ දවස්වල වැඩිවෙන්න පුලුවන්.

ඒ නිසා දරුවන් දවසට දෙපාරක් විතර නාවන්න. විනාඩි 20ක් වගේ බය නැතිව වතුරේ තියන්න. ඒකෙන් සමේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුලුවන්. ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගී වෙන අය වැඩිපුර වතුර බිව්වේ නැත්තම් විජලන තත්ත්වය වගේම තාප කම්පන තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුලුවන්.”

ඉදිරියේදී පාසල් පැවැත්වීම ගැන රජය ගත් තීරණය

ඉදිරියේදී පාසල් පැවැත්වීම ගැන රජය ගත් තීරණය

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන තවදුරටත් ඉහළ යාම හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් රජයේ සියලුම පාසල් පැවැත්වීම සීමාකිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

නියමිත පරිදි පාසල් වාර අවසන් කිරීමට ඇත්තේ එළඹෙන අප්‍රේල් මස (10) වන දින බවත් එතෙක් සතියේ බදාදා දිනයන්වල පමණක් සියලුම පාසල් නොපැවැත්වීමට තීරණය කළ බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඇතිව තිබූ අවිනිශ්චිතභාවය ගුරුවරුන්ට සහ දරුවන්ට පීඩාකාරී වූ බැවින් හැකිතාක් දුරට පාසල් දින 4ක්, සතිය පුරා පැවැත්වීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ජනතා මුදල් කෝටි ගණන් සාක්කුවට දාගත්ත හිටපු අයගේ ලැයිස්තුවක්

ජනතා මුදල් කෝටි ගණන් සාක්කුවට දාගත්ත හිටපු අයගේ ලැයිස්තුවක්

පසුගිය කාලයේ මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරපු සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ප්‍රදේශීය දේශපාලඥයින් පසුගිය අරගලය සමයේදී ලබාගෙන තිබෙන වන්දි ප්‍රමාණය සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙළිදරව්වක් කරයි.

ඒ අනුව නගර සභා, ප්‍රදේශීය සභා, මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් ලබාගත් වන්දි මුදල පහතින්.

කැස්බෑව හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 696කි.

දඹුල්ල නගර සභාවේ හිටපු සභාපති ජාලිය හේමන්ත වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 627.9කි.

මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී විජේසේකර වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 267කි.

බලංගොඩ ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ප්‍රේමසිරි වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 233යි.

බලංගොඩ නගර සභාවේ හිටපු සභාපති ගුණරත්න වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 104යි.

හම්බන්තොට ප්‍රදේශීය සභාවේ හිටපු උප සභාපති W.H.M.R කුමාර වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 352යි.

සීතාවක ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 131යි.

ගාල්ල රත්ගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති නිමල් වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 139.9යි.

කැස්බෑවේ ලාලනී කැලුම් රුබේරු වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 392යි.

කොටිකාවත්ත මුල්ලේරියාවේ ඉදුනිල් කුමාර වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 450යි.

වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම තොරතුරු හෙළිදරව් කළේය.

ජනපති අනුර සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

ජනපති අනුර සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නායකයන් දෙපළ සාකච්ඡා කර ඇති අතර අනතුරුව කටාර් රාජ්‍යය මුහුණදී සිටින අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ජනාධිපතිවරයා එමීර්වරයා වෙත ප්‍රකාශ කර ඇත.

තවද කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහ පදිංචිකරුවන්ගේ සුභසාධනය හා ආරක්ෂාව පිළිබඳව කටාර් එමීර්වරයා ජනාධිපති අනුර කුමාර වෙත සහතික වී ඇත.

සුවිශේෂී තත්වයන් සහ වත්මන් අභියෝග නොතකා, විශ්වාසදායක බලශක්ති හවුල්කරුවෙකු ලෙස කටාර්හි භූමිකාවට ඇති නොසැලෙන කැපවීම සහ බලශක්ති සැපයුම් අඛණ්ඩව සහ ලබාගත හැකි බවට එමීර්වරයා සහතික කළේය.

ඒ අනුව පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවට ස්ථාවර ලෙස ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යය කැපවී සිටින බවද එමීර්වරයා සහතික කළේය.

