ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා වන ක්‍රියාකාරී දින 16 ගෝලීය වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ වැඩසටහන් රැසක් අද (25) දින පැවැත්විණි.
මෙම වැඩසටහනට සහය පළ කරමින් අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංකේතාත්මක ලාංඡන පැළඳවීම සිදුවිය.
මෙයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද තැඹිලි පැහැති හෝ තැඹිලි පැහැය සහිත ඇඳුමින් සැරසී මෙම වැඩසටහනට සහය පළ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තුව තුළ දින 16ක වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙවර ගෝලීය වැඩසටහනේ තේමාව වන්නේ “කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම වෙනුවෙන් එක්සත් වෙමු: යුක්තිය තහවුරු කරමු, හිංසනයට ලක් වූවන් සුරකිමු, දඬුවම් නොලැබීම දුරලමු” යන්නයි. ශ්‍රී ලංකාවේ මෙවර වැඩසටහන “This is my right” යන තේමාව යටතේ ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහනට සහය පළ කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් ද සිදු කරන ලදී.
එහිදී නොවැම්බර් (25) වැනි දින සිට දෙසැම්බර් (10) වැනි දින දක්වා පැවැත්වෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 ගෝලීය වැඩසටහන සංකේතවත් කරමින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහයෝගය පළ කරන බව එතුමා සභාවට දැනුම් දුන්නේය.
මෙයට සමගාමීව පාර්ලිමේන්තුවේදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය සහ විපක්ෂ නායකවරයා ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ වැදගත්කම අවධාරණය කළහ.
කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදු වන හිංසනයන් වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සාමූහික සහයෝගය සහ වගකීම අවශ්‍ය බව මෙහිදී පෙන්වා දෙන ලදී.
දින 16ක ක්‍රියාකාරී වැඩසටහන යනු සෑම වසරකම නොවැම්බර් (25) වැනි දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ආරම්භ වී දෙසැම්බර් (10) වැනි දිනට යෙදෙන මානව හිමිකම් දිනයෙන් අවසන් වන ගෝලීය ව්‍යාපාරයකි.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදු වන සියලු ආකාරයේ ප්රචණ්ඩත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම, එවැනි හිංසනයන් වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීමට දිරිගැන්වීමයි.
ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා නීතිමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවලට අමතරව සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ කැපවීම සහ වගකීම ද අවශ්‍ය බව මෙවර වැඩසටහන මඟින් අවධාරණය කෙරේ.
