Local news

සිර දඬුවම් නියම වු හිටපු ඇමති පියංකරට තවත් නඩුවක්.. ඇතුලේම ඉන්න වෙයි

සිර දඬුවම් නියම වු හිටපු ඇමති පියංකරට තවත් නඩුවක්.. ඇතුලේම ඉන්න වෙයි

සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන තවත් දූෂණ චෝදනා ඇතුළත් නඩුවක් සඳහා අද (11) දින කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව අද (11) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ ඉදිරියේ කැඳවනු ලැබු අතර එම අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය පියංකර ජයරත්නව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර කළේය.

පසුගිය 2013 වසරේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අනීතික ලෙස වෙසක් කාඩ්පත් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් 128,520 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ප්‍රියංකර ජයරත්නට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයක් හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස විමර්ශනයට සම්බන්ධ වූ නිලධාරියකු එක් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මෙම නඩුවේ විභාගය අවසන් අදියරට පැමිණ තිබෙන අවස්ථාවේ අලුතින් සාක්ෂිකරුවන් එක් කිරීමට අනුමැතිය පැතීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව සඳහන් කළේය.

එහෙත් අදාළ විමර්ශන නිලධාරියා මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස එක් කර ගැනීමට අවසර ලබාදෙන බව මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල සඳහන් කළේය.

අදාළ සාක්ෂිකරු මාර්ගයෙන් අධිකරණයට ලේඛන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒවා අද දින සිට සතියක් තුළ විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කළේය.

2013 වසරේ මැයි මස (10) වනදා සහ ජුනි මස (06) වනදා අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අනීතික ලෙස වෙසක් කාඩ් පත් තුන්දහසක් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදු කිරීම තුළින් “දූෂණය” නැමති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පියංකර ජයරත්නට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය

සැප්තැම්බර් (22) සිට (25) දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

මේ අනුව, සැප්තැම්බර් (22) අගහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට තීරණය වී ඇත.

අනතුරුව ප.ව 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ට්‍රෙඩ්සෝ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

සැප්තැම්බර් (23) බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.

සැප්තැම්බර් (24) බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා කාලය වෙන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමෙන් අනතුරුව එය ගරු කථානායකවරයා විසින් සභාවට නිවේදනය කිරීමට යටත්ව අදාළ දෙදින විවාදය පැවැත්වීමට එකඟත්වය පළ වී ඇත.

සැප්තැම්බර් (25) සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.

“රටට හුස්මක් – මගට සෙවනක් ” මාර්ග දෙපස පැල මිලියනයක්

“රටට හුස්මක් – මගට සෙවනක් ” මාර්ග දෙපස පැල මිලියනයක්

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත “හරිත මාවත” – “රටට හුස්මක් – මගට සෙවනක් ” මාර්ග දෙපස පැල මිලියනයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ මුලික අදියර වශයෙන් මාර්ග දෙපස පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන ( Roadside Tree Planting Programme ) පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (10) පැවැත්විණ.

මෙම ව්‍යාපෘතිය සඳහා පුළුල් මහජන සහභාගිත්වයක් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර මාර්ග දෙපස පදිංචි ජනතාව, පාසැල් ප්‍රජාව, පුද්ගලික අංශය හා ව්‍යවසායකත්වය සහ රාජ්‍ය ආයතනවල සක්‍රීය දායකත්වය ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මාර්ග සංවර්ධන අධිකාරිය සතු A සහ B ශ්‍රේණියේ මාර්ග දෙපස, පරිසර කලාපවලට අනුකුල පැල වර්ග මේ සඳහා යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින් මුරුත, පලු, බුළු, සියඹලා , මල් ඇහැල, රජරට ඇහැල, මඟුල් කරඳ, මයිල, පිහිඹියා, මදටියා, ගොරකා, දිවුල්, ඇටඹ, නා, කොහොඹ, රොබෝසියා, කළු මැදිරිය, දං, වෙරළු, කටු අනෝදා, කොස්, අඹ, පෙතන්, මී, කුඹුක්, අටඹ, බෙලි වැනි ශාක වර්ග රැසක් මේ සඳහා යොදා ගැනීමට මෙහිදී තීරණය විය .

තවද පැල ආරක්ෂණය (Guard Mesh) සිදු කිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි.

වායු දුෂණය අවම කිරීම, හා මගීන්ට සුවදායක පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගත් මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල ආදී නගරවල උෂ්ණත්වය පාලනය හා සෞන්දර්ය නගා සිටුවීම අපේක්ෂා කෙරේ.

තවද බියගම , කටුනායක හා සීතාවක වැනි කාර්මික කලාපවල වායු දුෂණය වැළැක්වීම හා දුම ස්වාභාවිකව අවශෝෂණය වීමට පරිසරය නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘති සැලැස්මට අයත්ය.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් එක් වීමට නියමිතය.

ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මෙහෙමඩ් පාසික් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් යොදාගෙන ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ඔහුගේ පියාගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

රජයෙන් නව තීරු බදු ක්‍රමයක්

රජයෙන් නව තීරු බදු ක්‍රමයක්

රජය විසින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු ඉවත් කර නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත බොහොමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බවත් එම නිෂ්පාදනයන්ගේ පිරිවැය ඒ හා සමානව ඉහළ මට්ටමක පවතින බැවින් අදියර වශයෙන් සෙස් බදු ඉවත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමගම නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවත් ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ එම තීරුබදු ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

ඒ අනුව, 0%, 10%, 20,% සහ 30% යටතේ නව තීරු බදු හඳුන්වා දීමටත් අමුද්‍රව්‍ය සඳහා සහ නිෂ්පාදන සඳහා යොදා ගන්නා භාණ්ඩවලට 0% අනුපාතය යොදා ගැනීම මෙන්ම නිමි භාණ්ඩ වශයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සහ තෝරා ගත් භාණ්වලට 30% උපරිමයකට යටත්ව නව තීරු බදු පැනවීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ අද (11) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“දේශීය කර්මාන්ත බොහෝමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් ඒවායේ නිෂ්පාදන පිරිවැයද ඒ හා සමානවම ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා අදියර වශයෙන් මුළින්ම අතරමැදි අමුද්‍රව්‍ය සඳහා ක්‍රමයෙන් සෙස් බදු ඉවත් කිරීමත්, කර්මාන්ත වලදී සංවේදී භාණ්ඩ සඳහා සහ අතරමැදි ද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම තුළින් දේශීය කර්මාන්ත වලට හානියක් නොවන පරිදි මෙන්ම ක්‍රමිකව එම නිෂ්පාදන ක්‍රියාවලියට නිෂ්පාදකයින් අනුගත කිරීමේ හැකියාව සහ ඔවුන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වියදම අවම කර ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ ප්‍රවේශයක් ලබා දීමටද මෙමගින් අපේක්ෂා කරනවා.

එමෙන්ම සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමගම නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ 0%, 10%, 20,%, 30%, නව තීරුබදු හඳුන්වා දෙනවා. ඒ අනුව අමුද්‍රව්‍ය සහ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා භාණ්ඩ වලට 0% අනුපාතය යොදා ගැනීමේ වැඩි ඉඩකඩක් තමයි පවතින්නේ. අනෙකුත් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා නිමි භාණ්ඩ වශයෙන් එන භාණ්ඩ වලට සහ තෝරාගත් භාණ්ඩ වලට 30% කියන උපරිමය අය කිරීම තුළින් කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා.”

පළාත් සභා මැතිවරණය – කාරක සභාවේ කාලය දීර්ඝ කරයි

පළාත් සභා මැතිවරණය – කාරක සභාවේ කාලය දීර්ඝ කරයි

පළාත් සභා ඡන්දය විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (11) දින පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2026 ජනවාරි මස (06) වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවක් මගින් පත් කෙරිණි.

එම කාරක සභාව ඉහත කරුණු සම්බන්ධව තවදුරටත් කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102ක ප්‍රකාරව එම කාරක සභාවේ කාලය දෙසැම්බර් (17) වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

විදුලි බිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය

විදුලි බිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය

පසුගිය කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබුණු බැවින් විදුලි ජනනය සඳහා වැය වන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බව වරාය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

එනිසා විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය නොවන බවත් ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ගණන් ඉහළ දැමීම සඳහා කිසිදු ආකාරයකට ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අමාත්‍ය අනුර කරුණාතිලක අද (11) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“අපි හිතනවා ඉදිරි මාස තුන, විශේෂයෙන් 2026 දී මේ එල්-නිනෝ තත්ත්වය නිසා අපිට කිසිම බලපෑමක් වෙන්නේ නෑ. ඒ වගේම කියන්න ඕන කාරණයක් තියෙනවා. අපි බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ නිසා විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් වුණා.

ඒ අනුව ඉදිරි කාර්තුව සඳහා විදුලි මිලේ වැඩි වීම සඳහා කිසිදු විදිහකට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස 03 සඳහා විදුලි ජනනය අඛණ්ඩව සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා.”

සිම් කාඩ් භාවිතා කරන සියලුම දෙනාට වෙනසක්.. සජීවී ඡායාරූපයක්

සිම් කාඩ් භාවිතා කරන සියලුම දෙනාට වෙනසක්.. සජීවී ඡායාරූපයක්

සිම් කාඩ්පත් භාවිතා කරමින් සිදුකරන ලද නීතිවිරෝධි ක්‍රියාවන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බවත් ඒ හේතුවෙන් සිමි කාඩ් පත් සමිබන්ධයෙන් ‍නියාමනයක් සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කරයි.

එනිසා බොහෝ දුරට 2026 වසර අවසානයේ අලුතින් සිම් ගන්න අයට සජීවී ඡායාරූපයක් සමග එම සිම් එක ගැනීමට සිදුවන බවද එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කරයි.

