Local news

ශ්‍රී ලංකාවේ දස අවුරුදු ඩිජිටල්කරණය

ශ්‍රී ලංකාවේ දස අවුරුදු ඩිජිටල්කරණය

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් ගත 2025 – 2035 දස අවුරුදු ඩිජිටල්කරණ ඒකාබද්ධ ආයතනික සහභාගිත්ව සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම.

එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පැවැත් වූ අමාත්‍යාංශයීය උපායමාර්ගික සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව (23) දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙහිදී The “Symposium on – Integrated Transport, Highways and Urban Development For Sri lanka” ඒකාබද්ධ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සහ තිරසර සංවර්ධන සැලැස්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, රාජ්‍ය ආයතනයන්ට ඩිජිටල් ප්‍රවේශයේ අත්‍යාවශ්‍ය බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සඳහන් කරයි.

ආණ්ඩුවේ මන්ත්‍රී ළඟට යන විපක්ෂයේ රහසිගත මෙහෙයුම

ආණ්ඩුවේ මන්ත්‍රී ළඟට යන විපක්ෂයේ රහසිගත මෙහෙයුම

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබාගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම පනත් කෙටුම්පත් වලට එතරම් කැමැත්තක් නොදක්වන ‌බවට දැනගන්න ලැබීමත් සමඟ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙම රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර එම මන්ත්‍රීවරුන්ගේ සහය ගැනීමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පත්කර ඇති බවද වාර්තා වේ.

එම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ හිතවත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එලෙස පත්කර ඇති බවද වාර්තා වේ.

දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය දයා ගමගේට එරෙහිව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අද (24) දින සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පසුගිය 2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍යමය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පළමු වරට ලංකාවට එන ඕස්ට්‍රේලියානු Jetstar ගුවන් සේවය

පළමු වරට ලංකාවට එන ඕස්ට්‍රේලියානු Jetstar ගුවන් සේවය

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන “Jetstar Airways” හෙට (25) සිට පළමු වරට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙල්බර්න් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ලෙස ආරම්භ වන අතර JQ5 මංගල ගුවන් යානය මෙල්බර්න් වෙතින් හෙට දහවල් 12.00ට පිටත්ව පස්වරු 5.50ට කොළඹට ළඟා වීමට නියමිතව ඇත.

අනතුරුව JQ6 ආපසු ගුවන් යානය පස්වරු 7.50ට කොළඹින් පිටත්ව පසුදින පෙරවරු 10.00ට මෙල්බර්න් වෙත ළඟා වේ.

මෙම නව ගුවන් ගමන් සතියකට තුන්වරක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනයන් හි Boeing B787-8 Dreamliner ගුවන් යානා භාවිත කරමින් ක්‍රියාත්මක කරයි.

ලංකාවේ ප්‍රවාහනය වේගවත් කරන්න අලුත් වැඩක්

ලංකාවේ ප්‍රවාහනය වේගවත් කරන්න අලුත් වැඩක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙරට ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් බවට පත් කිරීමේ අරමුණින් Air Cargo Community System (ACCS) හඳුන්වාදීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

මෙම වැඩපිළිවෙළ සඳහා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සහ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත බහු පාර්ශ්වකරුවන්ගේ කමිටුවක් ස්ථාපිත කර ඇත.

පසුගිය 2023 වසරේදී මෙම පද්ධතිය හඳුන්වා දීමට මූලික උත්සාහයක් ගෙන තිබුණද, සියලු පාර්ශ්වකරුවන් අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් සහ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම කටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබුණේය.

නව රජය පත්වීමෙන් අනතුරුව අදාළ සියලු පාර්ශ්ව එකම වේදිකාවකට ගෙන එමින් එම වැඩපිළිවෙළ නැවත ක්‍රමවත් ලෙස ආරම්භ කර ඇති අතර මේ වනවිට ACCS හඳුන්වාදීමේ ශක්‍යතාව, තාක්ෂණික අවශ්‍යතා සහ ව්‍යාපාරික අවශ්‍යතා පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතියි.

කෝටි 27ක් වියදම් කර රට සවාරි ගිය පාර්ලිමේන්තු කණ්ඩායම

කෝටි 27ක් වියදම් කර රට සවාරි ගිය පාර්ලිමේන්තු කණ්ඩායම

පසුගිය 2016 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් විදේශ සංචාර වෙනුවෙන් රුපියල් ‌කෝටි 27කට ආසන්න මුදලක් වැය කර ඇති බව පාර්ලිමේන්තුව පිළිබද විශේෂ විගණන වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව 2016 වසරේ සිට 2024 වසර දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනෙකු කරන ලද විදේශ සංචාර වෙනුවෙන් රුපියල් කෝටි 21 කට ආසන්න මුදලක් වැය කර තිබූ බව විශේෂ විගණන වාර්තාව සඳහන් කරයි.

