Local news

පාස්කු ප්‍රහාරය නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙක් නෑ

පාස්කු ප්‍රහාරය නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙක් නෑ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කල්තියා තොරතුරු අනාවරණය වී තිබු බවට අධිකරණය ක්‍රියාවලියේදී හෙළිවෙමින් ඇතැයි මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.

එම ප්‍රහාරය සම්බන්ධ තොරතුරු හිතාමාතා වසන් කර ප්‍රහාරය එල්ල කිරීමට ඉඩ හැර තිබු බවට දිගින් දිගටම කළ චෝදනාව දැන් සාක්ෂි මගින් අනාවරණය වෙමින් පවතින බවද මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.

සහරාන් ඇතුළු කල්ලිය පාස්කු ප්‍රහාරයට සූදානම් වු මුල් අවස්තාවේ සිටම මෙම තොරතුරු ඉහළම මට්ටමේ පිරිසක් අතට ලැබී තිබු බවද මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.

සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත්තා නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙක් නොමැති බවද මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.

මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කළේ,

“වව්නතිවු සිද්ධිය වෙව්ව ගමන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කරලා තියෙන විදිහට මේක කරේ සහරාන්ගේ කණ්ඩායම කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ.?

තම්බියන් මෙහෙයවන එක්කෙනා එයාගේ සීඕට කියනවා. එයා මුලස්ථානයට යවනවා. අන්තිමට ඔය මාසේ, දෙසැම්බර් මාසෙදී බුද්ධි සමාලෝචන රැස්වීම තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ.

එතකොට ඒකේ ඉන්නවා චූලා කොඩිතුවක්කු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා අතුළු කණ්ඩායම ඉන්නවා. එතෙන්ට ගිහිල්ලා මේගොල්ලෝ කියනවා, හමුදා නිලධාරීන් යුද හමුදා බුද්ධි අංශයේ.

මේක කලේ සහරාන්ලගේ කණ්ඩායම කියලා. ඒගොල්ලෝ එහෙම කීවට මොකක්ද වුණේ. චූලා කොඩිතුවක්කු මහත්තයා අත්සන් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලියුම් යවනවා, දෙමළ අය කළේ. LTTE එකට සම්බන්ධ අය කළේ කියලා.

තනිකර මේක LTTE පැත්තට හරවන්න උත්සාහ කරනවා. එතකොට මොකක්ද අරමුණ, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා උසාවියේ කිවුව විදිහටමත්, සහරාන් ඒ වෙලාවේ අහුවුණා නම්,

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය නෑ. පාස්කු ප්‍රහාරය නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙකුත් නෑ. පාස්කු ප්‍රහාරය නැත්නම්, සමහරවිට ඒ කාලයේ විමර්ශන කරලා ශානි අබේසේකරලා විමර්ශනය කරලා, ගෝඨාභය රාජපක්ෂලා මෙලහට ඇතුලේ.”

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මේ බව සඳහන් කරයි.

පොලීසියෙන් කෝටියක පොල්ලක්.. DNA වාර්තාවෙන් එළිය⁣ට

පොලීසියෙන් කෝටියක පොල්ලක්.. DNA වාර්තාවෙන් එළිය⁣ට

DNA වාර්තා වෙනුවෙන් පොලිස් ස්ථානවලින් අය කර ගත යුතු රුපියල් කෝටියක ආසන්න මුදලක් අය කර ගැනීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලයේ අලුත් වාර්තාවක සඳහන් වේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ මස්තු විද්‍යා හා DNA අංශය මගින් එම DNA වාර්තාවක් නිකුත් කිරීමේදී ගාස්තුවක් අය කරන අතර පසුගිය 2014 වසරේ සිට 2023 වසර දක්වා අය කරගත යුතු මුදලක් මෙසේ අය කර ගැනීමට කටයුතු කර නැතැයි එම වාර්තාවේ සඳහන් වේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ 2015 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.

අධිකරණය මගහරින බැසිල්ට INTERPOL නිවේදන නිකුත් කරයි

අධිකරණය මගහරින බැසිල්ට INTERPOL නිවේදන නිකුත් කරයි

මේ වනවිට අධිකරණය මගහරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) මඟින් ‘නිල් නිවේදනයක්’ (Blue Notice) නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙරට අධිකරණ ක්‍රියාමාර්ග හමුවේ අවශ්‍යව සිටින පුද්ගලයින් සොයාගෙන යළිත් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයන් කඩිනම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම ‘නිල් නිවේදනය’ මඟින් බැසිල් රාජපක්ෂගේ අනන්‍යතාව, ඔහු රැඳී සිටින ස්ථානය හෝ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිල තොරතුරු ජාත්‍යන්තර බලධාරීන් හරහා ලබාගැනීමට හැකිය.

