Local news

ඉදිර පැය 24 ගැන අනතුරු ඇඟවීමක්

ඉදිර පැය 24 ගැන අනතුරු ඇඟවීමක්

බටහිර – මධ්‍යම සහ ඊට යාබද නැගෙනහිර – මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය, බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ එය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා දැඩි අවධානය පිණිස මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 – 65 දක්වා වැඩි වන අතර මුහුද විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව සඳහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමඟ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත් වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති පත් කරයි

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා පත් කරනු ලැබ ඇත.

අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ නලීන් රොහාන්ත අබේසූරිය (24) වනදා දක්වා විදේශගත වන බැවින් එම ධුරයේ වැඩබැලීමට අදාළව මෙම පත්වීම සිදු කර තිබේ.

ඒ අනුව, මායාදුන්න කොරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (21) දින දිවුරුම් දුන්නේය.

මරණ දඬුවම නියම වූ අනෝජන් වෙනුවෙන් ජනපති ගත් පියවර

මරණ දඬුවම නියම වූ අනෝජන් වෙනුවෙන් ජනපති ගත් පියවර

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගත හැකි රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර අදාළ තරුණයා බේරා ගැනීම වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, මෙම කරුණ සම්බන්ධයෙන් සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදු කරමින්, ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අඛණ්ඩ කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සම්බන්ධයෙන් රජය දක්වන අවධානය තවදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ අමාත්‍යාංශ සහ ආයතන අතර සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

දැවැන්ත ප්‍රහාරයකට පෙර ඉරානය අනතුරු අඟවයි

දැවැන්ත ප්‍රහාරයකට පෙර ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාව විසින් නව විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව පවසමින්, ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඉරානය වෙත ප්‍රහාර එල්ල වුවහොත් අමෙරිකානු කඳවුරු සහ අන්තර්ජාල හෝ කලාපීය අවශ්‍යතා ඉලක්ක කර අඛණ්ඩ ප්‍රතිප්‍රහාර දියත් කරන බව ඉරානය සඳහන් කරයි.

සෞදි අරාබියට එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයට මෙම ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානම් වන බව වාර්තා වේ.

මේ අතර මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් අමෙරිකානුවන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවත් ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ගුවන් අවකාශය වැසී යාම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

නිල වෙබ් අඩවිය සමග “ViYASA” විවෘත කරයි

නිල වෙබ් අඩවිය සමග “ViYASA” විවෘත කරයි

ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටවනු ලබන ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට (22) විවෘත කෙරේ.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමඟ ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබාදීමට මෙන්ම අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙම මධ්‍යස්ථානයෙන් කටයුතු කෙරෙනු ඇත.

“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත අංක C-80 ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙන අතර එහි ප්‍රධානී ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ කටයුතු කරයි.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කෙරෙන අතර https://nbfc.presidentsoffice.gov.lk වෙබ් අඩෙවියද මෙහිදී නිල වශයෙන් දියත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගන්න කියපු විමල් අධිකරණයට පැමිණ ආබාධයක් ගැන කියයි

අත්අඩංගුවට ගන්න කියපු විමල් අධිකරණයට පැමිණ ආබාධයක් ගැන කියයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක සම්බන්ධයෙන් නඩුව අද (21) කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ ටික වේලාවකට පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව විත්තිකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය හමුවේ සඳහන් කළේ, සිය සේවාදායකයාගේ වාහනයේ ඇති වූ ආබාධයක් නිසා ඔහුට නිසි වෙලාවට අධිකරණය පෙනී සිටීමට නොහැකි වූ බවයි.

එනිසා සිය සේවාදායකයාට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ, මෙම ඉල්ලීම හෙට (22) දින මෝසමක් මාර්ගයෙන් සිදුකිරීමට පියවර ගන්නා ලෙසයි.

සජිත්ගෙන් CIDය ප්‍රශ්න කරන්න සූදානම්.. සජිත් වමාරයි.?

සජිත්ගෙන් CIDය ප්‍රශ්න කරන්න සූදානම්.. සජිත් වමාරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

මෙම ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළදී සිදුකර ඇති බැවින්, ඒ සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂාව හිමිවන අතර ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ පූර්ණ කැමැත්ත සහ සහයෝගය මත ස්වේච්ඡාවෙන් පමණි.

මේ අතර අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පසුගිය (15) වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනි., මේ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, මගේ වුවමනාවටත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඔහු ගැන මුලින්ම කරුණු දැක්වූයේ 2019 වසරේදී විපක්ෂ නාකයවරයා පාර්ලිමේන්තුවේදී.

ව්‍යවස්ථාදායකය තුළ තමා ඔහු ගැන මුලින්ම කතා කළේ. විපක්ෂ නායක ඇතුළු මන්ත‍්‍රීවරුන් වගකීමක් ඇතුව ඒ ප්‍රකාශ කරලා ඇති කියලා මම හිතනවා. එම නිසා විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් ඔවුන් සිදුකර තිබෙන ප්‍රකාශයන්ට අදාලව ප්‍රකාශ සටහන් කර ගන්න කටයුතු කරනවා.”

විමල් අත්අඩංගුවට ගන්න වරෙන්තු

විමල් අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක සම්බන්ධයෙන් නඩුව අද (21) කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් රැසකට නිවාඩු

අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් රැසකට නිවාඩු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප වලට අයත් සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් 13 කට අද (21) දින නිවාඩු ලබාදී ඇත.

ඒ අනුව නුවරඑළිය කලාපයේ පාසල් 156න් පාසල් 4ක් සහ හැටන් කලාපයේ පාසල් 150න් පාසල් 9කට නිවාඩු ලබාදී ඇත.

පවතින අයහපත් කාලගුණයත් සමඟ පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් වෙත පවරනු ලැබුවේය.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ දෙනුවර, ගම්පොළ හා කටුගස්තොට අධ්‍යාපන කලාපවල පාසල් රැසකට අද (21) නිවාඩු ලබාදී ඇත.

ඒ අනුව ගම්පොල කලාපයේ පාසල් 14ක්, දෙනුවර කලාපයේ පාසල් 01ක් සහ කටුගස්තොට කලාපයේ පාසල් 02කට නිවාඩු ලබාදී ඇත.

මධ්‍යම පළාතේ සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට පවරා ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු සඳහන් කරයි.

සීගිරිය කේන්ද්‍ර කරගනිමින් අලුත්ම ව්‍යාපෘතියක්

සීගිරිය කේන්ද්‍ර කරගනිමින් අලුත්ම ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය සහායෙන් ක්‍රියාත්මක දඹුල්ල – සීගිරිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලබන තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියේ (STSDP) දඹුල්ල – සීගිරිය සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම (20) දින සිදු කළේය.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණය මුදලක් ලබාදී ඇති අතර ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සහ මූලිකත්වයෙන් මෙම තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පලාත් සභාව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයත් සහිතව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙයි.

මෙහි මූලික අරමුණ වන්නේ සංචාරක ගමනාන්තවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සංචාරක ක්‍ෂේත්‍රයේ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම, නාගරික සේවා වැඩිදියුණු කිරීම, සංචාරක ගමනාන්ත කළමනාකරණය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන සංචාරක ගමනාන්ත ඇතිකිරීම, සියලු ජන කණ්ඩායම් සඳහා ප්‍රවේශ විය හැකි සහ ඇතුලත් සංචාරක පරිසරයක් ඇති කිරීම.

උපාය මාර්ගික පිහිටීම සහ පවතින විශාල සංචාරක විභවය සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම පලාතේ දඹුල්ල – සීගිරිය සහ නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය යන ප්‍රධාන ස්ථානයන් දෙක තෝරාගෙන ඇත.

ව්‍යාපෘතියේ පැකේජ 01 යටතේ ප්‍රධාන උප ව්‍යාපෘති 05 ක් ක්‍රියාත්මක කරයි.

නව ගම්මාන වාහන නැවැත්වීමේ ස්ථානය වැඩිදියුණු කිරීම, සියවස මාවත ප්‍රතිසංස්කරණය, සීගිරි වැව වැඩිදියුණු කිරීම, විදේශීය සංචාරකයින්ගේ වාහන නැවැත්වීමේ ස්ථානය (සීගිරිය) වැඩිදියුණු කිරීම, සීගිරි කෞතුකාගාර පරිශ්‍රය සහ එලිමහන් රංග පීඨය වැඩිදියුණු කිරීම යන එම උප ව්‍යාපෘති මාස දහඅටක කාලයක් තුල නිම කිරීමට සැලසුම් කර ඇති අතර කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 1,206කි.

එමෙන්ම පැකේජ 02 යටතේ තවත් ප්‍රධාන උප ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කරයි.

මාපාගල සංරක්‍ෂණ හා සංවර්ධන කටයුතු, පිදුරංගල සංරක්‍ෂණ හා සංවර්ධන කටයුතු, කළු දිය පොකුණ සංරක්‍ෂණ හා සංවර්ධන කටයුතු, උරුමය මාවත (Heritage Trail) රාමකැලේ සිට තල්කොටේ දක්වා කිලෝමීටර් 11ක් සංවර්ධනය කිරීම සිදුකරන අතර මාස තිහක කොන්ත්‍රාත් කාලයකින් සිදුකරන මෙම උප ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1,085ක් වැය කෙරෙයි.

✕
⌃ News
📰 Free News Subscription?