Local news

කවුරු ඇඬුවත් අපිට පේන්නේ නෑ.. අපි ඇස් බැඳගෙන ඉන්නේ

කවුරු ඇඬුවත් අපිට පේන්නේ නෑ.. අපි ඇස් බැඳගෙන ඉන්නේ

කවුද, කින්ද, මන්ද කියන එක අපිට වැඩක් නැති බවත් කවුරු ඇඬුවත් ඒක අපට පේන්නේ නැති බවත් අපි ඇස් බැඳගෙන සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එනිසා කවුරු කුමන තරාතිරම්වල සිටියත් බලය පාවිව්වි කරමින් සිදුකළ අක්‍රමිකතා වලට නීතිය ක්‍රියාත්මක වෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“නීත්‍යානුකූලව විර්මශන කරලා, අධිකරණයට ගිහින් නඩුවක් විභාග කරලා දඬුවම් දෙන එක ආණ්ඩුවේ කාර්‌යභාරයයි. අපි ඒ පරිසරය සම්පූර්‌ණයෙන්ම සකස් කරලා දීලා තියෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ පරීක්ෂණ කරන නිලධාරීන් සහ අධිකරණය හමුවේ.

නීතිය විධිමත්ව සිද්ධ වෙනවා. අපි ඒ වෙනුවෙන් ඇස් බැඳගෙන ඉන්නේ. කවුරු ඇඬුවත්, කොහොම ඇඬුවත් අපිට ඒක පෙනෙන්නේ නැහැ. පුතා ගිහින් තාත්තා ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. නැන්දම්මා අසනීපෙන් කියලා ලේලි ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ.

අනුරාධපුරේ ඉන්න නෝනා ඇතුළේ, මහත්තයා එළියේ ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. මොකද, අපි ඒ ආයතනවලට ස්වාධීනව වැඩ කරන්න බලතල දීලා තියෙන්නේ. කවුද, කින්ද, මන්ද කියන එක අපිට වැඩක් නැහැ. බලය පාවිච්චි කරලා කරපු අක්‍රමිකතා වලට නීතිය ක්‍රියාත්මක වෙනවා.”

පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ භෂ්මාවශේෂ පා කර යවයි

පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ භෂ්මාවශේෂ පා කර යවයි

මෙරට සංස්කෘතියේ එක් සුවිශේෂී සංකේතයක් මෙන්ම මුළු ශ්‍රී ලංකාවටම මවක් බඳු චරිතයක් වු අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැළණි නදියේ පා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරයි.

තමන්ගේ මරණෙන් පසුව භෂ්මාවශේෂ තැන්පත් කර ස්මාරක ඉදි නොකරන ලෙසට ආචාර්ය නන්දා මාලිනිය ජීවත්ව සිටියදී කළ ඉල්ලීමට අනුව භෂ්මාවශේෂ කැලණි නදියේ පා කර ඇත.

එම ඉල්ලීමට අනුව නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ ඇයගේ ඥාතීන් විසින් පසුගිය (12) වනදා කැලණි නදියට මුදා හළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරයි.

ලංකාවේ ප්‍රසිද්ධ වෙළෙඳසැල් ඇතුලේ රහසිගත ජාවාරමක් හෙළිවෙයි

ලංකාවේ ප්‍රසිද්ධ වෙළෙඳසැල් ඇතුලේ රහසිගත ජාවාරමක් හෙළිවෙයි

මෙරට ප්‍රසිද්ධ ඇඟලුම් හා විලාසිතා වෙළෙඳසැල් ජාලයකින් මිලදී ගන්නා ලද පාවහන්වල බිල්පත් ඔස්සේ සිදුකළ දීර්ඝ පසු විපරමකින් අනතුරුව, 2026 සැප්තැම්බර් (11) දින දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රහසිගත පාවහන් නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් වටලා ඇත.