ඉන්ධන QR කේතය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්ධන QR කේතය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අපට තිබෙන බලශක්තිය ප්‍රවේශම් කර ගැනීම සඳහා QR කේතයක් හඳුන්වාදී තිබෙන බවත් එහි යම් යම් ගැටලු තිබෙන බව දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපේ දැන් තිබෙන බලශක්තිය ප්‍රවේශම් කර ගැනීම සඳහා QR කේතයක් හඳුන්වාදී තිබෙනවා. එහි යම් යම් ගැටලු තිබෙන බව අපි දන්නවා.

විශේෂයෙන්ම, මේ පිළිබඳ ස්වේච්ඡාවෙන් වැඩකටයුතු කරන ඩයලොග් ආයතනයත්, MIT ආයතනයත් සහ අපේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ උපදේශක හාන්ස් විජේසූරිය මැතිතුමා, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමා අපි සියලු දෙනා එක්ව අපි සාකච්ඡා කළා.

මෙය දියත් කරන්නේ කොහොමද කියා. සමහර යෝජනා ආවා. දවස් දෙකක් ෂෙඩ් වහලා. මේක ක්‍රියාත්මක කරමු කියලා. මීට පෙර මෙය ක්‍රියාත්මක කිරීමේදී රට වැහිලා තිබුණේ. සති දෙකක කාලයක් තිබුණා.ඔවුන්ට QR කේතය ලබා ගන්න.

අනතුරුව තමයි, QR කේතයෙන් තෙල් ලබා දුන්නේ. එහෙත් අපට එහෙම කරන්න බෑ. මේ දුවන ආර්ථිකය පවත්වා ගෙන යා යුතුයි. ඒ නිසා යම් ගැටලු මතු වෙනවා කියන පූර්ව අවබෝධයකින් යුතුව තමයි අපි මේ QR කේතය ක්‍රියාත්මක කරන්න තීරණය කළේ.

ඒ නිසා තමයි අපි ඉරිදා දිනයක් තෝරා ගත්තේ. මේ වන විට මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් දැනට QR කේතය රෙජිස්ටර් වී තිබෙනවා. පවතින ගැටලු ඉතා ඉක්මනින් නිරාකරණය කර ගැනීමට හැකි වේවි. තෙල් ලබා දෙන ගමන් QR කේතය ක්‍රියාත්මක වෙන්නේ පළමු වතාවටයි.

ලංකාවේ විශේෂඥ ඥානය තිබෙන සමාගම් දෙක තමයි මේ සඳහා ස්වේඡාවෙන් උදව් කළේ. එහි විශේෂඥයින් තමයි මීට නායකත්ව මගෙපෙන්වීම ලබා දුන්නේ. තියෙන තෙල් ප්‍රමාණය යම් ප්‍රමාණයකට කළමනාකරණය කර ගැනීමට අවශ්‍යතාව තිබෙනවා.

මේ ප්‍රමාණයේ දිගටම ඉන්න අපි අපේක්ෂා කරන්නේ නැහැ. අපි දැනට සකස් කර තිබෙන සැපයුම් ටික ඉතා හොඳින් සාර්ථක වුවහොත් එය ඉතා ඉක්මනින් බලා ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳ නැවත අවධානය යොමු කරනවා.

එහෙත් මේ QR කේතය නිකුත් කිරීම හරහා අත්‍යවශ්‍ය ඇතැම් ක්ෂේත්‍රවලට යම් බාධාවක් ඇති විය හැකියි. ඒ ක්ෂේත්‍රවලට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන් මේ QR කේතය ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරනවා.

එයින් පළමුවැන්න සෞඛ්‍යය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉදිරිපත් කළ වාර්තාව අනුව දැනට අපි උපකල්පනය කර තිබෙන තෙල් ප්‍රමාණය අවසන් වන දිනයක් තිබෙනවා නම් ඒ දිනයේ සිට තවත් සති 06කට අපි ආරක්ෂිත තොග ගබඩා කිරීමට තිරණය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් තෙල් තියෙන්නේ මාසයකට නම් අපි සෞඛ්‍යය සඳහා මාස දෙකකට ආරක්ෂිතතෙල් තබා ගන්නවා. වරාය, ගුවන්තොටුපොළ වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා ආරක්ෂිත තොග තබා ගන්නවා. අපේ පූර්ව සූදානම එයයි.”