තවද ලබන 2027 වසරේදී සියලුම දුරකථන පාවිච්චි කරන, සිම් භාවිත කරන පුද්ගලයින් සඳහා හඳුනා ගැනීම සියයට සියයක් සහතික වෙන විදියේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කරයි.

අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කළේ,

“සිම් කාඩ්පත් නිකුත් කිරීමේ රෙගුලාසි අපි යාවත්කාලීන කරලා තියෙනවා. මොකද නීතිය ක්‍රියාත්මක කරන ආයතන, එනම් පොලීසිය වගේ ආයතනවලින් අපිට ඉල්ලීමක් කළා, ගිය වසර දෙක තුනක කාලයේදී සිම් කාඩ්පත් භාවිතයෙන් නීතිවිරෝධී ක්‍රියාකාරකම් ඉතාමත් වැඩිවෙලා කියලා.

ඒකට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා. ඒ ආයතනත් එක්ක එකතුවෙලා සිම් රෙගුලාසි යාවත්කාලීන කරලා, විශේෂයෙන් මේක ක්‍රියාත්මක වුණ දිනයේ පටන්, බොහෝ දුරට මේ අවුරුද්ද අවසානයේ අලුතින් සිම් ගන්න අයට සජීවී ඡායාරූපයක් සමග තමයි ඒ සිම් එක ගන්න පුළුවන් වෙන්නේ.

ඒක පටන්ගත්තට පස්සේ 2027 වසරේදී සියලුම දුරකථන පාවිච්චි කරන, සිම් භාවිත කරන අය සඳහා, එනම් පාරිභෝගිකයා හඳුනා ගැනීම සියයට සියයක් සහතික වෙන විදියේ වැඩපිළිවෙළක් සිදු කරන්න කැමතියි.

මෙහිදී කිසිම වෙලාවක සාමාන්‍ය ජනතාවට මේකෙන් කිසිදු ගැටලුවක් නොවන විදිහට සහ විදේශිකයන්ටත් කිසිම විදිහකින් ගැටලුවක් නොවන විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා. වැඩිපුරම බලන්නේ මේ රටේ තියෙන නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා සිම් භාවිතා කිරීම අවම කිරීම සඳහා.

රටේ මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් මේ සිම් පාවිච්චි කරනවා. ඒ ජනතාවගේ එක පැමිණිල්ලක් තමයි සේවාවේ ගුණාත්මකභාවය අඩුයි කියන එක. දැනට අපි ක්‍රියාකරන්නේ අදාළ සේවා සපයන්නන්ගේ තියෙන දත්ත මත. අපිට ඒක තවදුරටත් නිවැරදිව කියන්න බලාගැනීමට පද්ධතියක් නෑ.”

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මේ බව සඳහන් කරයි.

අර්චුනා චූන් වෙයි.. මහින්ද සමග එකම වේදිකාවට

අර්චුනා චූන් වෙයි.. මහින්ද සමග එකම වේදිකාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර රැස්වීම් වේදිකාවට තමන් ගොඩවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සඳහන් කරයි.

තවද රනිල් වික්‍රමසිංහගේ සහ සජිත් ප්‍රේමදාසගේ රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළහොත් තමන් එම වේදිකාවටත් ගොඩවන බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් සඳහන් කරයි.

මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“12 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවට මම නගිනවා. මම නගින්නේ මගේ උතුරේ ජනතාවට මුකුත්ම කළේ නෑ කියන්න තමයි මම යන්නේ. රනිල් වික්‍රමසිංහගේ රැලියක් තිබ්බොත් ඒකටත් මම යනවා. සජිත් ප්‍රේමදාස එන්න කිවොත් ඒකටත් යනවා.

විපක්ෂයේ ඕන කෙනෙකුට එහෙම තමයි මම සලකන්නේ. ඕන කෙනෙකුට මම සහයෝගයක් දෙනවා. නාමල් මන්ත්‍රීමා හොරකම් කරලා තියෙනවා නම්, හොරු ආරක්ෂා කරන්න නාමල්ගේ පෞද්ගලික දේවල් වලට මම මැදිහත් වෙන්නේ නෑ.”

ඥනසාර හිමි යළිත් බන්ධනාගාරයට.?

ඥනසාර හිමි යළිත් බන්ධනාගාරයට.?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කළ ජනාධිපති පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබාදී තිබු ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය විසින් අවලංගු කර ඇති හෙයින් ඥානසාර හිමිට එම සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීමට සිදුවනු ඇති බව මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා සඳහන් කරයි.

අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමිට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් වසර හයක සිරදඬුවම් නියම කර තිබුණද, එම දඬුවමින් ඥානසාර හිමි නිදහස් කරමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොදු සමාවක් ප්‍රදානය කළේය.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු (08) වනදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6කින් ගෙවී යන සේ දඬුවම් නියම කෙරිණි.

✕
⌃ News
📰 Free News Subscription?