අධිකරණය මගහරිමින් විදේශගතව සිටින හිටපු දේශපාලනඥයන් සහ අනෙකුත් සැකකරුවන් නීතිය හමුවට පැමිණවීම පිණිස රජය ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ යාන්ත්‍රණයන් උපරිමයෙන් භාවිත කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කර ඇත.

ජනපති ට්‍රම්ප්ගෙන් තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු

ජනපති ට්‍රම්ප්ගෙන් තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින් ‘රුසියාවට සම්බාධක පැනවීමේ පනතට’ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.

යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිට මෑතකදී අභාවප්‍රාප්ත වූ සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රෑම් සිහිපත් කර මෙම පනත ඔහුගේ නමින් (Lindsey O Graham Sanctioning Russia and Iran Act of 2026) ලෙස නම්කර ඇත.

මෙම පනතට අනුව රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක් දක්වා වූ තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලය හිමිවේ.

ජනපති ට්‍රම්ප් මෙම අනුමැතිය ලබාදී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 262-159ක් ලෙස මෙම පනත සම්මත වීමෙන් දින දෙකකට පසුවය.

මෙම නව නීතිය රුසියානු රාජ්‍ය නිලධාරීන්, බැංකු, බලශක්ති අංශ මෙන්ම රුසියානු හමුදා මෙහෙයුම් වලට සහාය දක්වන විදේශීය ආයතන වලටද අදාළ වේ.

මෙමගින් රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රට වලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද සිට අරඹයි

“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද සිට අරඹයි

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ, දැනට ස්ථිර නිවෙසක් නොමැති මවුපියන් සඳහා ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද (19) දින බදුල්ලෙන් ආරම්භ කරයි.

ඒ අනුව මෙම ජාතික වැඩසටහන සඳහා සුදුසුකම් ලබන මවුපියන්ට නිවාස හිමිකම් ප්‍රදානය කිරීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරේ.

මෙම ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සඳහන් කරයි.

ස්වාමීන් වහන්සේ නමක් පැවිදි දිවියට ඇතුළත්ව වසර පහක් සම්පූර්ණ කර තිබීම මෙහි එක් මූලික සුදුසුකමක් ලෙස සලකන බවද අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සඳහන් කරයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පළමු අදියරේදී නිවාස 270ක් ඉදිකිරීමට නියමිතය.

සමස්ත ව්‍යාපෘතිය යටතේ නිවාස 1,000ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරන අතර එක් නිවෙසක් සඳහා රුපියල් ලක්ෂ 15ක ආධාරයක් ලබාදෙන අතර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී මවුපියන්ට නිවාස පහසුකම් සලසා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

නාමල්ට වෙච්ච දෙයක්.. එකම දේ දෙපාරක් වෙයි

නාමල්ට වෙච්ච දෙයක්.. එකම දේ දෙපාරක් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධව සිදුකරන විමර්ශනයක් සඳහා පසුගිය (04) වැනිදා ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත්තේය.

එදින අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු සැප්තැම්බර් (18) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අනතුරුව (18) දින ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධ නඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (29) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේ අතර ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (23) වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය (16) වැනිදා නියෝග කළේය.

ඒ අනුව ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවුයේ යැයි කියන අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය යන සිදුවීම් වලට අදාළ නඩු දෙකට සඳහා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට විභාග වෙමින් පවතින නඩු 02ක වන්නේ,

1.ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 2020 වසරේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුව,

2.ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2026 වසරේ සැප්තැම්බර් (04) වැනිදා පැවරු නඩුව,

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන (29) වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය

අනතුරුදායක මාර්ග ස්ථාන හඳුනාගෙන ආරක්ෂිතව සකස් කරන්න බිලියන 1.5ක්

අනතුරුදායක මාර්ග ස්ථාන හඳුනාගෙන ආරක්ෂිතව සකස් කරන්න බිලියන 1.5ක්

ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිතව සකස් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, දිස්ත්‍රික් මට්ටමින් පළාත් පාලන ආයතන වෙත ප්‍රතිපාදන ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම (18) දින සිදු කෙරිණි.

මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් බිලියන 1.5ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඒ යටතේ එක් දිස්ත්‍රික්කයක් සඳහා රුපියල් මිලියන 60 බැගින් ලබාදීමට නියමිතය.

