Local news

දේශපාලන හයිය පෙන්නා දයා ගමගේ රුපියල් මිලියන 974ක් ගත්ත හැටි

දේශපාලන හයිය පෙන්නා දයා ගමගේ රුපියල් මිලියන 974ක් ගත්ත හැටි

රටේ ජනතාවගේ නිවාස බලාපොරොත්තුව ඉටු කරගැනීම සඳහා සහනදායි පදනමට ණය ලබාදීමට ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථාවෙන් හිටපු ඇමති දයා ගමගේට අයත් ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 974ක ණය ලබාදී ඇතැයි හෙළිවී ඇත.

මෙම ණය මුදල ලබාගෙන ඇත්තේ දේශපාලන බලපුළුවන්කාරකම් ඇති පුද්ගලයින් ලෙස බැංකුවට කළ බලපෑම් වලින් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව යටතේ ඇති අනු කමිටු රැස්වීමකදී අනාවරණය විය.

මේ අතර පසුගිය 2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍යමය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් හිටපු අමාත්‍ය දයා ගමගේට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ශිරානි බණ්ඩාරනායක සිද්ධියත් එක්ක මහින්දගේ ආණ්ඩුව කඩා වැටුනා

ශිරානි බණ්ඩාරනායක සිද්ධියත් එක්ක මහින්දගේ ආණ්ඩුව කඩා වැටුනා

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශිරානි බණ්ඩාරනායක සිද්ධිය හේතුවෙන් යම් පසුබෑමකට ලක්වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

කුරුණැගල පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“දේශපාලන ව්‍යාපාර බිදවැටෙන්න හේතු ගොඩක් තියෙනවා. සමහර ඒවායේ ආණ්ඩු විසින් ගන්න තීන්දු තීරණ බලපාන අවස්ථාවන් තියනවා. සමහර ඒවට ඒ එක්කම, පහුගිය ආණ්ඩුවල කාලසීමාවක් තුළදී ආපු කාරණාත් තියනවා.

හැබැයි ඉස්සරහට ඉතිහාසය කෙසේ වෙතත් අනාගතයේදී ඕනෑම දේශපාලන බලවේගයක් බිඳවැටෙන්න පුළුවන් දේශපාලන බිඳවැටීම් ඉතිහාසෙම වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණය පද්ධතිය එක්ක හැප්පෙන එකෙන්.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙත් ශිරානි බණ්ඩාරනායක සිද්ධියත් එක්ක අපි යම් පසුබෑමකට ලක්වුණා. එතන තමයි අපේ වැටීම පටන් ගත්තේ.”

ලෝකය අල්ලන්න සැරසෙන චීන “Bilibili” සමාජ මාධ්‍ය

ලෝකය අල්ලන්න සැරසෙන චීන “Bilibili” සමාජ මාධ්‍ය

ලොව පුරා සිටින වීඩියෝ නිර්මාණකරුවන් සහ නරඹන්නන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් චීනයේ YouTube ලෙස ප්‍රකට Bilibili වීඩියෝ ප්ලැට්ෆෝමය සිය සේවාවන් ජාත්‍යන්තර ඩිජිටල් අවකාශය වෙත ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.

YouTube, Twitch සහ Reddit යන සේවාවන්හි එකතුවක් ලෙස සැලකෙන Bilibili, මේ වනවිට මාසිකව සක්‍රීය පරිශීලකයින් (MAUs) මිලියන 370 කට අධික සංඛ්‍යාවක් භාවිත කරනු ලබන අතර එයින් 80% කට වැඩි ප්‍රමාණයක් Gen Z සහ Millennial පරම්පරාවල තරුණ නරඹන්නන් වේ.

පසුගිය 2009 වසරේදී ඇනිමේ (Anime) සහ වීඩියෝ ගේමින් (Video Gaming) ලෝලීන් සඳහා වූ සංසදයක් ලෙස ආරම්භ වූ Bilibili, පසුකාලීනව තාක්ෂණය, අධ්‍යාපනය, සංගීතය සහ ජීවන රටා (Lifestyle) අන්තර්ගතයන් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය විය.

තවද, මීට පෙර විදේශීය නිර්මාණකරුවන්ට Bilibili වෙත ලියාපදිංචි වීමේදී පැවැති සංකීර්ණ අනන්‍යතා තහවුරු කිරීමේ (ID verification) සීමාවන් ලිහිල් කරමින්, වඩාත් පහසු ජාත්‍යන්තර යෙදවුමක් (International App) හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත.

එහෙත්, ප්‍රකාශන හිමිකම් නීති (Copyright issues), දත්ත ආරක්ෂණ රෙගුලාසි සහ YouTube හි පවතින ගෝලීය ආධිපත්‍යය හමුවේ Bilibili හි මෙම ජාත්‍යන්තර ව්‍යාප්තිය අභියෝගාත්මක වනු ඇති බව ක්ෂේත්‍රයේ විචාරකයෝ සඳහන් කරයි.

විශාල වංචා දූෂණ කළාට මහින්ද හයිවේ හැදුවා

විශාල වංචා දූෂණ කළාට මහින්ද හයිවේ හැදුවා

පසුගිය 2010 වසරෙන් පසුව විශාල වශයෙන් වංචා හා දූෂණ සිදුවූ බවත් හිතුමනාපෙට මිනිස්සු සල්ලි හොයාගත්ත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කර රටට විශාල සංවර්ධනයක් ගෙන ආ නමුත් වංචා දූෂණ වැනි අර්බුද හේතුවෙන් 2015 වසරේදී පරාජයට පත්වු බවද මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.

මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ,

“මහින්ද යුද්ධයට යුදමය විසඳුමක් දෙනවා. රටේ තිබ්බ යුද්ධය ඉවර කරනවා යුද්දෙන්. ඊට පස්සේ මිනිස්සු තීරණය කරනවා 2010 යළි ජනවරමක් දෙන්න. වැඩක් කළා දුන්නා. වැඩක් කළා සාම ගිවිසුමෙන්.

රනිල් ලෝකෙට අරන් ගිහිල්ලා කරුණව කඩලා සාම සාකච්ඡා වලට අරගෙන ප්‍රභාකරන්ව එළියට අරගෙන ආර්ථිකය වැටිලා තියෙන වෙලාවේ යන්තම් ආර්ථිකය යුද්දෙ බ්‍රේක් කරගෙන මෙහෙන් ආර්ථිකය උස්සලා වැඩක් කළා රනිල්.

හැබැයි මිනිස්සු අකමැති වුණා. පැරැද්දුවා. මහින්ද යුද්දේ දිනුව. 2010 ආයේ ජන්දේ දිනුවා. 2010න් පස්සේ හයිවේ ටික හැදුවා, පාරවල් හැදුවා. වංචා දූෂණ විශාල ප්‍රමාණයක් ඒ කාලසීමාවේ සිද්ධ වුණා. දැනුත් ඒ චෝදනා පිළිබඳව සැරින් සැරේ එනවා.

හිතුමනාපෙට මිනිස්සු සල්ලි හොයා ගත්තා. ඒ හොයපු දේවල් අපිව නැහැයි කියන්නේ නැහැ. හැබැයි එයා මේ පාරවල් හදලා හයි වේස් හදලා, පාරවල් කාපට් කරලා, පෝර්ට්සිටිය හදලා වැඩ වගයක් කළා. කරද්දි කරද්දි කරද්දි වෙච්ච අතපසුවීම් නිසා 2015 පැරැද්දුවා.”

නීතීඥ සංගමයේ සභාපතිට වහාම ඉල්ලා අස්වෙන්න කියයි

නීතීඥ සංගමයේ සභාපතිට වහාම ඉල්ලා අස්වෙන්න කියයි

දේශපාලන අවශ්‍යතාව මත මෙරට ප්‍රමුඛතම වෘත්තීය සංවිධානයක් වන ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙහෙයවන එහි සභාපති නීතිඥ රජිව් අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතු බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය අද (24) දින එම සංගමය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී නිහඩ විරෝධතාවක නිරත වු අතර එහිදී ඔවුන් ප්‍රකාශ කළේ වත්මන් සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

නීතීඥ සංගමයේ සභාපතිවරයා මෙහෙය වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් බැවින් වහාම නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය සමකැඳවුම්කරු නිරුක්ෂ කුමාර සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය සමකැඳවුම්කරු නිරුක්ෂ කුමාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ හැසිරීම අපි දැක්කා. ඔහු සම්පුර්ණයෙන්ම දේශපාලන ක්‍රියාකාරකම් වල ඔහු යෙදුනේ. ඔහු දේශපාලන රූකඩයක් බවට පත්වෙලා. නීතීඥ සංගමයට නොගැලපෙන ආකාරයට තමයි ඔහු කටයුතු කරේ.

අපි දැක්කා ඔහු රනිල් වික්‍රමසිංහ එක්ක පසුගියදා යම්කිසි සාදයකට ගිහිල්ලා හවානා සුරුට්ටුවක් බිබී ඔහුත් එක්ක බොහොම ලබැදියාවෙන් ඉන්නවා. එහෙම ඉන්න කෙනෙක් තමයි මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කටයුතු කරන්නේ.

අපිට බොහොම පැහැදිලියි නීතීඥ සංගමයේ සභාපතිවරයා මෙහෙය වන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂය කියන කණ්ඩායම්. එනිසා අපි කියන්නේ වහාම නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතුයි.”

නව රේල් පීලි 10,000ක් කොළඹ වරායට

නව රේල් පීලි 10,000ක් කොළඹ වරායට

මැදපෙරදිග පැවති යුදමය තත්ත්වය හේතුවෙන් යම් කාලයක් ප්‍රමාද වූ රේල් පීලි ඇණවුම (23) දින කොළඹ වරායට ළඟා වූ අතර ඒවා ගොඩබෑමේ කටයුතු සිදු කරමින් පවතියි.

මෙම රේල් පීලි 10,000න් 5,000කට ආසන්න ප්‍රමාණයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වේග සීමා පනවා ඇති ස්ථානවල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය.

ඒ අනුව, කොළඹ කොටුව සිට පානදුර දක්වා ස්ථාන 50කට ආසන්න ප්‍රමාණයක නව රේල් පීලි යොදා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති අතර එම කටයුතු සඳහා මාස 6ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම රේල් පීලි මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2,000ක පමණ දේශීය අරමුදල් වැය කර ඇති අතර මීට සමගාමීව දුම්රිය පාලම් ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් පවතී.

මෙම කටයුතු අවසන් වීමත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාස්කු නඩුවේ අවසන් තීන්දුව

පාස්කු නඩුවේ අවසන් තීන්දුව

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චූදිතයින් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස (22) වැනිදා ප්‍රකාශයට පත්කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධව කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,000 කට අධික සංඛ්‍යාවක් යටතේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් විසින් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම පසුගිය (17) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ කළේය.

කොළඹ කොටුව ලස්සන කරන්න සියල්ල සූදානම්

කොළඹ කොටුව ලස්සන කරන්න සියල්ල සූදානම්

ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan ඇතුළු නියෝජිත කණ්ඩායමත්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (24) පැවැත්විණි.

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී මතුවූ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙනුත්, කෘෂි ව්‍යාපාර, වරාය සහ සැපයුම් සේවා මෙන්ම බලශක්ති යන ක්ෂේත්‍රයන්හි අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමටත් අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවද ලෝක බැංකු නියෝජිතයෝ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.

එමෙන්ම, කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට මෙන්ම ස්වභාවික සෞන්දර්ය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, උතුරු නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙනුත් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී Stephan Massing, ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ දස අවුරුදු ඩිජිටල්කරණය

ශ්‍රී ලංකාවේ දස අවුරුදු ඩිජිටල්කරණය

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් ගත 2025 – 2035 දස අවුරුදු ඩිජිටල්කරණ ඒකාබද්ධ ආයතනික සහභාගිත්ව සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම.

එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පැවැත් වූ අමාත්‍යාංශයීය උපායමාර්ගික සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව (23) දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙහිදී The “Symposium on – Integrated Transport, Highways and Urban Development For Sri lanka” ඒකාබද්ධ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සහ තිරසර සංවර්ධන සැලැස්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, රාජ්‍ය ආයතනයන්ට ඩිජිටල් ප්‍රවේශයේ අත්‍යාවශ්‍ය බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සඳහන් කරයි.

ආණ්ඩුවේ මන්ත්‍රී ළඟට යන විපක්ෂයේ රහසිගත මෙහෙයුම

ආණ්ඩුවේ මන්ත්‍රී ළඟට යන විපක්ෂයේ රහසිගත මෙහෙයුම

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබාගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම පනත් කෙටුම්පත් වලට එතරම් කැමැත්තක් නොදක්වන ‌බවට දැනගන්න ලැබීමත් සමඟ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙම රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර එම මන්ත්‍රීවරුන්ගේ සහය ගැනීමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පත්කර ඇති බවද වාර්තා වේ.

එම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ හිතවත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එලෙස පත්කර ඇති බවද වාර්තා වේ.