Local news

හිටපු ඇමති රෝහිත රිමාන්ඩ්

හිටපු ඇමති රෝහිත රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කොළඹ අංක 11 මහාධිකරණයට ඉදිරිපත් කළේය.

මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම විසින් අද (07) දින අත්අඩංගුවට ගත්තේය.

නාමල්ගේ තවත් බැංකු ගිණුමක තොරතුරු හෙළිවෙයි

නාමල්ගේ තවත් බැංකු ගිණුමක තොරතුරු හෙළිවෙයි

පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියෙකුගෙන් ලබාගත් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය තවත් බැංකු ගිණුමකට අදාළව තොරතුරු අනාවරණය වී ඇත.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එහිදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරිවරිය අධිකරණය හමුවේ සඳහන් කළේ,

“Ceylone premier sports limited නමින් ගිණුමක් තිබෙනවා. එම ආයතනය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරලා තියෙනවා. නමුත් ඔහු එම ආයතනයේ කිසිදු ධුරයක් දරලා නැහැ. එම ආයතනයේ සභාපති ලෙස කටයුතු කරලා තියෙන්නේ නිමල් පෙරේරා.

ඒ වගේම ස්වාමීනි., මෙම නඩුවේ පළමු සැකකරු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ දෙවන සැකකාර රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තාගෙන් විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවස්ථා කිහිපයකදී කැඳවීම් ලිපි යවා තිබෙනවා.

නමුත් ඊට ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ අනුව ඉදිරි පියවර ලෙස මොවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

ස්වාමීනි., 2012/12/15 වැනි දින ‍ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට මේ 4 වන සැකකාර නාමල් රාජපක්ෂ ලිපියක් යවා තිබෙනවා. ඒ කාල්ටන් සුපර් 7 රග්බි තරගාවලියට නිමල් පෙරේරා ලබාදුන් මුදල්වලට ස්තූති කරලා.

එම ලිපිය මහාධිකරණයේ විභාග වන නඩුකරයකට ඉදිරිපත් කර තිබෙනවා මේ වනවිට. ඒ අනුව ස්වාමීනි., 4 වැනි සැකකරුගේ අත් අකුරු පරීක්ෂා කිරීමට අපේක්ෂා කරනවා. සැකකරු දූෂණ විරෝධි පනතේ 149 වගන්ති ප්‍රකාරව අධ්‍යක්ෂවරයාගේ සහතිකයක්ද සමගයි අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.

විමර්ශන සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ එම සැකකරුවන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් නාමල් රාජපක්ෂ ලබන (16) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝගය කළේය.

රුසියානු ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක්.. මුහුදේ ගිල්වයි

රුසියානු ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක්.. මුහුදේ ගිල්වයි

රුසියානු ඉන්ධන රැගෙන කළු මුහුදේ යාත්‍රා කරමින් තිබු ඉන්ධන ප්‍රවාහන නෞකාවකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් ලයිබීරියානු ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාව මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් එම නෞකාවේ සිටි 23 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඥනසාර හිමිට අත තිබ්බා.. මේ තමයි ආණ්ඩුවේ අවසානය

ඥනසාර හිමිට අත තිබ්බා.. මේ තමයි ආණ්ඩුවේ අවසානය

අවුරුදු පහකට බලය ලබාගත් නිරාගමික ගෝත්‍රිකයින් පිරිසකට වසර 2300ක් පුරාවට මෙරට තුළ පැවති ශාසනික ඉතිහාසය වෙනස් කිරීමට ඉඩ නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවර ඉවත් කර සිරගත කිරීම තුළින් මාලිමා ආණ්ඩුවේ අවසානය ආරම්භ වූ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,

“වැරදිලා අවුරුදු පහකට බලය ගත්ත නිරාගමික ගෝත්‍රිකයෝ පිරිසකට වසර 2300ක් පුරාවට මේ රටේ තියෙන ශාසනික ඉතිහාසය වෙනස් කරන්න අපිට ඉඩ දෙන්න බෑ.

පරගැති නිරාගමික ආණ්ඩුවට පුළුවන් වුණාට අපේ ඥානාසාර හාමුදුරුවන්ගේ සිවුර උදුරගන්න උන්වහන්සේගේ භික්ෂූත්වය උදුරගන්න හැකියාවක් නෑ. අද අධිකරණයට උන්වහන්සේ වැඩම කළාට උන්වහන්සේට සිවුරක් නොතිබුණත් නීතිඥයොත්, ඇවිල්ලා සිටි අයත් උන්වහන්සේට පරණ පුරුදු විදිහටම නමස්කාර කළා.

මේක අපි ඉතාම වගකීමෙන් කියනවා මාලිමා ආණ්ඩුව උන්වහන්සේගේ සිවුර ගලවලා ගිහි ඇඳුම් අන්දවලා අධිකරණයට ගෙන ඒම නීති විරෝධියි, ව්‍යවස්ථා විරෝධියි, ශාසනික විරෝධියි. මේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.

