Local news

පෞද්ගලික සමාගම් තෙල් සීමාකරයි.. ලීටරයක පාඩුවක්.. සංස්ථාවෙන් තීරණයක්

පෞද්ගලික සමාගම් තෙල් සීමාකරයි.. ලීටරයක පාඩුවක්.. සංස්ථාවෙන් තීරණයක්

ලෝක වෙළෙදපොළ අර්බුදය හේතුවෙන් මෙරට තෙල් සැපයුම් කරන පෞද්ගලික සමාගම් ඩීසල් මිල වැඩි කිරීමක් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් රට තුළ ඩීසල් සැපයුම සම්බන්ධව කිසිදු ගැටලුවක් නිර්මාණය වී නොමැති බවත් කිසිදු ඩීසල් හිගයක් නොමැති බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

බලශක්ති අමාත්‍යංශයට එම පෞද්ගලික ඉන්ධන සමාගම් දැනුම් දී ඇති ආකාරයට,

*IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 141ක් පාඩු ලබන බව සඳහන් කරයි.

*RM PARKS සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 160ක් පාඩු ලබන බව සඳහන් කරයි.

*සිනොපෙක් සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 163ක් පාඩු ලබන බව සඳහන් කරයි.

ඩීසල් ලීටරයක් සඳහා රජය ලබාදුන් රුපියල් 100ක සහනාධාරය පසුගිය ජුලි මාසයේ සිට අත්හිටුවීමට පියවර ගත්තේය.

එහෙත් මේ වනවිට මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් මිල ඉහළ යාම හමුවේ ඩීසල් ලීටරයකින් ලබන පාඩුව ඉහළ ගොස් ඇති බව එම සමාගම් සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් එම පෞද්ගලික සමාගම් තුන ඩීසල් නිකුත් කිරීම සීමාකර තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. එස්. ප්‍රනාන්දු සඳහන් කරයි.

කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් වලින් සිදුවන පාඩුව කළමණාකරනය කර ගැනීමට හැකියාව පවතින බව එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

මෙම මිල සම්බන්ධ ගැටලුව ගැන අමාත්‍යංශය අදාළ ඉන්ධන සමාගම් සමග සාකච්ඡා කර ඇති අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් නොමැති ප්‍රදේශ 52කට අඛණ්ඩව ඩීසල් සැපයීමට එහිදී එම සමාගම් එකග වු බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

පවතින තත්ත්වය හමුවේ කටයුතු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් රජයට කරුණු වාර්තා කර ඇති අතර එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පෞද්ගලික ඉන්ධන සමාගම් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබුණද රටේ පාරිභෝගිකයා කෙරෙහි ද අවධානය යොමු කරමින් අවසන් තීරණය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිස බිත්තියට හේත්තු කරයි.. අවසන් තීරණයක්

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිස බිත්තියට හේත්තු කරයි.. අවසන් තීරණයක්

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර අධිකරණයට අපහාසයක් කර ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල (14) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, මෙම පැමිණිල්ල සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන බවයි.

ඒ අනුව එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන් පත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න, කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය අධිකරණයට අපහාසයක් කර ඇති බවට තීරණය කළේය.

අනතුරුව අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් 2024 වසරේ අංක 08 දරන අධිකරණයට හෝ විනිශ්චය ආසනයකට අපහාස කිරීම සම්බන්ධව සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කළේය.

යළිත් LTTE නැගිට්ටවන මහින්ද ඇතුළු පිරිසට වැඩ වරදී

යළිත් LTTE නැගිට්ටවන මහින්ද ඇතුළු පිරිසට වැඩ වරදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා අනුරාධපුරයේදි පැවැත්වු රැස්වීමේදී තහනම් ත්‍රස්තවාදි සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විමර්ශනයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

ඒ අනුව තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින්, ඊට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ එම රැළියේ සංවිධායකයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අනුරාධපුරයේ පැවති ජන රැළියේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා වේදිකාවට නැග තමන් කොටි සංවිධානයේ සාමාජිකයෙකු බවත් එය ප්‍රවර්ධනය කිරීම සඳහා තමන් පෙනී සිටින බවට ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ බව ඒකාබද්ධ විපක්ෂයේ සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර සඳහන් කරයි.

LTTE සංවිධානය මුළුමනින්ම පරාජය කර රට තුළ සාමය ස්ථාපිත කර ඇති පසුබිමක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ගැසට් නිවේදන මඟින් තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීම බරපතළ වරදක් බවත් එය රටේ මූලික නීතිය උල්ලංඝනය කිරීමක් බවද සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර සඳහන් කරයි.

තවද, ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට අදහස් දැක්වීම සඳහා වේදිකාව සකස් කර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු එම රැළිය සංවිධානය කළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර සඳහන් කරයි.

