Local news

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව.. සුරේෂ්⁣ සලේ අධිකරණයට

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව.. සුරේෂ්⁣ සලේ අධිකරණයට

පැහැරගෙන ගොස් අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ (09) දින විභාගයට ගත්තේය.

එහිදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේව ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිලි පාර්ශවය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන් බවට වාර්තා වේ.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි යන අයගේ සාක්ෂිය නැවත කැඳවීම (09) කොළඹ තිපුද්ගල මහාධිකරණය හමුවේ සිදුවිය.

මෙම නඩුව සභාපති විනිසුරු නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගනු ලැබුවේය.

වැඩිදුර නඩු විභාගය ලබන (16) වැනිදා පැවැත්වීමට නියමිත අතර එදිනට 53 සහ 98 යන සාක්ෂිකරුවන් කැඳවීම සඳහා නොතීසි නිකුත් කර ඇත.

ප්‍රගීත් එත්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ චෝදනා ලබා ඇති සැකකරුවන් පහතින්..

ප්‍රධාන චූදිතයා වන හිටපු ලුතිනන් කර්නල්වරයෙකු සහ ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා බ්‍රිගේඩියර් ශම්මි අර්ජුන කුමාරරත්න

පැහැර ගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන

එම සිද්ධිය වන අවස්ථාවේ හිටපු මේජර්, ලුතිනන් කර්නල් ටී.ඊ.ආර්. (එරන්ත) පීරිස්

හමුදා බුද්ධි අංශයේ සාමාජික ඩබ්ලිව්.ඩී. උපසේන (නොහොත් සුරේෂ්)

හමුදා බුද්ධි අංශයේ සාමාජික ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නොහොත් නාඩන්)

හමුදා බුද්ධි අංශයේ සාමාජික එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (නොහොත් රංජි)

හමුදා බුද්ධි අංශයේ සාමාජික චමින්ද කුමාර අබේරත්න

හමුදා බුද්ධි ඒකකයේ සාමාජික කණිෂ්ක ගුණරත්න

හමුදා බුද්ධි ඒකකයේ සාමාජික අයියසාමි බාලසුබ්‍රමනියම්

හමුදා බුද්ධි ඒකකයේ සාමාජික තරංග ප්‍රසාද් ගමගේ

කොළඹ වරාය නගරයේ ගැටුමක්.. අයෙක් මරුට

කොළඹ වරාය නගරයේ ගැටුමක්.. අයෙක් මරුට

කොළඹ වරාය නගරයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර ඇත.

කම්කරු නේවාසිකාගාරය අසලදී මෙම පහරදීම සිදුකර ඇති අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

අදාළ පුද්ගලයා මෙම ප්‍රහාරය හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

“මාපිය රැකවරණ දීමනාව” නව ක්‍රමවේදයක්

“මාපිය රැකවරණ දීමනාව” නව ක්‍රමවේදයක්

2011 වර්ෂයේ අයවැය යෝජනාවකට අනුව, ක්‍රියාන්විත රාජකාරියේදී ජීවිත පූජා කළ, අතුරුදන් වූ සහ රණක්ෂිතයට පත්ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වා ඇති රණවිරුවන්ගේ දෙමාපියන්ගේ සුභසාධනය වෙනුවෙන් “මාපිය රැකවරණ දීමනාව” නමින් රුපියල් 750.00ක මාසික දීමනාවක් ගෙවීම ආරම්භ කරන ලදී.

2009 මැයි මස (19) වන දිනට පෙර ත්‍රිවිධ හමුදාවට බඳවා ගන්නා ලද රණවිරුවන්ගේ ජීවත්ව සිටින දෙමාපියන් වෙත ලබාදෙන මෙම දීමනාව, මේ වන විටද අඛණ්ඩව ගෙවනු ලබයි.

1999 අංක 54 දරන පාර්ලිමේන්තු පනත ප්‍රකාරව, රණවිරු සේවා අධිකාරිය මඟින් රණවිරු දෙමාපියන් 32,392 දෙනෙකු මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති අතර, මේ වන විට ප්‍රතිලාභීන් 16,805 දෙනෙකු සක්‍රීයව දීමනාව ලබා ගනිති.

