Local news

ජොන්ස්ටන්ට අධිකරණයෙන් දුන් නියෝගය

ජොන්ස්ටන්ට අධිකරණයෙන් දුන් නියෝගය

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුද්ගලික සමාගමක හිමිකරුවකු වන හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දින නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

සැකකරුවන් රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය.

පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ඒවා මිලදී නොගෙන වෙනත් පුද්ගලික සමාගමකින් ඒවා මිලදී ගැනීමට කටයුතු සැලසීම තුළින් රජයට රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය දාහතරක පාඩුවක් සිදුකර දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

අනතුරුව මෙම නඩුකරය නොවැම්බර් මස (17) වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

හැඬු කඳුලින් නාමල් බන්ධනාගාරයට

හැඬු කඳුලින් නාමල් බන්ධනාගාරයට

අද (04) දින අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අසංග එස් බෝදරගම අද (04) නියෝග කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

ආන්දෝලනාත්මක එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක් අල්ලස් ලබාගත් බවට නාමල් රාජපක්ෂල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා විමර්ශනයට නව තාක්ෂණික පද්ධති

සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා විමර්ශනයට නව තාක්ෂණික පද්ධති

මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.

ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.

සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය වු අතර අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා ද කටයුතු කර ඇති බව මෙහිදී නිලධාරීන් සඳහන් කළහ.

සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීහු පැවසූහ.

එසේම නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ.

එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බවද සඳහන් කෙරිණි.

තවද, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මීට අමතරව, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

අතුරුදන්ව සිටි නාවිකයාගේ බවට සැක සිරුරක් සොයාගනී

අතුරුදන්ව සිටි නාවිකයාගේ බවට සැක සිරුරක් සොයාගනී

පසුගියදා අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහය අද (04) දින සොයාගෙන ඇත.

පසුගිය අගෝස්තු මස (15) වන දින නාවික වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමග අනතුරට ලක්විය.

එම අවස්ථාවේදී එහි සිටි නාවික නිලධාරීන් 11 දෙනෙකු අඟුලාන පොලිසියේ සහ දේශීය ධීවර ප්‍රජාවේ සහාය ඇතිව බේරාගත් අතර එහි එක් නිලධාරියෙකු අතුරුදන් වී සිටියේය.

අනතුරුව එම අතුරුදන් නිලධාරියා සොයා අවට මුහුදු ප්‍රදේශවල සහ වෙරළ තීරයේ, පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශයක් ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ අද (04) දින අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කළ විමර්ශනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු (12) වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර පසුව ඇපමත මුදා හැරුණි.

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වශයෙන් නම්කර සිටින ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත.. අවසන් තීන්දුව ජනපතිට සහ දියවන්නාවට

දූෂණ විරෝධී පනත් කෙටුම්පත.. අවසන් තීන්දුව ජනපතිට සහ දියවන්නාවට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අද (04) දින අවසන් කළේය.

එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15ක් ගොනු කර තිබූ අතර ඒවා දින දෙකක් තිස්සේ ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය.

අද (04) දින වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා සදූදා පස්වරු 12.00 ට පෙර ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියම කළේය.

විදුලි කප්පාදුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදුලි කප්පාදුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රමාණවත් පරිදි ගල්අඟුරු පවතින බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

මෙට්‍රික්ටොන් 60,000ක ගල්අඟුරු නැවක් අද (04) දිනයේ මෙරටට පැමිණෙන බවත් එනිසා ගල්අඟුරු පදනම් කරගනිමින් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුමක් තිබෙන බවත් ඉදිරියේදී ගල්අඟුරු හිගතාවයක් නොමැති බවත් එනිසා විදුලි කප්පාදුවක් සිදු නොවන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

2026 – 2027 කාලය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරලා පළමු නැව, අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් (12) වැනිදා බලාගරය වෙතට ලගාවෙයි කියලා.

ඒ අනුව බලාගාරය වෙත පැමිණි පසු අඛණ්ඩව ගල්අඟුරු ලබාගැනිම සඳහා සැලැස්මක් තිබෙනවා. ඒ අනුව කිසිම විදියකින් අපට ගල්අඟුරු පිළිබඳව, හිඟතාවය පිළිබඳව ගැටළුවක් නැත.

අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රමාණවත් ගල්අඟුරු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සතුව පවතිනවා. විශේෂයෙන් පහුගිය කාලයේ ගෙනාපු ගල්අඟුරු වල යම් ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා තවත් ගල්අඟුරු නැවක් නොරොච්චෝලේ වෙත ලගාවෙයි කියලා. ඒ ලගාවීමත් එක්ක බලාපොරොත්තු වෙනවා එතන මෙට්‍රික්ටොන් 60,000ක ප්‍රමාණයක්.

එනිසා නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුමක් තියෙනවා. ගල්අඟුරු හිගතාවය නිසා කිසිම විදියකින් විදුලිය කපා හැරීමක් කරන්න අපට සිද්ධ වෙන්නේ නෑ.

