Local news

අසාධ්‍ය ශිරන්තිගේ මුහුණට සිනහවක්.. රටින් පිටවීම තහනම්

අසාධ්‍ය ශිරන්තිගේ මුහුණට සිනහවක්.. රටින් පිටවීම තහනම්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) දින නියම කළේය.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළේය. 

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස (11) වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

ශ්‍රී ලංකන් ගුවන් ගමන් රැසක් නවතී

ශ්‍රී ලංකන් ගුවන් ගමන් රැසක් නවතී

ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත.

ඒ අනුව සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් (24) වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය සඳහන් කළේ, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්‍රමුඛතම කාර්යය වන බවයි.

රෝහලේ ඉන්න මහින්දට වැඩ වරදී.. ඩොලර් මිලියන ගණනක අල්ලස්

රෝහලේ ඉන්න මහින්දට වැඩ වරදී.. ඩොලර් මිලියන ගණනක අල්ලස්

ගාලුමුවදොර යුද හමුදා මූලස්ථානය සතු ඉඩම ‘ශැංග්‍රිලා’ (Shangri-La) හෝටල් ජාලය වෙත පැවරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන පහක (එකල රුපියල් කෝටි 100කට අධික) අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිවිල් සංවිධාන විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි සහ මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් රැස්කර තිබූ සාක්ෂි ගොනු පදනම් කරගනිමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

එවක රාජපක්ෂ පාලන සමයේ විදේශ කටයුතු පිළිබඳ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන විසින් සිදුකරන ලද ප්‍රකාශ සහ සිංගප්පූරුවේ ‘TPL Inter’ සමාගමේ හිමිකරු වන චිදම්බරම් නමැති ව්‍යාපාරිකයා විසින් 2015 ඔක්තෝබර් (28) වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම අක්‍රමිකතාව පිළිබඳ තොරතුරු මුල්වරට අනාවරණය වී ඇත.

එවකට FCID ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ඇතුළු විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් හමුවේ සිංගප්පූරුවේදී ලබාදී ඇති එම දිවුරුම් ප්‍රකාශය මඟින්, මෙම ගනුදෙනුවට අදාළව තැරැව්කාර මුදල් හා කොමිස් මුදල් සංසරණය වූ ආකාරය පිළිබඳ තොරතුරු සටහන් කරගෙන තිබිණි.

අල්ලස් කොමිසම හමුවේ ඇති චෝදනා වලට අනුව, ශැංග්‍රිලා සමාගමෙන් ලබාගත් මෙම ඩොලර් මිලියන 5ක අල්ලස් මුදල මෙරට ප්‍රකට පෞද්ගලික මූල්‍ය ආයතනයක් ඔස්සේ මුදල් විශුද්ධිකරණයට ලක්කරමින් නීත්‍යනුකූල මුදල් ලෙස මෙරටට ගෙන්වා ඇත.

ශිරන්තිට අසාධ්‍යයි.. බයිපාස් සැත්කමක්

ශිරන්තිට අසාධ්‍යයි.. බයිපාස් සැත්කමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (16) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවයි.

එහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂගේ වෛද්‍ය වාර්තාව අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අධිකරණය දැනුම් දී ඇත.

එම වෛද්‍ය වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සහිතව එය ඉදිරිපත් කර ඇති බවයි.

ශිරන්ති රාජපක්ෂගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු එම වාර්තාවේ සඳහන් වන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, ඇයට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට ද එහි සඳහන් වන බව සඳහන් කරයි.

එම අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ වෛද්‍ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරුණු දැක්වීමට තමන්ට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව, නඩුවේ වැඩිදුර කටයුතු පස්වරු 2.45 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සත්‍යග්‍රහය අවසන්.. අට්ටාල ගලවාගෙන පිරිස ගාලු මුවදොරින් පිටව යයි

සත්‍යග්‍රහය අවසන්.. අට්ටාල ගලවාගෙන පිරිස ගාලු මුවදොරින් පිටව යයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබු නියෝගයත් සමගම ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට සත්‍යග්‍රහයේ නිතර පිරිස් කටයුතු කර ඇත.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ අතර ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

අනතුරුව එම අධිකරණ නියෝගය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලාට කියවා භාර දීමට පොලිසිය පියවර ගත්තේය.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වු සියලු පිරිස එම ස්ථානයෙන් ඉවත් වී පිටව ගියේය.

මීගමුව බන්ධනාගාර ගැටුමේ අවසන් තීන්දුව

මීගමුව බන්ධනාගාර ගැටුමේ අවසන් තීන්දුව

පසුගිය ජුලි මස මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වු තිස් දෙදෙනා සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ නියෝගය ලබන (23) වැනිදා නිකුත් කරන බව මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා (15) දින නිවේදනය කළේය.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී මියගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත් සියලුම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ප්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නිවාඩු ලබා ඇති බැවින් මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් නියෝගය ලබන (23) වැනිදා නිකුත් කරන බවයි.

මේ වනවිට සැකකරුවන් 106 දෙනකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීහු සඳහන් කළ අතර සැකකරුවන් 106ක් හඳුනා ගැනීමේ පෙරට්ටුව වෙත ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කරයි.

මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු රස පරීක්ෂණ වාර්තාවක් තවමත් ලැබී නොමැති බවත් ගිනිඅවි සම්බන්ධයෙන් ලේ සාම්පල හා DNA වාර්තා කිසිවක් ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් 106 දෙනාම ඔක්තෝබර් (23) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ගල්අඟුරු වංචාව.. පාඨලීගේ පැටිකිරිය හෙළිවෙයි

ගල්අඟුරු වංචාව.. පාඨලීගේ පැටිකිරිය හෙළිවෙයි

තෝරියම් අයන් සමාගම මඟින් ගල්අඟුරු ආනයනයේදී ගල්අඟුරු මෙට්‍රික් ටොන් 29,896කට වැඩි ප‍්‍රමාණයක් මෙරටට නොලැබී යෑමෙන් අතිවිශාල පාඩුවක් සිදුව ඇති බව ගල් අඟුරු ආනයනයේදී පාඩු සිදුව ඇතිදැයි සොයන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේදී අනාවරණය වී ඇත.

එයට වගකිව යුත්තේ එවක හිටපු විදුලිබල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක සහ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු බවට ලංකා නැව් සංස්ථාවේ හිටපු සභාපති, නීතිඥ කාංචන රත්වත්ත (15) දින එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සඳහන් කර ඇත.

ගල්අඟුරු ගොඩබෑමේදී පැවැති අයහපත් පාරිසරික තත්ත්වයන් සහ ඒවාට ගිනි ඇවිළීමෙන් විය හැකිව තිබූ අනතුර හමුවේ ගත යුතු ඉදිරි පියවර පිළිබඳ තමන් ඇතුළු පිරිස හිටපු ඇමති පාඨලී චම්පික රණවක සභාපතිත්වය දැරූ කමිටුවෙන් විමසා සිටි බවද ඔහු සඳහන් කර ඇත.

එවිට එම ගනුදෙනුව ලංකා ගල්අඟුරු සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය විසඳා ගත යුත්තක් බවට ඇමති පාඨලී චම්පික රණවක පෙන්වා දුන් බව සාක්ෂිකරු විස්තර කර ඇත.

අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුත්තක් වූ එම කරුණට අදාළ වගකීම පැවරෙන ඇමතිවරයා සහ ලේකම්වරයා එසේ වගකීම පැහැර හැරීම මෙම පාඩුවට ප්‍රධාන හේතුවක් බවත් එහි වගකීම තමන්ද භාර ගන්නා නමුත් ඇමතිවරයාගේ පෙන්වා දීමට අනුව තමන් ඇතුළු පිරිස කටයුතු කළ බවද සාක්ෂිකරු සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් අනතුරුව හිටපු ඇමති පාඨලී චම්පික රණවක, ඔහුගේ හිතමිත්‍ර, උසස් පොලිස් නිලධාරියකුගේ සහය ඇතිව එවකට තමන් ඇතුළු පිරිස 2015 වර්ෂයේදී නීතිය හමුවට ගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවත්, ඒ අනුව වසර ගණනාවක් එම නීතිමය කරුණු වලට මුහුණ දීමට තමන්ටද සිදුවූ බවද සාක්ෂිකරු සඳහන් කරයි.

හිටපු ඇමති පාඨලී චම්පික රණවක යකඩ මිනිසකු වශයෙන් ප්‍රතිරූපයක් සමාජයේ ගොඩ නැඟීමට කටයුතු කළද සැබැවින්ම කළමනාකරණ දක්ෂතාවක් නොවුණු ඔහු බියගුල්ලකු බවද එම සාක්ෂිකරු සඳහන් කරයි.

කථානායකට එරෙහි විශ්වාසභංගය දින නියමයක් නොමැතිව කල්යයි

කථානායකට එරෙහි විශ්වාසභංගය දින නියමයක් නොමැතිව කල්යයි

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්ව ඇත.

අදාළ විවාදය ලබන (20) වන අගහරුවාදා දිනයේ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කර ඇති අතර කථානායකවරයාට එරෙහි යෝජනාවේ කරුණු 50ක් සඳහන්ව ඇති බැවින් ඊට එක් දිනයක් ප්‍රමාණවත් නොවන බව විපක්ෂයේ නියෝජිතයින් පෙන්වාදී ඇත.

කෙසේ වෙතත් කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු වල තාක්ෂණික ගැටළු කිහිපයක් පවතින බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බවට ආණ්ඩු පක්ෂය විසින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත.

මිනිස්සු අපිට හූ කියනවා.. ඥනසාර හිමිට සමාව දෙන්න.. නැත්නම් ජනාධිපති ගෙදර යන්න

මිනිස්සු අපිට හූ කියනවා.. ඥනසාර හිමිට සමාව දෙන්න.. නැත්නම් ජනාධිපති ගෙදර යන්න

තමන්ට බස් වලින් සහ වාහන වලින් ගමන් කරනා පුද්ගලයන් “හූ” කියාගෙන යන බවත් තමන්ට අවශ්‍ය නම් කොළඹම වැසිය හැකි නමුත් තමන් එසේ නොකරන බව බලංගොඩ කස්සප හිමියෝ පවසයි.

නුවර ඉඳන් පාගමනින් භික්ෂූන් වහන්සේලා මේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේ ඥානසාර හාමුදුරුවන්ට කොන්දේසි විරහිතව නිදහස ලබා ගැනීමේ අභිලාෂයෙන් බවද බලංගොඩ කස්සප හිමියෝ පවසයි.

එනිසා වහාම ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදිය යුතු බවත් එසේ කිරීමට නොහැකි නම් ජනාධිපතිවරයා ගෙදර යා යුතු බවද බලංගොඩ කස්සප හිමියෝ පවසයි.

මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විරෝධයට අදාලව උසාවි නියෝගයක් ලබා ගෙන ඇති පසුබිමක බලංගොඩ කස්සප හිමියෝ මේ බව පවසයි.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධයේ නිරත වන බලංගොඩ කස්සප හිමි සඳහන් කළේ,

“අපි නුවර ඉඳන් පාගමනින් අරණ්‍යවාසී, ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේලා දහසකට අධිකව මේ ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ ඥානසාර හාමුදුරුවන්ට කොන්දේසි විරහිතව නිදහස ලබා ගැනීමේ අභිලාෂයෙන්. ඒ නිදහස ලබා දෙන්න වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව බැඳිලා ඉන්නවා. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවෙනි වගන්තිය කියලා කියන්නේ.”

“අපිට ඕන නම් මේ මුළු කොළඹම වහන්න පුළුවන්. හැබැයි අපිට එහෙම කැලඹිලි හදන්න ඕනේ නෑ. ජනාධිපතිතුමනි, ඔබතුමා, ඔබතුමාගේ රට පාලනය කරගෙන යන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔබතුමා ආණ්ඩු කරන්න, ඒ ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි බුද්ධාගමට, බුද්ධ ශාසනයට, චීවරයට ගහන්න හදන්න එපා.”

“අනිත් කාරණය මේ තැන්වලින් පොලීසිය මහත්තුරු ඉද්දි බස්වලින් වාහන වලින් හූ කියාගෙන යනවා, එක්කෙනෙක් දෙන්නෙක්. හරිද.? මේ සිවුරට ආයේ මේ රටේ හූ කියන්න බෑ. මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යැයි කියාගත්තු 2.50 හේ ඇත්ත මම මේ කියන්නේ සදාචාර සම්පන්න මාධ්‍යවේදීන්ට නෙමෙයි, මේ කාමරයක් ඇතුලේ කැමරාවක් අටෝගෙන ක්ලිප් ෆෝන් එකක් ගහගෙන ඔහේ කුණුහරප කියන අසභ්‍ය වදන් කියන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.”

යේමනයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්‍රහාරයක්

යේමනයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්‍රහාරයක්

යේමනයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර අගමැතිවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම සිවිල් සේවකයින් කිහිප දෙනෙකු සිටින අතර එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ යේමන අගමැති අල්-සින්ඩානි මාලිගාව තුළ රැඳී සිටියද ඔහුට අනතුරක් සිදුව නැත.

යේමන රජයේ හමුදා සහ ඔවුන්ට සහාය දක්වන සෞදි ප්‍රමුඛ හමුදා සන්ධානය විසින් භාවිතා කරනු ලබන, අල්-මාෂික් මාලිගා පරිශ්‍රය තුළ පිහිටා ඇති හමුදා අණදෙන මධ්‍යස්ථානය එම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත.

Follow WhatsApp Channel