පවතින ක්‍රම වේදය අනුව, දීමනාව අඛණ්ඩව ලබා ගැනීම සඳහා දීමනා ලාභියා ජීවත්ව සිටින බව තහවුරු කරමින් අදාළ ග්‍රාම නිලධාරීවරයා විසින් සහතික කරනු ලබන “ජීවත්වීමේ සහතිකය” වසරකට වරක් රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව, සෑම වසරකම නොවැම්බර් මස (01) වන දින සිට එළඹෙන වසරේ පෙබරවාරි මස (28) වන දින දක්වා වූ කාලසීමාව තුළ අදාළ සහතිකය ලබාදිය යුතු බව දීමනා ලාභීන් වෙත දැනුම් දී ඇත.

මෙම දීමනා ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනට ක්‍රියාත්මක කරන ක්‍රම වේදයට සමාන පද්ධතියක් රණවිරු සේවා අධිකාරිය හරහා ද ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම නව ක්‍රම වේදය යටතේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දීමනා ලාභීන්ගේ නාමලේඛන සකස් කර ග්‍රාම නිලධාරීන් වෙත යොමු කෙරේ.

එමඟින් දීමනා ලාභීන්ගේ වත්මන් තත්ත්වය තහවුරු කර ගැනීම, මියගිය අයගේ නම් නාමලේඛනයෙන් ඉවත් කිරීම සහ ජීවත්ව සිටින අයගේ ජීවත් වීමේ සහතික ලබා ගැනීම වඩාත් පහසු වේ.

තවද, වයෝ වෘද්ධ හෝ ආබාධිත තත්ත්වයන් හේතුවෙන් ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත පැමිණීමට අපොහොසත් වන දෙමාපියන් වෙනුවෙන්, අදාළ ග්‍රාම නිලධාරීවරයා පෞද්ගලිකවම ඔවුන්ගේ පදිංචි ස්ථානය වෙත ගොස් ජීවත්ව සිටින බව තහවුරු කර ගනිමින් සහතිකය ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ද මෙයට ඇතුළත් කර ඇත.

මෙම නියමිත කාල සීමාවන්, ජීවත් වීමේ සහතිකය ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම වයෝවෘද්ධ දෙමාපියන් සඳහා වන විශේෂ ක්‍රමවේදය පිළිබඳව රණවිරු දෙමාපියන් මෙමගින් දැනුවත් කෙරේ.

මෙට්‍රෝ සඳහා පොලිස්පතිගෙන් මාර්ගෝපදේශ මාලාවක්

මෙට්‍රෝ සඳහා පොලිස්පතිගෙන් මාර්ගෝපදේශ මාලාවක්

නව මෙට්‍රෝ බස් ධාවනය කරන මාර්ගවල පොලිස්ථාන සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව එම මාර්ගවල පොලිස්ථාන සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.

පොලිස්පතිවරයාගේ තීරණය අනුව එම මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවට මොකද වෙන්නේ.?

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවට මොකද වෙන්නේ.?

පැහැරගෙන ගොස් අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සිව්වැනි සාක්ෂිකරුගෙන් විත්තිය විසින් හරස් ප්‍රශ්න විමසීම සිදුකර ඇත.

පළමු විත්තිකරු විසින් සිදුකළ බලපෑම් හේතුවෙන් මීට පෙර සාක්ෂි වෙනස් කිරීමට සිදුවූ බවට සිව්වැනි සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇත.

අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන (16) වැනිදා පැවැත්වීමට නියමිත අතර එදිනට 53 සහ 98 යන සාක්ෂිකරුවන් කැඳවීම සඳහා නොතීසි නිකුත් කර ඇත.

වැලිගම හෝටලයකට වෙඩි තැබීම.. දේශබන්දු ඇතුළු 9කට එරෙහි නඩුව අවසන්

වැලිගම හෝටලයකට වෙඩි තැබීම.. දේශබන්දු ඇතුළු 9කට එරෙහි නඩුව අවසන්

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් 9 දෙනෙකුට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් කිරිමට මහේස්ත්‍රාත් චතුර දිසානායක තීරණය කර ඇත.

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් 09 දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 09 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ ඉකුත් (07) වැනිදා අධිචෝදනා ගොනු කළේය.

