Local news

කාලගුණය කැළඹෙයි.. ඉදිරි මාස කිහිපයේ සුදානම් වෙන්න

කාලගුණය කැළඹෙයි.. ඉදිරි මාස කිහිපයේ සුදානම් වෙන්න

එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බැවින් නිවසින් පිටතට යාමේදී සුදු හා ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද එල්-නිනෝ තත්ත්වය හමුවේ එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී ඇතැම් විට ගංවතුර තත්ත්වයක් වුවත් ඇති විය හැකි බවත් එම කාලසීමාව තුළ සාමාන්‍ය වර්ෂාපතනය ඉක්මවා තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අජිත් විජේමාන්න සඳහන් කරයි.

ඉදිරි මාස හය සම්බන්ධයෙන් සිදුකළ දත්ත විශ්ලේෂණයේදී මේ බව අනාවරණය වී ඇති බවත් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන කාලවකවානුවේදී එල්-නිනෝ තත්ත්වය දැඩි ලෙස බලපාන බවද අධ්‍යක්ෂ ජනරාල්, අජිත් විජේමාන්න සඳහන් කරයි.

අධ්‍යක්ෂ ජනරාල්, අජිත් විජේමාන්න සඳහන් කළේ,

“සාමාන්‍ය අවුරුද්දෙන් 30%ක් මේ මාස දෙකේ වහිනවා. එතකොට ඒක තවත් වැඩි වුණාම ලොකු වැස්සක් වැව් පිරිලා සමහරවිට ගංවතුර වුණත් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඔත්තෝබර් නොවැම්බර් මාස වනවිට ලංකාව පුරාම වැස්ස ව්‍යාප්ත වෙනවා. තද වැසි තියෙන්න පුළුවන්. ගංවතුරක් එනවාම කියන්නේ නෑ. කෝකටත් අපි සූදානම් වෙන්න ඕනි. එන්න ඉඩකඩකුත් තියෙනවා.”

බස් නැවතුම්පොළේ කිරි දෙන මව්වරුන් වෙනුවෙන් විශේෂ කාමරයක්

බස් නැවතුම්පොළේ කිරි දෙන මව්වරුන් වෙනුවෙන් විශේෂ කාමරයක්

දරුවන්ගේ සනීපාරක්ෂක්ෂාව හා මව්වරුන්ගේ සුවපහසුව වෙනුවෙන්, කිරි දෙන මව්වරුන් සඳහා සැකසු විශේෂ කාමරයක් නුවරඑළිය බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කළේය.

ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙනි.

කුඩා දරුවන් රැගෙන නගරයට එන බහුතරයක් මව්වරුන්ට කිරි ලබාදිම සදහා සුදුසු ස්ථානයක් නොමැති වීම මත මව්වරුන් සහ දරුවන්ට වන අපහසුව මගහැරවීම වෙනුවෙන් නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකරගේ මගපෙන්වීම මත මෙම ළදරු කිරිදීමේ කමරය සකසා ඇත.

අපරාධ විමර්ශන කඩිනම් කිරීමට නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක්

අපරාධ විමර්ශන කඩිනම් කිරීමට නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක්

බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

එම කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දිකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති මෙම රැස්වීමේදී, විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සිට නඩු පැවරීම දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය මෙන්ම, ඒ සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතු ප්‍රමාද වීම, රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයන් සහ එමගින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද අවධානය යොමු විය.

මත්ද්‍රව්‍ය මර්දනයේදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව, මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල සහ ඒවාට සම්බන්ධ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු හඳුනාගෙන පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම දුරකථන සමාගම් මගින් ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සඳහා අවභාවිත කිරීම වැළැක්වීම සඳහා සුදුසු නියාමන ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

තවද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීම, අපරාධ වැළැක්වීම සඳහා මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම සහ පවතින නීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම, අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් (Forensic Laboratory) ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් ඉදිරිපත් විය.

විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කඩිනම් කිරීම මඟින් නඩු කටයුතු වේගවත් කර බන්ධනාගාර තදබදය අවම කිරීමට හැකි වනු ඇති බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

මීට අමතරව, පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය, වෘත්තීය පුහුණුව සහ විමර්ශන කුසලතා ඉහළ නැංවීම මෙන්ම පොලිස් කාර්ය සාධනය ඇගයීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

දේශපාලඥයින් 9යි.. ප්‍රසිද්ධ නිළියන් 7යි.. පද්මේගේ දුරකතනයෙන් සියල්ල එළියට

දේශපාලඥයින් 9යි.. ප්‍රසිද්ධ නිළියන් 7යි.. පද්මේගේ දුරකතනයෙන් සියල්ල එළියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සැප්තැම්බර් (03) වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි දුරකථන වාර්තා වලින් හෙළිවූ අතර දේශපාලනඥයින් 09 දෙනෙකු පිළිබඳ ඡායාරූප හා සංවාද සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළේ,

“ස්වාමීනී.. ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කළ රතු නිවේදනයකට අනුව මෙම සැකකරු ඉන්දුනීසියාවෙන් පිටුවහල් කළා. ඉන් පසුව 2025 සැප්තැම්බර් (02) වනදා කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන කළා.

