Local news

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත.

2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුවෙන් චෝදනා එල්ල කර ඇත. 

සාම්ප්‍රදායික වෑන් රථ වෙනුවට ඉහළ තාක්ෂණයෙන් යුත් උපකරණ සහිත ගිලන් රථ

සාම්ප්‍රදායික වෑන් රථ වෙනුවට ඉහළ තාක්ෂණයෙන් යුත් උපකරණ සහිත ගිලන් රථ

හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ අරමුණ බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ (08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක් වෙමිනි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා “ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන” ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති එක් එක් අංශ මගින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලූණු අතර 2027 වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද සාකච්ඡා විය.

මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් විද්‍යාත්මක පදනමක් සහිත උපායමාර්ගික යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, රෝහල් පද්ධතිය තුළ සිදු කළ යුතු නව තාක්ෂණික පරිවර්තනය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර තාක්ෂණික වශයෙන් දියුණු පහසුකම් දිවයින පුරා ජනතාවට ප්‍රවේශ විය හැකි පරිදි ස්ථාපිත කිරීමෙන් සෞඛ්‍ය සේවාව ගුණාත්මක වශයෙන් පියවරකින් ඉහළට ඔසවා තැබීමට හැකි වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙමගින් රජයේ රෝහල් පද්ධතියෙන් ජනතාවට කාර්යක්ෂම සහ ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාවක් ලබා ගත හැකි බවත් පෞද්ගලික අංශයෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී දැරීමට සිදු වන අධික වැය බර අවම කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සුවසැරිය සේවාව ශක්තිමත් කිරීම මෙන්ම, රෝහල් සඳහා ගිලන් රථ ලබා ගැනීමේදී සාම්ප්‍රදායික වෑන් රථ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූ ඉහළ තාක්ෂණයෙන් යුත් උපකරණ සහිත ගිලන් රථ පමණක් එක් කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

පසුගිය රජයන් විසින් ප්‍රාග්ධන වියදම් නතර කරනු ලැබීම නිසා අතරමග නතර වී තිබූ මොණරාගල දිස්ත්‍රික් රෝහලේ පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය, ත්‍රිකුණාමලය, අම්පාර, හලාවත රෝහල්වල හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකක ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහාපරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් වත්මන් රජය යටතේ යළි ආරම්භ කර ඇති බවත් ඒ සමඟ මේ වන විට ඉදිකිරීම් ව්‍යාපෘති 48ක කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෙහිදී අනාවරණය විය.

රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම සහතික කිරීම සඳහා ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධව පවතින ගැටලුවලට තාක්ෂණික විසඳුම් සෙවීම පිළිබඳවත්, ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම මෙන්ම UNDP, UNICEF වැනි ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය යටතේ “පේෂන්ට් හෙල්ත් ඇප්” (Patient Health App), ටෙලි මෙඩිසින් (Tele-medicine) සහ රෝගීන්ගේ වාර්තා ඕනෑම රෝහලකින් ලබා ගත හැකි ඒකාබද්ධ ජාලයක් (National Electronic Health Record) ස්ථාපිත කිරීමේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

සෞඛ්‍ය සේවයේ විධිමත් කාර්යමණ්ඩල සමාලෝචනයක් සිදු කිරීමටත්, එය සිදු කරන අතරතුර නවක වෛද්‍යවරු මුහුණ දෙන ගැටළු විසඳීම පිළිබඳවත්, සෞඛ්‍ය කාර්යමණ්ඩල බඳවා ගැනීම් පිළිබඳ ගැටළු මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය විය.

රජයේ චිත්‍රපටි අංශයට භෞතික සම්පත් ලබා දීම, මාධ්‍යවේදී පුහුණු වැඩසටහන් සහ පාසල් මාධ්‍ය සමාජ බිහි කිරීමේ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී විමසා බැලුණු අතර සියලු මාධ්‍යවේදීන්ට සහ රජයට තොරතුරු හුවමාරු කර ගත හැකි විශේෂ මාධ්‍ය මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට වන යෝජනාව පිළිබඳවද අවධානය යොමු විය.

තවද, පවතින පැරණි ක්‍රමවේදවලින් මිදී තැපැල් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව නවීන තාක්ෂණයෙන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කොළඹ සරසවියටත් ඩෙංගු ඇතුළු වෙයි.. හදිසි තීරණයක්

කොළඹ සරසවියටත් ඩෙංගු ඇතුළු වෙයි.. හදිසි තීරණයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති බවත් තවත් සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කරයි.

ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ඇත.

විශ්වවිද්‍යාලය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගණනාවක් ගෙන ඇති බවත් රෝහල්ගත සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් කටයුතු කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කරයි.

දැනට කොළඹ විශ්වවිද්‍යාලය තුළ පවතින තත්ත්වය පාලනය කර ඇති බවත් උණ රෝගී තත්ත්වයක් ඇත්නම් කරුණාකර ඊට අදාළ වෛද්‍ය උපදෙස් පිළිපඳින ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කරයි.

මැදපෙරදිග ගැටුම් හමුවේ බො⁣රතෙල් මිල ඉහළ⁣ට

මැදපෙරදිග ගැටුම් හමුවේ බො⁣රතෙල් මිල ඉහළ⁣ට

ඉරානය සහ අමෙරිකාව අතර නැවතත් ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.

