Local news

ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරයි

ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරයි

ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා තවත් පූර්ණ පහසුකම් සහිත ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක් (Fully Equipped Mobile Drug Test Bus) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යංශයීය පරිශ්‍රයේදී අද (10) දින සිදු කළේය.

PZA – 0040 අංක දරණ සායනික බස් රථය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනේ දෑඅවුරුදු උපාය මාර්ගිත සැලැස්මට අනුව ක්‍රියාත්මක කර ඇති ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම මේ යටතේ අපේක්ෂා කරයි.

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රිය ධාවනයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කෙරෙන ජංගම පරීක්ෂණ වැඩසටහන මේ වනවිට දිවයිනේ පලාත් පහක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

පරීක්ෂණ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් ක්‍රමිකව සංවර්ධනය කිරීමත් සමග දිවයිනේ සෙසු පලාත් වලටද මෙම පරීක්ෂණ ක්‍රියාවලිය දියත් කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර ඇත.

ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කර ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමට ආරම්භ කර ඇති මෙම අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ ජාතික වැඩසටහන යටතේ මේවනවිට පරීක්ෂා කිරීම් 7,150 ක් සිදුකර ඇත.

මේ වැඩපිළිවෙල සඳහා අන්තර් අමාත්‍යංශයීය සහයෝගිතාව ලබාගනිමින් කෙටි, මැදි හා දිගුකාලීන වැඩපිළිවෙලක් තුලින් මෙරට මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කරගැනීම අපේක්ෂා කරයි.

පාසල් නිවාඩු සමයේ දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

පාසල් නිවාඩු සමයේ දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

පාසල් නිවාඩු සමයේ දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර ඇත.

ඒ අනුව පාසල් නිවාඩු සමයේ ගමන් බිමන් යාමේදී අධික වේගයෙන් රිය ධාවනය කරන සහ බීමත්ව රිය ධාවනය කරන්නන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

එම මෙහෙයුම සඳහා රථවාහන නිලධාරින් දස දහසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන දිනය

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන දිනය

2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු (20) සිට (25) දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.

අද (10) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළාය.

අත්අඩංගුවට ගත් සාගරට මොකද වෙන්නේ.?

අත්අඩංගුවට ගත් සාගරට මොකද වෙන්නේ.?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වත්මන් පොලිස්පතිවරයා මහමගදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ගැන සිදුවන විමර්ශනයකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබාදීමට සාගර කාරියවසම් අද (10) දින කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට පැමිණි අවස්තාවේදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාතාලයේ ප්‍රබලයින් අද කුදලාගෙන එයි

පාතාලයේ ප්‍රබලයින් අද කුදලාගෙන එයි

ප්‍රබල අපරාධ කල්ලි ක්‍රියාකාරීන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අද (10) දින පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

සහකාර පොලිස් අධිකාරී ඕලුගල ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මැලේසියාවේදී අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් අද දිවයිනට රැගෙන එයි.

මෙම සැකකරුවන් අතරින් එක් අයෙකු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වේ.

අදාළ පිරිසට එරෙහිව මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධ‍යෙන් චෝදනා එල්ල වී ඇත.

සාගර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

සාගර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අද (10) දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා ඇත.

සාගර කාරියවසම් විසින් පොලිස්පතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා‍ එලෙස කැඳවා ඇත.

ඒ අනුව පෙරවරු 10.30ට සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටිමට නියමිතය.

ඩොල්ෆින් චීනය ඇතුළට.. වහාම අනතුරු අඟවයි

ඩොල්ෆින් චීනය ඇතුළට.. වහාම අනතුරු අඟවයි

චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන “ඩොල්ෆින්” සුළි කුණාටුව නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී ඇත.

දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල සුළං සමඟින් පැමිණි මෙම කුණාටුව හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ දැඩි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මෙම කුණාටුව චීනයට පැමිණීමට පෙර ජපානයේ දකුණු ඔකිනාවා ප්‍රාන්තය හරහා ගමන් කර ඇති අතර එහිදී ගොඩනැගිලි 50,000කට වැඩි සංඛ්‍යාවක විදුලි සැපයුම බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ‘ඩොල්ෆින්’ සුළි කුණාටුව නැගෙනහිර ෂෙජියැං  ප්‍රාන්තයේ යූහුවාන් ප්‍රදේශය අසලින් ගොඩබිමට ඇතුළු වී ඇති බවත් ගොඩබිමට ළඟ වන අවස්ථාවේදී එහි කේන්ද්‍රය අසල උපරිම සුළගේ වේගය පැයට කිලෝමීටර් 151ක් ලෙස සටහන් වී ඇති බව චීන කාලගුණ විද්‍යා අංශ සඳහන් කරයි.

උසස් පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක්

උසස් පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) දින සිට ආරම්භ කිරීමට නියමිතය.

අද (10) සිට සැප්තැම්බර් (05) වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක්, පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් පැයකට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසත් පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ගේ අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්ය බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

ප්‍රවේශ පත්‍රය අස්ථානගත වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් එය නැවත භාගත කර ගැනීමේ හැකියාව පවතින බවත් අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය පමණක් භාවිත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පත සඳහා භාවිත කරන ඡායාරූප දෙකක් පාසල් අයදුම්කරුවන් විදුහල්පති ලවා ද, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී ලවාද සහතික කරවාගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ. 

යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

හඬක් නගන්න සභාපති පුටුවට ආ පළමු කුසල්

හඬක් නගන්න සභාපති පුටුවට ආ පළමු කුසල්

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු මහා සභා රැස්වීමේදී එම සංගමයේ පළමු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක කුසල් මෙන්ඩිස් පත්ව ඇත.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන ගෝලීය සම්මේලනය වන ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමග සෘජුවම අනුබද්ධව ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමය කටයුතු කරයි.

ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවලද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙවැනි සංගම් පිහිටුවා ඇත.

සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි

සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි

සියලු බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය, ත්‍රිවිධ හමුදා ආරක්ෂාව තවදුරටත් යොදවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කුරුවිට, පල්ලන්සේන, නව මැගසින් බන්ධනාගාරවල නොසන්සුන් තත්ත්වය ඇතිකරගත් රැදවියන් සම්බන්ධව වාර්තාවක් ඉදිරියේදී ලැබීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

බන්ධනාගරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් වෙනත් බන්ධනාගාරවලට මාරුකිරීම ඇතුළු ඉදිරි පියවර ගැනීමට නියමිතය.