ඔහු රඳවා ගැනීම පිළිබඳව අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළා. මෙම සැකකරු භාරයේ තිබී ජංගම දුරකතන 8ක් සොයා ගත්තා. ඒවායේ දත්ත මකා තිබුණා. පසුව එම දත්ත ප්‍රතිඋත්පාදනය කර ගත්තා.

එම ජංගම දුරකතනවල තිබී දුරකතන ඇමතුම් 8841ක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඡායාරූප 32,6671ක් අනාවරණය කර ගත්තා. දුරකතන පටිගත කිරීම් 1101ක් සොයා ගත්තා. වීඩියෝ දර්ශන 5,039ක් හමු වී තිබෙනවා.“

“ස්වාමීනී.. එම ජංගම දුරකතන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කළා.

ඔහුගේ දුරකතනවල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකතන අංක හමුවී තිබෙනවා. ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළා. නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් 7 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා.

දේශපාලනඥයින් 9 දෙනෙකු පිළිබඳ ඡායාරූප සහ දුරකතන සංවාද හමුවී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.”

“බැංකු ගිණුම් 17ක් ගැන විමර්ශන කරනවා. මෙම සැකකරු 2021 මැයි මස (21) වනදා සිට නීත්‍යනුකූල විදේශ ගමන් බලපත්‍රයෙන් විද්ශගත වී තිබෙනවා.

මොහු ඩුබායි, ඉන්දුනීසියාව, රුසියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ලාඕසය ඇතුළු රටවල් 13කට අවස්ථා 15කදී පමණ ගොස් තිබෙනවා. මෑතකදී ගිනිඅවි සොයා ගැනීම් සම්බන්ධයෙන් ද මෙම සැකකරු ගැන විමර්ශනය කරනවා.”

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සැප්තැම්බර් (03) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

එහිදී සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරිණි.

තවද සැකකරු සැප්තැම්බර් (04) වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වෙනත් නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග කළේය.

විමර්ශනයට බාධා කරන සලේගේ පටි රෝල් වෙයි

විමර්ශනයට බාධා කරන සලේගේ පටි රෝල් වෙයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට තවත් දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

278 දෙනෙකු ඝාතනය කළ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශවලදී හෙලිවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අධිකරණයට වාර්තා කර ඇත.

සුරේෂ්⁣ සලේ පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හසීම් ප්‍රමුඛ කල්ලිය සමග සෘජු සබදතා පවත්වාගෙන යමින් එම කල්ලිය විමර්ශන කණ්ඩායම් වලට අනාවරණය වීම වැළැක්වීම සඳහා සෘජුව මැදිහත්ව ක්‍රියා කිරීම පිළිබඳව සලේට විමර්ශන වලදී චෝදනා එල්ල වී ඇත.

මේ අතර සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන දෙදෙනාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූවේය.

නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය වෙත කරුණු දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් සඳහන් කළේ,

“ස්වාමිණි.. පෙත්සම්කරු 2019 වසරේ ජනවාරි මස (03) වැනිදා තමන් ආරක්ෂක පාඨමාලාවක් සඳහා ඉන්දියාවට පිටව ගොස් නැවත පැමිණියේ එම වසරේ දෙසැම්බර් මස බවට පවසා තිබෙනවා.

මේ නඩුකරය සමග පෙත්සම්කරුගේ රාජතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත්‍රයේ මෙන්ම රාජකාරී විදේශ ගමන් බලපත්‍රවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තමන් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජකාරී අවසන් වී පැමිණීමෙන් පසුව සිය රාජතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට බාරදුන් බවට පවසා තිබෙනවා.

නමුත් ඔහු එම රාජතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද සත්‍ය පිටපතක් ඉදිරිපත් කර තිබෙනවා. එම විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට භාරදුන්නා නම් එහි සහතික කරන ලද සත්‍ය පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කෙසේද.?

ඕනෑම විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් පවතිනවා. නමුත් ඔහුගේ රාජතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත්‍රයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ තෝරාගත් පිටු කිහිපයක් විතරයි. රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ පිටු හතරක් පමණයි අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ.

විමර්ශකයින් පෙත්සම්කරුගෙන් ඉතාමත්ම සරල ප්‍රශ්නයක් අහන්නේ. පෙත්සම්කරු ඒ ප්‍රශ්නයටවත් අවංක බවින් පිළිතුරු දීලා නෑ.