සාමාන්‍ය පෙළ ඇතුළු විභාග කල් යයි.? විශේෂ ප්‍රකාශයක්

සාමාන්‍ය පෙළ ඇතුළු විභාග කල් යයි.? විශේෂ ප්‍රකාශයක්

මේ වනවිට පවතින තත්ත්වයත් සමඟ සෑම සතියක බදාදා දිනය නිවාඩු ලබාදීමත් සමඟ පාසල්වල පැවැත්වීමට නියමිත ඉදිරි විභාග දිනයන්, දින කිහිපයක් පසුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ ඇතුළු පාසල් සහ විශ්වවිද්‍යාල විභාග පවතින තත්ත්වය හමුවේ යම් දින වකවානු ප්‍රමාණයකින් කල් යාමේ හැකියාවක් පවතින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (16) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව අමතිමින් කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ,

“විශ්වවිද්‍යාල වලට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවසර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරුවා. බදාදා දිනය නිවාඩුවක් වුණත් ඒ වගේම අනිත් දින වලදී Zoom තාක්ෂණය ඔස්සේ ඒ අදාළ ලෙක්චර්ස් පැවැත්වීම සඳහා. ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා.”

“අලුත් අවුරුදු නිවාඩුව පාසල්වලට එලැඹෙන අප්‍රේල් මාසසේ (10) වනදා සිට. ඒ දිනවලදී තමා මේ සතියට එක දවසක් නිවාඩු ලබා දෙන්නේ. මේ සියලු දෙයින් යම් විදියකට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට වැළැක්වීමට හැකියාවක් නෑ. ඒක ලොකු දින ප්‍රමාණයකින් නෙමෙයි. යම්කිසි ආකාරයකට දිනවකවානු ඒ තිබ්බ විදියට වඩා පසුවෙන්න හැකියාව තිබෙනවා.”

නිවසේ සිට රාජකාරි කිරීම අරඹයි

නිවසේ සිට රාජකාරි කිරීම අරඹයි

ජාත්‍යන්තර අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වලට අනුගත වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබාදී ඇත.

මෙම සතියේ සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ, නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලුම අංශ, ජාතික පිළිකා මර්ධන වැඩසටහන, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යන ගොඩනැගිලි හා අංශවල නිලධාරීන් නිවසේ සිට වැඩ කළ යුතුයි.

තවද ප්‍රවාහන අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සුවසිරිපාය ගොඩනැගිල්ලේ සිට සිදු කරන ලෙසත්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමට අදාල නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ – වැ.බ.) උපදෙස් පරිදි සුවසිරිපාය පරිශ්‍රයේදී බදාදා දින රාජකාරි ඉටු කල යුතු බවද දැනුම්දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින අනෙකුත් අංශ / ඒකක අවම අවශ්‍යතාවයට සරිලන පරිදි කාර්ය මණ්ඩලය බදාදා දින සීමා කිරීමට අවධානය යොමුකළ යුතු අතර සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා ඵලදායී ලෙස පවත්වා ගනිමින් මෙම අවස්ථාව කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙසද අදාල නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

තවද ඉහත සෞඛ්‍ය ආයතන වල සිදුකළ යුතු අත්‍යවශ්‍ය කාර්යයන් සුදුසු ක්‍රමෝපායන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද දැනුම් දී ඇත.

සියලුම වාහන සඳහා හිමිවන ඉන්ධන ප්‍රමාණය මෙන්න

සියලුම වාහන සඳහා හිමිවන ඉන්ධන ප්‍රමාණය මෙන්න

අද (15) දිනයේ සිට දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී ‘QR’ කේතය භාවිත කළ යුතුව ඇති බවත් ‘QR’ කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද උදෑසන 06.00 සිට ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවත් ‘QR’ කේතය හරහා සතියකට ඉන්ධන ලබාගත හැකි බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

සතියකට ඉන්ධන ලබාගත හැකි ලීටර ප්‍රමාණය පහතින් දැක්වෙයි..

බස් රථ – ලීටර් 60

මෝටර් සයිකල් – ලීටර් 05

වෑන් රථ – ලීටර් 40

මෝටර් රථ – ලීටර් 15

මෝටර් ලොරි – ලීටර් 200

ඉඩම් වාහන – ලීටර් 25

මෝටර් ත්‍රීරෝද රථ – ලීටර් 15

විශේෂ කාර්ය වාහන – ලීටර් 40

ක්වොඩ්‍රිසයිකල් – ලීටර් 5    

පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරයි.