Local news

එල්-නිනෝ බලපෑමට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ

එල්-නිනෝ බලපෑමට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මේ වනවිට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත්, ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

පසුගිය යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන් අතර ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සහ සෙසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කෙරිණි.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී නැවතත් මුළු දිවයිනටම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙන අතර එම බලපෑම හමුවේ කෘෂිකර්මාන්තයට, වැවිලි කර්මාන්තයට, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම ජල සහ විදුලිබල සැපයුමට එල්ලවිය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති සැලසුම් පිළිබඳවදවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

බලපෑමට ලක් විය හැකි කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම, ආපදාවෙන් පීඩාවට පත් වන ජනතාවගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් ඔවුන් රැකබලා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව එම කටයුතු සැලසුම් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ වනවිට ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව, අඛණ්ඩ පානීය ජල සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම මෙන්ම ඉදිරි වගා සැලසුම් සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

ප්‍රධාන ජලාශ, සුළු වාරිමාර්ග සහ කුඩා වැව් මඟින් ජලය සපයන නිශ්චිත පාරිභෝගික ප්‍රතිශතයන් පිළිබඳව පැහැදිලි දත්ත පද්ධතියක් තිබීමේ අවශ්‍යතාව සහ වියළි කාලගුණයෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ජල කප්පාදුවක් කිරීමට සිදු වුවහොත්, ජලාශ සම්පූර්ණයෙන්ම හිඳෙන තෙක් නොසිට, එම ප්‍රදේශවල ජනතාව සමඟ කතා කර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද උපදෙස් දුන්නේය

එමෙන්ම වැව්, ගංගා සහ ඔයවල් සම්පූර්ණයෙන්ම සිඳී යන ප්‍රදේශ හඳුනාගත යුතු බවත්, එවැනි ස්ථානවල ජීවත් වන ජනතාවට බීමට පමණක් නොව, අනෙකුත් දෛනික අවශ්‍යතා සඳහාද ජලය සැපයීමට සිදුවන බැවින් ඒ පිළිබඳ අවදානම සිතියම්ගත කර සූදානම් වීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමේ පවතින ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවසර ලබාදීම පිළිබඳවද සාකච්ඡා විය.

ඔක්තෝබර් මාසයේ ලැබෙන පළමු වර්ෂාවත් සමඟම, ජලාශවලින් ජලය නිකුත් කරන තෙක් නොසිට වර්ෂා ජලය උපයෝගී කරගෙන බිම් සකස් කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණු අතර එහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලීය.

එල්-නිනෝ බලපෑම හමුවේ මිරිදිය ධීවර කර්මාන්තයට සහ මත්ස්‍ය නිෂ්පාදනයට එල්ලවිය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් වූ පූර්ව සූදානම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර පීඩාවට පත්වන ධීවර ප්‍රජාවගේ ජීවනෝපායමාර්ග යථා තත්ත්වයට පත් වන තෙක් ඔවුන් රැක බලා ගැනීම වෙනුවෙන් වූ වැඩසටහන් සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

වැවිලි කර්මාන්තයට එල්ල විය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවත්, වනජිවී කලාපවල වන සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වන වර්ෂාපතනයේදී උපරිම ජල ධාරිතාවක් රැස් කර ගැනීම සඳහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණයට ලක් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම වසර තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සහ ලබන වසරේ පෙබරවාරි-අප්‍රේල් කාලයේ ජලාශ සිඳී යාම නිසා ඇතිවිය හැකි බලශක්ති අවදානමට මුහුණ දීම සඳහා සාමාන්‍ය අවශ්‍යතාවට වඩා වැඩි අතිරික්ත විදුලි ධාරිතාවක් සැලසුම් සහගතව පවත්වා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කරයි

ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කරයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඩිජිටල්කරණය කිරීම, උපකාරක තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම සඳහා වන උපායමාර්ගික සැලසුම් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

නිසි සැලසුමකින් තොරව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සිදුකරන ආයෝජන සහ උපකරණ අපතේ යා හැකි බැවින්, අදාළ වැඩසටහනේ නියමු අදියර සවිස්තරාත්මකව සැලසුම් කිරීමේ වැදගත්කම සහ එක් එක් ක්ෂේත්‍රයට අදාළ අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී විශේෂයෙන් අවධාරණය විය.

මෙම වැඩසටහන ආරම්භයේදී සීමිත පාසල් සහ උපකරණ සංඛ්‍යාවක් යොදාගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර එමගින් ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් සහ ගැටලු අධ්‍යයනය කරමින් අවශ්‍ය සංශෝධන හා වැඩිදියුණු කිරීම් සිදු කිරීමට උපදෙස් ලබාදී ඇත.

ආරම්භක අදියරේදී හඳුනාගත් ආබාධ සහිත ඉගෙනුම්කරුවන්ගේ නිශ්චිත අවශ්‍යතා කෙරෙහි පමණක් අවධානය යොමු කරමින්, ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රමානුකූලව දීපව්‍යාප්ත මට්ටමින් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ මෙම වැඩසටහන ඒකාබද්ධ කෙරෙයි.

එහි මූලික අදියරේදී 1, 2 සහ 6 ශ්‍රේණි කෙරෙහි ප්‍රමුඛතාව ලබාදෙන අතර ආබාධ සහිත දරුවන් සඳහා දැනටමත් මූලික පහසුකම් පවතින පාසල් හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති පාසල් වෙත මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇත.

තාවකාලික ක්‍රමවේදය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

තාවකාලික ක්‍රමවේදය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන පොලිස් නිශ්කාශන සහතිකපත් බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ ස්ථාපිත පොලිස් නිශ්කාශන අංශය මගින් නිකුත් කරනු ලබයි.