නිතිපතිවරයා විසින් මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ ඉදිරියේ එම චෝදනා විත්තිකරුවන්ට එදින කියවා භාරදීමෙන් අනතුරුව එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරිර ඇප හතරක් මත ඇප මත මුදා හැරියේය.

අධිචෝදනා කියවා දීමෙන් පසු ඇප ලබාදී ඇත්තේ, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා වූ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාද එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සල්ම් ද සිල්වා, පොලිස් පරීක්ෂක මහේෂ් දුනුසිංහ, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක රොෂාන් මධුරංග, පොලිස් සැරයන් ප්‍රසන්න කුමාර, පොලිස් කොස්තාපල් සුපුන් ප්‍රියශාන් සහ රියැදුරු පොලිස් කොස්තාපල් ගිහාන් පියතිස්ස යන අයටයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ අදාල මෙහෙයුමට ගිය පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර වැලිගම පොලිසියෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබුණේය.

2023 දෙසැම්බර් (30) වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේය.

සිහින බොඳවූ ශිරන්තිට සැප නෑ.. සාමාන්‍ය වාට්ටුවකට

සිහින බොඳවූ ශිරන්තිට සැප නෑ.. සාමාන්‍ය වාට්ටුවකට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය කාන්තා රැදවියන් සිටින වාට්ටුවකට යොමුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ ජාතික අක්ෂි රෝහලට යොමු කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ සාමාන්‍ය කාන්තා රැදවියන් සිටින වාට්ටුවකට යොමුකළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

ශිරන්ති රාජපක්ෂ ඊයේ (09) දින උදෑසන දක්වා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රෝගීන් රඳවන ස්ථානයේ රඳවා සිටි බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

අනතුරුව ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු විසින් ශිරන්ති රාජපක්ෂ පරීක්ෂා කර ඇති අතර අනතුරුව ඇයට අවශ්‍ය ඖෂධ නියම කළ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

මේ අතර ශිරන්ති රාජපක්ෂ පසුගිය (08) වනදා බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ අතර අනතුරුව මුලික වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය රුධිර සාම්පල ඇතුළු සාම්පල කිහිපයක් ලබාගෙන ඇත.

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකළ බවට චෝදනා නගමින් පසුගිය (07) වනදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ වෙනසක්

නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ වෙනසක්

නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල 5ක් මගින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළදී එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කිරිමට හැකියාව පවතියි.

එළැඹෙන (19) වැනිදා සිට එම සේවාව ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු සඳහන් කරයි.

පාසල් ළමුන්ට දුම්රියක්

පාසල් ළමුන්ට දුම්රියක්

පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා දුම්රියක් ධාවනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව පොල්ගහවෙල – පේරාදෙණිය අතර ගමන් කරන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා දුම්රියක් ධාවනය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ලබන (12) වැනිදා සිට දිනපතා එම දුම්රිය ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධිකරණයට අපහාස කිරීම.. විමල්ට නඩු පවරයි

අධිකරණයට අපහාස කිරීම.. විමල්ට නඩු පවරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව පොලීසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර පැවති ජනරැලියක් අමතමින් විමල් වීරවංශ විසින් අධිකරණ නියෝගය විවේචනයට ලක් කරමින් සිදුකරනු ලැබු ප්‍රකාශයට අදාළව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත.

අධිකරණයට අපහාස කිරීමට අදාළව විමර්ශනයක් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත නියම කිරීමකට අනුව විමර්ශනයක් ආරම්භ කළේය.

රැලිය සංවිධානය කරන ලද පුද්ගලයන්ගෙන් හා නිවේදකයන්ගේ, මාධ්‍යවේදින්ගෙන්, ආරක්ෂාව සඳහා යොදවන ලද පොලිස් නිලධාරින්ගෙන්, ක්‍රීඩා පිටිය අවට ප්‍රදේශවාසීන්ගෙන්, ශබ්ද විකාශන යන්ත්‍ර සපයන ලද පුද්ගලයාගෙන් හා මෙම නඩුකරයට අදාළ සියලු සාක්ෂි සටහන් කරමින් දීර්ඝ විමර්ශනයක් සිදුකර ඇත.

Follow WhatsApp Channel