ජනතාවට සහතික වෙනවා, ගල්අඟුරු හිඟවීම නිසා විදුලිය කපාහැරීමක් සිද්ධ වෙන්නේ නෑ. අඛණ්ඩව විදුලිය සැපයීම අපි සහතික කරනවා.”

සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ ජීවිත අනතුරේ.. ඔබගේ දරුවා ආරක්ෂිතද.?

සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ ජීවිත අනතුරේ.. ඔබගේ දරුවා ආරක්ෂිතද.?

ළමුන් මිලියන 20කට ආසන්න පිරිසක් වසරක කාලයක් තුළ ඩිජිටල් අවකාශයන් හරහා ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.

ලොව රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් මිලියන 20කට ආසන්න පිරිසක් එලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත.

අප්‍රිකාව, ආසියාව, ලතින් අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය ඇතුළු රටවල අවුරුදු 12ත් 17ත් අතර අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වැඩි පිරිසක් පසුගිය වසර තුළ එක් ආකාරයක ලිංගික අපයෝජනයකට මුහුණ දී ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

ළමුන් මිලියන 15කට පමණ අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර මිලියන 9ක් ලිංගික සංවාද වලට හෝ ලිංගික ඡායාරූප හුවමාරු කිරීමේ බලපෑම්වලට ලක්ව ඇති බවත් තවත් ළමුන් මිලියන 4ක පමණ ලිංගික ඡායාරූප අවසරයකින් තොරව බෙදාහැර ඇති බවද අනාවරණය වී ඇත.

එම සිදුවීම් වලින් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත්තේ Facebook, WhatsApp, Instagram, Snapchat සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා වන අතර අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිතව සිදුවූ සිදුවීම් ප්‍රමාණය සියයට 14ක් පමණ වන බවද සඳහන් කරයි.

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ලිංගික අන්තර්ගතයන් සම්බන්ධයෙන්ද වාර්තාව අවධානය යොමු කර ඇති අතර දත්ත එක්රැස් කළ රටවල් 9කදී ළමුන් මිලියන 1.1ක් පමණ තමන් නිරූපණය වන කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ ලිංගික ඡායාරූප හෝ වීඩියෝ නිර්මාණය කර ඇත.

මෙවැනි සිදුවීම්වලින් අඩකට වැඩි ප්‍රමාණයකට ළමයා දැන සිටි පුද්ගලයෙකු සම්බන්ධ වී ඇති බවත් තවත් සියයට 38ක සිදුවීම්වලදී ළමයා පළමුව අපයෝජකයා හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලය හරහා බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.

තාක්ෂණය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ ළමුන් අතර සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ තමන්ටම හානි කරගැනීමේ හැසිරීම් වාර්තා වීම අනෙකුත් ළමුන්ට සාපේක්ෂව සිව් ගුණයකින් පමණ වැඩි බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.

මෙම පර්යේෂණය 2020 සිට 2025 දක්වා කාලය තුළ රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් 21,000කට ආසන්න පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිදුකර ඇති අතර එය මෙවැනි ආකාරයේ සිදුකර ඇති විශාලතම අධ්‍යයන වලින් එකක් බව UNICEF සඳහන් කරයි.

ළමා ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, නව ආකාරයේ අපයෝජන ඇතුළත් වන පරිදි නීති යාවත්කාලීන කිරීම සහ වාර්තා කිරීමේ හා ළමා ආරක්ෂණ පද්ධති වැඩිදියුණු කරන ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එම රටවල රජයන්ගෙන් සහ තාක්ෂණික සමාගම් වලින් ඉල්ලා ඇත.

ධූරයෙන් නෙරපූ දේශබන්දුට අධිචෝදනා

ධූරයෙන් නෙරපූ දේශබන්දුට අධිචෝදනා

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත.

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇත.

2023 දෙසැම්බර් (30) වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් මෙම වෙඩි තැබීම කර තිබුණි.

වැලිගම හෝටලයට වෙඩි තබා පලායමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් ගත් ව්‍යාජ අංක සවිකළ වෑන් රථයට නතර කරන ලෙස වැලිගම පොලීසියේ කැබ් රථයේ සිටි නිලධාරීන් අණ කළද එම වෑන් රථය නොනවත්වා ධාවනය කර තිබුණි.

එහිදී වැලිගම පොලීසියේ නිලධාරීන් සමඟ කැබ් රථයේ රාජකාරියේ සිටි හමුදා නිලධාරියකු සැකකටයුතු වෑන් රථයට වෙඩි තබා ඇති අතර එහිදී වෑන් රථයේ සිටි පොලිස් නිලධාරියකු වෙඩි වැදී මියගොස් තිබුණි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගොල්ල පිහිටි මහින්ද රාජපක්ෂ රගහලට පුටු මිලදී ගැනීමේදී නියමිත ක්‍රියාවලියට පටහැනිව කටයුතු කිරීමෙන් රජයට රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය දාහතරක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මකයි.