Attention

ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්ද අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා, එම ක්‍රමවේදය ජනතාවට වඩා පහසු සහ ආකර්ෂණීය ක්‍රමවේදයක් බවට පත් කර ගැනීමට මෙරට බැංකු පද්ධතියෙන් ලබා ගත හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කළේය.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වන බාධා ඉවත් කර ගනිමින් සමාජය තුළ එය වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දුන්නේ, ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබා දීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවත්, නව ක්‍රමවේදය මගින් ගනුදෙනු කිරීමේදී ඇති වන පරිවර්තනයත් සමග එම පිරිවැය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත්ය.

එමෙන්ම, නව ක්‍රමවේදය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවද මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින්, ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක අදහස් දක්වමින් සඳහන් කළේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීමට ජනතාව දිරි ගැන්වීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි.

රජය ආරම්භ කළ මෙම නව වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනට සිය දායකත්වය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තුව හෙට (07), (09) සහ (10) යන දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

අප්‍රේල් (07) වැනිදා පෙ.ව. 11.30 සිට ප.ව 4.45 දක්වා ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතය. 

තවද 2026.03.17 දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ද්විත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් නොවුණහොත් මෙදින දෙවනවර කියවීමට තීරණය වී ඇත.

අප්‍රේල් (09) වැනිදා පෙ.ව 11.30 සිට ප.ව 2.00 දක්වා (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනත යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනත යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනත යටතේ නියෝග විවාදයට ගැනේ. 

තවද මහජන ආරක්ෂක ආඥා පනත යටතේ සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතුමා විසින් ප්‍රකාශන පළ කරනු ලැබුවහොත් ඊට අදාළ වූ යෝජනා සම්මත ද්විත්වය මෙදින විවාදයට ගැනීමට තීරණය වී ඇත.

අප්‍රේල් (10) වැනිදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර ඇත.

ලාෆ් ගෑස් මිල තවත් ඉහළ⁣ට.. නව මිල මෙන්න

ලාෆ් ගෑස් මිල තවත් ඉහළ⁣ට.. නව මිල මෙන්න

අද (05) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 5,700කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 418කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,280කි.

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරුමැද පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථාන වෙත සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

විශේෂඥ වෛද්‍යවරු වර්ජනයෙන් ඉවත් වෙයි

විශේෂඥ වෛද්‍යවරු වර්ජනයෙන් ඉවත් වෙයි

අද (04) දින උදෑසන සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහාය පළ නොකරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදු කරන අතර රෝහල්වල විශේෂ වෛද්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යන බවද එහි ලේකම් විශේෂඥ වෛද්‍ය R ඥානසේකරම් සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තුළ වෛද්‍යවරුන් 2,300ක් පමණ සිටින අතර සියලු දෙනාම සාමාන්‍ය පරිදි රාජකාරීවල නිරත වන බවද ඔහු සඳහන් කරයි.

ප්‍රතිපත්තියක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජන සඳහා සහභාගී නොවන බවත් පශ්චාත් පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් වර්ජනය සඳහා සහාය නොදක්වන බවද ඔහු සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ තර්ජන වලට බය නෑ.. ඇමති නලින්ද දැඩි තීරණයක

වෛද්‍යවරුන්ගේ තර්ජන වලට බය නෑ.. ඇමති නලින්ද දැඩි තීරණයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එය හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බවද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සීමාවාසික පුහුණුව අවසන් කළ නවක වෛද්‍යවරුන් 453 දෙනෙකුට රජයේ සේවයට එක්වීමට ඇති අවස්ථාව GMOA විසින් අවහිරකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබාදී ඇති කාලය එළැඹෙන සෙනසුරාදා දහවල් 12.00න් අවසන් වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එළැඹෙන සෙනසුරාදා දහවල් 12.00න් පසුව දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බැවින් කාගෙවත් තර්ජනයට හෝ කාගෙවත් විකෘති සහගත ප්‍රකාශ වලට අහුවෙන්නේ නැතුව ඉල්ලුම් කරන ලෙසද අමාත්‍යවරයා සඳහන් කරයි.

යම් හෙයකින් වෛද්‍යවරුන්ට පත්වීම් ලබා ගැනීමට බාධා කරන හෝ තර්ජනය කරන කණ්ඩායම් සිටී නම්, ඒ පිළිබඳව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“මේ වැඩ වර්ජනයට කිසිදු පදනමක් නෑ. මොකක්හරි හේතුවක් අල්ලගෙන දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ වුවමනාව හැර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වැඩ වර්ජනය කරන්න කිසි සාධාරණ හේතුවක් තිබුණේ නැහැ.”

“මේකට කිසිඳු පදනමකුත් නැහැ. මේකෙන් කාටවත් සුගතියක් වෙන්නෙත් නැහැ. සෙනසුරාදා දවල් 12.00 වෙනකොට රජයේ සේවයට ඇතුළත් කිරීම සඳහා යම්කිසි වෛද්‍යවරයෙක් නේවාසික පුහුණුවෙන් පසුව ඉල්ලුම් කරේ නැත්නම්, ඔහුට රජයේ සේවයට ඇතුළත් වෙන්න බැහැ.

දැන් ඒ අය ඉන්න රෝහල්වලින් ඒ අයගේ සේවාව අවසන් වෙනවා. ඊළඟට ඒ අයගේ වැටුප් නතර වෙනවා. එතකොට ඒ අයට සිද්ධවෙන්නේ උපාධිය ලබාගෙන සීමාවාසික පුහුණුව අවසන් කරලා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරු හැටියට පුද්ගලික සේවයේ නිරත වෙන්න.