තවද 2016 සිට 2024 වසර දක්වා කාලයේදී පාර්ලිමේන්තුවේ නිලධාරීන් 115 දෙනෙකු යෙදුණු විදේශ සංචාර අසූ තුනක් වෙනුවෙන් රුපියල් පන් කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති බවද විශේෂ විගණන වාර්තාව සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධාන කාර්යාලය විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, අන්තර් පාර්ලිමේන්තු සංගමය, සාර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය යනාදී ජාත්‍යන්තර සංගම් වෙත මෙම විදේශ සංචාර සංවිධාන කර ඇත.

එහෙත් නිලධාරීන් විදේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වීමෙන් ලබාගන්නා දැනුම හා අත්දැකීම් සන්නිවේදනය කිරීමේ විධිමත් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ නොමැති බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.

තවද, පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට වැටුප් වර්ධක ලබාදීමේදී අනෙකුත් රාජ්‍ය නිලධාරින් අභිබවා විශේෂ ප්‍රතිලාභ ලබාදීමට හේතු විගණනයේදී නිරීක්ෂණය නොවූ බවද එම වාර්තාව සඳහන් කරයි.

අතුරුදන් වෛද්‍යවරයාගේ මළ සිරුර හමුවෙයි

අතුරුදන් වෛද්‍යවරයාගේ මළ සිරුර හමුවෙයි

අතුරුදන් වූ බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මළසිරුර මහියංගනය මාපාකඩවැව ප්‍රදේශය අසල ගලක් මත තිබී සොයාගෙන ඇත.

රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (23) දින උදෑසන රාජකාරියේ යෙදී සිට ඇති නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව ඇත.

සිදුකරන ලද විමර්ශන වලදී වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රීයේ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

අනතුරුව අද (24) දින වෛද්‍යවරයා සොයා එම ප්‍රදේශයේ පොලීසිය, අපරාධ ස්ථාන නිලධාරීන් සහ යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පරීක්ෂාවක් සිදුකළ අතර එහිදී ඔහුගේ මළසිරුර සොයාගෙන ඇත.

ඇතුළට ගිය චමින්ද එළියට

ඇතුළට ගිය චමින්ද එළියට

පොලිස් නිලධාරීන් පිරිසකට මරණ තර්ජනය කිරීම සහ පහරදීම යන චෝදනා වලට වරදකරු කරමින් සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත මුදා හැර ඇත.

එම දඬුවම වෙනුවෙන් සිය නීතිඥයන් මාර්ගයෙන් චමින්ද විජේසිරි අභියාචනයකට යටත්ව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමක් අද (24) සලකා බැලීමෙන් අනතුරුව  මෙලෙස ඇප මත මුදා හැර ඇත.

රුපියල් 50,000ක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇති අතර මන්ත්‍රීවරයාට විදේශ ගමන් අධිකරණයේ අවසරය නොලබා යාම තහනම් කිරීමටද විනිසුරුවරයා නියෝග කර ඇත.

බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් අතුරුදන්

බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් අතුරුදන්

බදුල්ල ශික්ෂණ රෝහලේ රාජකාරියේ යෙදී සිටීමෙන් අනතුරුව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වෛද්‍යවරයා ඊයේ (23) උදෑසන රාජකාරියේ යෙදී සිටි නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව ඇති අතර සොයා බැලීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බව මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව ඇති බවට නිරීක්ෂණය වී ඇත.

අනතුරුව එම වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රීයේ සොයාගත් බවද පොලීසිය සඳහන් කරයි.

මෙම වෛද්‍යවරයා සොයා එම ප්‍රදේශයේ අද දින පොලීසිය, අපරාධ ස්ථාන නිලධාරීන් සහ යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි. 

අද සිට PHIලා හදිසියේම ලෙඩ වෙයි

අද සිට PHIලා හදිසියේම ලෙඩ වෙයි

අද (24) දින පෙරවරු 8.00 සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව එම සංගමය සඳහන් කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදීමට කටයුතු කර නොමැති බවද එම සංගමය සඳහන් කරයි.

මෙම කරුණු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සඳහා තමන් පූර්ණ සහය ලබාදීමට මෙන්ම ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බවද එම සංගමය සඳහන් කරයි.