විමර්ශකයින් පෙත්සම්කරුගෙන් ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ රහස් පද විමසනවා. එය ලබාදීම ද පෙත්සම්කරු මග හරිනවා. පසුව විමර්ශකයින්ට සිදු වෙනවා පෙත්සම්කරුගේ පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද ලබා ගැනීමට අධිකරණ නියෝග ලබා ගන්න.

පෙත්සම්කරු ඒ ආකාරයක හැසීරීමක් දක්වන්නේ මෙම විමර්ශනයේදී, ඔහුට සහාය දක්වමින් තමා මෙම අතරමැදි පෙත්සම් ගොනු කර තිබෙන්නේ. පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනුයේ සිදුකල විමර්ශන වලදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වීම හේතුවෙන්.”

“ස්වාමීණි.. පෙත්සම්කරු සිය පෙත්සමෙන් පවසා තිබෙන කරුණු සියල්ල ඒ ආකාරයෙන්ම අතරමැදි පෙත්සම්කරුවන්ද සිය පෙත්සම් වලින් පවසනවා.

පෙත්සම්කරු පෙත්සමෙන් අවධාරණය කර තිබෙන කරුණු නැවත නැවත අවධාරණය කරන්න අතරමැදි පෙත්සම්කරුවන් අවශ්‍ය වන්නේ නෑ. අතරමැදි පෙත්සම්කරුවන් පෙත්සමට මැදිහත් වන්නේ මහජන සුබසිද්ධිය යන පදනමෙන්. මේ නඩුකරයේ එවැනි පදනමක් නෑ.

විමර්ශනය හේතුවෙන් පෙත්සම්කරුගේ පුද්ගලික නිදහස අහිමි වීම ඇතුළු කාරණා වෙනුවෙන් මේ නඩුකරය තිබෙන්නේ දැන්.

විමර්ශනයකට අදාළව යම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේදී නීතියට පටහැනි යමක් වී ඇත්නම් එය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ යුතුයි. අභියාචනාධිකරණ හමුවේ රීට් නියෝග අයැදීමට නීතිමය හැකියාවක් නෑ.”

අතරමැදි පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද, නැද්ද යන නියෝගය සැප්තැම්බර් (07) වැනිදා ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු ලොක්කන්ගේ වාහන සෙල්ලම මාට්ටු

පාර්ලිමේන්තු ලොක්කන්ගේ වාහන සෙල්ලම මාට්ටු

නීතියට පිටින් ගොස් පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන් තිදෙනෙකුට සහනදායි මෝටර් රථ බලපත්‍ර ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විශේෂ විගණන වාර්තාවේ මේ බව සඳහන් වේ.

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛය ප්‍රකාරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර හිමි වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ මට්ටමේ විධායක තනතුරක වසර හයක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා තනතුරෙහි ස්ථිර කර ඇති නිධාරීන් සඳහා පමණක් බව එම වාර්තාවේ දැක්වේ.

එහෙත් මෙම නිලධාරීන් තිදෙනාම සම්පූර්ණ කර ඇත්තේ වසරකට තරමක් වැඩි සේවා කාලයක් පමණක් බව සදහන් වන අතර එම සහනදායි මෝටර් වාහන බලපත්‍රවල වටිනාකම රුපියල් එක්කෝටි අට ලක්ෂයකි.

නිලධාරීන් තිදෙනෙකුට සහනදායි පදනම මත මෝටර් රථ වාහන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලද නිලධාරින් සම්බන්ධවත්, එම මෝටර් රථ බලපත්‍ර ගත් නිලධාරීන් සම්බන්ධවත් පවතින නීතිරීති යටතේ ක්‍රියාමාර්ග ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

වියපත් පුද්ගලයෙකුට පහරදීම.. පොලීසියෙන් නිවේදනයක්

වියපත් පුද්ගලයෙකුට පහරදීම.. පොලීසියෙන් නිවේදනයක්

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත.

තම පියාට පොලිස් නිලධාරීන් විසින් පහරදී තිබෙන බව පවසමින් පුද්ගලයෙකු පොලිස් ස්ථානයක් තුළ කලහකාරී අන්දමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

මෙම සිද්ධිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිද්ධියක් බව අනාවරණය වී ඇත.

වීඩියෝවේ දක්වන පියා ලෙසින් හදුන්වන වියපත් පුද්ගලයා (24) වන දින රාත්‍රියේ බීමත්ව අශෝබන ලෙස මාර්ගයක සැරිසැරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු දිවයාමට උත්සහ දරා ඇති අතර දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බව වාර්තා‌ වේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකරුව අද (25) දින බලපිටිය රෝහල වෙත ඇතුලත් කර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරුව ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියමයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිභාහිරව රාජකාරි සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

කුදලාගෙන ආ බස් ලලිත් වමාරයි

කුදලාගෙන ආ බස් ලලිත් වමාරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ලලිත් ගන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තා පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

ඒ අනුව බස් ලලිත් නැමැත්තා විසින් සිදුකරන ලද ඝාතන රැසක තොරතුරු මේ වනවිට විමර්ශන නිලධාරීන්ට අනාවරණය කර ඇත.

