Local news

යෝෂිත සහ රෝහිත අක්කර 135ක තේ වත්තක් අයිති කරගෙන

යෝෂිත සහ රෝහිත අක්කර 135ක තේ වත්තක් අයිති කරගෙන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ විසින් මුස්ලිම් ජාතිකයන් තිදෙනකු යොදවා අක්කර 135ක තේ වත්තක් අයිති කර ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර ඇත.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය කළ පැමිණිල්ලකට අනුව මේ තීරණය ගෙන ඇත.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර විසින් අගෝස්තු මස (20) වැනිදා මේ පැමිණිල්ල යොමු කර ඇත.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළ බව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය පැමිණිලිකරුට ලිඛිතව දැනුම් දී ඇත.

පැමිණිල්ල මඟින් පවසා ඇති සියලු කරුණුවලට අදාළ ලේඛනගත සාක්ෂි සමඟින් පැමිණිලිකරුගේ ප්‍රකාශයක් සටහන් කිරීමට අවශ්‍ය බැවින් ලබන (14) වැනිදා පෙරවරු 9.00ට පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙසද පැමිණිලිකරුට දැනුම් දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්

මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා ඇත.

මාලදිවයිනෙන් පසුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී මෙම ඇගයීම් සහතිකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පිරිනමා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් විසින් එම සහතිකය පිරිනමා ඇති අතර එය WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ භාරකාර නිලධාරී ආචාර්ය නිලේෂ් බුද්ධාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරනු ලැබු අතර එතැන් සිට වසර 10ක් පුරා රට තුළ මැලේරියාව නැවත ව්‍යාප්ත වීම වළක්වා ගනිමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහිදී ඇගයීමට ලක්ව ඇත.

මෙම ජයග්‍රහණ හුදෙක් සෞඛ්‍ය සන්ධිස්ථාන පමණක් නොව, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

නීතිපතිගේ නිෂ්කාශනය ලැබෙයි.. අපරාධ වැළැක්වීමට නව පනතක්

නීතිපතිගේ නිෂ්කාශනය ලැබෙයි.. අපරාධ වැළැක්වීමට නව පනතක්

ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද, ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගිතාව මඟින් බරපතල අපරාධ වැළැක්වීම සහ බරපතල අපරාධවලට විරුද්ධව කටයුතු කිරීම සඳහා ද, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් ඉදිරිපත් වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා ද නෛතික විධිවිධාන සලසනු පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇත.

එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

තවත් කෙරුමෙක් කුදලාගෙන CIDයට

තවත් කෙරුමෙක් කුදලාගෙන CIDයට

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි (09) වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අතර එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර තිබුණි.

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද ‘කොණ්ඩ රංජි’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොණ්ඩ රංජි CID භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සරණ අසරණයි.. දඬුවම අඩු කර දෙන්නැයි බිරිද විනිසුරුගේ සහයකට අල්ලස් දීලා

සරණ අසරණයි.. දඬුවම අඩු කර දෙන්නැයි බිරිද විනිසුරුගේ සහයකට අල්ලස් දීලා

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ඇති තවත් අල්ලස් නඩුවකදී විනිසුරුවරයාගෙන් අඩු දඬුවමක් ගෙන දීමට බව පවසා ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්‍ෂ 7 1/2ක අල්ලසක් ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ මහාධිකරණ විනිසුරුවරයකුගේ සහයකයෙකු (ආරච්චි) වශයෙන් සේවය කළ පුද්ගලයකු ලබන (22) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම නියෝග කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අත්තනගල්ල අධිකරණයේ නිලධාරියෙකු සහ කොළඹ මහාධිකරණ පොත් බැඳුම්කරුවෙකු සම්බන්ධයෙන් විමර්ශනය කරන බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයෙකු විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් අනතුරුව ජී.ඒ. චරිත් කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් එම දඬුවම වසර 16ක කාලයකින් ගෙවී යන ලෙස නියම කළේය.

හයිවේ එකේ ඇඹුල්තියල් ගේන්න සීටි බෙල්ට් එක හොඳයි

හයිවේ එකේ ඇඹුල්තියල් ගේන්න සීටි බෙල්ට් එක හොඳයි

මගීන් අපහසුතාවයකට පත් වෙන්නේ නැති වෙන්න මාර්ග නීති තද කරන එක හොද කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“දැන් ඔබතුමාලා එක පැත්තකින් ලස්සන සුරංගනා කතා කියනවා. දැන් මේ මාර්ග නීති තද කරන එක හොඳයි. හැබැයි මගීන්ට අපහසුතාවයකට පත් වෙන්නේ නැති වෙන්න. දැන් හයිවේ එකේ බෙල්ට් දාගෙන, දැන් හොඳයිනේ දැන් ඇඹුල්තියල් ගේන්න පුළුවන් බෙල්ට් එක දාගෙන.

හෙල්ලෙන්නේ නැහැනේ. හයිවේ එකේ ඇඹුල්තියල් අරන් එන්න පුළුවන් ගරු සභාපතිතුමිය. දැන් කිසි ප්‍රශ්නයක් නැතුව බෙල්ට් එකත් දාගෙන හයිවේ එකේ එන්න පුළුවන් දැන්. හැබැයි එන ගමන් දැන් හයිවේ එකේ එන්න තියා ඇඹුල්තියල් හදන්න විදියක් නැහැ.

බේරුවල වරායට බෝට්ටු එන්න දෙන්නේ නැහැ. ඇයි ජනාධිපතිතුමා, බේරුවල යනකොට බේරුවල වරායට බෝට්ටු එන්න දෙන්නේ නැහැ. කොහොමද ඇඹුල්තියල් හදන්නේ.? ඒ හින්දා ඔබතුමියලා ඔබතුමාලාගේ කතා නම් හොඳයි.

හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය, අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්නය බිම් මට්ටමේ මේවා ප්‍රායෝගික වෙනවාද.? දැන් පහුගිය කාලේ කිව්වා විශ්වවිද්‍යාල 50ක් හදනවා කිව්වා. විශ්වවිද්‍යාල 50ක් කෙසේ වෙතත්, සැලසුමක්, ඒ සැලසුම් කරනවා.

විශ්වවිද්‍යාල 50ක් කෙසේ වෙතත් ගරු සභාපතිතුමිය, මම දැක්කා දෙවෙනි තට්ටුවට නම් මුල්ගල් තියෙනවා ඉස්කෝලෙක බිල්ඩින් එකක. දැන් මේ බ්ලොක් ගලක් ගිහිල්ලා තියෙනවා නැකතට. විශ්වවිද්‍යාල 50ක් හදනවා කියලා ආවේ. ඉතින් මේ කාවද රවට්ටන්න හදන්නේ. කාවද රවට්ටන්න හදන්නේ.”

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව 67වෙනි වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සංවිධානය කර තිබූ අතර, 2025 වසරේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවය අගයමින් ඉසව් 50කට අධික සංඛ්‍යාවකගෙන් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.

මීට අමතරව, සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාහිත්‍යකරණයෙහි නිරත වෙමින්, මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍යරත්න” ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

සිංහල මාධ්‍ය වෙනුවෙන් කිවියර පරාක්‍රම කොඩිතුවක්කු මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් කිවියර සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් මහතාද, ඉංගී‍්‍රසි මාධ්‍ය වෙනුවෙන් සම්මානනීය මහාචාර්ය ඊ.ඒ. ගාමිණී ෆොන්සේකා මහතාද මෙලෙස එම සම්මානයෙන් පිදුම් ලැබූහ.

2026 වසරේදී සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ කට්ටලය, සමරු කලාපය සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ලියැවුණු 2026 සාහිත්‍ය කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් තවත් ඉහළ⁣ට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් තවත් ඉහළ⁣ට

ශ්‍රී ලංකාවේ විදෙස් නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

2026 ජූලි මාසය අවසන් වනවිට මෙම නිල සංචිත අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,600ක් ලෙස සටහන් වී තිබුණ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

වර්ධනය වූ විදේශ සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදන ද ඇතුළත් වන බවද මහ බැංකුව සඳහන් කරයි.

නාමල් ජනතාව අමතයි.. කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියයි

නාමල් ජනතාව අමතයි.. කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියයි

මේ වනවිට රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රෝහල්වල නොමැති බවත් එනිසා රටේ ජනතාව අසරණ වී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අද (08) බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“ගරු සභාපතිතුමිය, දැන් ජනාධිපතිතුමා කියනවා කොත්තමල්ලි බීලා ගෙදර ඉන්නලු. දැන් එනකොට කිව්වේ පුරවැසියන්ගේ මේ ප්‍රමාණයට අවශ්‍ය, රෝගීන්ට අවශ්‍ය වෛද්‍යවරු දෙනවා කියලා. ආපු ගමන් ඔබතුමියලා GMOA එකත් එක්ක හැප්පුණා. වෛද්‍යවරු විවේචනය කරා.

දැන් බෙහෙත් නැහැ ඉස්පිරිතාල වල. Life saving drugs නැහැ ඉස්පිරිතාල වල. පිළිකා රෝගීන්ගේ අවශ්‍ය බෙහෙත් ටික නැහැ ඉස්පිරිතාල වල. හැබැයි එහෙම කියන ඔබතමුන්නාන්සේලා, ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි ඉස්පිරිතාලෙට බෙහෙත් දෙන්නේ නැති ඔබ මොකද කරන්නේ.?

