Local news

අපිට බන්ධනාගාර පෙන්නලා රැළිය නවත්වන්න බෑ.. දහස් ගාණක් එනවා

අපිට බන්ධනාගාර පෙන්නලා රැළිය නවත්වන්න බෑ.. දහස් ගාණක් එනවා

බොරුව, වංචාව, හොරකමට එරෙහිව මේ රටේ පක්ෂ භේදයකින් තොරව දහස් ගාණනක පිරිසක් අනුරාධපුරය රැළියට එකතු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ආණ්ඩුව විපක්ෂය මර්දනය කරලා සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍රය දාලා අධිකරණය පෙන්නලා, උසාවි පෙන්නලා, බන්ධනාගාර පෙන්නලා පිට්ටනියක් ලබාදුන්නේ නැති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපි ආණ්ඩුවට කියන්නේ. අපි අනුරාධපුර රැස්වීම කරනවා. මේ ආණ්ඩුවේ බොරුව, මේ ආණ්ඩුවේ වංචාවල්, මේ ආණ්ඩුවේ හොරකම් වලට විරුද්ධව අද අනුරාධපුරයට මේ රටේ පක්ෂ භේදයකින් තොරව දහස් ගාණක පිරිසක් එකතු වෙනවා.

ඒ ජන සටන අතාරින්නේ නෑ මේ මර්දනයට බයවෙලා. ආණ්ඩුව හිතනවා නම් විපක්ෂය මර්දනය කරලා ආණ්ඩුවේ සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍රය දාලා අධිකරණය පෙන්නලා, උසාවි පෙන්නලා, බන්ධනාගාර පෙන්නලා,

ග්‍රවුන්ඩ් එකක් දුන් නෑනේ අපිට. ග්‍රවුන්ඩ් එකක් දුන් නෑනේ. අපි ඉල්ලපු ග්‍රවුන්ඩ් එක දෙන්නෑ. ඉතින් ඔබතුමාලා හිතනවා නම් ඔය මර්දනයෙන් මේ ජන සටන නවත්වන්න පුළුවන් කියලා, ජනතාවගේ නැගිටීම නවත්වන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා.

මම දැක්කා එක මන්ත්‍රීවරියක් කියනවා ජනාධිපතිතුමා බලන්න කානු දිගේ එනවලු. අර ආපු ගැරඩියද දන්නෑ. කිරි වලින් නාවනවලු. ඉතින් ඒ හින්දා ඔබතුමාලා කානු දිගේ බලන් ඉන්න ගැරඩි එයි. මම තව කියන්න ගියොත් තව මොනවා කටින් පනීද දන්නෑ.”

බණ්ඩාරවෙල හිටපු නගරාධිපති අත්අඩංගුවට

බණ්ඩාරවෙල හිටපු නගරාධිපති අත්අඩංගුවට

බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක අත්අඩංගුවට ගෙන ඇත.

එම නගර සභාවේ සිදුවූ මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළව බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනා සහ ලිපිකරුවන්ගෙන් සිදු කරන ලද විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවටගත් හිටපු නගරාධිපතිවරයා අද (10) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

22 ගැන විවාදයට දින නියම කරයි

22 ගැන විවාදයට දින නියම කරයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් (24) සහ (25) යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර ඇත.

මෙම පනත් කෙටුම්පත් දෙකෙහි දෙවනවර කියවීමේ විවාදය එදිනට පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (10) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ගිනිඅවි නඩුව – දුමින්ද දිසානායකට අධිචෝදනා

ගිනිඅවි නඩුව – දුමින්ද දිසානායකට අධිචෝදනා

රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද (09) දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී ඇත.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකාර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුව අද (10) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීම සිදුවුණි.

කෙසේ වෙතත් අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු එක් එක් විත්තිකරු රුපියල් 50,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව බලරහිතයි.. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව බලරහිතයි.. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචරාධිකරණය විසින් වසර හයක සිරදඬුවම් නියම කර තිබුණද, එම දඬුවමින් ඥානසාර හිමි නිදහස් කරමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොදු සමාවක් ප්‍රදානය කර තිබුණි.

මහින්ද සහ මෛත්‍රීගේ කාලයේ ගල්අඟුරු පාඩුව රුපියල් කෝටි 414යි

මහින්ද සහ මෛත්‍රීගේ කාලයේ ගල්අඟුරු පාඩුව රුපියල් කෝටි 414යි

පසුගිය 2009 වසරේ සිට 2016 වසර දක්වා වූ වසර 7ක කාලයේදී ලංකා ගල්අඟුරු සමාගම නොරොචෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414 කට අධික පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් තොරතුරු අනාවරණය වී ඇත.

පාර්ලිමේන්තු බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි පසුගිය 2009 වසරේ සිට 2016 වසර දක්වා කාලයේදී ලංකා ගල් අඟුරු සමාගම කළ ප්‍රසම්පාදන සම්බන්ධයෙන් මෙම විශේෂ විගණන වාර්තාව සකස් කර ඇත.

රුපියල් කෝටි 414 කට අධික පාඩුවට වගකිව යුතු නිලධාරීන් හඳුනාගත යුතු බවත් ඉදිරියේදී මෙවැනි පාඩුවක්, අතිරේක වියදම් සහ ආදායම් අහිමිවීම් ඇති නොවන පරිදි ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බව විගණකාධිපතිවරයා මෙම විශේෂ වාර්තාවෙන් නිගමනය කර ඇත.

ගල්අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් ඇතිවූ අමතර වියදම සම්බන්ධයෙන් විගණන වාර්තාවෙන් දැඩි අවධානයක් යොමුකර ඇත.

ගල්අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකි වීමෙන් බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා වැයවූ අමතර වියදම රුපියල් කෝටි 1,250ක් බව අමාත්‍යාංශ ලේකම්වරයා ගණනය කර තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

නීතිවිරෝධීව ඩොලර් මිලියන 80ක් පැන්නූ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ඩොලර් මිලියන 80ක් පැන්නූ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී TT (Telegraphic Transfer) ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් මිලියන 80ක් විදේශීය ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 2023 සහ 2025 අතර කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 80 හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක මුදල එලෙස විදේශීය ගිණුම් වෙත මාරු කර ඇති බව වාර්තා වේ.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු මරදාන ප්‍රදේශයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිග් යානා ගණුදෙනුව – හිටපු ගුවන් හමුදාපති FCID කැඳවයි

මිග් යානා ගණුදෙනුව – හිටපු ගුවන් හමුදාපති FCID කැඳවයි

ආන්දෝලනාත්මක මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට කැඳවා ඇත.

ඒ අනුව හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකට අද (10) උදෑසන 9.30ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස කැඳවා ඇත.

ශ්‍රී ලංකා ඉන්දියා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කරයි

ශ්‍රී ලංකා ඉන්දියා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කරයි

ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රානාත් සිං ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිල සංචාරයක නිරත විය.

අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණි ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් පිළිගනු ලැබූ අතර අනතුරුව ඔහු වෙත ශ්‍රී ලංකා යුද හමුදා සම්ප්‍රදානුකූලව ආචාර සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතා සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අවධාරණය කළේය.

විශේෂයෙන්ම අභියෝගාත්මක සහ හදිසි අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ නොපසුබස්නා සහයෝගය හා උපකාර කෙරෙහි ශ්‍රී ලංකා රජයේ ගෞරවනීය කෘතඥතාව ඔහු මෙහිදී පළ කර සිටියේය.

ශ්‍රී ලංකාව දක්වන ලද සුහදශීලී පිළිගැනීම පිළිබඳව සිය සතුට පළ කළ ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා, දෙරට අතර පවතින ඓතිහාසික හා නො බිඳුණු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි කාලය තුළ ආරක්ෂක හා අනෙකුත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කැපවන බව ප්‍රකාශ කළේය.

බිහිසුණු බස් අනතුරක්.. 22ක් රෝහලට

බිහිසුණු බස් අනතුරක්.. 22ක් රෝහලට

පොළොන්නරුව – හබරණ මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල වංගුව ප්‍රදේශයේදී මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වුණු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී ඇත.

බස් රථය පෙරළී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ 22 දෙදෙනෙකු හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කළ බව මින්නේරිය පොලීසිය සඳහන් කරයි.

එම ස්ථානයේ අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බව සඳහන් කරයි.

Follow WhatsApp Channel