“පුනරුදයේ පුරවර – 2026” විශේෂ සතිය අරඹයි

“පුනරුදයේ පුරවර – 2026” විශේෂ සතිය අරඹයි

දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් කසළ කලමණාකරණ වැඩසටහන් මෙන්ම රුක් රෝපණ වැඩසටහන් ඇතුළු විවිධ පරිසර සහ ප්‍රජා හිතකාමී වැඩසටහන් සංවිධානය කර පැවැත්වීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අද (14) දින සිට 2026 සැප්තැම්බර් (19) වන දින දක්වා විශේෂ සතියක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති මාලාව අනුව ක්‍රියාත්මක කරනු ලබන මෙම ජාතික වැඩසටහන “පුනරුදයේ පුරවර” නම් තේමාව යටතේ පසුගිය වසරේද අතිසාර්ථකව පවත්වන ලැබූ අතර මෙම වසරේ වඩාත් සැලසුම්සහගතව මහජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාවට නැගීමට සියලු කටයුතු සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පතිතුමන්ගේ උපදෙස් පරිදි පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශීය පොලිස් ස්ථාන සම්බන්ධීකරණය කරගනිමින් මෙම වැඩපිළිවෙල සඳහා සක්‍රියව දායක වේ.

2026.08.24 වන දින කොළඹ 02, යූනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේදී මෙම විශේෂ සතියක කාලය පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ආර්. ඒ. ආර්. එන්. රාජපක්ෂ සහ පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා සහභාගී වෙමින් ශ්‍රී ලංකා පොලිසියේ සැලසුම් සහ කාර්යභාරය ඉටුකිරීමේ අදියර පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

සාමාන්‍ය පෙළ විෂයන් ගණන අඩු කරයි.. උසස් පෙළට 3ක් එකතු කරයි

සාමාන්‍ය පෙළ විෂයන් ගණන අඩු කරයි.. උසස් පෙළට 3ක් එකතු කරයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.

එහිදී සාමාන්‍ය පෙළ විෂයන් 7ක් දක්වා අඩු කිරීමට සැලැසුම් කර ඇති බවත් 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර් ඇතුළත් කිරීමටත් සැලසුම් කර ඇති බව අනාවරණය විය.

මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර ඇත.

සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති බවත් ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද මෙහිදී සඳහන් විය.

පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බවද අනාවරණය විය.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට මෙහිදී ප්‍රකාශ වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එයාර් බස් ගනුදෙනුව – නාමල්ට තව දින ⁣දෙකයි

එයාර් බස් ගනුදෙනුව – නාමල්ට තව දින ⁣දෙකයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතා වලට අදාළව  මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් (16) වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (14) නියෝග කළේය.

එයාර් බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසමෙන් පසුගියදා අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

රාජිතගේ නඩුවට දුන් නියෝගය

රාජිතගේ නඩුවට දුන් නියෝගය

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (14) දින කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත් අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි.

එහිදී විත්තිය පාර්ශවයේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීම සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස (17) වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය 2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.එස්. අබ්දුල් වාහිද් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අද (14) දින ඉල්ලා අස්වී ඇත.

අද (14) දිනයේ සිට මන්ත්‍රීවරයාගේ එම ඉල්ලා අස්වීම බලාත්මක බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් මහ ලේකම් හංස අබේරත්න මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇත.

සිරදඬුවම් නියම වු පියංකරට රැකියාවක්

සිරදඬුවම් නියම වු පියංකරට රැකියාවක්

වසර 7ක් සිරදඬුවම් නියම කෙරුණු හිටපු අමාත්‍ය පියංකර ජයරත්න බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩට යොදවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මේ වනවිට බන්ධනාගාරයේ මුද්‍රණ කටයුතු පිළිබඳව වැඩ පාටියේ සේවයේ නිරත වෙයි.

සිරදඬුවම් නියම කෙරෙන දේශපාලනඥයන් වැඩි වශයෙන් බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩට යොදවයි.

සිය දේශපාලන ආධාරකරුවන් පිරිසකට ශ්‍රී ලංකා කේටරින් සමාගමේ මුදලින් රුපියල් 330,000ක මුදලක් වැය කර මාරවිල ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වීමෙන් රජයට පාඩු කිරීම සහ ශ්‍රි ලංකන් කේටරින් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ඒ සඳහා පෙළඹවීම ඇතුළු චෝදනා දෙකකට හිටපු අමාත්‍ය පියංකර ජයරත්න වරදකරු කෙරුණේය.

මේ අතර දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් දූෂණ චෝදනා සම්බන්ධ නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් (12) වැනිදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

සිපෙට්කෝ ඉන්ධන මිලේ වෙනසක්.?

සිපෙට්කෝ ඉන්ධන මිලේ වෙනසක්.?

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබුණද, මෙරට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

එනිසා ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සැප්තැම්බර් මාසය අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

පවතින තත්ත්වය හමුවේ කටයුතු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් රජයට කරුණු වාර්තා කර ඇති අතර එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පෞද්ගලික ඉන්ධන සමාගම් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබුණද රටේ පාරිභෝගිකයා කෙරෙහි ද අවධානය යොමු කරමින් අවසන් තීරණය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සෑම මසකම අවසානයේ සිදුකරන මිල සංශෝධනය පරිදි, පවතින තත්ත්වයන් සහ සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බලා මෙම මස අවසානයේදී ඊට අදාළ ඉදිරි පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සමයේ මෙන් රජය මැදිහත් වී ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ මිල ගණන් සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීම වැනි ක්‍රමවේද කිහිපයක් ඔස්සේ අවධානය යොමුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අද (14) දින පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

Follow WhatsApp Channel