එම නිශ්කාශන සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත්‍ර මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් මගින් සිදුකරනු ලබන අතර මෙම පද්ධතිය (20) දින දහවල් සිට අක්‍රිය වී ඇත.

මෙම පද්ධතිය කඩිනමින් සක්‍රිය කරන තෙක් නිශ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා අයදුම්කරුවන්ට පහත සඳහන් තාවකාලික ක්‍රමවේදය අනුගමනය කළ හැක.

www.police.lk පොලිස් වෙබ් අඩවියට පිවිස Download Application Click කර අයදුම්පත භාගත කර සම්පූර්ණ කර ජාතික හැඳුනුම්පතේ හා විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමඟ පහත විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට හැකියාව ඇත.

ආචාර්ය නන්දා මාලනියනි, ඔබේ හඬ මේ රටට සුවිශේෂී වූ සංස්කෘතික උරුමයක්

ආචාර්ය නන්දා මාලනියනි, ඔබේ හඬ මේ රටට සුවිශේෂී වූ සංස්කෘතික උරුමයක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි.

නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය.

ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය.

අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය.

එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.

ගල්අඟුරු වංචාව ගැන රෝහිතගෙන් ප්‍රශ්න කරයි

ගල්අඟුරු වංචාව ගැන රෝහිතගෙන් ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අද (21) දින ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොමිසම හමුවට කැඳවා ඇත.

ඒ අනුව ගල්අඟුරු ගනුදෙනු විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට රෝහිත අබේගුණවර්ධන කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල්

බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල්

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම බන්ධනාගාර මූලස්ථානයේදී අද (21) දින සිදු කෙරුණි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුරදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එම නිලධාරීන්ගේ ඥාතීන්ට ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ අග්‍රහාර රක්ෂණ ගෙවීම යටතේ මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදුවු අතර එහිදී ජීවිතක්ෂයට පත්වූ එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් එම නිලධාරීන්ගේ ඥාතීන්ට හා දරුවන්ට පිරිනැමීම සිදුවිය.

මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් සඳහා වන්දි මුදල් පමණක් නොව තවත් සහන රැසක් ලබාදීමේ වැඩපිළිවෙළක් බන්ධානාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කරයි.

තෙල් මිල ඉහළ⁣ට

තෙල් මිල ඉහළ⁣ට

අද (21) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවත් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.48ක් ලෙස ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.39ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 101.01ක් ලෙස ඉහළ ගොස් ඇත.

ආචාර්ය නන්දා මාලනියගේ අවසන් ඉල්ලීම

ආචාර්ය නන්දා මාලනියගේ අවසන් ඉල්ලීම

සිංහල ගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාන්තා සලකුණ ලෙස දශක ගණනක් පුරා අද්විතීය ගායන මෙහෙවරක නිරත වූ ආචාර්ය නන්දා මාලනියගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක් කර ඇත.

ආචාර්ය නන්දා මාලනියගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් පරිදි අවමංගල්‍ය කටයුතු සිදු කරන බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරයි.

අවසන් කටයුතු සිදුකෙරෙන අවස්තාවේදි අවමංගල්‍ය සභාවක් පැවැත් වීම හෝ ශෝක ප්‍රකාශ කිරීමක් සිදු නොවන බවද මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළේ,

“නන්දා මාලිනී මහත්මිය තමන්ගේ අන්තිම කැමති පත්‍රයේ තමන්ගේ අවමංගල්‍ය කටයුතු කළ යුතු විදිහ ලියලා තියෙනවා. ඉතින් අපි පවුලේ සියලු දෙනා ඒ අවසන් කැමති පත්‍රයේ තිබුණු විදිහට තමයි කටයුතු කරන්නේ.

ඒ අනුව සිකුරාදා උදේ 10.00ට නන්දා මාලිනී මහත්මියගේ දේහය ඇය පදිංචි වෙලා හිටිය නාවල පාර අංක 30, විජයබා මාවත, නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට ගෙන එනවා.

ඊට පස්සේ ඇයගේ දේහය සෙනසුරාදා පස්වරු 3:30 දක්වා මහජන ගෞරවය දක්වා නිවසේම තැන්පත් කරනවා. ඇය කියලා තියෙනවා මගේ නිවසින් පිට මගේ දේහය ගෙනියන්න එපා, හැකිතාක් චාම් විදිහට මේ කටයුතු කරන්න කියලා.

දේහය එදින පස්වරු 3:30ට දේහය බොරැල්ල සුසාන භූමිය වෙත ගෙන යනවා. අනතුරුව පස්වරු 5:00ට ආදාහන කටයුතු සිදු කෙරෙනවා.”

ලාංකීය ගීතයේ සුභාවිත සලකුණ ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් අද (21) හෙට (22) හා අනිද්දා ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කළේය.

පාසල් විභාග සහ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කෙරේ

පාසල් විභාග සහ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කෙරේ

2027 වර්ෂයට අදාළ පාසල් වාර සටහන, ප්‍රධාන විභාග පැවැත්වෙන කාලවකවානු සහ රජයේ නිවාඩු දින දර්ශනය ඇතුළත් චක්‍රලේඛය (අංක 31/2026) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.  

පාර්ලිමේන්තුව නිහඬ වෙයි

පාර්ලිමේන්තුව නිහඬ වෙයි

ශ්‍රී ලාංකීය රසවින්දනීය ගීත කලාවට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීයගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක් පැවැත්විණි.

අද (21) දින පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළේය.