Local news

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ ආරක්ෂිත සේප්පුව උස්සන් යයි

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ ආරක්ෂිත සේප්පුව උස්සන් යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයාගේ ගල්කිස්සේ නිවස අල්ලස් කොමිසමේ නිලධාරීන් විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ගල්කිස්ස පොලිසියේ සහාය ඇතිව එම නිවසට ඇතුළු වී ඇත.

අනතුරුව නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහගේ නිවසේ පැය 4කට ආසන්න කාලයක් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර, නිවසේ තිබු ආරක්ෂිත සේප්පුවක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇත.

කෙසේ වෙතත් එම ආරක්ෂිත සේප්පුව විවෘත කිරීමේ මුර අංකය තමා සතුව නොමැති බව නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ ප්‍රකාශ කර ඇත.

කස්සප හිමිට පහරදීම ගැන පොලීසියෙන් නිවේදනයක්

කස්සප හිමිට පහරදීම ගැන පොලීසියෙන් නිවේදනයක්

සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේ සත්‍යග්‍රහයක යෙදී සිටි බලංගොඩ කස්සප හිමි හට පොලිස් නිලධාරින් විසින් පහරදුන් බවට සදහන් කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

2026.10.17 වන දින රාත්‍රී කාලයේ කුරුදුවත්ත පොලිස් වසමේ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පිහිටි බුදු පිළිමය ඉදිරිපිටදී, බලංගොඩ කස්සප හිමිගේ ප්‍රධානත්වයෙන් දැනට බන්ධනාගාර ‌ගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිසි ක්‍රමවේදය යටතේ නිදහස් කරන ලෙසට ඉල්ලා විරෝධතා සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.

එම ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් පැමිණ සිටින පිරිස ආමන්ත්‍රණය කිරිමට හා ටෙන්ට් රෙද්දක් භාවිතා කර තාවකාලික අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් විසින් එය නීත්‍යානුකූල නොවන බව පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේ බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමින්වහන්සේලා රැස්වී සිටියදී එම ස්ථානයේ තිබූ කොන්ක්‍රීට් පඩියකින් ලිස්සා වැටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රතිකාර ලබා ගැනිම සදහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබාගෙන මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත.

පොලිස් නිලධාරින් විසින් පහර දීමක් සිදුකර නොමැති අතර, ලිස්සා වැටිම හේතුවෙන් එම හිමි නම හදිසි අනතුරකට ලක්ව ඇත. මෙවැනි අසත්‍ය, මහජනයා කුපිත වන, නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි ප්‍රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රියාත්මක වන බවත් දැනුම් දෙනු ලැබේ.

අසත්‍ය තොරතුරු පල කරනු ලබන වීඩියෝ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

අසාධ්‍ය රංගනය අවසන්.. කස්සප හිමි කාටත් නොකියා රෝහලෙන් පිටව යයි

අසාධ්‍ය රංගනය අවසන්.. කස්සප හිමි කාටත් නොකියා රෝහලෙන් පිටව යයි

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරතව සිටි බලංගොඩ කස්සප හිමිට පහරදීමක් සිදු කළ බවට ප්‍රකාශ කරමින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළේය.

අනතුරුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ආ බලංගොඩ කස්සප හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තමාට අසනීපයක් නොමැති බව පෙන්වා ස්වකැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් ඇත.

බලංගොඩ කස්සප හිමියන් රෝහලට රැගෙන ආ පසුව අවශ්‍ය මූලික ප්‍රතිකාර සහ මූලික වෛද්‍ය පරීක්ෂණ සිදුකර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් විය යුතු බවට දැනුම් දුන් අවස්ථාවේදී, තම කැමැත්තෙන් රෝහලෙන් පිටව යන බවට සඳහන් කර අදාළ ලේඛන වලට අත්සන් තබා පිටව ගොස් ඇත.

උන්වහන්සේ රෝහලට පැමිණි කාරණාව සම්බන්ධව වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර එක්ස් කිරණ පරීක්ෂණයන්, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයන් සහ උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකර ඇති අතර ඒවායේ කිසිදු වැරැද්දක් ඇති බවට එම අවස්ථාවේදී සලකුණු සටහන් වී නොමැත.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කළේ,

“අද දින පස්වරු 8.30ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසු ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලින් බැහැරව ගොස් තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්‍යවරු විසින් පරීක්ෂා කර බලා අදාළ විකිරණ පරීක්ෂණයන් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයන්, ඒ වගේම උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකරලා බලලා තියෙනවා ඒවායේ කිසිදු වරදක් ඇති බවට ඒ අවස්ථාවේදී සලකුණු සටහන් වෙලා නෑ. ඒ වගේම උන්වහන්සේගේ හිසට පහර වැදුණු බවට පැවසීම නිසා වෛද්‍යවරු යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු වාට්ටුවකට ඇතුළත් වෙලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්‍යතාව උන්වහන්සේට දැනුම්දීලා තිබුණා. නමුත් උන්වහන්සේ එම ප්‍රතිකාරයන් අවශ්‍ය නොවන බව පවසා පැයකට පමණ පසු රාත්‍රි 9.30ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලින් බැහැරව ගිය බවට වාර්තා වෙනවා.”

විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට 

විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට 

විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරයි.

සම්ප්‍රේෂණ පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් අද (17) උදෑසන 11.45ට පමණ දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් වාර්තා වු අතර අද රාත්‍රී 09.56 වනවිට විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇත.

ඉහළ කොත්මලේ විදුලි බලාගාරයේ ඇති වූ දෝෂයක් දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වන්නට ඇතැයි සැක කරයි.

කෙසේ වෙතත් විදුලි බිඳවැටීමට හේතුව තවමත් අනාවරණ කරගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

වහාම ඥනසාර හිමි නිදහස් කරන්න.. කස්සප හිමි ජනපතිට අනතුරු අඟවයි

වහාම ඥනසාර හිමි නිදහස් කරන්න.. කස්සප හිමි ජනපතිට අනතුරු අඟවයි

ජනාධිපතිතුමනි, වහාම ගලගොඩඅත්තේ ඥනසාර හිමිව නිදහස් කරන ලෙසත් මෙය නියෝගයක් බව බලංගොඩ කස්සප හිමි පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය දැන් උණත් ගිහිල්ලා අත්පත් කරගන්න පුළුවන් බවත් ඒවා අපිට අමාරු දේවල් නොවන බවද බලංගොඩ කස්සප හිමි පවසයි.

බලංගොඩ කස්සප හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“අපි ආණ්ඩු පෙරලන්න ආවේ නෑ. ජනාධිපතිකම උදුරාගන්න ආවේ නෑ. අපිට ඒවා බැරි දේවලුත් නෙමෙයි. සමහරු විවිධාකාරයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගහැරලා ආවට පස්සේ විවිධාකාරයේ කතා කියපු. ඕව අපිට අලුත් දේවල් නෙමෙයි.

ඔය ජනාධිපති ලේකම් කාර්යාල, අගමැති ලේකම් කාර්යාල, මන්දිර, ඕවා අපිට අමාරු දේවල් නෙමෙයි. දැන් උණත් ගිහිල්ලා අත්පත් කරගන්න පුළුවන්. රටම සාංගික කරන්න අපට පුළුවන්.

ඒවගේ තැනකට ගෙනියන්නේ නැතුව මේ ඥනසාර ස්වාමීන්වහන්සේව කරුණාකරලා ජනාධිපතිතුමනි නිදහස් කරන්න. මේක නියෝගයක්. මේක සංඝ ආඥාවක්. ඒ ආඥාව පිළිපදින්නේ නැත්නම් ඔබගේ උස්සලා පොලවේ ගහයි.”

“හොරුන්ට සහ දූෂිතයින්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්‍රණය පරදවමු” ජනතාව කොළඹට

“හොරුන්ට සහ දූෂිතයින්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්‍රණය පරදවමු” ජනතාව කොළඹට

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන ලෙසත් රට විනාශ කළ දූෂිතයින්ගේ කුමන්ත්‍රණ සඳහා ඉඩ ලබා නොදෙන ලෙස අවධාරණය කරමින් ජනවරමේ පුරවැසියෝ සංවිධානය අද කොළඹදී විරෝධතා පා ගමනක නිරත විය.

“හොරුන්ට, දූෂිතයන්ට, කුඩු ජාවාරම්කාරයන්ට දඬුවම් දීමට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණය පරාජය කරමු” යනුවෙන් සඳහන් විරෝධතා පාඨ රැගෙන ගාලු මුවදර පිටියේ ජනාධිපති කාර්යාලය ආසන්නයට ඔවුන් පැමිණියේය.

මහා සංඝරත්නය පෙර⁣ටු කරගත් මෙම විරෝධතා පා ගමනට සර්ව ආගමික නායකයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයෝ ඇතුළු විශාල ජනතාවක් ඊට එක්ව සිටියේය.

අනතුරුව ජනාධිපතිවරයාට සංදේශයක් බාර දීමට අවශ්‍ය බව විරෝධතා කරුවන් පැවසූ අතර එහි සිටි පොලිස් නිලධාරීන් පැවසූයේ මේ මොහොතේ ජනාධිපතිවරයා නොමැති බවත් නිලධාරීන්ට අදාළ සංදේශය බාරදීම සඳහා පහසුකම් සලසා දිය හැකි බවයි.

පසුව විරෝධතාවයේ නිරත වු පිරිසෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය තුලට යාමට අවස්ථාව හිමි විය.

විදුලි සැපයුම 50%ක් යථා තත්ත්වයට

විදුලි සැපයුම 50%ක් යථා තත්ත්වයට

හදිසි විදුලි බිඳවැටීමෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ වලින් 50%ක පමණ විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම සඳහන් කරයි.

මේ අතර ඇතිවූ හදිසි විදුලි බිඳ වැටීම සවස 6.30 වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.

එමෙන්ම ඇතැම් බලාගාර බිඳ වැටී ඇති බවට පළවන පුවත්වල සත්‍යතාවයක් නොමැති බවත් පවතින තත්ත්වය හමුවේ ගල් අඟුරු බලාගාරය පමණක් නිසි ක්‍රමවේදය අනුව ක්‍රියා විරහිත කර ඇති බව එම සමාගම සඳහන් කරයි.

ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

හදිසි විදුලි බිඳවැටීමෙන් පසු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වය පත්කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම සඳහන් කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල සහ බදුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙලෙස විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇත.

නොරොච්චෝල විදුලි ජනන යන්ත්‍ර තුනම නවතී

නොරොච්චෝල විදුලි ජනන යන්ත්‍ර තුනම නවතී

දිවයින පුරාම හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන යන්ත්‍ර තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

ජාතික විදුලිබල පද්ධතියේ හටගත් හදිසි කාර්මික දෝෂය සහ පද්ධතියේ සංඛ්‍යාතය  එකවර කඩා වැටීම හේතුවෙන්, ස්වයංක්‍රීය ආරක්ෂක පියවරක් ලෙස බලාගාරයේ ක්‍රියාකාරීත්වය මෙලෙස එකවර ඇණහිට ඇත.

මෙම හදිසි අක්‍රිය වීමත් සමඟ නොරොච්චෝල බලාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට සපයනු ලබන සමස්ත ධාරිතාවම පද්ධතියට අහිමි වී ඇත.

විදුලි බිඳවැටීම ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

විදුලි බිඳවැටීම ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

හදිසි විදුලි බිඳවැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

විදුලි බිඳවැටීමට ප්‍රධානතම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“අද උදෑසන ඇති වූ හදිසි තත්ත්වයක් නිසා පද්ධතියේ බිඳ වැටීමක් සිදුවෙලා මුළු දිවයිනටම විදුලිය සැපයීම බාධාවක් ඇති වෙලා විදුලි සැපයුම බිඳ වැටුණා. ජාතික පද්ධති ක්‍රියාකරු හැටියට අපි ඒ මේ වෙනකොට පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා.

අපි හිතනවා ඉතා ඉක්මනින් කොටස් වශයෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.

ඒ වගේම අපි මේ වෙලාවේ විශේෂයෙන්ම වහල මත සූර්ය පැනල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට උපකාරී වන ලෙස ඔවුන්ගේ වහල මත සූර්ය පැනල ස්විච් ඕෆ් කරන්න කියලා.

අපිට තවමත් ප්‍රධාන හේතුව මොකක්ද කියලා සොයා ගන්න බැහැ. නමුත් අපි මූලික වශයෙන් මේ වෙලාවේ වැඩි අවධානයක් යොමු කරන්නේ ලංකාවටම ඉතා ඉක්මනින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න.

ඊයේ දවසේ අප කොත්මලේ එක ප්ලාන්ට් එකක ගැටලුවක් පැනනැගිලා ඒ ප්ලාන්ට් එක බිඳ වැටුණා. ඒ නිසා මේ පද්ධතියේ අසමතුලිතතාවය හැදුනද.? එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටුණද කියන එක කරුණු පිළිබඳ අපි සොයමින් ඉන්නවා.

නමුත් අපි හිතනවා අපි ඉතා ඉක්මනින් මේ ගැටලුව විසඳන්න පුළුවන්. විශේෂයෙන් එක කොටසක විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දැනටමත් පුළුවන්කම ලැබුණා. අපි හිතනවා ඒ වගේ කොටස් වශයෙන් මුළු ලංකාවටම ඉතා ඉක්මනින් විදුලි සැපයුම නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.”

Follow WhatsApp Channel