Attention

විශාලතම අමෙරිකානු හමුදා කඳවුරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්.!

විශාලතම අමෙරිකානු හමුදා කඳවුරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්.!

මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් ජීවිත හානි සිදුවී නොමැති බවයි.

මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය අඟහරුවාදා (03) සවස එල්ලවී ඇති බවත් වාර්තා වෙයි.

මහ­ජන ආර­ක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන.!

මහ­ජන ආර­ක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන.!

මත්ද්‍රව්‍ය ජාවා­ර­මට එරෙ­හිව දැඩිව නීතිය ක්‍රියා­ත්මක කිරීම හේතු­වෙන් මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල සහ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහ­ත්ව­රුන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව අනා­ව­ර­ණය වී ඇතැයි පොලී­සිය පවසයි.

අවි­ස්සා­වේල්ල ප්‍රදේ­ශ­යෙන් ලැබුණු බුද්ධි තොර­තු­ර­කට අනුව මේ පිළි­බ­ඳව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැ­යිද පොලී­සිය පැවසීය.

බස්නා­හිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සජීව මැද­වත්ත, නීති දිශාව භාර නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ ජාලිය සේන­රත්න, මත්ද්‍රව්‍ය දිශාව භාර නියෝජ්‍ය පොලි­ස්පති අසෝක ධර්ම­සේන සහ පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරී නීති­වේදී ෆෙඩ්රික් වුට්ලර් මහ­ත්වරු සහ­භාගි වෙමින් පොලිස් මාධ්‍ය කොට්ඨා­සයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමු­වේදී මෙම කරුණු අනා­ව­ර­ණය විය.

සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි.!

සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි.!

මීට පෙර පැවැත්වූ පොලිස් විශේෂ මාධ්‍ය හමුවේදී පොලීසිය පැවසූවේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේ සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාක්ෂි මත පදනම්ව බවයි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේ දී අනාවරණය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එම හේතුව පැය කිහිපයක් තුළ අනාවරණය කිරීම අපහසු බවද සඳහන් කර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, පොලීසියේ කාර්ය නිසි ලෙස ඉටුකර ඇති බවත් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් හේතුව නිසි ලෙස අනාවරණය නොකර විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පොලීසියට එරෙහිව කැම්පේන් එකක් සිදුව ඇති බවට මාධ්‍යවේදීන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඔහුව අත්අඩංගුවට නොගෙන සිටියේ නම් පොලීසියට විරුද්ධව කැම්පේන් සිදුවිය යුතුව තිබූ බවය.

එමෙන්ම විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගෙන් ඉදිරියේ දී සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වු නීති දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ දී දින 3ක් රඳවා ගැනීමේ හැකියාව හිමිවෙන බවය.

ඉන් අනතුරුව සාක්ෂි මත පදනම්ව රඳවා ගැනීමේ නියෝගයක් ලබාගැනීමට කටයුතු කළ හැකි බවද පැවසු ඒ මහතා, ඒ සඳහා නෛතික ප්‍රතිපාදන ඇති බවත් කියා සිටියේය.

සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුවත් කරන බවද නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසීය.

පාස්කු මහමොළකරු වේගයෙන් හොයනවා.!

පාස්කු මහමොළකරු වේගයෙන් හොයනවා.!

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන්, ප්‍රහාරයට සෘජුව දායක වූවන් සහ මෙහි පසුපස සිටින මහ මොළකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ කටයුතු රජය විසින් වේගවත් කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එම ප්‍රහාරයට අදාළ පුද්ගලයන් විටින් විට අත්අඩංගුවට ගනිමින් සාක්ෂි සටහන් කරගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඇතැම් පුද්ගලයන් විදේශගතව සිටින බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විශේෂ අවධානයක් යොමු කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

අකුරේගොඩ ඝාතනය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.!

අකුරේගොඩ ඝාතනය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.!

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා මහතා පැවසූවේ අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සියයට 80ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවයි.

2026 පෙබරවාරි 13 වනදා වාර්තා වූ මෙම ද්විත්ම මනුෂ්‍ය ඝාතන සිද්ධියට අදාළව දින තුනක් ඇතුළත ප්‍රධාන වෙඩික්කරු ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකු පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තිදෙනෙකු දින 90ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන අතර, සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඉදිරි විමර්ශන සිදුකරමින් සිටින බව ද ඔහු පැවසීය.

තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටින අතර, ඉදිරි දින කිහිපය තුළ වැඩිදුර ප්‍රගතියක් අපේක්ෂා කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ගල් අඟුරු අවුල ලිහන්න හවුලක්.!

ගල් අඟුරු අවුල ලිහන්න හවුලක්.!

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ ගල් අඟුරු සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නය සම්බන්ධව කරුණු අධ්‍යනය කිරීම සඳහා ප්‍රවීණයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කර ඇති බවයි.

මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් සමන්විතව සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුක් පත් කිරීමට තීරණය වූ බව අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්

ප්‍රසම්පාදනයේ කිසි ගැටළුවක් නෑ

මේක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සිදුකළේ. මේක අලුත් දෙයක්…මේකේ ක්‍රියාවලිය වෙන්නේ මේ ගල් අඟුරු පටවන වරායේදී වාර්තාවක් ගන්නවා. ඒ ගන්නේ පිළිගත් පරීක්ෂණාගාරයකින්. ඒ වාර්තාව අනුව කිලෝ කැලරි 5900ට වඩා වැඩිනම් තමයි ලංකාව භාර ගන්නේ. ඒ අනුව අද වෙනකොට නැව් 10ක් ඇවිත් තියෙනවා ඒ නැව් 10ම ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 5,900ට වඩා වැඩියි. 5,900ට වඩා අඩු නම් භාර ගන්නේම නෑ. නැවෙන් ඇවිල්ලා ලංකාවේදි ගොඩබෑවාට පස්සේ රිපෝට් එකක් ගන්නවා ඒ ගන්නෙත් පිළිගත් පරීක්ෂනාගාරයකින්. ඒ පරීක්ෂණාගාරයත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරාගත්ත ආයතනයක්.. මේ ගල් අඟුරු බෑවාට පස්සේ එතැනින් රිපෝට් එකක් ගන්නවා. අන්න ඒ වාර්තාව කිලෝ කැලරි වාර්තාව 5,900ට වඩා අඩු නම් දෙගුණයක දඩයක් අය කරගන්නවා, කිලෝ කැලරි 5,900- 6,100ත් අතර තිබෙනවානම් එක ගුණකයක දඩයක් අයකරනවා. මේක තමයි ක්‍රියාවලිය. මීට පිටින් පරිභාරහිර ක්‍රමයක් නෑ. එහෙම තමයි මේ ක්‍රියාවලිය සිදුවුණේ ඉතිං ප්‍රසම්පාදනයේ කිසි ගැටලුවක් නෑ.

නැව් 6ක වාර්තාවන් ලැබිලා තියෙන්නේ 

දැන් මේ ආපු නැව් 10න් නැව් 8ක් සම්පූර්ණයෙන් ගොඩබාලා අවසන් වෙලා තියෙන්නේ. ඉතුරු නැවේ ගල් අඟුරු ගොඩබාමින් තියෙනවා. එයින් නැව් 6ක වාර්තා ලැබිලා තියෙනවා. පළමු නැව් තොගය මෙට්‍රික් ටොන් 59,831ක තොගයක්. එහි තිබුණු ගල් අඟුරුවල ප්‍රමිතිය අර කියන ප්‍රමිතියට නොතිබුණු නිසා දඩයක් අය කළා අයකරපු මුදල ඩොලර් මිලියන 2.07ක්.

ඉතිරි නැව්වලදි දෙවැනි නැවට ඩොලර් 436,001ක්, තුන්වැනි නැවට ඩොලර් 484,929, හතරවැනි නැවට ඩොලර් 345,652, පස්වැනි නැවට ඩොලර් 500,192, හයවැනි නැවට ඩොලර් 510,677ක් ලෙස දඩ මුදල් අයකරගෙන තිබෙනවා. අර අපේ පිරිවිතරයන් ඒ කියන්නේ 5,900 – 6,100ත් අතර තිබෙන. ඒවා භාවිතා කරනවා නමුත් ඒ අතර තියෙන නිසා එක් දඩ මුදලක් අයකරගෙන තිබෙනවා.

වාර්තාවක් ඉදිරිපත් කරන්න කමිටුවක්

මේ පරීක්ෂණ වාර්තාවල ඇතිවන තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් සහ ඇතිවෙලා තිබෙන පාඩුව ගණනය කිරීම සඳහා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන්න මොරටවුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පියවර අරන් තියෙනවා. 

නැව් 8ක් ගේනකම් බලාගෙන හිටියේ ඇයි ?

ප්‍රතික්ෂේප කරන අවස්ථා දෙකක් තියෙනවා. පැටවුම් වරායේදී කිලෝ කැලරි 5,900ට වඩා අඩු නම් කොහොමත් ප්‍රතික්ෂේප කරනවා. නමුත් එහෙම දෙයක් වෙලා නෑ. ලංකාවෙන් ගොඩබෑමෙන් අනතුරුව පරීක්ෂා කළාම ඒ තිබෙන වාර්තාවල කිලෝ කැලරි 5,900ට වඩා අඩු නම් එතකොට තමයි දෙගුණයක් අය කරන්නේ. 5,900- 6,100ත් අතර නම් දඩ මුදලක් අයකරනවා නමුත් ඒක රිජෙක්ට් කරන්න අවශ්‍යතාවයක් නෑ. දැන් වෙලා තිබෙන්නේ පළවෙනි නැවේ පමණයි කිලෝ කැලරි 5,900ට අඩු තත්ත්වයක් වාර්තා වෙලා තිබෙන්නේ එය පමණයි ප්‍රතික්ෂේප කරන ගණයට අයත් වෙන්නේ. එවැනි නැව් දෙකක් සිදුවුණොත් පමණයි එවැනි තත්ත්වයක් ගැන සලකා බලන්නේ. දැනට තිබුණ තත්ත්වය අනුව පළවෙනි නැවෙන් පස්සේ ආපු නැව්වල එහෙම වෙලා නෑ.

පැටවීම් වාර්තා නිවැරදි නම් ගොඩබෑම් වාර්තා වැරදි වුණේ ඇයි ?

එය විය හැකියි. ඒක සාමාන්‍යයෙන් වෙලා තිබෙනවා. එය සිදුවිය ඇක්කේ කෙසේද කියලා තවදුරටත් අධ්‍යනය කිරීම සඳහා මේ ප්‍රවීනයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා තියෙන්නේ. මේ පරීක්ෂණාගාර දෙකම අපි තෝරගත්තු එකක් නෙමෙයි ලෝකයම පිළිගත් ලැබ් දෙකක්. 

ගල් අඟුරු ගෙන ඒමේදී අතිතයේ මෙවැනි සිදුවීම් වෙලා ඇති. හැබැයි ඒවා කිසිදු පරීක්ෂාවකට ලක්වෙලා නෑ. මේක තමයි පළමු අවස්ථාව ලෝඩ් පෝට් රිපෝට් එකයි ඩිස්චාර්ජ් රිපෝට් එකයි පරස්පරයක් වුණොත් මොකද කරන්නේ කියලා සාකච්ඡාවක්වත් එන. 

ඔත්තුකරු මරා හිස ඕලුගලගේ නිවසට යැවීමේ කොන්ත්‍රාත්තුව ව්‍යාර්ථ වෙයි.!

ඔත්තුකරු මරා හිස ඕලුගලගේ නිවසට යැවීමේ කොන්ත්‍රාත්තුව ව්‍යාර්ථ වෙයි.!

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඝාතන කොන්ත්‍රාත්තුවක් භාරගත් කුලී ඝාතකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට ඔත්තුව ලබාදුන් ඔත්තුකරුවෙකු මෙලෙස ඝාතනය කර හිස කොටස අදාළ විමර්ශන සිදුකළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමට සැලසුම්කර තිබූ බව අත්අඩංගුවට ගත් කුලී ඝාතකයා විසින් හෙළි කර තිබේ.

කිරින්ද මුහුදු වෙරළේදී ඉකුත් වසරේ නොවැම්බර් 12 වෙනිදා අයිස් කිලෝගෑම් 350ක පමණ ප්‍රමාණයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අතඅඩංගුවට ගනු ලැබීය.

ඒ එහි හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදීය.

එහිදී සැකකරුවන් 7 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මේවන විට ඩුබායිහී සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘අංගොඩ ප්‍රියන්ත’ නැමැත්තාට අයත් බව වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත. 

මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගැනීමත් සමඟ ඔහු ඒ පිළිබඳව දැඩි වෛරයකින් පසු වී තිබේ.

ඒ අනුව රොහාන් ඕලුගල මහතාට අදාළ ඔත්තුව ලබාදුන්නේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව අදාළ ජාවාරම්කරු සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඔත්තුකරු පිළිබඳව තොරතුරු සොයාගැනීමෙන් පසුව ඔහු ඝාතනය කර ඔහුගේ හිස ඕලුගල මහතාගේ නිවසට යැවීමේ කොන්ත්‍රාත්තුව අපරාධ කල්ලියකට භාරදීමට ‘අංගොඩ ප්‍රියාන්ත’ නැමැත්තා කටයුතු කර තිබේ.

ඒ අතරතුරදී පාතාල කල්ලිය විසින් තමන් පිළිබඳව තොරතුරු සොයන බව දැනගත් ඔත්තුකරු නිවස අතහැර ගොස් තිබේ.

අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාට ලද තොරතුරකට අනුව කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සැලැස්ම පිළිබඳව තොරතුරු අනාවරණ වී ඇත.

අද වැස්ස වැඩෙ වෙයි.!