බස් ලලිත්ගේ මෙහෙයවීම මත අවස්ථා 5කදී පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කර ඇතැයි සැකකරන බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් (18) වනදා බූරු මූණා නම් වෙඩික්කරු ලවා ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඇත්තේ කප්පම් ලබා නොදීම මත බව බස් ලලිත් මූලික ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

තමන්ට කිසිඳු රැකියාවක් නොමැති අවස්ථාවක බස් කොන්දොස්තර රැකියාවක් ලබාදුන් වජිර නිශාන්ත නැමැත්තා 2024 වසරේ සැප්තැම්බර් (30) වනදා ඝාතනය කරනු ලැබුවේ, ද කප්පම් මුදල් ලබා නොදුන් නිසා බවද ඔහු පවසා ඇත.

තවද 2025 වසරේදී මුදුන්කොටුවගේ දොන් ශාන්ත හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා ඝාතනය කළේ, දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ නිසා බවද ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

බනා මන්ත්‍රී නැමැත්තා, ඔහු සමීපව ආශ්‍රය කළ ව්‍යාපාරිකයන් පස් දෙනෙකුගේ දුරකථන අංක තමන්ට ලබාදී තමා ඔවුන්ගෙන් කප්පම් ඉල්ලූ පසු එම මුදල් ලබාගෙන ඉන් කොටසක් තමන්ට ලබාදෙන්නැයි ඉල්ලා සිටි බවද ඔහු පවසා ඇත.

පසුව ඔහු තම ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියකට එම දුරකථන අංක ලබාදීම හේතුවෙන් බනා මන්ත්‍රී නැමැත්තාව ඝාතනය කළ බවද මේ වන විට වාර්තා වේ.

2023 වසරේ නත්තල්දා මන්නා රොෂාන් හා ඔහුගේ සමීපතමයෙකු ඝාතනය කළේ, ඔහු දිගින් දිගටම අනවශ්‍ය ලෙස කතාබහ කිරීම නිසා බවද බස් ලලිත් නැමැත්තා පවසා ඇත.

තමාගේ කප්පම් එකතු කරන්නෙක් තමා උපදෙස් දෙන මුදලට වඩා වැඩි කප්පම් මුදල් ලබාගැනීම හේතුවෙන් ඔහු ඝාතනය කළ බවද සැකකරු පවසා ඇත.

22ට සහාය පළ කරමින් පෙත්සමක්

22ට සහාය පළ කරමින් පෙත්සමක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ජනතා පරමාධිපත්‍යය හෝ අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදුනොවන බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව එම පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

නව රාජ්‍යතාන්ත්‍රිකයෝ 11ක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

නව රාජ්‍යතාන්ත්‍රිකයෝ 11ක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04 දෙනෙකු අද (25) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

මෙම නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු පිරිස පිළිවෙළින්, බ්‍රසීලය, බංග්ලාදේශය, චීනය, ඔස්ට්‍රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් රාජ්‍යය, ඝානාව, බෲනායි ඩාරුසලාම්, සුඩානය, ගයනාව සහ පැනමා රාජ්‍යය නියෝජනය කරති.

ඒ අනුව අද දින ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පහත පරිදි.

තානාපතිවරුන් ලෙස :

  • Jorge Geraldo Kadri – බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ තානාපති
  • Wei Huaxiang – චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති
  • ආචාර්ය Robert Zischg – ඔස්ට්‍රියා ජනරජයේ තානාපති
  • Eric S. Meyer – අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති
  • Francisco Manuel Comprés Hernández – ඩොමිනිකන් ජනරජයේ තානාපති
  • ආචාර්ය Mohammed Abdalla Ali Eltom – සුඩාන් ජනරජයේ තානාපති
  • Nubiela Yanarith Ayala – පැනමා ජනරජයේ තානාපති

මහ කොමසාරිස්වරුන් ලෙස:

  • D.M. Salahuddin Mahmud – බංග්ලාදේශ ජනරජයේ මහකොමසාරිස්
  • මහාචාර්ය Kwasi Obiri-Danso – ඝානා ජනරජයේ මහකොමසාරිස්
  • Siti Arnyfariza Md Jaini – බෲනායි ඩාරුසලාම්හි මහකොමසාරිස්
  • Dharamkumar Seeraj – ගයනා සමූපකාර ජනරජයේ මහකොමසාරිස්