භික්ෂූන් වහන්සේගේ චීවරය ගලවන්න නම් උන්වහන්සේ පාරාජිකා වෙන්න ඕනි. විශේෂයෙන්ම ඒ ශාසනික සම්ප්‍රදායට ගරුකරලා තමයි හාමුදුරුවන්ට මීට කලිනුත් උන්වහන්සේම ප්‍රකාශ කරපු පරිදි උන්වහන්සේට මීට කලිනුත් නඩු තිබිලා තියෙනවා.

කවදාක්වත් සිවුරු ගලවලා ගිහි වෙස් ගන්වලා හාමුදුරුවන්ව අධිකරණයට ගෙනැල්ලා නෑ. මොකද ඒ ශාසනික සම්ප්‍රදායට ශාසනික සම්ප්‍රදාය විතරක් නෙවෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග 550 ඉතා පැහැදිලිව කියනවා යම් වැරදිකරුවෙකු කරනු ලැබූ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරද්දී ඔහුගේ සාමාන්‍ය ඇඳුමෙන් අධිකරණයට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතුයි කියලා.

ඒ නිසා තමයි අපි කිව්වේ මේක නීති විරෝධියි, ව්‍යවස්ථා විරෝධියි, ශාසනික විරෝධියි. හැබැයි අපි මාලිමා ආණ්ඩුවට කියනවා වැඩේ වරද්ද ගත්තා. මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය තමයි ඊයේ සිද්ධ වුණේ කියලා අපි බය නැතිව කියනවා.

නලින්ද ජයතිස්ස වගේ කාල් මාර්ක්ස්ගේ පොත් කියෙව්වට බණ පොතක් කියවලා නැති අයට ඒ වගේ කතා කියන්න පුළුවන්.”

හිටපු ඇමති රෝහිත අත්අඩංගුවට

හිටපු ඇමති රෝහිත අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අද (07) දින අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට ගෙන ඇත.

2027 අයවැය පාර්ලිමේන්තුවට

2027 අයවැය පාර්ලිමේන්තුවට

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නොවැම්බර් (12) වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අනතුරුව නොවැම්බර් (13) සිට (20) දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම නොවැම්බර් (20) වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් (21) සිට දෙසැම්බර් (14) දක්වා දින 19ක් පැවැත්වේ.

අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් (14) වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර එමගින් 2027 අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වේ.

ඥනසාර හිමිගේ නඩුවට දුන් නියෝගය

ඥනසාර හිමිගේ නඩුවට දුන් නියෝගය

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසර හිමිට එරෙහි නඩුව අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි.

මෙම නඩුව අද (07) දින කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් සිර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේය.

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නිවේදනය කළේය.

අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මේ බව නිවේදනය කළේය.

එහිදී, මෙම සිරදඬුවමට එරෙහිව සේවාදායක හිමියන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එහි තීරණය ලැබෙන තෙක් මෙම දඬුවම් ක්‍රියාත්මක කිරීම කල්තබන ලෙසට උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අනතුරුව මෙම නඩුව පෙබරවාරි මස (25) වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සිරිලිය පත්තු වෙයි.. හිටපු අගවිනිසුරුවරියගේ සැමියා අත්අඩංගුවට

සිරිලිය පත්තු වෙයි.. හිටපු අගවිනිසුරුවරියගේ සැමියා අත්අඩංගුවට

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රදීප් කාරියවසම් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අද (07) කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදී ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

අමානුෂික වෙඩි තැබීම.. දේශබන්දුට එරෙහිව අධිචෝදනා භාරදෙයි

අමානුෂික වෙඩි තැබීම.. දේශබන්දුට එරෙහිව අධිචෝදනා භාරදෙයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) දින අධිචෝදනා භාරදෙයි.

පසුගිය 2023 දෙසැම්බර් (31) වැනිදා වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක වෙඩි තැබීම සම්බන්ධයෙන් වන නඩුවට දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එලෙස අධිචෝදනා භාරදී ඇත.

මෙම නඩුවට දේශබන්දු තෙන්නකොන් ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා අද (07) මාතර මහාධිකරණයේදී පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුවට අදාළ පරීක්ෂණ සිදු කරනු ලබන අතර මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන හමුවේ මෙම නඩුව කැඳවා ඇත.

එහිදී දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් හා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 04ක් ද මත මුදාහැරීමට නියෝග කළේය.

අනතුරුව මෙම නඩුව යළිත් ලබන නොවැම්බර් (27) වන දින කැඳවීමට නියමිතය.

ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය සිද්ධියේ විත්තිකරුවන්ට සිරදඬුවම්

ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය සිද්ධියේ විත්තිකරුවන්ට සිරදඬුවම්

පසුගිය 2019 වසරේ වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධ නඩුවේ වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 10 බැගින් සිර දඬුවම් නියම කළේය.

අදාළ චෝදනා වලට විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගැනීමෙන් පසුව ලාල් බණ්ඩාර, නයෝමි වික්‍රමසේකර හා රශ්මි සිංගප්පුලිගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම සිර දඩුවම් ප්‍රකාශයට පත් කළේය.

Follow WhatsApp Channel