Local news

තවත් ප්‍රබල අපරාධකරුවෙක් ලබන සතියේ කුදලාගෙන එනවා

තවත් ප්‍රබල අපරාධකරුවෙක් ලබන සතියේ කුදලාගෙන එනවා

මේ වනවිට රතු වරෙන්තු නිකුත් කර තිබෙන සංවිධානාත්මක අපරාධකරුවෙක් ලබන සතියේ දිවයිනට රැගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

රතු වරෙන්තු නිකුත් කළ සැකකරුවන් 236 දෙනෙකු සිටින බවත් ඉන් 110දෙනෙක් සඳහා රතු වරෙන්තු නිකුත් කළේ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

මේ වනවිට අපරාධකරුවන් 39 දෙනෙකු සැඟවී සිටින රටවල් සහ ස්ථාන පිළිබඳව හඳුනාගෙන සිටින බවත් ඔවුන් ඉදිරියේදී මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“මේ වනවිට 236 දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කර තිබුණා. එයින් 110ක් රතු වරෙන්තු නිකුත් කළේ අපි බලයට පත් වුණාට පස්සේ. ඒ වගේම අපි බලයට පත් වුණාට පස්සේ 66 දෙනෙක්, පාතාල අපරාධකරුවෝ සහ විවිධ අපරාධකරුවෝ මෙරටට ගෙනල්ලා තියෙනවා.

මේ වෙනකොට 66 දෙනෙක් මෙරටට ගෙනාවා වගේම තවත් රතු වරෙන්තුකරුවන් 97ක් පිළිබඳව පරීක්ෂාකාරී වෙමින් ඉන්නවා. 39 දෙනෙක් අපි හඳුනා‌ගෙන තියෙනවා. ඔවුන් ඉන්න රටවල් සහ ස්ථාන. ඉදිරියේදී ඔවුන් මෙරටට ගේන්න අවශ්‍ය කටයුතු කරනවා.”

පාසල් දරුවන්ගේ ජීවිත අනතුරේ.. හෘදය සහ මොළයට බලපෑම්

පාසල් දරුවන්ගේ ජීවිත අනතුරේ.. හෘදය සහ මොළයට බලපෑම්

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය සහ පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

දිගු වේලාවක් දැඩි අව් රශ්මියේ ක්‍රීඩා කිරීමෙන් ශරීරයට දැඩි බලපෑම් ඇතිවිය හැකි බවත් ඇතැම් අවස්ථාවලදී කම්පන තත්ත්වයන් මෙන්ම හෘදය වස්තුවට සහ මොළයට පවා බලපෑම් ඇති විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

පවතින තද උණුසුම නිසා දරුවන් විජලන තත්ත්වයන්ට පත්වීමේ වැඩි අවදානමක් පවතින බැවින් දරුවන් පිළිබඳව දෙමාපියන් මීට වඩා කල්පනාකාරී විය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

විජලනයේ මූලික ලක්ෂණ ලෙස හිසරදය, වමනය, ඇඟපත රිදීම, නිදිමත ගතිය, අපහසුතාව, ආහාර අරුචිය සහ මුත්‍රා තද පැහැවීම දැක්විය හැකි බැවින්, එළිමහනේ සෙල්ලම් කරන දරුවන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබාදීම අත්‍යවශ්‍ය වේ.

ජලයට අමතරව තැඹිලි වතුර, ජීවනී, දෙහි, දොඩම්, අඹ, දෙළුම්, කැඳ සහ සුප් වර්ග වැනි ස්වභාවික දියර වර්ග දරුවන්ට ලබාදීම ඉතා වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

හිරු මුදුන් වන වේලාවන් වලදී සරල කපු ඇඳුම් ඇඳීම, හිස් වැසුමක් භාවිත කිරීම සහ ගස් සෙවණක් වැනි සිසිල් ස්ථානයක විවේක ගැනීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

නම වෙනස් කළ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බාධාවක්

නම වෙනස් කළ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බාධාවක්

මහ බැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරගෙන සිංගප්පූරු පුරවැසියෙකු ලෙස පෙනී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධව නීතිමය බාධාවක් පවතින බවත් සිංගප්පූරුවේ නීතිය අනුව එරට පුරවැසියෙක් ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

කෙසේ වෙතත් එවැනි අවස්ථාවලදී අනුගමනය කළ යුතු විවිධ උපක්‍රම පවතින බවත් ඒ අනුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

දවස රූපවාහිනී වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“දැනට නීතිමය බාධාවක් තියෙනවා. ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙක් හැටියට පෙර හිටියට දැනට ඔහු නම වෙනස් කරගෙන සිංගප්පූරු පුරවැසියෙක් හැටියට ඉන්නේ. ඒ රටේ නීතිය අනුව ඔහු අපට ගන්න හැකියාවක් නෑ.

