Local news

නේපාල ගංවතුරෙන් රටවල් 28ක විදෙස් ජාතිකයින් 466ක් අතුරුදන්

නේපාල ගංවතුරෙන් රටවල් 28ක විදෙස් ජාතිකයින් 466ක් අතුරුදන්

නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් රටවල් 28කට අයත් විදෙස් ජාතිකයින් ඇතුළු අතුරුදන් වූ සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස අතුරුදන් වූ පිරිසෙන් 466 දෙනෙකු විදෙස් ජාතිකයින් වන අතර සංචාරකයින්ගෙන් 113ක් නේපාල ජාතිකයන්, අමෙරිකානු ජාතිකයින් 54ක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් 33ක් ඒ අතර සිටින බව වාර්තා වේ.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට 100 දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කවුරු මොනවා කීවත් ජනතාව වෙනුවෙන් ගත් තීරණ ආපසු හරවන්නේ නෑ

කවුරු මොනවා කීවත් ජනතාව වෙනුවෙන් ගත් තීරණ ආපසු හරවන්නේ නෑ

මේ රට දියුණු, යහපත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේදී අන් කවර බලයකට වඩා මහජන බලය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව ජනතාවට අගතියක් වන කිසිදු ආකාරයේ තීන්දුවක් නොගන්නා අතරම ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු හැරවීමට සූදානම් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපේක්ෂා කරන්නේ පොදු ජනතාව තුළ නීතිය පිළිබඳ තිබෙන විශ්වාසය තහවුරු කිරීමත්, යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කිරීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“මගේ ආණ්ඩුව ගනු ලබන කිසිදු තීන්දුවක්, කිසිදු පියවරක් මේ රටේ මහජනතාවට අගතියක් වන කුඩා හෝ සිදුවීමක් සිදු නොවන බවට මම වගබලා ගන්නවා. අද නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශාල අඬහැරයක් ගොඩනැගීමට උත්සාහ කරනවා.

එම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මම අපේක්ෂා කරන්නේ අපේ ජනතාවට යුක්තිය පිසඳලීම සඳහා තිබෙන කාර්යය වේගවත් කිරීමයි. ඒ කිසිවකින් මේ රටේ පොදු ජනතාවට අගතියක් නොවන බවට මම සහතික කරනවා.

පොදු ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසයත්, යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කිරීමේ අපේක්ෂාවත් මේ තුළ ගැබ්ව තිබෙනවා.

කවුරු, කුමන අන්දමින් කුඩා කුඩා ප්‍රතිවිරෝධතා දැක්වුවද ජනතාව වෙනුවෙන් ගනු ලබන කිසිදු තීන්දුවක් ආපසු නොහරවන බව මම ඔබට සහතික වෙනවා.

ඒ වගේම ගනු ලබන මෙම තීන්දුවල යම් අඩුවක් තිබේ නම් එය වෙනස් කිරීමටද අපි කිසිසෙත් පැකිළෙන්නේ නැහැ. අපි සෑමවිටම ජනතාවගේ හඬට සවන් දෙන ආණ්ඩුවක්.“

මීගමුව අල් – හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරුවේ පැවති 42 වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

නේපාලයේ මහා ගංවතුර.. මියගිය ගණන ඉහළ⁣ට

නේපාලයේ මහා ගංවතුර.. මියගිය ගණන ඉහළ⁣ට

නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් මේ වනවිට පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද පුද්ගලයින් 93 දෙනෙකු තුවාල ලබා ඇති බවත් තවත් පුද්ගලයින් 200කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලා ඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත.

නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත් සමඟ මෙලෙස විනාශකාරී ජල ගැලීමක් හටගෙන ඇත.

මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑ අතර,ප්‍රදේශයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් විසින් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එම සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස අනතුරේ වැටෙන හෙයින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා, තොරතුරු නිලධාරියාට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබාදීමේ අවසරය මෙම නව චක්‍රලේඛය යටතේ හිමිව ඇත.

එම චක්‍රලේඛයේ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

රෝහලේ ඇති වූ හදිසි ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14ක් මියයයි

රෝහලේ ඇති වූ හදිසි ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14ක් මියයයි

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ අලුත උපන් බිළිඳුන් රඳවා සිටි වාට්ටුවක ඇති වූ ගින්නකින් බිළිඳුන් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එහි අලුත උපන් බිළිඳුන් 15 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් බිළිඳෙකු පමණක් බේරා ගැනීමට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වායු සමීකරණ යන්ත්‍රයක පිපිරීමක් ගින්නට හේතුව විය හැකි බවට මූලික තොරතුරු අනාවරණය වී ඇතත්, ගින්නට නිශ්චිත හේතුව පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි නිවන භටයන් කඩිනමින් එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කර ඇති අතර පසුව රෝහල් පරිශ්‍රයේ සිසිලන කටයුතු සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට පාකිස්තාන අගමැතිවරයා නියෝග කර ඇති අතර ඒ අනුව පැය 24ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පිහිටුවා ඇත.

