Local news

කුදලාගෙන ආ බස් ලලිත් වමාරයි

කුදලාගෙන ආ බස් ලලිත් වමාරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ලලිත් ගන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තා පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

ඒ අනුව බස් ලලිත් නැමැත්තා විසින් සිදුකරන ලද ඝාතන රැසක තොරතුරු මේ වනවිට විමර්ශන නිලධාරීන්ට අනාවරණය කර ඇත.

බස් ලලිත්ගේ මෙහෙයවීම මත අවස්ථා 5කදී පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කර ඇතැයි සැකකරන බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් (18) වනදා බූරු මූණා නම් වෙඩික්කරු ලවා ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඇත්තේ කප්පම් ලබා නොදීම මත බව බස් ලලිත් මූලික ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

තමන්ට කිසිඳු රැකියාවක් නොමැති අවස්ථාවක බස් කොන්දොස්තර රැකියාවක් ලබාදුන් වජිර නිශාන්ත නැමැත්තා 2024 වසරේ සැප්තැම්බර් (30) වනදා ඝාතනය කරනු ලැබුවේ, ද කප්පම් මුදල් ලබා නොදුන් නිසා බවද ඔහු පවසා ඇත.

තවද 2025 වසරේදී මුදුන්කොටුවගේ දොන් ශාන්ත හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා ඝාතනය කළේ, දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ නිසා බවද ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

බනා මන්ත්‍රී නැමැත්තා, ඔහු සමීපව ආශ්‍රය කළ ව්‍යාපාරිකයන් පස් දෙනෙකුගේ දුරකථන අංක තමන්ට ලබාදී තමා ඔවුන්ගෙන් කප්පම් ඉල්ලූ පසු එම මුදල් ලබාගෙන ඉන් කොටසක් තමන්ට ලබාදෙන්නැයි ඉල්ලා සිටි බවද ඔහු පවසා ඇත.

පසුව ඔහු තම ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියකට එම දුරකථන අංක ලබාදීම හේතුවෙන් බනා මන්ත්‍රී නැමැත්තාව ඝාතනය කළ බවද මේ වන විට වාර්තා වේ.

2023 වසරේ නත්තල්දා මන්නා රොෂාන් හා ඔහුගේ සමීපතමයෙකු ඝාතනය කළේ, ඔහු දිගින් දිගටම අනවශ්‍ය ලෙස කතාබහ කිරීම නිසා බවද බස් ලලිත් නැමැත්තා පවසා ඇත.

තමාගේ කප්පම් එකතු කරන්නෙක් තමා උපදෙස් දෙන මුදලට වඩා වැඩි කප්පම් මුදල් ලබාගැනීම හේතුවෙන් ඔහු ඝාතනය කළ බවද සැකකරු පවසා ඇත.

22ට සහාය පළ කරමින් පෙත්සමක්

22ට සහාය පළ කරමින් පෙත්සමක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ජනතා පරමාධිපත්‍යය හෝ අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදුනොවන බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව එම පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

නව රාජ්‍යතාන්ත්‍රිකයෝ 11ක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

නව රාජ්‍යතාන්ත්‍රිකයෝ 11ක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04 දෙනෙකු අද (25) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

මෙම නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු පිරිස පිළිවෙළින්, බ්‍රසීලය, බංග්ලාදේශය, චීනය, ඔස්ට්‍රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් රාජ්‍යය, ඝානාව, බෲනායි ඩාරුසලාම්, සුඩානය, ගයනාව සහ පැනමා රාජ්‍යය නියෝජනය කරති.

ඒ අනුව අද දින ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පහත පරිදි.