චීන අකුරු සහ “Made in China” ලේබලය සහිත පෙට්ටියක බහා තිබීම හේතුවෙන් ඉහළ මුදලක් ගෙවා මිලදී ගන්නේ ආනයනික පාවහන් යුවළක් යැයි පාරිභෝගිකයා විශ්වාස කළ හැකි වුවද, විමර්ශනයේදී තොරතුරු රැසක් අනාවරණය විය.

නිමි පාවහන් සඳහා අදාළ ආනයන බදු මඟහැරීමේ අරමුණින් පාවහන්වල අඩි සහ අනෙකුත් කොටස් අමුද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කර වෙන වෙනම මෙරටට ගෙන්වා ඇති අතර එම කොටස් දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ පිහිටි රහසිගත ස්ථානයකදී එකලස් කර අලවා සම්පූර්ණ පාවහන් බවට පත්කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත.

අනතුරුව මෙරටදී එකලස් කළ පාවහන්වල සැබෑ නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය සඳහන් නොකර “Made in China” ලෙස ලේබල් කර, ප්‍රසිද්ධ වෙළෙඳසැල් ජාල වෙත බෙදාහැර ඇති බවට ද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් නීත්‍යානුකූලව බදු ගෙවමින් සාධාරණ වෙළෙඳාමේ නිරත වන දේශීය නිෂ්පාදකයින් සහ ව්‍යාපාරිකයින්ටද මෙවැනි ක්‍රියා හේතුවෙන් අසාධාරණ වෙළෙඳ තරඟයකට මුහුණ දීමට සිදුවේ.

පාරිභෝගිකයා භාණ්ඩයේ සැබෑ නිෂ්පාදන මූලාශ්‍රය පිළිබඳ නොමඟ යැවීමට ලක්විය හැකි අතර, පාවහන්වල දෝෂයක් ඇති වූ අවස්ථාවක වගකීම දරන නිෂ්පාදකයා හඳුනාගැනීමද අපහසු විය හැකිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර එම විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

යාල අද සිට වසා දමයි

යාල අද සිට වසා දමයි

යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප (Blocks 1 & 2) අද (14) දින සිට තාවකාලිකව සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර අද (14) සිට ඔක්තෝබර් මස (15) වැනිදා දක්වා වූ මාසයක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක වනු ඇත.

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් යාල වනෝද්‍යානයේ ජල මූලාශ රැසක්ද සිඳී ගොස් ඇති අතර මේ හේතුවෙන් වනෝද්‍යානයේ වාසය කරන සත්වයින්ටද දැඩි ලෙස පානීය ජල ගැටලුවක් මතුව ඇත.

මෙහි සංචාරක ආකර්ෂණය වැඩිම කාලය අගෝස්තු සිට මාර්තු දක්වා වන අතර මෙවර සංචාරක සමයට එල් නිනෝ තත්ත්වය දැඩි ලෙස බලපා ඇත.

යාල වනෝද්‍යානය තුළ ක්ෂීරපායී විශේෂ 44ක්, පක්ෂීන් 215ක්, උරගයින් 47ක් සහ මතස්‍යය විශේෂ 21කගේ වාසස්ථානයක් වේ.

“ආත්ම ගෞරවයේ සටන ආරම්භ කළා.. අපිත් එක්ක එකතු වෙන්න” අමාරුවෙන් ආ මහින්ද

“ආත්ම ගෞරවයේ සටන ආරම්භ කළා.. අපිත් එක්ක එකතු වෙන්න” අමාරුවෙන් ආ මහින්ද

ජනතාව සතුටින් ආරක්ෂිතව ජීවත්වන යුගයක් නැවත ගොඩනැඟීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

එනිසා අපගේ සංස්කෘතිය, අනන්‍යතාවය සහ දේශීයත්වය රැක ගනිමින් සංවර්ධිත දේශයක් ගොඩනැගීම සඳහා ඔබ සැමට ආරාධනා කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පහතින්..

“ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් (12) දින අපි ආරම්භ කරනු ලැබුවේ අප මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජන සටනයි. අපට ශක්තියක් වූ ඔබ සැමට ආචාර කරමි. මගේ ජනතාවට ස්තුතියි.

අනුරාධපුර රාජධානියේ කතාව අපට සිහිපත් කරන්නේ මහා ශිෂ්ටාචාරයක කතාවයි. ආක්‍රමණ, ප්‍රතිරෝධ, පාවාදීම් මෙන්ම බිඳවැටීම් තුළින් යළි නැගී සිටීමේ කතාවයි. එම අතීත කතාව වර්තමානයට ද අදාළ යැයි මට සිතේ. මේ රටේ සෑම පුරවැසියෙකුට ම තමන් උපන් බිම පිළිබඳ ආදරයක් තිබිය යුතුය.

අපේකම යන හැඟීම තිබිය යුතුය. රටක් ලෙස ගත්විට රටක බාහිර හතුරාට වඩා ඇතුළත ඉන්න හතුරා භයානක බව මාගේ විශ්වාසයයි. තමන්ගේ රට පුද්ගලික වාසියට පාවා දෙන්නා භයානකයි. පාවාදීම සාධාරණීකරණය කරමින් අසත්‍ය සමාජගත කරන්නා අතිශය භයානකයි.

ඔබ සැමගේ සහයෝගයෙන් සහ ශක්තියෙන් මම අපගේ මව්බිම සුරක්ෂිත කර ගොඩනැගුවෙමි. අපේ ජනතාව සතුටින් ආරක්ෂිතව ජීවත්වන යුගයක් නැවත ගොඩනැඟීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අරමුණ බව ප්‍රකාශ කරමි.

අතීතයේ මෙන් අපගේ සංස්කෘතිය, අනන්‍යතාවය සහ දේශීයත්වය රැක ගනිමින් සංවර්ධිත දේශයක් ගොඩනැගීමට ඔබ සැමට ආරාධනා කරමි.

මෙම කටයුතු මැනවින් සංවිධානය කළ සැමට මාගේ ප්‍රණාමය පුද කරමි. වැඩමවා වදාළ මහා සංඝරත්නයට සහ අන්‍යාගමිනක පූජක උතුමන්ට නමස්කාර පූර්වකව ස්තුති වන්ත වෙමි.

පැරණි දේශපාලන සගයන්ට සහ නව බලාපොරොත්තු රැගෙන පැමිණි නවක දේශපාලන තරුණ පිරිසට මම හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරමි. විශේෂයෙන්ම අනුරාධපුර නගරට පැමිණි අප හිතවත්, මාතෘ භූමියට ආදරය කරන ඔබ සැමට ස්තුති වන්ත වෙමි.

පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් තුළ වුවත්, පීඩාවන් ඉවසමින් ඔබ සැම එහි රැඳී සිටි අයුරු මම දුටුවෙමි. ඔබ සැම බොහෝ අපහසු අවස්ථාවන් රැසක් දරා ගත් බව දනිමි. රජරට ජනතාවට ස්තුතියි.

සැමදා අපට ශක්තියක් වූ ශ්‍රි ලාංකික ඔබ සැමට ස්තුතියි. දුෂ්කරම අවස්ථාවන්හිදී පවා ඔබ ලබාදෙන ජනාදරයට ස්තුතියි.”

බන්ධනාගාරයේ ටිකට් එක ඇදෙනකොට ඥනසාර හිමි අතුරුදන්

බන්ධනාගාරයේ ටිකට් එක ඇදෙනකොට ඥනසාර හිමි අතුරුදන්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට 2019 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කිරීමෙන් පසුව, උන්වහන්සේ මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

වසර හයක සිරදඬුවමෙන් ඉතිරි කොටස ගෙවීම සඳහා නැවත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස බන්ධනාගාර නිලධාරීන් ඥනසාර හිමිගේ රාජගිරිය නාවල විහාරස්ථානය වෙත ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අතුරුදන් ඥනසාර හිමි මේ වනවිට වැඩවසන ස්ථානයක් පිළිබඳව තමන් නොදන්නා බව විහාරස්ථානයේ වැඩසිටින සෙසු හිමිවරුන් බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

