Local news

අධිකරණයේ තීරණයට අපි යටත් වෙනවා.. එතනින් එහා කවුරුත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා

අධිකරණයේ තීරණයට අපි යටත් වෙනවා.. එතනින් එහා කවුරුත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා

ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය ලබාදී තිබෙන නිගමනයන්ට සහ අධිකරණය ලබාදී තිබෙන තීරණයට අපි යටත් වෙන බවත් එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා, බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,

“අපට අවශ්‍යයි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හැම කෙනාටම සමාන නීතියක් තියෙන රටක් හදන්න. ඕනද, නැද්ද. අපි ඒක හදනවා මතක තියාගන්න. හැබැයි ඒක හදනකොට මොකද වෙන්නේ.

පරණ නීතියෙන් වරප්‍රසාද ලබපු, පරණ නීතියට වඩා උඩින් හිටපු අය කලබල වෙනවා. මේ දවස්වල ටිකක් වැඩියෙන් කලබල වෙලා. ඇයි මේ දවස්වල නීතිය තමන් ලගට ලගා නොවේවි කියලා හිතන අය ගාවට නීතිය ඇවිල්ලා තියෙනවා. කවදාවත් හිතුවේ නෑ.”

“නීතිය පිළිබඳව අවසන් වගකිවයුත්තා කවුද. පාර්ලිමේන්තුව අණපනත් හදලා දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ඒ අණපනත් වලට අනුව නඩු දානවා. ඒ නඩු වලට අවශ්‍ය පරීක්ෂණ ටික අල්ලස් කොමිසම, සී.අයි.ඩී එක, පොලීසිය කරලා දෙනවා.

අවසානයේදී ඒ නීතිය අවසන් විභාගයට ලක් කරන්නා කවුද. අධිකරණය. ඒ අධිකරණයේදීත් අවසාන නීතිය විභාගයට ලක් කරන්නා කවුද. ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය. ශ්‍රේෂ්ඨාධිකරණ⁣යෙන් තීන්දුවක් දෙනවා. තීන්දුවක් දුන්නාම, ඒක අයින් කරන්න කියලා කෑ ගහනවා.

කොහෙද මේ නීතිය තියෙන්නේ එතකොට. එහෙම නීති තියෙන්න බෑ රටක. එනිසා මතක තබාගන්න ඒ ආයතන වලට අපි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන බලය දීලා තිබෙනවා. අපි විශ්වාස කරන්නේ අධිකරණ පද්ධතිය විසින් ලබාදෙන තීරණ තමයි මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අපි සලකනවා.

සලකන්නේ නැති අයට කෑ ගහන්න පුළුවන්. අපි සලකනවා අවසානයට ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය ලබාදී තිබෙන නිගමනයන්ට තමයි අපි යටත් වෙනවා. අධිකරණය ලබාදී තිබෙන තීරණයට අපි යටත් වෙනවා. එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා.”

රෝහලේදී බල නහර කපන්න පෙර ජීවිතය බේරාගත් කස්සප හිමි

රෝහලේදී බල නහර කපන්න පෙර ජීවිතය බේරාගත් කස්සප හිමි

බලංගොඩ කස්සප හිමිගේ ජීවිතය බේරාගැනීම සඳහා කොළඹ ජාතික රෝහලෙන් ඉවත් වු බව උලපනේ සුමංගල හිමි පවසයි.

උලපනේ සුමංගල හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“අපි පැහැදිළිවම වෛද්‍යවරු උන්වහන්සේව රෝහල්ගත කරන්න නිර්දේශ කරලා තිබෙද්දී අපි එතනින් ඉවත් වුණේ පෞද්ගලික රෝහලකට ඇතුල් කරගන්න. උන්වහන්සේගේ ආරක්ෂාව පතා. බල නහර කපන ආණ්ඩුවෙන් උන්වහන්සේගේ ජීවිතය බේරාගැනීම සඳහා.”

කෙසේ වෙතත්, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බලංගොඩ කස්සප හිමි පැයකට පමණ පසුව ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලින් පිටව ගිය බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කළේ,

“ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසු ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලින් බැහැරව ගොස් තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්‍යවරු විසින් පරීක්ෂා කර බලා අදාළ විකිරණ පරීක්ෂණයන් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයන්, ඒ වගේම උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකරලා බලලා තියෙනවා ඒවායේ කිසිදු වරදක් ඇති බවට ඒ අවස්ථාවේදී සලකුණු සටහන් වෙලා නෑ.

උන්වහන්සේගේ හිසට පහර වැදුණු බවට පැවසීම නිසා වෛද්‍යවරු යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු වාට්ටුවකට ඇතුළත් වෙලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්‍යතාව උන්වහන්සේට දැනුම්දීලා තිබුණා. නමුත් උන්වහන්සේ එම ප්‍රතිකාරයන් අවශ්‍ය නොවන බව පවසා පැයකට පමණ පසු ශ්‍රී ලංකා ජාතික රෝහලින් බැහැරව ගිය බවට වාර්තා වෙනවා.”