තානාපතිවරුන් ලෙස :

  • Jorge Geraldo Kadri – බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ තානාපති
  • Wei Huaxiang – චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති
  • ආචාර්ය Robert Zischg – ඔස්ට්‍රියා ජනරජයේ තානාපති
  • Eric S. Meyer – අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති
  • Francisco Manuel Comprés Hernández – ඩොමිනිකන් ජනරජයේ තානාපති
  • ආචාර්ය Mohammed Abdalla Ali Eltom – සුඩාන් ජනරජයේ තානාපති
  • Nubiela Yanarith Ayala – පැනමා ජනරජයේ තානාපති

මහ කොමසාරිස්වරුන් ලෙස:

  • D.M. Salahuddin Mahmud – බංග්ලාදේශ ජනරජයේ මහකොමසාරිස්
  • මහාචාර්ය Kwasi Obiri-Danso – ඝානා ජනරජයේ මහකොමසාරිස්
  • Siti Arnyfariza Md Jaini – බෲනායි ඩාරුසලාම්හි මහකොමසාරිස්
  • Dharamkumar Seeraj – ගයනා සමූපකාර ජනරජයේ මහකොමසාරිස්
මහින්දානන්දගේ බාල පොහොර නඩුව කැඳවයි.. අධිකරණයෙන් නියෝග

මහින්දානන්දගේ බාල පොහොර නඩුව කැඳවයි.. අධිකරණයෙන් නියෝග

චීන සමාගමකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් අඩංගු නෞකාවක් මෙරටට ආනයනය කිරීම මඟින් රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.7කට අධික පාඩුවක් සිදු කිරීම.

රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.7කට අධික පාඩුවක් සිදු කිරීමට සැකපිට අල්ලස් කොමිසම විසින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුකරය අද (25) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වු අතර සිරදඬුවම් විඳිමින් සිටින මහින්දානන්ද අලුත්ගමගේව මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.  

එහිදී විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බැවින්, විමර්ශන අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, අදාළ නඩුව නැවත දෙසැම්බර් මස (04) වන දින කැඳවන ලෙසට නියෝග කළ අතර එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද අල්ලස් කොමිසමට නියෝග කළේය.

රටේ ජනතාව වෙනුවෙන් ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබේ

රටේ ජනතාව වෙනුවෙන් ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) හෘද හා උරස් කුහර ශල්‍යකම සේවා පුළුල් කරමින්, එහි පවතින දිගු රෝගී පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීම සඳහා වූ විශේෂ ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට (MOU) අද (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් අත්සන් තබන ලදී.

මෙම ඓතිහාසික අවබෝධතා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) අතර අත්සන් තැබුණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී. යූ ධම්මික කුමාර විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින KDU ශික්ෂණ රෝහල සතුව නවීන ශල්‍යාගාර, දියුණු වෛද්‍ය උපකරණ සහ ප්‍රමාණවත් භෞතික ධාරිතාවක් පැවතුණද, විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ සීමිත බව හේතුවෙන් එම සම්පත් වලින් මෙතෙක් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකිව ඇති බව නිරීක්ෂණය වී තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය ඉහළ විශේෂඥ දැනුමකින් සහ අතිනවීන පහසු කම් වලින් යුක්ත වුවද, පවතින අධික ඉල්ලුම හේතුවෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් දිගු කාලීන පොරොත්තු ලේඛනවල පසුවේ.

මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලෙස, ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් (Extension) ලෙස KDU රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ පහසුකම් භාවිතා කිරීමට මෙමඟින් අවස්ථාව සැලසේ.

ඒ අනුව, ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සායනික කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන්, පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් සඳහා KDU රෝහල් පරිශ්‍රයේදී හෘද සැත්කම් සිදු කිරීම සහ විශේෂඥ ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩසටහන මේ හරහා ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය අංශයේ සම්පත් ඒකාබද්ධ කරමින් පොදු ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් දියත් කෙරෙන මෙම සුවිශේෂී වැඩපිළිවෙළ, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැක.

