ගම්පහ අස්ගිරිය ප්රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇත.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් අනතරුව රෝහල් ගත කර ඇත.
හොරු තක්කඩි එලවලා මේ ආණ්ඩුව හැදුවේ රටේ ජනතාව වෙනුවෙන් බවත් මේ රටේ ජනතාව බලාගන්න ආණ්ඩුව, ජාතික ජන බලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
පොළොන්නරුවේ පැවති ගොවි රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“හොරු තක්කඩි එලවලා මේ ආණ්ඩුව හැදුවේ කවුරු වෙනුවෙන් ද.? මේ රටේ පොදු ජනයා වෙනුවෙන් හදපු ආණ්ඩුවක් මේක. මේ රටේ ජනතාව බලාගන්න ආණ්ඩුව තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව. ජනතාව බලාගන්න ආණ්ඩුව.
මීට කලින් ආණ්ඩු හැදුවා කවුද.? පාතාලය බලාගන්නා ආණ්ඩුව, කුඩු කාරයෝ බලාගන්න ආණ්ඩුව, ජාවාරම්කාරයෝ බලාගන්නා ආණ්ඩුව, දූෂිතයෝ බලාගන්නා ආණ්ඩුව. මතක තියාගන්න මේ ආණ්ඩුව ජනතාව බලාගන්නා ආණ්ඩුව.
අරගොල්ලන්ට දඩුවම් දෙන ආණ්ඩුව. මතක තියාගන්න. එහෙමයි මේ ආණ්ඩුව. කිසිදු සාකච්ඡාවකට සහ සමාවකට නැති කරුණු කිහිපයක් තියෙනවා. සාකච්ඡා නෑ. සමාව නෑ. එක, පාතලය. කිසිදු සමාවක් නෑ.
අපේ රටේ සන්නද්ද අපරාධ කල්ලි මුළුමනින්ම ඉවත් කරනවා. ඒක ව්යසනයක් අපේ රටේ. දැනටමත් 70කට වඩා වැඩි පිරිසක් පිටරටින් ලංකාවට ගෙනාවා. ඊළග ඒ පාතාල කල්ලි හා ගැටගැසුනු කඩු ව්යාපාරය. ඉවත් කරන්න ඕන. ඒ වැඩේ අපි කරනවා.
කුඩු පොඩ්ඩක් කමක් නෑ.? එහෙම නෑ. මුළුමනින්ම නෑ. කාලයක් යයි. පාතාලය, ඒහා බැදුණු කුඩු ව්යාපාරය මුළුමනින්ම ඉවත් කිරීමේ වගකීම ජාතික ජන බලවේග ආණ්ඩුව භාරගන්නවා. දෙක අපරාධ. අපේ රටේ පාස්කු අපරාධයක්.
පරීක්ෂණ කරන්න ඕන. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕන. අපිට පොඩ්ඩක් තියෙනවා කල් ගියපුවාම පවු කියලා හිතෙනවා. මේකේ පවු කියලා හිතෙන්නේ නෑ. පවු කියලා හිතෙන කරුණු තියෙනවා. කරුණාව දැක්විය යුතු කරුණු තියෙනවා.
හැබැයි මේවා කරුණාවට, මෛත්රීයට, පවු වලට යටපත් කරන්න ඕන ඒවා නෙමෙයි. අපරාධකරුවන් කිහිපයක් ඉන්නවා. තමන්ට විරුද්ධව පත්තරේ ලිවුවා කියලා පාරේ වෙඩි තියලා ඝාතනය කරලා තියෙනවා. තමන්ට විරුද්ධව ටීවි එකේ කිවුවා කියලා ටීවි එකට බෝම්බ ගහලා තියෙනවා.
තමන්ට විරුද්ධව පත්තරේ ලිවුවා කියලා පාරේ අතපය කඩලා තියෙනවා. ඡන්ද ගන්න බෝම්බ පුපුරවලා තියෙනවා. ඒවට අනුකම්පාව නෑ. ඒවට මෛත්රීය නෑ. ඒවට කරුණාව නෑ. ඒවට නිසි දඩුවම ලබාදෙන එක තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව. ඒක අපි කරනවා.”
“සමහර අය අපෙන් ඇහුවා කල් යනකොට සහෝදරයා කල් යනවා වැඩී නිකන් අහුවෙන්නැද්දෝ කියලා. අපි කිවුවා කලබල වෙන්න එපා. මේකේ වැඩේ මොකක්ද. හොදට පරීක්ෂණ කරන්න ඕන. උසාවියට ගිහිල්ලා ඔප්පු කරන්න ඕන. ඔප්පු කරලා හිරේ දාන්න ඕන.
පරීක්ෂණ වලට ලොකු කාලයක් ඇදෙනවා. හරියට ඔප්පු කරන්න ඕන අධිකරණයට. අපි පරීක්ෂණ කරලා තියෙනවා. ඇත්තටම මේ අවුරුදු දෙකක්ම, ඒකෙන් වැඩි කාලයක් කරලා තියෙන්නේ පරීක්ෂණ. දැන් පරීක්ෂණ කරපු කාලය, පීරියඩ් එක ඉවරයි. දැන් මොකක්ද. අල්ලන පීරියඩ් එක.”
අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහයාගේ නාමල් රාජපක්ෂ පොඩි සිංහයා හිරේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
එදා විජිත පුර සටන එලාර දුටු ගැමුණු මුහුණට මුහුණ සටන වගේ නාමල් රාජපක්ෂ එක්ක පුළුවන් නම් මුහුණට මුහුණ සටනට එන්න කියා ආරාධනා කරන බවද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
අනුරාධපුර රැළියට එක්වෙමින් තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළේ,
“ආ දැන් ඔක්කොම වාඩි වෙන්ඩ. අපේ කට්ටිය ඉස්සෙල්ලා වාඩි වෙන්න. දැන් මේ කවුද ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලෝ ආදරය කරන කවුද මේ ඇවිල්ලා ඉන්නේ. එදා අපි නොදුටු දුටු ගැමුණු, අද අපි දකින දුටුගැමුණු මහින්ද රාජපක්ෂ ආදරණීය නායකයා.
අද ලොකු සිංහයාගේ පොඩි සිංහයා හිරේ. අද පුතා හිරේ, තාත්තා ගේමේ. පුතා හිරේ තාත්තා තවමත් ගේමේ. එනිසා අවසාන වශයෙන් ජනාධිපතිතුමනි, එදා විජිත පුර සටන එලාර දුටු ගැමුණු මුහුණට මුහුණ සටන වගේ මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ එක්ක පුළුවන් නම් මුහුණට මුහුණ සටනට එන්න කියන ආරාධනය කරනවා.”
විශ්රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට එක් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින නිලධාරී හිඟය පියවීම වෙනුවෙන් ඒ කෙරෙහි අවධානය යොමුකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්රසාද් හේමන්ත සඳහන් කරයි.
පැරණි බෝගම්බර බන්ධනාගාරයට ලබන සතියේ රැඳවියන් යොමු කරන බවත් එහි ප්රතිසංස්කරණ කටයුතු 90% කින් පමණ අවසන් කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් නැමැත්තා අද (12) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරු එළැඹෙන (25) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
ශිරාන් බාසික් විසින් මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් වැය කරමින් ගම්පහ ප්රදේශයේ සුඛෝපභෝගී නිවසක් තමන්ගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගත්තේය.
රට පුරා සිදුවන වෙඩි තැබීම් සහ බෝම්බ ප්රහාර වලට සම්බන්ධ අපරාධකරුවන් ඉලක්ක කරමින් තාවකාලිකව මරණ දඬුවම ක්රියාත්මක කරන ලෙසට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, කිසියම් රැස්වීමකදී මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල සඳහන් කළේ, තැනින් තැන සිදුවන මෙම වෙඩි තැබීම් කඩිනමින් පාලනය කිරීම සඳහා බුද්ධි අංශ ඒකාබද්ධ කරගනිමින් විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්රියාත්මක කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාම හේවා සඳහන් කළේ, මෙවැනි හදිසියේ මතුවන අපරාධ රැලි මෙන්ම මත්ද්රව්ය ජාවාරම් මැඩ පැවැත්වීමට මරණීය දණ්ඩනය තාවකාලිකව හෝ ක්රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි.
ලෝකයේ සමහර රටවල මෙවැනි අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය තාවකාලිකව ක්රියාත්මක කෙරෙන බවද මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාම හේවා සඳහන් කරයි.
ශ්රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ ප්රධාන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුව අධීක්ෂණය කරනු ලබන අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.