ශිරාන් බාසික් වමාරයි.. ස්විට්සර්ලන්තය ඇතුළු සුපිරි රටවල් කිහිපයක හෝටල්

ශිරාන් බාසික් වමාරයි.. ස්විට්සර්ලන්තය ඇතුළු සුපිරි රටවල් කිහිපයක හෝටල්

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් නැමැත්තා තවත් තොරතුරු අනාවරණය කර ඇත.

ඒ අනුව රැඳවුම්භාරයේ සිටින ශිරාන් බාසික් නැමැත්තාට ස්විට්සර්ලන්තය, ඉතාලිය හා ප්‍රංශය යන රටවල හෝටල්, වාහන ඇතුළු දේපල තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.

ශිරාන් බාසික් නැමැත්තා අදාළ රටවල සංචාරය කරමින් එම ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවද මෙම සැකකරුට ඩුබායි හි රුපියල් කෝටි එකහාමාරකට අධික වටිනාකමින් යුත් ජිප් රථයක්ද ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත.

සජින් වාස්ගේ නීතිවිරෝධී වත්කම් නඩුව කැඳවයි

සජින් වාස්ගේ නීතිවිරෝධී වත්කම් නඩුව කැඳවයි

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පනවා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (25) කැඳවයි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව එම නඩුව නොවැම්බර් (27) වැනිදා යළි කැඳවන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග කළේය.

සමාජ මාධ්‍ය කැළඹු සිද්ධිය.. දුවද්දි වැටුණා.. වහාම SIට මාරුවක්

සමාජ මාධ්‍ය කැළඹු සිද්ධිය.. දුවද්දි වැටුණා.. වහාම SIට මාරුවක්

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධව පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එම විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිබාහිරව රාජකාරි සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශනය සිදුකෙරේ.

අත්අඩංගුවේ පසුවන තම පියාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම සැකකරු දිවයාමට උත්සහ දරා ඇති බවත් අනතුරුව දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බව පොලීසිය සඳහන් කළේය.

අනතුරුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකරුව (25) දින බලපිටිය රෝහල වෙත ඇතුලත් කර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරුව ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

ඉන්ධන නිකුත් කරන QR ක්‍රමවේදය ගැන තීරණයක්

ඉන්ධන නිකුත් කරන QR ක්‍රමවේදය ගැන තීරණයක්

මේ වනවිට මැදපෙරදිග පවතින යුද ගැටුම් තවමත් අවසන් වී නොමැති බැවින් ඉන්ධන නිකුත් කරන “QR” ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඉන්ධන නිකුත් කිරීමට “QR” ක්‍රමවේදය යොදුවත් ඉන්ධන පරිභෝජනය අඩුව ඇත්තේ යම් සීමාවකින් පමණක් බවත් ජන ජීවිතය අඩාල නොවන පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවදුරටත් මෙම ක්‍රමවේදය භාවිත කරන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“යුදමය තත්ත්වය තවම අවසන් වෙලා නෑ. ඔබ දන්නවානේ හෝමූස්වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තෙල් බැරල් මිල ඉහළ යනවා ටිකක් අඩු වෙනවා. තෙල් අර්බුදය තවම විසඳිලා නෑ.

රටක් හැටියට දෛනික ජන ජීවිතය අඩාල නොවන ආකාරයට උපරිම වශයෙන් පවත්වාගෙන යාමට තමයි මේ තත්ත්වය උපයෝගී කරගෙන තිබෙන්නේ. මම කළිනුත් කිව්වා තෙල් මිල වැඩිවෙලාත්, QR කෝඩ් එක දාලාත් ඩීසල් අඩුවෙලා තියෙන්නේ 10%යි.

පෙට්‍රල් අඩුවෙලා තියෙන්නේ 9%යි පරිභෝජනය. අත්‍යවශ්‍යමය කොටස්වලට ලබා දෙනවා. මම හිතන්නේ තව ටික කාලයක් තෙල් සංස්ථාව කියාවි අපිට මේ විදිහට යන්න සිදුවෙයි කියලා.”

බලාපොරොත්තුවේ පණිවිඩය රැගෙන යන පාපැදි සවාරිය

බලාපොරොත්තුවේ පණිවිඩය රැගෙන යන පාපැදි සවාරිය

සියදිවි හානි වැළැක්වීම සහ මානසික සෞඛ්‍ය හා යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වසර 13ක් පුරා පැවැත්වෙන පාපැදි සවාරිය මෙම වසරේ දියත් කිරීමට නියමිතය.

ධෛර්යය, අනුකම්පාව, කැපවීම දර්ශණය කරගත් CCC පදනම විසින් සිය ප්‍රධානතම අරමුදල් රැස්කිරීමේ සහ මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන වන 1333 Bikeathon පාපැදි සවාරිය 13 වැනි වරටත් 2026 වසරේ දියත් කිරීමට නියමිතය.

ඒ අනුව 2026 අගෝස්තු මස (29) වන දින සිට සැප්තැම්බර් (10) දක්වා පැවැත්වෙන 1333 “Bikeathon” පාපැදි සවාරිය 2026 සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින පාපැදි ධාවකයින් ද එක්වනු ඇත.

ඔවුන්ගේ එකම අරමුණ වන්නේ 1333 අර්බුධ නිරාකරණ සහාය සේවාව සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීම සහ ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීමත්, අවශ්‍ය සෑම පුද්ගලයෙකුටම නොමිලේ සහ රහසිගතව මානසික හා චිත්තවේගීය සහාය ලබාගැනීමට ඇති අවස්ථාව අඛණ්ඩව සහතික කිරීමයි.

මානසික සෞඛ්‍ය සම්බන්ධ අභියෝග ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකුට බලපෑ හැකිය. ආතතිය, කාංසාව, තනිකම, ශෝකය, මානසික අවපීඩනය සහ චිත්තවේගීය පීඩාව වැනි තත්ත්වයන් හේතුවෙන් බොහෝ දෙනෙකු නිහඬව දුෂ්කරතා වලට මුහුණ දෙති.

ජනතාවට තම ගැටලු පිළිබඳව විවෘතව කතා කිරීමට, සවන් දෙන කෙනෙකු වෙත ළඟා වීමට සහ ඔවුන්ට වඩාත්ම අවශ්‍ය අවස්ථාවන්හිදී සහාය ලබාගැනීමට ආරක්ෂිත සහ කරුණාවන්ත පරිසරයක් සැපයීම සඳහා 1333 අර්බුධ නිරාකරණ සහාය සේවාව ස්ථාපිත කර ඇත.

1333 යනු, දිනකට පැය 24ම සහ වසරේ දින 365 පුරා ක්‍රියාත්මක වන 2009 වසරේ සිට සේවය සපයන නොමිලේ සහ රහසිගත අර්බුධ නිරාකරණ සහාය සේවාවකි.

1333හි පුහුණුව ලත් අර්බුද නිරාකරණ සහායකයින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් කරුණාවන්ත ලෙස සවන්දීම, චිත්තවේගීය සහාය සහ මඟපෙන්වීම ලබාදෙමින්, චිත්තවේගීය පීඩාවකට මුහුණ දෙන හෝ සරලව කතා කිරීමට කෙනෙකු අවශ්‍ය වන ඕනෑම පුද්ගලයෙකු සඳහා ආරක්ෂිත, රහසිගත සහ විනිශ්චයෙන් තොර පරිසරයක් සපයයි.

පසුගිය වසර 13 පුරා 1333 “Bikeathon” පාපැදි සවාරි ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සමාජ සුභසාධන වැඩසටහන් අතරට එක්වී තිබේ. මානසික සෞඛ්‍යය වෙනුවෙන් පාපැදි ධාවකයින්, ආයතනික හවුල්කරුවන්, ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රජාවන් එකම අරමුණක් වෙනුවෙන් එක් කිරීමට වර්තමානයේ එය සමත්ව ඇත.

ධාවනය කරන සෑම කිලෝමීටරයකම බලාපොරොත්තුවේ පණිවිඩයක් රැගෙන අතර පරිත්‍යාග කරන සෑම මුදලක්ම අත්‍යවශ්‍ය අර්බුධ නිරාකරණ සහාය පවත්වා ගෙන යාමට දායක වේ. එසේම සහභාගී වන සෑම පුද්ගලයෙකුම මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩි දැනුවත් භාවයක් සහ විවෘත භාවයක් ඇති කිරීමට දායක වේ.

1333 “Bikeathon” 2026 පාපැදි සවාරිය සඳහා පාපැදි ධාවකයින් ලෙස ලියාපදිංචි වීමෙන්, සහභාගීවන්නන් සඳහා අනුග්‍රහය දැක්වීමෙන්, පරිත්‍යාග කිරීමෙන් හෝ වැඩසටහන සමඟ හවුල් වීමෙන් මෙම වැඩසටහනේ කොටස්කරුවන් වන ලෙස CCC පදනම පුද්ගලයින්, ව්‍යාපාරික ආයතන, පාපැදි සංගම් සහ ප්‍රජාවන් වෙත ආරාධනා කරයි.

පාපැදි ධාවනය කිරීමෙන්, සහාය ලබාදීමෙන් හෝ මෙම පණිවිඩය බෙදා හැරීමෙන්, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින අපකීර්තිය අවම කිරීමටත්, කිසිදු පුද්ගලයෙකුට චිත්තවේගීය අර්බුධයකට තනිව මුහුණ දීමට සිදු නොවන බව සහතික කිරීමටත් සෑම දෙනාටම දායක විය හැකිය.

CCC පදනම (ධෛර්යය, අනුකම්පාව, කැපවීම) යනු මානසික සෞඛ්‍යය සහ චිත්ත වේගීය යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින ශ්‍රී ලාංකික පුණ්‍ය ආයතනයකි. 1333 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව හරහා දිනකට පැය 24 සහ සතියේ දින හත පුරා නොමිලේ සහ රහසිගත චිත්තවේගීය සහාය ලබා දෙමින්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක සෑම පුද්ගලයෙකුට කරුණාවන්ත සහ සංවේදී හඬකට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙයි.