Local news

තෙල් මිලේ වෙනසක්

තෙල් මිලේ වෙනසක්

ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් වල සුළු වෙනසක් සිදුව ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.01ක් ලෙස සටහන්ව තිබු අතර අද (12) දිනයේ බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100.00ක් ලෙස සටහන්ව ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.04ක් ලෙස සටහන්ව තිබු අතර අද දිනයේ බැරලයක මිල අමෙරිකානු ඩොලර් 104.06ක් ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.05ක් ලෙස සටහන්ව තිබු අතර අද දිනයේ බැරලයක මිල ඩොලර් 119.05ක් ලෙස සටහන්ව ඇත.

හොඳම පාතාල සෙල්ලම් දැම්මේ අපේ කාලයේ

හොඳම පාතාල සෙල්ලම් දැම්මේ අපේ කාලයේ

ලංකාවේ රජ කරපු පාතාලය අපේ ආණ්ඩුව කාලයේදී ලංකාව අතහැර වෙන රටවලට පලාගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සාගර කාරියවසම් සඳහන් කළේ,

“⁣හැම රජයක් යටතේම පාතාල කල්ලි කුදලාගෙන ආව. ඒ විතරක් නෙමෙයි ලංකාවේ රජ කරපු පාතාලය ලංකාව අතහැර දාලා වෙන රටවලට පැනලා දිවුවේ අපේ ආණ්ඩුව කාලයේ. මේ පාතාල කල්ලි මර්දනය කරේ, මේ පාතාලය රටින් එළියට ගියේ අපේ ආණ්ඩුව කාලයේ.

ඒක නිසා ඔය පාතාල කතාව කියන බොරුවක් විතරයි. හැම ආණ්ඩුවක් කාලෙම අලුතෙන් බස් ගෙනාවා. ඒක පහසුකම් සැපයිමක්. හැබැයි එය සංවර්ධන ව්‍යාපෘතියක් නොවේ. සංවර්ධන ව්‍යාපෘතියක් කියන්නේ, ආයෝජනය කරලා ආයෝජනය තුලින් රටට සෙතක් සැලසෙන දෙයක්.

අපි ගත්තොත්, වරායක් සංවර්ධන ව්‍යාපෘතියක්, ගුවන් තොටුපොළක් සංවර්ධන ව්‍යාපෘතියක්. අධිවේගි මාර්ගයක් කියන්නේ සංවර්ධන ව්‍යාපෘතියක්. වසර 100ක්, ඊටත් වැඩි කාලයක් රටේ ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන දෙයක්.”

IMF නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්

IMF නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස (01) වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත “කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (11) දින පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ශ්‍රී ලංකා රේගුවේ තාක්ෂණික සූදානම පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ ඒකකය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත මෙහිදී පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය එක්ව මෙම ක්‍රියාවලිය උදෙසා දක්වන දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ඇගයීමට ලක්වූ අතර මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ඔවුහු එකඟතාව පළ කළහ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2026 අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2026 අවසන් මහා තරගයට

2026 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත.

අවසන් පූර්ව තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කුඩුලු 05ක් දැවී ලකුණු 130ක් ලබාගත්තේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 132ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ඒ අනුව කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හෙට (13) දින පැවැත්වෙයි.

රාජපක්ෂ පවුලේ ගුවන් යානා වංචාව.. බලය අතේ තියන් රඟපු හැටි

රාජපක්ෂ පවුලේ ගුවන් යානා වංචාව.. බලය අතේ තියන් රඟපු හැටි

2006 වසරේදී යුක්‍රේනයෙන් මිග් – 27 ප්‍රහාරක යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ගණුදෙනුවක් සිදුවු අතර එම ගණුදෙනුව යුක්‍රේන රජයට අයත් යුක්‍රේන මාෂ් ආයතනය සමග ආණ්ඩුවෙන් ආණ්ඩුවට කෙරුණු ගණුදෙනුවක් බව එවක බලධාරීන් සඳහන් කළේය.

පසුව අනාවරණය වු පරිදි ශ්‍රී ලංකා රජය මෙම ගණුදෙනුව සඳහා ගෙවන ලද මුදලින් ඩොලර් මිලියන ගණනක් බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්හි ලියාපදිංචි බෙලෙනිසා හෝල්ඩින්ස් නම් අතරමැදි ආයතනයක් හරහා වෙනත් රටවලට යොමුකර ඇත.

සමාගම් බදු සහන ලබාගැනීමට පැමිණීම නිසා සහ එහි ලියාපදිංචිව පවතින සමාගම් වල තොරතුරු පිළිබඳව රහස්‍යභාවය සුරැකීම නිසා බ්‍රිතාන්‍ය පාලනයට අයත් වර්ජින් දූපත් ලෝකයේ ප්‍රසිද්ධව පවතියි.

යුක්‍රේන රජයේ ආයතනය ලැබී ඇත්තේ නියමිත මුදලින් කොටසක් පමණ වන අතර ඉතිරි ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් කොල්ල කා ඇති බව මුල්‍ය අපරාධ පරීක්ෂණ අංශය පසුව අධිකරණයට වාර්තා කළේය.

තවද සිදුකරන ලද වසර තුනක පරීක්ෂණ වලින් හෙළිවු කරුණු අනුව 2006 වසරේ ජුලි (26) වැනිදා ඇතිකර ගත් ගිවිසුම ව්‍යාජ එකක් බව හෙළිවී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගණුදෙනුවට අදාළව එම සමාගමට මුදල් ගෙවා ඇත.

එහෙත් එම සමාගමේ ලන්ඩනයේ ඇත්තේ, ලිපිනයක්, පුටුවක් සහ මේසයක් පමණක් බව වාර්තා වු අතර පසුව එම සමාගම බ්‍රිතාන්‍යයේ වර්ජින් අයිලන්සි රහසිගත ගිණුමකට මෙම මුදල් බැරකර ඇති බවයි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සති කිහිපයකට පෙර එවක පාලකයින් සම්බන්ධ වු මෙම බරපතල මිග් යානා වංචාවේ සුලමුල හෙළිකිරීමට කටයුතු කළේය.

යුක්‍රේනය සමග ආණ්ඩු දෙකක් අතර සිදු කරන ගණුදෙනුවක් ලෙස මෙය සිදුකිරීමට හැකියාව තිබියදී එය දූෂිත අයුරින් සිදුව ඇති බවට ලසන්ත වික්‍රමතුංග⁣ අනාවරණය කළේය.

2006 වසරේදී මිග් – 27 ප්‍රහාරක යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධ ගණුදෙනුව සිදුවු කාලයේ එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය.

තවද එම වංචාව සිදුවන කාලයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක වේ.

ඒ අනුව මෙම ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවේදී සිදුව ඇතැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (11) දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණියේය.

අනතුරුව පැය 5කට අධික කාලයක් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිටව ගියේය.

තවද එම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ඊයේ (10) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාදුන්නේය.

මේ අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

2012 – 2013 කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක්කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වු අතර එම යානා අතරින් A 330 යානා 6ක් සහ A 350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇත.

ඒ අනුව 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයක තොරතුරු හෙලිවීමත් සමග මෙම ගනුදෙනුවේ බරපතල වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය විය.

එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලසක් ලබාදීමට පොරොන්දු වී තිබූ බව මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදලින් ඩොලර් මිලියන 2ක් බැර කර ඇති බව එහිදී හෙළිවිය.

එම වාර්තාවට අනුව බිරිදට අයත් සමාගමේ නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමකට මාරුකර යවා ඇත.

තවදුරටත් විමර්ශන සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙරට ගිණුම් දෙකකටද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරුවී ඇතැයි අනාවරණය වු අතර එම ගිණුම් දෙක අතර ශමින්ද්‍ර රාජපක්ෂට අයත් බැංකු ගිණුමකට 2013 වසරේදී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂය හැට දහසක මුදලක් බැරවී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ BIZ Solutions INC නැමැති ගිණුමට අල්ලස් වශයෙන් ලද යූරෝ 1,454,651.24 ක මුදලින් ඇමරිකානු ඩොලර් 800,000 ක මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වෙත හිමිකාරිත්වය ඇති Saber Vision Holdings LTD සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් වෙත තැන්පත් කරවාගෙන එම මුදලට සමාන වන අයුරින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 ක (රු. 100,000,000) මුදලක් ශ්‍රී ලංකා ව්‍යාපාරිකයකු අතින් 2014 හා 2015 වර්ෂවල අවස්ථා කිහිපයකදී අල්ලස් ලෙස ලබාගැනීම නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාල කරුණු වේ.

එම අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය, ප්‍රංශයේ Airbus සමාගමේ නිලධාරින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට ලබාදුන් ප්‍රකාශ, ඒ සම්බන්ධයෙන් රැස්කරන ලද ලේඛන හා අනෙකුත් තොරතුරු මත නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේය.

මේ සම්බන්ධයෙන් පසුගිය මැයි මස (12) වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය.

මියගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබාදුන් ප්‍රකාශයක් මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි.

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබාදී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පසුගිය (08) වනදා අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණේය.

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් අනේ මාව නිදහස් කරන්න

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් අනේ මාව නිදහස් කරන්න

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගොනුකර ඇති අභියාචන පෙත්සම එළඹෙන ඔක්තෝබර් මස (09) වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය.

පසුගිය 2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවෙන් තමා නිදහස් කරන ලෙස අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා ඇත.

ග්‍රීක බැඳුම්කර සඳහා රුපියල් බිලියන 1.8ක් ආයෝජනය කර, රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇත.

ඊට එරෙහි අභියාචන පෙත්සම අද කැඳවූයේ අචල වෙංගප්පුලි,මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙයට අදාළව ⁣ඊයේ නොතීසි ලැබුණු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ශනිල් කුලරත්න සඳහන් කළේය.

නගර සංවර්ධන වැඩසටහන අරඹයි.. නගර 10ක් සූදානම්

නගර සංවර්ධන වැඩසටහන අරඹයි.. නගර 10ක් සූදානම්

Life Cities Development Programme – 2026 වසර සඳහා ඉදිරිපත් කරන ලද රජයේ අයවැය යෝජනාවලිය යටතේ හඳුන්වා දුන් නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ විධිමත්, ප්‍රමුඛතාගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් හරහා සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි නගර සංවර්ධනය අරමුණු කරගත් මූලික වැඩසටහනක් වේ.

මෙම වැඩසටහන මගින්, පසුගිය කාලයේ ප්‍රමාණවත් සැලසුම්කරණයක්, ශක්‍යතා ඇගයීම් හා ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිව ක්‍රියාත්මක වූ නාගරික සංවර්ධන කටයුතු හේතුවෙන් ඇති වූ ගැටළු නිරාකරණය කිරීම අපේක්ෂාව වන අතර ඒ හරහා නගරයන් හි වූ සුවිශේෂීත්වයන් ද සලකා එම නගර දියුණු කරලීම ව්‍යාපෘතියේ ඉලක්කය වේ.

Life Cities සංවර්ධන වැඩසටහනින් 2026 වර්ෂයේදී යාපනය, මාතර, මඩකලපුව, බදුල්ල, මාතලේ, තඹුත්තේගම, වව්නියාව, හැටන්, හලාවත සහ ඇහැලියගොඩ යන නගර සංවර්ධනය කෙරේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ 2027 වර්ෂය සදහා දෙහිවල, කළුතර, පානදුර, මතුගම, ගාල්ල, කෑගල්ල, බණ්ඩාරවෙල, කල්මුණේ, අකුරැස්ස, කුරුණෑගල, පුත්තලම, නාත්තන්ඩිය, රත්නපුර, ත්‍රිකුණාමලය, කන්තලේ සහ ඇල්ල යන නගර ද තෝරාගෙන ඇත.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික ප්‍රතිපත්ති සමග සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධ කිරීම, පහසුකම් හා සේවා සැපයුම වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම සහ සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම මගින් කාර්යක්ෂම, තිරසාර හා ආයෝජන සඳහා සුදුසු නගර මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි.

දැවැන්ත ගොවි රැලිය සඳහා ජනපති පොළොන්නරුවට

දැවැන්ත ගොවි රැලිය සඳහා ජනපති පොළොන්නරුවට

“ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි” යන තේමාවෙන් ජාතික ජන බලවේගය රට පුරා සංවිධාන කරන දැවැන්ත මහජන රැලි මාලාවේ පොළොන්නරු සහ අනුරාධපුර දිස්ත්‍රික්ක රැළි හෙට (12) දිනයේ සහ අනිද්දා (13) දින පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම දැවැන්ත රැළි මාලාව පැවැත්වෙන අතර පොළොන්නරු දිස්ත්‍රික් රැළිය හෙට (12) දින පොළොන්නරු දීප උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

සිර දඬුවම් නියම වු හිටපු ඇමති පියංකරට තවත් නඩුවක්.. ඇතුලේම ඉන්න වෙයි

සිර දඬුවම් නියම වු හිටපු ඇමති පියංකරට තවත් නඩුවක්.. ඇතුලේම ඉන්න වෙයි

සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන තවත් දූෂණ චෝදනා ඇතුළත් නඩුවක් සඳහා අද (11) දින කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව අද (11) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ ඉදිරියේ කැඳවනු ලැබු අතර එම අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය පියංකර ජයරත්නව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර කළේය.

පසුගිය 2013 වසරේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අනීතික ලෙස වෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් 128,520 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ප්‍රියංකර ජයරත්නට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයක් හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස විමර්ශනයට සම්බන්ධ වූ නිලධාරියකු එක් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මෙම නඩුවේ විභාගය අවසන් අදියරට පැමිණ තිබෙන අවස්ථාවේ අලුතින් සාක්ෂිකරුවන් එක් කිරීමට අනුමැතිය පැතීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව සඳහන් කළේය.

එහෙත් අදාළ විමර්ශන නිලධාරියා මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස එක් කර ගැනීමට අවසර ලබාදෙන බව මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල සඳහන් කළේය.

අදාළ සාක්ෂිකරු මාර්ගයෙන් අධිකරණයට ලේඛන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒවා අද දින සිට සතියක් තුළ විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කළේය.

2013 වසරේ මැයි මස (10) වනදා සහ ජුනි මස (06) වනදා අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අනීතික ලෙස වෙසක් කාඩ් පත් තුන්දහසක් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදු කිරීම තුළින් “දූෂණය” නැමති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පියංකර ජයරත්නට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය

සැප්තැම්බර් (22) සිට (25) දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

මේ අනුව, සැප්තැම්බර් (22) අගහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට තීරණය වී ඇත.

අනතුරුව ප.ව 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

සැප්තැම්බර් (23) බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.

සැප්තැම්බර් (24) බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා කාලය වෙන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමෙන් අනතුරුව එය ගරු කථානායකවරයා විසින් සභාවට නිවේදනය කිරීමට යටත්ව අදාළ දෙදින විවාදය පැවැත්වීමට එකඟත්වය පළ වී ඇත.

සැප්තැම්බර් (25) සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.

Follow WhatsApp Channel