ඔබ තමුන්නාන්සේලා දැන් ඇවිල්ලා කියනවා ඉස්පිරිතාල යන්නත් එපාලු. අවුරුද්දකට කෝටි 8ක් ජනතාව ඉස්පිරිතාල වලට යනවා කියනවා. ඒ කියන්නේ කෝටි 8ක්, ඒ කියන්නේ දළ වශයෙන් එක පුද්ගලයෙක් 4 වතාවයිනේ යන්නේ. මේ රටේ සාමාන්‍යයෙන් අඩු ආදායම් ලබන අය.

දැන් ඔබතුමාලාට ඔබතුමීලාට ප්‍රශ්නයක් නැහැ දැන් 159 දෙනා පොෂ් වෙලානේ දැන් කොළඹ ඉන්නේ. දැන් ඉන්ෂුවරන්ස් එකක් තියෙනවනේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඔබතුමීලා යන්නේ ලොකු ලොකු ඉස්පිරිතාල වලට. ඉතින් ඒක දැන් ඔබතුමීලාට, මේ ආණ්ඩුවේ ඉන්න අයට බලපාන්නේ නැහැ.

​හැබැයි තාමත් ගරු සභාපතිතුමිය, ගමේ ඉන්න දරුවෝ, ගමේ ඉන්න දෙමාපියන් තමන්ගේ දරුවන්ට අසනීප වුණාම අරන් යන්න තියෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට. 

ඉතින් ඒ ඉස්පිරිතාලෙට බෙහෙත් ටික තියෙන්න ඕනේ. කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියලා ජනාධිපතිතුමාට කියන්න අයිතියක් නැහැ. දැන් ජනාධිපතිතුමා හිතනවා නම් කොත්තමල්ලි බීලා ගෙදර හිටියාම වැඩේ හරි.

බෙහෙත් ටික අරන් දෙන්න ඕනේ නැහැ ඉස්පිරිතාල වලට, ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ බෙහෙත් ටික අරන් නොදී ඉස්පිරිතාල වල ලෙඩ්ඩු ටික තියාගන්න පුළුවන්, ළමයි ලෙඩ්ඩු ටික ගෙවල් වල තියාගන්න පුළුවන් කියලා ඉතින් ඒකෙන්ම හිතාගන්න පුළුවන්.”

තරුණ තරුණියන්ගේ අදහස් සහ යෝජනා පාර්ලිමේන්තුවට

තරුණ තරුණියන්ගේ අදහස් සහ යෝජනා පාර්ලිමේන්තුවට

විවෘත පාර්ලිමේන්තුවක් පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද මාලාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරු පැවසූහ.

මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා මහනුවර “Golden Crown” හෝටලයේදී පැවති “Voice to Policy” වැඩසටහනට සහභාගී වූ විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මේ බව සඳහන් කළහ.

“Voice to Policy” සංවාද මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ද, දෙවැනි වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික්කයේද, තෙවැනි වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ද පැවැත්විණි.

මහනුවර පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, නීතිඥ තුෂාරි ජයසිංහ, ලාල් ප්‍රේමනාත්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර සහ එම්.කේ.එම්. අස්ලම් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ තරුණ තරුණියන් විසින් ආර්ථික අවස්ථා හා රැකියා, රාජ්‍ය පරිපාලනය හා වගවීම, සමාජ අන්තර්කරණය හා යුක්තිය, දේශපාලන සහභාගීත්වය හා නියෝජනය මෙන්ම වෙනත් කරුණු යන ප්‍රධාන තේමා පහක් යටතේ තමන් මුහුණ දෙන ගැටලු හඳුනා ගන්නා ලදී.

එමෙන්ම, හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින්, ඒ සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි රාජ්‍ය ආයතන ද හඳුනාගෙන, අදාළ ගැටලු හා යෝජනා සංසදයේ සාමාජිකයන් වෙත තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම යෝජනා පදනම් කරගනිමින්, විවෘත පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර පුළුල් සංවාදයක් ද පැවැත්විණි.

තරුණ තරුණියන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම තම අරමුණ බව සංසදයේ සාමාජිකයෝ මෙහිදී සඳහන් කළහ.

මේ දක්වා පවත්වන ලද “Voice to Policy” වැඩසටහන්වලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ඉදිරියේදී තරුණ තරුණියන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා කටයුතු සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් කටයුතු කරන බවට සංසදයේ සාමාජිකයෝ මෙහිදී සහතික කළහ.

✕
⌃ News
📰 Free News Subscription?