Local news

සියලුම රාජ්‍ය සේවකයින් ගැන රජය ගත් අලුත්ම තීරණය

සියලුම රාජ්‍ය සේවකයින් ගැන රජය ගත් අලුත්ම තීරණය

රජය විසින් සෑම රාජ්‍ය සේවකයෙකු සඳහාම නිල Email ලිපියක් ලබාදීමට තීරණය කර ඇති බව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

එමගින් රාජ්‍ය සේවය ජාලගත කිරීමටත්, වීඩියෝ සම්මන්ත්‍රණ ආදි කටයුතු සඳහා පහසුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට මෙන්ම එක් එක් රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරු කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීමටත් හැකි වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

මේ වනවිට බොහෝ රාජ්‍ය සේවකයින් භාවිත කරන්නේ පෞද්ගලිකව සකසා ගත් Email ලිපියනයන් වන අතර රජය මගින් ඔවුන්ට හඳුන්වා දෙන නිල Email ලිපියන් හරහා ලියකියවිලි ආදී අත්‍යවශ්‍ය දත්ත යොමු කිරීම වඩාත් පහසු වන බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල වඩාත් ඵලදායී ලෙස වේගවත් කිරීමට එය පිටිවහලක් වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

මෙත් මල් පිබිදේ.. ශිරන්ති අත්අඩංගුවට

මෙත් මල් පිබිදේ.. ශිරන්ති අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද (07) උදෑසන ඇගේ නිවසට ගොස් ඇත.

අනතුරුව පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

අල්ලස් කොමිසම හදිසියේම ශිරන්තිගේ ගෙදරට.. ප්‍රශ්න කරයි

අල්ලස් කොමිසම හදිසියේම ශිරන්තිගේ ගෙදරට.. ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇගේ නිවසට ගොස් ඇත.

මේ වනවිටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂගේ කිරුළපනේ පිහිටි නිවසේ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.  

අද (07) උදෑසන 8.00 සිට මෙම ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.  

රට තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි

රට තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි

රට තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් කිරීමට පියවර ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, බරපතළ අපරාධවලට එරෙහිව කාර්යක්ෂමව කටයුතු කිරීම සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලින් එල්ල වන තර්ජන වලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වේ.

ජාතික හා ජාත්‍යන්තර සහයෝගිතාව තුළින් බරපතල අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම මෙන්ම, ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පදනම සැකසීමද මෙමඟින් අපේක්ෂා කරයි.

පසුගිය මාර්තු (30) වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අනුමැතිය ලැබී තිබුණේය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත සකස් කළ අතර ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශන ලැබී ඇත.

තෙල් මිල ඉහළ⁣ට

තෙල් මිල ඉහළ⁣ට

අද (07) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 89.75 දක්වා ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100.09 දක්වා ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.08 දක්වා ඉහළ ගොස් ඇත.

2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ පොත් බෙදා හැරීම

2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ පොත් බෙදා හැරීම

2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය 1, 2 සහ 6 යන ශ්‍රේණිවල මොඩියුල ද ඇතුළත්ව පාසල් පෙළපොත්/මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණායතන තෝරා ගැනීම පිණිස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසු 31ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව, අදාළ පෙළපොත්/ මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තු, මුද්‍රණායතන 21ක් වෙත රුපියල් මිලියන 1,614.69ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

“චීවරය – සිර ඇඳුම” අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇඳුම.?

“චීවරය – සිර ඇඳුම” අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇඳුම.?

වසර තුනකට වැඩි සිරදඬුවම් නියම වූ ඕනෑම පුද්ගලයෙකු බන්ධනාගාර නීති රෙගුලාසි අනුව බන්ධනාගාරය මගින් නිකුත් කරන සිර ඇඳුමින් සැරසී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් පළවන විවිධ මත ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කරයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,

“මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් විවිධ මත පළවන බව නිරීක්ෂණය වී තිබෙනවා.

බන්ධනාගාර නීති රෙගුලාසි අනුව, ගරු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ගරු අධිකරණය මගින් සරල සිරදඬුවමක් නියම කර ඇත්නම්, අදාළ සිරදඬුවම් කාලය බන්ධනාගාරය තුළ ගෙවීමේදී තම චීවරයෙන් සිටිය හැක.

සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, ඕනෑම පුද්ගලයෙකු සිර ඇඳුමෙන් සිටිය යුතුයි. බන්ධනාගාරය මගින් ගරු අධිකරණයට සිරදඬුවම් ලත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේදී, ඔහුගේ සිරදඬුවම වසර තුනකට වඩා අඩු නම්, ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී දඬුවමට පෙර ඔහු ඇඳ සිටි සිවිල් තත්ත්වයේ ඇඳුම ඇඳීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයාට අවසර දිය හැක.