අද (09) උදෑසන වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.28 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.03ක වැඩිවීමකි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.81ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.01ක වැඩිවීමකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.57ක් ලෙස දැක්වෙයි.

‘බෝගම්බර’ බන්ධනාගාරයේ නව බන්ධනාගාරයක්

‘බෝගම්බර’ බන්ධනාගාරයේ නව බන්ධනාගාරයක්

“බෝගම්බර” බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් නිකුත් කර ඇත.

බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ) බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ගාල්ල”මහමෝදර” ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතු අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ‍කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (09) දින මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව සඳහන් කරයි.

ජංගම මත් පරීක්ෂණ සේවාව දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට පියවර

ජංගම මත් පරීක්ෂණ සේවාව දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට පියවර

මෙරට ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක, රියදුරු සහ කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කර බලා නීතිමය පියවර ගැනීම සඳහා ආරම්භ කර ඇති ජංගම මත් පරීක්ෂණ වැඩසටහන මුළු දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සඳහන් කරයි.

පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතන පද්ධතිය මගින් ක්‍රියාත්මක කර ඇති ආරක්ෂණ වැඩපිළිවෙලට අදාල විශේෂ මාධ්‍ය හමුවකට (08) එක්වෙමින් සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මේ බව සඳහන් කරයි.

සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සඳහන් කළේ,

ධාවනයේදී රියදුරෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය නොතිබිය යුතුයි. පසුගිය කාලයේ විශාල රියදුරන් පිරිසක් මතට ඇබ්බැහි වීම හේතුවෙන් ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය වලින් තොර ධාවනයක් වෙනුවෙන් මෙම ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කලා.

ඒ යටතේ බස්නාහිර පලාත තුල පමණක් රියදුරු සහ කොන්දොස්තරවරුන් 5,242 ක් පරීක්ෂා කලා. මෙයින් 239 දෙනෙක් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වීමෙන් අනතුරුව නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගත්තා. මේ වසර අවසන් වීමට පෙර පරීක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කිරීමටත් බස්නාහිර පළාතෙන් ඔබ්බට පරීක්ෂණ දියත් කිරීමටත් කටයුතු කරනවා.”

අමෙරිකාවට ‘නිර්භීත’ ප්‍රතිචාරයක් දක්වන බවට ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාවට ‘නිර්භීත’ ප්‍රතිචාරයක් දක්වන බවට ඉරානය අනතුරු අඟවයි

නිර්භීත ඉරාන ජාතියට අපහාසාත්මක භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් එහි ශ්‍රේෂ්ඨත්වය අඩු නොවන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

තවද ඉරානය අශිෂ්ටත්වයට අශිෂ්ටත්වයෙන් පිළිතුරු දෙන්නේ නැති බවත් නමුත් ක්‍රියාවෙන් ඔප්පු කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි “X” හි සටහනක් තබමින් ප්‍රකාශ කළේ,

ඉරානය ශිෂ්ට හා නිර්භීත ඉරාන ජාතියට අපහාසාත්මක භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් එහි ශ්‍රේෂ්ඨත්වය අඩු නොවේ.

ඉරාන ජාතිකයන් ඔවුන්ගේ ශිෂ්ටත්වය, සංස්කෘතිය සහ ශක්තිමත් සදාචාරාත්මක වටිනාකම් සඳහා ප්‍රසිද්ධය.

අපි අශිෂ්ටත්වයට අශිෂ්ටත්වයෙන් පිළිතුරු දෙන්නේ නැහැ. නමුත් ක්‍රියාවෙන්, නිර්භීතව සහ මහත් ධෛර්යයෙන්.”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවමින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව ප්‍රකාශ කර ඇත.

බොහෝ දුරට අද රාත්‍රියේ ඉරානයට ප්‍රහාර එල්ල කරනවා

බොහෝ දුරට අද රාත්‍රියේ ඉරානයට ප්‍රහාර එල්ල කරනවා

අද රාත්‍රියේදී ඉරානයට බොහෝ දුරට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

තවද ඉරානයට එරෙහිව නැවතත් නාවික අවහිරතාවක් පැනවීමට කටයුතු කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

අමෙරිකාව සහ ඉරානය අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර එල්ල කර ගැනීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇත.

මට ඔවුන් සමඟ තවදුරටත් කටයුතු කිරීමට අවශ්‍ය නැත, ඔවුන් ජරාවක්. ඔවුන් අසනීප මිනිසුන්, ඔවුන් අසනීප මිනිසුන් විසින් මෙහෙයවනු ලැබේ.”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින මෙන්න

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින මෙන්න

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම එළඹෙන අගෝස්තු මස (13) වැනිදා පෙ.ව. 6යි 17ට යෙදෙන සුබ නැකතට සිදු කෙරෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කරයි.

අගොස්තු (13) වැනිදා කප් සිටුවීමෙන් පසු (17) වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.

පළමු කුඹල් පෙරහැර (18) වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර එතැන් සිට (22) වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.

පළමු රන්දෝලි පෙරහැර (23) වැනිදා වීථි සංචාරය ආරම්භ වන අතර අවසන් මහා රන්දෝලි පෙරහැර (27) වැනිදා පැවැත්වීමට නියමිතය.

අනතුරුව අගෝස්තු (28) වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද (08) පස්වරුවේ දළදා මාලිගය පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මේ බව සඳහන් කරයි.