දිස්ත්‍රික් මට්ටමින් අදාළ පළාත් පාලන ආයතන හරහා අනාරක්ෂිත හා අනතුරුදායක මාර්ග ස්ථාන හඳුනාගෙන අවශ්‍ය ආරක්ෂිත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

ඒ අනුව පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් සමඟ අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරිණි.

රටම බලාසිටින තීන්දුව පාර්ලිමේන්තුවට

රටම බලාසිටින තීන්දුව පාර්ලිමේන්තුවට

22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබන (21) වැනිදා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ.

22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් විභාගයට අදාළ අධිකරණ කටයුතු සදහා ව්‍යවස්ථාවෙන් ලැබෙන කාලය ලබන (21) වනදා දින අවසන් වේ.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා වෙත බාරදීමට නියමිතය.

මේ යන්නේ හිට්ලර් පාලනයක් නිර්මාණය කරන්න

මේ යන්නේ හිට්ලර් පාලනයක් නිර්මාණය කරන්න

රට තුළ හිට්ලර් පාලනයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

“22ට විපක්ෂව පළවෙනි දවසේ ඉදන් කරපු සියලුම ක්‍රියාකාරකම් මේ පොතේ තියෙනවා. ඒක අපි ඔබට ලබාදීලා තිබෙනවා. ඒ තුළ අපි පැහැදිළි අවබෝධයක් ජනතාව තුළ ඇති කරන්නට ඕන.

මේ යන්නේ හිට්ලර් පාලනයක් නිර්මාණය කරන්න. මේ යන්නේ පොල් පොට් පාලනයක් ක්‍රියාත්මක කරන්න. අංශු මාත්‍රයකවත් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නෑ. තියෙන ඉඩත් හැම වෙලාවේම අහුරනවා.

හොදට අවබෝධ කරගන්න, මුළු රාජ්‍යයම තනි පක්ෂයක් යටතට ගෙන ඒම වන් පාටි ස්ටේට් එකක් රට පාලනය කරන, වන් පාට් ස්ටේට් එකක වන් පාටියකට රාජ්‍යත්වය වහල්කරන, ලක්ෂ 220 වහල්කරන.”

කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන පාවෙන බලාගාරය

කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන පාවෙන බලාගාරය

පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (18) දින සිදුවිය.

අක්කර 10.5ක ප්‍රමාණයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරයෙන් වාර්ෂිකව නිවාස 7,500ක පමණ විදුලි සැපයුම් සපුරාලයි.

වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මෙට්‍රික් ටොන් 6440කින් පමණ අවම කර ගැනීමට මෙයින් හැකියාව ලැබෙන අතර වාර්ෂිකව ඩීසල් මගින් විදුලි උත්පාදනයට වැයවන ලීටර් මිලියන 2.5ක් ඉතිරි කරන අතර, එමගින් වාර්ෂිකව විදේශ මුදල් ඩොලර් මිලියන 3ක් රටට ඉතිරි කෙරේ.

දිය ජනනි පුද්ගලික සමාගම විසින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ සහාය ලබා ගනිමින් ඉදිකර තිබීම විශේෂත්වයක් වන අතර, ඉදිකිරීම් කාලය තුළ ප්‍රදේශයේ ජනතාව අතරින් පුද්ගලයින් 150 දෙනෙකුට පමණ රැකියා අවස්ථා හිමි විය.

සමරු ඵලකය නිරාවරණය කර “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා පාලක මැදිරිය වෙත පැමිණ එහි කටයුතුද නිරීක්ෂණය කළේය.

මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රජා සත්කාර රැසක් ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවලටද එක් විය.

ඒ අනුව ශ්‍රි විවේකාරාම විහාරස්ථානය සඳහා ජෙනරේටරයක් සහ ධර්ම ශාලාවේ වැඩකටයුතු සඳහා රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම, ධීවර ප්‍රජාවගේ මඩ පොකුණු සාදා ගැනීම සහ ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා රුපියල් 2,000,000ක මූල්‍ය ප්‍රදානයක් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හරිත උද්‍යානයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් 1,000,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ඇතුළු පරිත්‍යාග සිදු කෙරිණි.

තවද, ආනකටාව ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සියලුම සිසුන්ට වසරකට අවශ්‍ය පාසල් උපකරණ සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 800,000ක මුදලක් පරිත්‍යාග කිරීම, වීර මොහාන් ජයමහ විද්‍යාලය සහ ජල ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා රුපියල් 400,000ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීම ඇතුළු පරිත්‍යාග රැසක් සිදු කෙරිණි.

✕
⌃ News
📰 Free News Subscription?