නමුත් මෙවැනි අවස්තාවලදී අනුගමනය කළ යුතු ක්‍රම තියෙනවා. ඉතින් ඒ සඳහා අපි යම් යම් ක්‍රියාමාර්ගයක අරන් තියෙනවා. අපිට නිශ්චිතවම කියන්න හැකියාවක් නෑ. නමුත් නඩුව ඉස්සරහට යනවා. ඒ බැදුම්කර නඩුව හරහා යම් යම් කාරණා ප්‍රමාණයක් හෙළිවෙලා තියෙනවා.”

අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරන නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරන නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අද (27) දිනට යෙදී ඇත.

නිකිණි පොහොය ඉතාම වැදගත් පොහොය දිනයක් වන අතර පොහොය දින නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අද පස්වරු 6.43ට යෙදී ඇති සුබ නැකතින් අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතය.

නේපාලයේ මියගිය ගණන තවත් ඉහළ⁣ට

නේපාලයේ මියගිය ගණන තවත් ඉහළ⁣ට

නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හදිසි ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් ඇති බවත් 400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේපාල සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ භූමිකම්පාවක් ඇති වීමත් සමඟ හිම කඳු නායගොස් හිම දිය වී බොටේ කොෂි නැමති ගංගාව එකවර පිටාර ගැලීමෙන් මෙම අනතුර සිදුව ඇත.

තෙල් මිලේ වෙනසක්

තෙල් මිලේ වෙනසක්

අද (27) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල සුළු වෙනසක් සිදුව ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.97ක් ලෙස පහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.49ක් ලෙස පහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.68ක් ලෙස පහළ ගොස් ඇත.

කාන්තාවන් සහ ළමුන් අනතුරේ.. ඡායාරූප හා ලිංගික දර්ශන ජාවාරමක්

කාන්තාවන් සහ ළමුන් අනතුරේ.. ඡායාරූප හා ලිංගික දර්ශන ජාවාරමක්

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික දර්ශන මෙන්ම පුද්ගලික ඡායාරූප මුදලට අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ ඔන්ලයින් ජාවාරමක් පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ෆේස්බුක් (Facebook) ඇතුළු ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ සමූහ (Groups) නිර්මාණය කරගනිමින් මෙම ඔන්ලයින් ජාවාරම සිදුවන බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමු වී ඇති බවත් කාන්තාවන් සහ ළමුන් වින්දිතභාවයට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය කඩිනම් මැදිහත්වීම් සිදුකරන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සිදුකරන ලද මූලික සොයා බැලීම්වලින් අනාවරණය වූ තොරතුරු පිළිබඳ සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතද යොමුකර ඇති බවද සඳහන් කරයි.

ජාවාරම්කාර සමූහ පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ගිණුම් හරහා තම සමීපතමයින්ගේ සහ පවුලේම සාමාජික කාන්තාවන්ගේ ඡායාරූප හා වීඩියෝ පට මෙලෙස අලෙවි කිරීමට උත්සාහ කරන බවට හෙළිවී ඇති අතර මෙම සමූහ බොහොමයක් විදේශ රටවල සිට මෙහෙයවන බවද හඳුනාගෙන ඇත.

තම පවුලේ කාන්තාවන් සහ ළමුන් නිවස තුළදීම මෙලෙස අනාරක්ෂිත වීමේ අවධානමක් පවතින බැවින් දෙමව්පියන් සිය දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ඔවුන් ඇසුරු කරන මිතුරන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

යම් හෙයකින් පවුලේ අයෙකු මෙවැනි ජාවාරමක ගොදුරක් හෝ ඊට ඇබ්බැහි වූවෙකු ලෙස නිරීක්ෂණය වුවහොත්, ඔවුන් වහාම මනෝ සමාජයීය උපදේශනය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදී ඇත.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවලින් ආරක්ෂා වීමට සහ අදාළ නෛතික සහය ලබාගැනීම සඳහා 1938 සහ 1929 යන ගාස්තු රහිත උපකාරක දුරකථන අංක ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරයි

රාජ්‍ය සේවය අපේ රටේ ආකර්ෂණීය වෘත්තීයක් බවට පත් කළ යුතුව තිබෙන බවත් ඒ වෙනුවෙන් 2025 වසර, 2026 වසරවල වැටුප් වර්ධක ලබාදිමට කටයුතු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පසුගිය වසරවල ලබාදුන් පරිදි එළඹෙන 2027 වසරේ ජනවාරී මාසයේදී තවත් අලුත් වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරමින් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපිට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ රටේ ජනතාව තුළ රාජ්‍ය සේවය පිළිබඳ තිබෙන්නේ හොඳම අදහසක් නොවෙයි. යම් යම් නිලධාරීන් පිළිබඳව හොද අදහස් තිබෙන ගමන් පොදු රාජ්‍ය සේවය පිළිබඳව තිබෙන්නේ යම් බිඳවැටුණු අදහසක්.

ඒ නිසා ජනතාවට වගකියන, කාර්යක්ෂම සේවාවක් ලබාදෙන නූතන රාජ්‍ය සේවාවක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය වන සැලකිය යුතු ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබෙනවා.

අපි උත්සාහ දරනවා තව වසරක් වැනි කෙටි කාලයක් තුළ රජය සමග සිදු කරන සියලු වැදගත් ගනුදෙනු නිවසේ සිට මාර්ගගතතාක්ෂණය ඔස්සේ ඉටුකරගත හැකි රාජ්‍ය සේවාවක් අපි ඇති කරනවා.

ඒ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයේ වැදගත් කඩඉමක්. ඒ වගේම රාජ්‍ය සේවය අපේ රටේ ආකර්ෂණීය වෘත්තීයක් බවට පත් කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් අපි මේ වනවිටත් 2025 වසර, 2026 වසරවල වැටුප් වර්ධක ලබා දුන්නා.

ලබන වසරේ ජනවාරී මාසයේදී අපි අලුත් වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරමින් තිබෙනවා. අපිට ඉතාමත් හොද රාජ්‍ය සේවයක් අවශ්‍යයි මේ රාජ්‍ය ගොඩනැගීමේදී.”

නේපාලයේ ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට අපි සූදානම්

නේපාලයේ ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට අපි සූදානම්

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදු වූ ඛේදජනක සිදුවීම ගැන නේපාල ජනතාවට බලවත් ශෝකය ප්‍රකාශ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක “X” පණිවිඩයක් නිකුත් කර ඇත.

නේපාලයේ ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

“නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදු වූ ඛේදජනක ජීවිත හානි ගැන දැන ගැනීමට ලැබීම ගැන මම අතිශයින් කණගාටු වෙමි. ශ්‍රී ලංකාව නේපාලයට ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට සූදානම්ව සිටී.

මාස 10 කට පෙර මාරාන්තික සුළි කුණාටුවකින් තවමත් ගොඩ එන ජාතියක් ලෙස, අපි නේපාල ජනතාවගේ ශෝකය බෙදා ගනිමු. @OOP_Nepal, @PM_nepal_ සහ නේපාල ජනතාවට සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාව මා සමඟ එක්වෙයි. @ShahBalen”

ත්‍රිකුණාමලයේ ඉන්ධන ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක්

ත්‍රිකුණාමලයේ ඉන්ධන ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක්

මේ වනවිට අතහැර දමා ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝකයින්ට ලබාදීම සඳහා යෝජනා කැඳවීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තකුමාරගේ සඳහන් කරයි.

ත්‍රිකුණාමලය පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් ආයතනය සතුව පවතින තෙල් ටැංකි 61න් 29ක් මේ යටතේ බදු පදනම ලබාදෙන බවද සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තකුමාරගේ සඳහන් කරයි.

ත්‍රිකුණාමලයේ ඉන්ධන ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් පිහිටුවීම එහි අරමුණ බවද සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තකුමාරගේ සඳහන් කරයි.

ත්‍රිකුණාමලයේ පවතින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති තවත් තෙල් ටැංකි දෙකක් මේ වනවිට ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂ මයුර නෙත්තකුමාරගේ සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?