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බව කියන සැකකරුවකු ගිනිඅවි සමග හුනුගල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියෙකු බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තිබී බොර 12  වර්ගයේ ගිනි අවියක්, “කැප් තුවක්කු” වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරු විසින් මීට පෙර අවස්ථාවකදී “ඩයනා” නමින් හැඳින් වූ ඇතෙකුට වෙඩි තබා ඇති බවටද තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙටි විවේකයෙන් පසුව කස්සප හිමි නැවතත් සත්‍යග්‍රහයට

කෙටි විවේකයෙන් පසුව කස්සප හිමි නැවතත් සත්‍යග්‍රහයට

සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී ඇරඹි සත්‍යග්‍රය සඳහා නැවතත් බලංගොඩ කස්සප හිමි අද එක්වී ඇත.

ඊයේ (17) දින කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරතව සිටි බලංගොඩ කස්සප හිමිට පහරදීමක් සිදුකළ බවට ප්‍රකාශ කරමින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළේය.

අනතුරුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ආ බලංගොඩ කස්සප හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තමාට අසනීපයක් නොමැති බව පෙන්වා ස්වකැමැත්තෙන් රෝහලෙන් පිටව ගියේය.

ජනපති අනුරගේ උපදෙස් මත අග්බෝ සොයන්න විශේෂ බල ඇණියක්

ජනපති අනුරගේ උපදෙස් මත අග්බෝ සොයන්න විශේෂ බල ඇණියක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ නියෝග මත අග්බෝ වන අලියා සොයා මෙහෙයුමක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

පරිසර අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශයේ වනගත භූමිය තුළ අග්බෝ වන අලියා සොයා වනජීවී නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත බල ඇණියක් මෙහෙයුම් වල නිරතව සිටියි.

අග්බෝ වන අලියා කඩිනමින් සොයාගෙන එම සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා කණ්ඩායම වහාම යෙදවීමට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී ඇත.

නොරොච්චෝලේ බලාගාරය දින කිහිපයකට නවතී

නොරොච්චෝලේ බලාගාරය දින කිහිපයකට නවතී

ආරක්ෂිත පියවරක් ලෙස අක්‍රීය කරනු ලැබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ මුහුණ දෙන සාමාන්‍ය ආරක්ෂක ක්‍රමවේද වලට යොමුවී ඇති බැවින් දින කිහිපයක් යන තෙක් බලාගාරය පද්ධතියට නැවත සම්බන්ධ නොකරන බව එම සමාගම සඳහන් කරයි.

මේ හේතුවෙන් පද්ධතියට අහිමි වන මෙගාවොට් 810ක ධාරිතාව නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට ජාතික පද්ධති ක්‍රියාකරු ලෙස කටයුතු සම්පාදනය කර ඇත.

මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි ජනනය උපරිම අගයක පවත්වා ගැනීමට හැකි වීමත් පද්ධතියේ ඉල්ලුම සාපේක්ෂව අඩුවීමට ඇති ප්‍රවණතාවයන් නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට අපේක්ෂා කරන බවද එම සමාගම සඳහන් කරයි.

ශිරන්ති මහින්ද ලගට යයි.. එකම රෝහලේ

ශිරන්ති මහින්ද ලගට යයි.. එකම රෝහලේ

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා ඇත.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය (16) දින නියම කළේය.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළේය. 

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවමත් කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අග්බෝ ඇතා සෙවීමට විශේෂ හමුදා කණ්ඩායමක්

අග්බෝ ඇතා සෙවීමට විශේෂ හමුදා කණ්ඩායමක්

අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත මෙම විශේෂ හමුදා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇත.

අග්බෝ ඇතු සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අග්බෝ ඇතු සොයා ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම කණ්ඩායම මගින් අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනා ගනිමින් ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සිදුවනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

ලක්ෂ 28ක අයිස් මත්ද්‍රව්‍ය සමග පියුමි අත්අඩංගුවට

ලක්ෂ 28ක අයිස් මත්ද්‍රව්‍ය සමග පියුමි අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කල ‘පියුමි’ නමින් හඳුන්වන කාන්තාවක් රුපියල් ලක්ෂ 28කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලම්පිටිය, මීතොටමුල්ල, පෙරේරා මාවතේ කුලී පදනම මත පදිංචිව සිටි මෙම කාන්තාව නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය (16) දින අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274ක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකාරිය දිවයිනේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙමටගොඩ චමින්දගේ’ ප්‍රධාන ගෝලයෙකු වන ‘දෙමටගොඩ ඉසුරු’ යන අයගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය වැල්ලම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ප්‍රධාන සාමාජිකාවක් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අලුත්කඩේ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගත් රැඳවුම් නියෝග මත මේ වනවිට වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදු කරයි.

කිරිඳිවැල සිනමා ශාලාවකින් මතුවු ගිනි අවි සහ ජීව උණ්ඩ

කිරිඳිවැල සිනමා ශාලාවකින් මතුවු ගිනි අවි සහ ජීව උණ්ඩ

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් අනුව කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්‍රදේශයේ සිනමා හලක් පරීක්ෂාවට ලක්කර ගිනිඅවි, ජීව පතොරොම් සහ අත්බෝම්බ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිනමා ශාලාව තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තොල අවි 02, රිවෝල්වර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත රීපිටර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත බොර 12 අවියක්, බෝර 12 ජීව පතොරොම් 398ක්, බෝර 16 ජීව පතොරොම් 278, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 49ක්, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 3083ක් සහ ජීව අත්බෝම්බ 02ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 38ක් වූ මිල්ලතේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Follow WhatsApp Channel