ඉල්ලුම් නොකරපු කිසිම කෙනෙක්ට රාජ්‍ය සේවයට ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට මේ කියන්නේ, ඔබ කිසිවෙකුට බය වෙන්න එපා. 

ඔබට කවුරුහරි කණ්ඩායමක් හැටියට හෝ පුද්ගලයෝ හැටියට රජයේ සේවයට ඇතුලත් කිරීම සඳහා අයදුම් කිරීමට එරෙහිව ඔබව බියගන්වන ආකාරයට යම් තර්ජනයක් කරලා තිබෙනවා නම්, වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ ගැන පැමිණිලි කරන්න.” 

මහින්ද සහ ගෝඨාභය ඉදිරියේ පාස්කු මහ මොළකරු හෙළිකරයි

මහින්ද සහ ගෝඨාභය ඉදිරියේ පාස්කු මහ මොළකරු හෙළිකරයි

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම (31) දින සිදුවිය.

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සියලු පහසුකම් සපයාගැනීම සහරාන් හෂීම් විසින්ම සිදුකර ඇති බැවින් මහ මොළකරු සහරාන් හැර වෙනත් අයකු විය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කරයි.

එම ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය එක්රැස් කිරීම සහ බෝම්බකරුවන් තෝරාගැනීම සහරාන් විසින්ම සිදුකර ඇති බවත් බෝම්බ පිපිරවිය යුතු ස්ථාන තීරණය කර ඇත්තේ ඔහු විසින්ම බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

ජාත්‍යන්තර ISIS සංවිධානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ එම සංවිධාන නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරයේ සියලු මෙහෙයවීම් සිදුකළ බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

මහ මොළකරු ලෙස සහරාන්ව හැඳින්වීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බවත් මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් ලබාදී ඇති බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කර ඇත.

රාජ්‍ය ආයතන වල සියලු වායු සමීකරණ යන්ත්‍ර ප.ව 3.00ට අක්‍රිය කළ යුතුයි.

වෙළඳ දැන්වීම් සඳහා වන විදුලි ආලෝක පුවරු සහ තිර ප.ව 8.00න් පසු නිවා දැමීම.

වීදි ලාම්පු ප.ව 6.00 සිට 10.00 දක්වා නිවා දැමීම.

පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් සහභාගී වන උත්සව සහ සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා නොගත යුතුයි.

වියළි සහ නියං කාලගුණය හේතුවෙන් ජල කප්පාදුවක්

වියළි සහ නියං කාලගුණය හේතුවෙන් ජල කප්පාදුවක්

මේ දිනවල රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළදී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කරයි.

මේ වනවිට එවැනි ජල කප්පාදුවක් මණ්ඩලය මඟින් සිදු නොකළද රටේ පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී දිනය පුරා ජල සැපයුම ලබාදීම අසීරු වන බවද සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කරයි.

මේ වනවිට අඹතලේ ඇතුළු ජල පවිත්‍රාගාර වල නිෂ්පාදන ධාරිතාවයට බලපෑම් එල්ල නොවූණද උස්බිම් සඳහා ජලය ලබාදීම අඩුපීඩන තත්ත්වයකට පැමිණ ඇති බවද ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කරයි.

වැසි තත්ත්වය ඉදිරියේදී බලාපොරොත්තු වන බැවින් රටේ පවතින ජල ධාරිතාවය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙස ඉංජිනේරු චන්දන බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි.

මේ වනවිට අඩුපීඩනයක් යටතේ ජලය ලැබෙන ප්‍රදේශ සඳහා බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවද ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් මේ බව කරයි.

යුද ගැටුම් හමුවේ ලැම්බොගිනි, ෆෙරාරී, ඇතුළු සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකාවට

යුද ගැටුම් හමුවේ ලැම්බොගිනි, ෆෙරාරී, ඇතුළු සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකාවට

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය නැව් ගමනාගමනයට එල්ල වී ඇති බාධා හමුවේ, ශ්‍රී ලංකාව ලොව සුපිරි මෝටර් රථ ගබඩා කර තබන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩුබායි රාජ්‍යයේ ගැනුම්කරුවන් වෙත රැගෙන යාමට නියමිතව තිබූ ලැම්බෝගිනි (Lamborghini), රෝල්ස් රොයිස් (Rolls-Royces) සහ ෆෙරාරි (Ferrari) වැනි සුපිරි පන්තියේ මෝටර් රථ 50ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ සහ චීනයේ වරායන්හි ගොඩබෑමට නැව් සමාගම් පියවර ගෙන ඇත.

ඒ අනුව ඩුබායි වෙත යාමට නොහැකි වූ වාහන රැගත් නෞකා ශ්‍රී ලංකාව දෙසට හැරවීම නිසා පසුගිය දිනවල හම්බන්තොට වරායේ දැඩි තදබදයක් ඇතිවී තිබෙන අතර සාමාන්‍ය පාවිච්චි කළ ජපන් වාහන 500කට අධික ප්‍රමාණයක් දින 10කට වඩා වැඩි කාලයක් මුහුදේ රැඳී සිටීමෙන් පසු ගොඩබෑමට සිදුව ඇත.

පවතින යුද තත්ත්වය සමනය වන තෙක් හෝ විකල්ප මාර්ගයක් විවෘත වන තෙක් ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු වරායන් “රැඳවුම් මධ්‍යස්ථාන” ලෙස භාවිත කිරීමට ජාත්‍යන්තර වෙළඳුන් තීරණය කර ඇත.