එවැනි අවස්ථාවකදී ගරු භික්ෂූන් වහන්සේ නමකටද සිවුර ඇඳීමට අවසර ලබාදිය හැක. නමුත් වසර තුනකට වැඩි සිරදඬුවම් නියම කර ඇති ඕනෑම තත්ත්වයේ ලා සැලකෙන පුද්ගලයෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

ඒ වගේම දිවයිනේ බන්ධනාගාරවල ආගමික උතුමන් 63 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිරදඬුවම් විඳිමින් ඇති අතර එබඳු ආගමික උතුමන් සිර ඇඳුමෙන් බන්ධනාගාරය තුළ සිටින බවද කාරුණිකව දන්වමි.”

සුරේෂ්⁣ සලේ CIDයට රැගෙන යයි

සුරේෂ්⁣ සලේ CIDයට රැගෙන යයි

කොළඹ ජාතික රෝහලේ දින 119ක පමණ කාලයක් රැඳී සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට ටික වේලාවකට පෙර රැගෙන ගියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලැබූ  සුරේෂ් සලේට ප්‍රතිකාර සිදුකරන වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අද (06) අධිකරණයේ පෙනීසිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් තිබුණේය.

ඒ අනුව සුරේෂ් සලේව කොළඹ ජාතික රෝහලෙන් මුදාහැරිය හැකි බව එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

අනතුරුව සුරේෂ් සලේ අද පස්වරුවේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඉදිරි සති 03 කාලය තුළ පූර්ණ කැපවීමකින් කටයුතු කිරීම අවශ්‍යයි

ඉදිරි සති 03 කාලය තුළ පූර්ණ කැපවීමකින් කටයුතු කිරීම අවශ්‍යයි

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳව අද (06) සාකච්ඡාවක් පැවැත්විණි.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

2026 ඔක්තෝබර් (26) වෙනි දින සිට නොවැම්බර් (06) දින දක්වා සිදු කෙරෙන මෙම තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර මීට අදාළව ඉදිරිපත් කළ නිර්දේශ සහ ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද සමාලෝචනය කෙරිණි.

අපේ රට මුහුණ දී සිටින අවදානම හඳුනාගනිමින්, අවදානම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සහ ආයතනික ප්‍රතිසංස්කරණ සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙය වෙනත් පාර්ශ්වවල බලපෑම නිසා නොව, අපගේම ආයතන පද්ධතියට සහ රටට අවශ්‍ය නිසාම සිදු කළ යුතු කාර්යයක් ලෙස සැලකීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

මෙම ඇගයීම් ක්‍රියාවලියට අදාළ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලබන අතර තාක්ෂණික අනුකූලතාව සම්බන්ධ නිර්දේශ සහ සඵලදායිතාව පිළිබඳව මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒම, සමාගම් පනත සහ එහි ක්‍රියාකාරිත්වය, භාර ආඥා පනත සංශෝධනය කිරීම ආදී කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ යම් අඩුපාඩුවක් හෝ ප්‍රමාදයක් ඇත්නම් ඒවා නිවැරදි කර ගනිමින් රජයක් සහ ආයතන පද්ධතියක් ලෙස මෙම ක්‍රියාවලිය සඳහා ඉදිරි සති 03 කාලය තුළ පූර්ණ කැපවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, දැනට කර ඇති වැඩකටයුතු සහ ආයතනික වාර්තා මෙන්ම මතු වී ඇති ගැටලු පිළිබඳ අදාළ කණ්ඩායම් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් පූර්ව සුදානමකින් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයභාවය තහවුරු කෙරෙන මෙම තෙවන ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම රටක් ලෙස අද දවසේ කළ යුතුම කාර්යයක් බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සක්‍රිය දායකත්වය අපේක්ෂා කරන බවද පැවසීය.

එමෙන්ම, මෙම කටයුතු වෙනුවෙන් පසුගිය සමයේ කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු පාර්ශ්ව වෙත ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීත්වය පළ කළේය.

බැසිල්ගේ බ්‍රවුන්ස් හිල් ඉඩම ක්‍රියා විරහිත කරයි

බැසිල්ගේ බ්‍රවුන්ස් හිල් ඉඩම ක්‍රියා විරහිත කරයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩම ක්‍රියා විරහිත කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

එම ඉඩම උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (06) කරුණු වාර්තා කළේය.

අනතුරුව දින 14ක කාලයක් සදහා අදාළ ඉඩම ක්‍රියාවිරහිත කර ඇති අතර ඒ පිළිබද හිමිකම් ඉදිරිපත් කිරීමට එම කාලය ලබාදී ඇත.

Follow WhatsApp Channel