2013 වසරේදී සිදුවූ මෙම ගනුදෙනුවේදී, අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන විසින් ලබාගත් අල්ලස් මුදල මන්ත්රී නාමල් රාජපක්ෂ වෙත ලබාදී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව, මෝසමක් මඟින් නඩුව කැඳවා කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් නාමල් රාජපක්ෂ ප්රධාන සැකකරුවෙකු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීමට නියමිතව ඇත.
ඉරානය – අමෙරිකාව අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ඉහළ ගියද, මේ මාසයේ හදිසි ඉන්ධන මිල වැඩි කිරීමක් නොකරන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ගෝලීය ඉන්ධන මිලට සාපේක්ෂව ලංකාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අධ්යයනය කරමින් සිටින බව සංස්ථාවේ සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කරයි.
මෙරට ආපදා තත්ත්වයකදී විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කාන්තාවන්, ගැහැණු ළමුන්, ගැබිණි මව්වරුන් සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සෞඛ්යය, ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මගින් මෙම සහනාධාර තොගය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය වෙත ලබා දෙන ලදී.
මේ සඳහා ඕස්ට්රේලියානු සහ නවසීලන්ත රජයන් විසින් මූල්යමය දායකත්වය ලබාදී ඇති අතර ශ්රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින්, ඕස්ට්රේලියානු නියෝජ්ය මහකොමසාරිස් රූත් බෙයාර්ඩ් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්රී ලංකා වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංයෙල් විසින් අදාළ පරිත්යාගය නිල වශයෙන් භාරදෙන ලදී.
මෙම හදිසි ආපදා සහනාධාර තොගයට සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහිත කූඩාරම් 03ක් ඇතුළුව ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු කූඩාරම් 08ක්, පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන් සඳහා ගමන් කට්ටල 999ක්, ගැබිණි මව්වරුන් සඳහා භාණ්ඩ කට්ටල 1,283ක්, වැඩිහිටි කට්ටල 246ක් සහ කාන්තාවන් හා ගැහැණු ළමුන් සඳහා සනීපාරක්ෂක කට්ටල 1,659ක් ඇතුළත් වේ.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ මෙහෙයවීම යටතේ ආපදා අවදානම ඉහළ දිස්ත්රික්කවල මෙම සම්පත් කල්තියා ස්ථානගත කිරීමට සැලසුම් කර ඇත.
එමගින් ආපදා අවස්ථාවකදී මාර්ග විනාශවීම් හෝ ප්රදේශීය යටිතල පහසුකම් බිඳවැටීම් හේතුවෙන් ඇතිවිය හැකි ප්රවාහන ප්රමාදයන් අවම කරමින් ජනතාව වෙත අත්යවශ්ය හදිසි සෞඛ්ය සේවා කඩිනමින් සැපයීමට හැකි වනු ඇත.
ස්වභාවික ආපදාවකින් සිදුවිය හැකි සමස්ත හානිය කල්තියා පුරෝකථනය කිරීම අතිශය දුෂ්කර බැවින්, ආපදා තත්ත්වයක් උද්ගත වූ පසු ප්රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී පෙර සූදානමකින් කටයුතු කිරීම අත්යවශ්ය බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එවැනි පූර්ව සූදානමක් තුළින් මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීමටත්, පීඩාවට පත් ජනතාවට අත්යවශ්ය කෙටිකාලීන පහසුකම් කඩිනමින් සලසාදීමටත් හැකිවන බවද සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එසේම මෙරට ආපදා පෙර සූදානම සහ සෞඛ්ය සේවා ප්රතිචාර ධාරිතාව ශක්තිමත් කිරීමට ලබාදුන් මූල්ය සහයෝගය වෙනුවෙන් ඕස්ට්රේලියානු සහ නවසීලන්ත රජයන්ටත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලටත් ශ්රී ලංකා රජය වෙනුවෙන් අමාත්යවරයා කෘතඥතාව පළ කළේය.
“ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි” යන තේමාවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කරන දැවැන්ත මහජන රැලිය අද (12) දින පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් පොළොන්නරු දීප උයන පරිශ්රයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.
මේ අතර වර්තමාන ආණ්ඩුවට එරෙහිව සිදු කරන දැවැන්තම ජන රැළිය අද (12) දින අනුරාධපුරයේදි පවත්වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් සවස 2.00ට අනුරාධපුර නගර සභා නිවාස ක්රීඩාංගනයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.
මෙම රැළිය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් මෙම රැළිය සඳහා සම්බන්ධ වීමට නියමිතය.