භාවිත කෙරෙන කාලය පාදක (Time of Use) බිල්පත් ක්‍රමයක්

භාවිත කෙරෙන කාලය පාදක (Time of Use) බිල්පත් ක්‍රමයක්

රට තුළ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ ප්‍රයත්නයන් සවිබල ගැන්වීම සඳහා වන අනුපූරක ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවේ සුළු වියදම් මූල්‍යනය පහසුකම හරහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක ණය මුදලක් ලබා ගැනීම පිණිස 2024.10.21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

එම ණය මුදලින් මහඔය පොම්ප කළ ජල ගබඩා විදුලි බලාගාරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සවිස්තරාත්මක සැලසුම සහ ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම පිණිස අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් භාවිත කිරීම පිණිස 2025.09.03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාවේ සුහුරු ජාල නවීකරණය කිරීමේ මූලික ක්‍රියාමාර්ගයෙහි අංගයක් ලෙස, භාවිත කෙරෙන කාලය පාදක (Time of Use) බිල්පත් ක්‍රමයක් සහිත යෝජිත සුහුරු මනු පද්ධති (Smart Meters) 300,000ක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනු ලැබ ඇත.

ඒ අනුව, වසර 02ක කාලසීමාවක් තුළ එකී ව්‍යාපෘතිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගැන තීරණයක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගැන තීරණයක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලය සහ දීපව්‍යාප්ත ශාඛා ජාලය සඳහා ආරක්ෂක සේවාවන් බාහිර සේවා සපයනු ලබන ආයතන වලින් සපයා ගනු ලබන අතර, එම සේවා ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ඒ සඳහා ලංසු 14ක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, 2026.10.01 දින සිට වසර 02ක කාලසීමාවක් සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආරක්ෂක සේවා සපයා ගැනීමේ කොන්ත්‍රාත්තු පහත පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සංවිධානාත්මක අපරාධකරු පද්මේට දුන් නියෝගය

සංවිධානාත්මක අපරාධකරු පද්මේට දුන් නියෝගය

සංවිධානාත්මක අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි කෙහෙල්බද්දර පද්මේ සැප්තැම්බර් මස (03) වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.

මේ අතර රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග නමැත්තා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස (03) වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.

ශ්‍රී ලංකාව ලස්සන කරන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියනයක ප්‍රදානයක්

ශ්‍රී ලංකාව ලස්සන කරන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියනයක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ ස්වභාව ධර්මය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා Tourism for Heritage, Resilience, Inclusion and Value-driven Employment (THRIVE) – Nature ව්‍යාපෘතිය සකස් කිරීමට අමෙරිකානු ඩොලර් මිලියනයක ප්‍රදානයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී ඇත.

ඒ අනුව, ව්‍යාපෘති සූදානම් කිරීමේ ප්‍රදාන පහසුකම (Grant Facility for Project Preparation – GFPP) යටතේ මාස 18ක කාලයක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට නියමිතව ඇත.

ස්වභාව ධර්මය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාව තුළ ඉහළ විභවතාවක් පවතින නමුත්, සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමයෙන් ඉහළ යාමට සාපේක්ෂව සංචාරක ආදායමේ වර්ධනය අඩු මට්ටමක පවතින බව හඳුනාගෙන ඇත.

එනිසා ස්වභාව ධර්මය මත පදනම් වූ සංචාරක ගමනාන්තවල වාසස්ථාන වැඩිදියුණු කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යෝජිතTHRIVE – Nature ව්‍යාපෘතිය මගින් අවධානය යොමු කිරීමට නියමිතය.

එමෙන්ම, ලෝක බැංකු මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමටද මෙම ව්‍යාපෘතිය මගින් සහාය ලබාදෙනු ඇත.

ඒ අනුව, අදාළ ලෝක බැංකු ප්‍රදානය භාර ගැනීමටත්, එම අරමුදල් භාවිත කරමින් යෝජිත THRIVE – Nature ව්‍යාපෘතිය සකස් කිරීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

අභියෝග කරමින් ඉරාජ්, මිලින්ද උසාවි යයි

අභියෝග කරමින් ඉරාජ්, මිලින්ද උසාවි යයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න, මිලින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති වලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවත් ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස එහිදී පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.