අද වැස්ස වැඩෙ වෙයි.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (21) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ අනුව උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවලට ප.ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එමෙන්ම මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

තවද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

හිටපු දේශපාලඥයින්ට ලබාදුන් ගිනිඅවි රැසක් අතුරුදන්.!

හිටපු දේශපාලඥයින්ට ලබාදුන් ගිනිඅවි රැසක් අතුරුදන්.!

විවිධ දේශපාලඥයින්ට පසුගිය කාලයේදී ගිනිඅවි නිකුත් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.

එම දේශපාලඥයින්ට නිකුත් කළ සමහර ඒවා දීපු තැනක්වත් හොයාගන්න නැති බවත් සමහර ගිනිඅවි සම්බන්ධ දත්ත වාර්තා කිසිවක් නැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස ගිනිඅවි ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බවත් 2024 වසරේදී ගිනිඅවි සමීක්ෂණයක් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම සමීක්ෂණයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවත් ගිනිඅවි සම්බන්ධයෙන් දැඩි නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අද (19) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ ඇරඹෙයි.!

සාමාන්‍ය පෙළ ඇරඹෙයි.!

අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටිනා 2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (17) ආරම්භ වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසූවේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3545ක දී විභාගය පැවැත්වීමට නියමිත අතර විභාග කටයුතු සදහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසය.

ඇය වැඩිදුරටත් පැවසූවේ පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙසයි.

අද උදෑසන 8.30ට විභාග ආරම්භ වීමට නියමිත අතර විභාග ආරම්භයට පැයකට පෙර විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යා යුතු වේ.

සවස් වරුවේ විභාගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් දහවල් 12.30 වන විට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

මේ අතර විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකථන, bluetooth, ස්මාට් වොච්, සටහන්, හෝ ලේඛන කිසිවක් රැගෙන යාම තහනම් වන බවද පැවසු ඉන්දිකා කුමාරි මහත්මිය සෑම අපේක්ෂකයෙකුම සිය අනන්‍යතා පත්‍රය විභාග අවසන්වන තුරු රැගෙන යා යුතු බවද අවධාරණය කළාය.

ඒ සඳහා පාසල් අපේක්ෂකයින්ට ජාතික හැදුනුම්පත, රියදුරු ගමන්පත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය භාවිත කළ හැකි අතර, පෞද්ගලික අපේක්ෂකයින්ට අවශ්‍ය නම් ජායාරූප දෙකක් ග්‍රාමනිලධාරීවරයා විසින් ලවා සහතික කරගත් තාවකාලික හැඳුනුම්පතක් භාවිත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම්දෙයි.

එමෙන්ම සියලු විභාග අපේක්ෂකයින් පිළිතුරු සැපයීමට පළමුව හොඳින් ප්‍රශ්‍නපත්‍රයේ උපදෙස් කියවා සියලු කොටස් තමා වෙත ලැබී ඇත්දැයි බැලිය යුතු බවද සඳහන් කර සිටි විභාග කොමසාරිස් ජනරාල්වරිය කාලය මැනවින් කළමනාකරණය කර නිවැරදිව විභාග අංකය සඳහන් කර විභාගයට පිළිතුරු සපයන ලෙසද අපේක්ෂකයින්ට දැනුම් දුන්නාය.

අත්අකුරු පැහැදිලිව සටහන් කරන ලෙසත් කිසිදු අවස්ථාවක ටිපෙක්ස් භාවිතයට යොමු නොවන ලෙසත් වැරද්දක් සිදුවුවහොත් එය ඉරකින් කපා නැවත පිළිතුරු සපයන ලෙසත් පැවසු ඉන්දිකා කුමාරි මහත්මිය පිළිතුරු පත්‍රය නිවැරදිව ඇමිණීමට වගබලාගත යුතු බවද සඳහන් කළාය.

සෑම විභාග අපේක්ෂකයෙකුම විභාග කාලය තුළ විභාග ශාලාවෙහි නීතිරීති ආරක්ෂා කළ යුතු බවත්, මුහුණ පැහැදිලිව හඳුනාගත හැකි වන ලෙස විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවත් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.

එමෙන්ම කිසිදු අවස්ථාවක වෙනත් විභාග අපේක්ෂකයෙකුට බාධා ඇති වෙන ලෙස හැසිරිය නොහැකි බවත්, එය ඇතැම් විට ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවන වැරැද්දක් විය හැකි බවද සඳහන් කර සිටි විභාග කොමසාරිස් ජනරාල්වරිය, විවේක කාලයේ දී ද අනෙක් අපේක්ෂකයින්ට බාධා ඇති වෙන ලෙස හැසිරීමෙන් වළකින ලෙස සඳහන් කළාය.