උඩින් ගියපු නාමල්ට වෙච්ච දේ.. අවුරුදු දෙකට නඩු දෙකයි

උඩින් ගියපු නාමල්ට වෙච්ච දේ.. අවුරුදු දෙකට නඩු දෙකයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මිලදී ගැනීමට අදාළව පවතින නඩු දෙකේ, පසුගිය 2020 වසරේ මුලින්ම පැවරූ නඩුවේද සැකකරුවෙක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

ආන්දෝලනාත්මක ශ්‍රී ලංකන් ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් නඩු 02ක් මේ වනවිට විභාග වෙමින් පවතියි.

1.මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 2020 වසරේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුව

2.මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2026 වසරේ සැප්තැම්බර් (04) වැනිදා පැවරු නඩුව

මුලින්ම 2020 වසරේ පැවරු නඩුවට අදාළව සැකකරුවන් ලෙස නම් කර සිටියේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනායි.

පසුව 2026 වසරේ පෙබරවාරි (02) වනදා හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත්‍රයෙක් වන ශමින්ද රාජපක්ෂ තුන්වන සැකකරු ලෙස නම් කළ අතර ඔහුට මේ වනවිට රතු වරෙන්තු නිකුත් කර ඇත.

මේ වනවිට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කරන ලෙසයි.

මෙම නඩුව පසුගිය පෙබරවාරි අවසානයේ කැඳවු අවස්තාවේදි මෙම නඩු ගොනුව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා ගොනුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව එළඹෙන සතියේදී මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව කැඳවා නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියමිතය.

මේ අතර අනෙක් නඩුව වන්නේ,

2026 වසරේ සැප්තැම්බර් (04) වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරු නඩුවකට අදාළව මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාරගත කර ඇත.

එම නඩුවේ චෝදනාව වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීම වේ.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවුයේ යැයි කියන අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය යන සිදුවීම් වලට අදාළ නඩු දෙකේම නාමල් රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කර ඇත.

අවසන් මොහොතේ තනි වු දයාසිරි ජාත්‍යන්තරයට යයි

අවසන් මොහොතේ තනි වු දයාසිරි ජාත්‍යන්තරයට යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

සැප්තැම්බර් (10) වන දින පාර්ලිමේන්තුවේදී මතු කිරීමට උත්සාහ කළ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කථානායකවරයා විසින් අවස්ථාව ලබා නොදීම සහ ඊට බාධා කිරීම පදනම් කර ගනිමින් මෙම පැමිණිලි සිදුකර ඇත.

රුමේෂ් තරංගගේ නම රන් අකුරින් ලියවෙයි

රුමේෂ් තරංගගේ නම රන් අකුරින් ලියවෙයි

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය.

ඒ අනුව රුමේෂ් තරංගගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි.

ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන මෙම ශුරතාවලියේදී රුමේෂ් තරංග මීටර් 91.09ක දුරක් වාර්තා කළේය.

මෙම විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් විය.

ආණ්ඩුවට එරෙහිව විශාල ජනතාවක් කොළඹට එනවා.. සූදානම් වෙන්න

ආණ්ඩුවට එරෙහිව විශාල ජනතාවක් කොළඹට එනවා.. සූදානම් වෙන්න

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැවැන්ත ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඒ අනුව ආණ්ඩුවේ පාලනයට එරෙහිව තබන ප්‍රබලතම පියවර ලෙස ලබන සැප්තැම්බර් (24) වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

රජය 22 වැනි සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය විනාශ කරමින් තනි පක්ෂ පාලනයක් ඇති කිරීමට උත්සාහ කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

රජයේ මෙම වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා සියලු ප්‍රගතිශීලී ජනතාවගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

අද (13) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කරයි

Follow WhatsApp Channel