Local news

අනේ මාව බේරගන්න අයියෝ.. කහඳගමගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි

අනේ මාව බේරගන්න අයියෝ.. කහඳගමගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අද (06) අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගෙන් ලබන (12) වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී ඔහුව අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.

මහින්ද කහඳගම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඉතා සමීපව කටයුතු කර ඇති බවත් ඔවුන්ගෙන් ලබගෙත් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා රුමේෂ් නිර්දේශ වෙයි

ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා රුමේෂ් නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා (Men’s World Athlete of the Year) සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

මෙම සම්මානය සඳහා නිර්දේශ වූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසයට එක්වෙයි.

ලබන නොවැම්බර් (29) වනදා මොනාකෝ හිදී පැවැත්වීමට නියමිත ‘ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල’ වෙනුවෙන් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද පිරිමි අංශයේ නාමයෝජනා 10 දෙනා අතරට රුමේෂ් තරංග ඇතුළත් කර ඇත.

මෙම නාමයෝජනා 10 දෙනා තේරී පත්ව ඇත්තේ ලෝක මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයින් දෙදෙනෙකු සහ මහාද්වීපික කලාපීය සංගම් හයෙන් එක් අයෙකු බැගින් සමන්විත අටදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගිනි.

අවසාන ජයග්‍රාහකයා තේරීමට ක්‍රම හතරකින් සමන්විත ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් සිදුකරනු ලබන අතර ඉන් අවසාන වටයට තේරීපත්වන තරගකරුවන් 6 (පිරිමි හා කාන්තා අංශ වලින් තිදෙනා බැගින්) නොවැම්බර් (10) සහ (11) යන දිනයන්හිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එම අවසන් තරගකරුවන් මොනාකෝ හි පැවැත්වෙන සම්මාන උළෙල සඳහා කැඳවනු ලබන අතර එහිදී 2026 වසරේ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත්කෙරේ.

ඉන්ධන හිගය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන හිගය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග රජය විසින් සහනාධාරයක් ලබා දුන් නමුත් එම සහනාධාරය පෞද්ගලික ඉන්ධන සමාගම් වලට ප්‍රමාණවත් නොවන බැවින් එම සමාගම් ඉන්ධන සැපයීම සීමා කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට දිවයින පුරා රටේ ප්‍රධාන ස්ථාන 55ක තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් නොමැති බවත් ඒ අනුව අවට පිහිටි ඉන්ධන පිරවුම්හල් සඳහා මේ වනවිට ඉන්ධන වැඩි වශයෙන් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එනිසා අනෙකුත් ඉන්ධන සමාගම් පවතින තත්ත්වය හමුවේ ලාභය අරමුණු කිරීමකින් තොරව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී ඉල්ලීමක් කළේය.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ,

“කොටසක් රජය දරාගන්නවා. ඒ අනුව තමයි ගියවර බිලියන 57ක් දුන්නා. මෙවර බිලියන 41ක් දුන්නා රජය විසින් භාණ්ඩාගාරයෙන් දැම්මා තෙල් වලට සහනයක් ලබා දෙන්න. තෙල් සමාගම විසින් කොටසක් දරා ගන්නවා.

ගිය සැරෙත් මේ ප්‍රශ්නය පැන නැගුනා. සමහර සමාගම් කිව්වා ඒ මුදලත් ඔවුන්ට මදි කියලා. ඇත්තටම ඔවුන්ට ඒකෙන් වෙන්නේ ඔවුන්ගේ ලාභ පංගුව අඩුවෙන එක. එතකොට ඔවුන් වෙළෙඳපොලට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරනවා.  

දැනට ගත්තොත් ඔටෝ ඩීසල් 2025 ජනවාරි මාසේදි නිකුත් කරනේ 55%යි දැන් වෙනකොට මාර්කට් ශෙයාර් එක 76%ක තෙල් සංස්ථාවේ වැඩි වෙලා තියෙන්නේ. මීට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගමේ 2025 ජනවාරිවල 21%ක් තිබුණු මාර්කට් ශෙයාර් එක මේ වෙනකොට 12% දක්වා අඩු වෙලා තියෙනවා. පෙට්‍රල් වලත් මේක තමයි තත්ත්වය.

තෙල් සංස්ථාව තෙල් සැපයීම අඛණ්ඩව කරගෙන යනවා හැබැයි රටේ ප්‍රධාන ස්ථාන 55ක් තියෙනවා. තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති. අපි දැන් ඒ අවට තිබෙන පිරවුම්හල් වලට වැඩිපුර තෙල් ලබා දෙමින් ඉන්නවා.

අපි තෙල් සමාගම්වලටත් කියන්නේ ඔබ මේ වෙලාවේ ලාභය ගැන හිතන්නේ නැතිව ජනතාව වෙනුවෙන් තෙල් සපයන්න. ලෝකයේම පවතින ත්ත්වයකදි ඊට මුහුණ දෙන ආකාරයට අපි කටයුතු කරගෙන යනවා.“ 

ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය අර්බුදයට පෙර මට්ටමට ළඟාවුවද එය අසම්පූර්ණ මට්ටමක පවතින බව ලෝක බැංකුව සඳහන් කරයි.

සමස්ත ආර්ථිකය යථාවත්වීමේ වේගයට සාපේක්ෂව ගෘහ ආදායම් සහ ශ්‍රම වෙළෙඳපොළ තත්ත්වයන් තවමත් පසුගාමී මට්ටමක පවතින බවද ලෝක බැංකුව සඳහන් කරයි.

2026 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය (GDP) 4.4%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ලබන 2027 වසර වනවිට 4.2% දක්වා අඩුවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි.

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර ඇත.

ඒ අනුව, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු එච්. එම්. ආර්. එම්. තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) දිවුරුම් දුන්හ.

දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර දෙකක් වෙනුවෙන් අදාළ පත්වීම් සිදු කර තිබේ.

සලේට දැන් සනීපයි.. නැවතත් CIDය භාරයට

සලේට දැන් සනීපයි.. නැවතත් CIDය භාරයට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව නිර්දේශ කර ඇත.

ඒ අනුව සුරේෂ් සලේව කොළඹ ජාතික රෝහලෙන් මුදාහැරිය හැකි බව එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

එම නඩුව අද (06) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවු අවස්තාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මේ බව සඳහන් කළේය.

සුරේෂ් සලේ අද පස්වරුවේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකතු වී ‘අයිස්’ විකිණු කහඳගමගේ පැටිකිරිය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකතු වී ‘අයිස්’ විකිණු කහඳගමගේ පැටිකිරිය

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඉතා සමීපව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මහින්ද කහඳගම ඩුබායි රාජ්‍යයට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමඟ සාදයක් පවත්වන දර්ශන පෙළක් විමර්ශන නිලධාරීන්ට හමුවී ඇත.

එහිදී ‘මෝදර නිපුන’ නමැති අපරාධකරුගේ සහෝදරයා වන චතුර දිල්රුක්ෂාන් සහ ‘කෙසෙල්වත්තේ දිනූෂ’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ මහින්ද කහඳගම ඉතා සමීපව කටයුතු කරන ආකාරය එම වීඩියෝ වල දැක්වෙයි.

එහිදී ඔවුන් මහින්ද කහඳගමට ‘ඩැඩා’ යනුවෙන් ආමන්ත්‍රණය කරන අතර කහඳගම ‘ඉබ්බගේවත්තේ සුජී’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සමීප සබඳතා පවත්වා ඇති අතර ඔවුන් අතර සිදු වූ දුරකථන සංවාදවල තොරතුරු විමර්ශන නිලධාරීන් මේ වනවිට සොයාගෙන ඇත.

මහින්ද කහඳගම ‘ඉබ්බගේවත්තේ සුජී’ නැමැත්තාගෙන් අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති අතර අනතුරුව ලබාගත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මරණ තර්ජන පවා එල්ල වී තිබූ බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඒ අනුව මහින්ද කහඳගම ඔහුගෙන් ලක්ෂ ගණනක අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන හොර රහසේ එම අයිස් මත්ද්‍රව්‍ය විකුණා ඇත.

එම තොරතුරු වලට අනුව මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට වාර්තා වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකදී, අද (06) පෙරවරුවේ ඔහුව අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්තේය.

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1102ක් සමඟ නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ වැටලීමකදී මහින්ද කහඳගම අයිස් ග්‍රෑම් 30ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

“කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ” සිවුර ගැලවීම උඩු දුවයි

“කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ” සිවුර ගැලවීම උඩු දුවයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් සිදුකර ඇත.

ඥානසාර හිමි විනය පිටකයට අනුව පරාජික වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා නොමැති අතර ශාසනික ලෙස ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බව එම ලිපියේ සඳහන් කර ඇත.

එනිසා උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර පිටින්ම පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසත් කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී, පූජ්‍ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර අද (06) කොළඹ මහාධිකරණය වෙත පැමිණි ඥනසාර හිමි නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්තාවේදි මාධ්‍ය වෙත සඳහන් කළේ,

“නියෝග නේ. දැන් ඉතිං හතර පස් වතාවක් හිරේ ගිහිල්ලා තියෙනවා. කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ. මේ වතාවේදී සිවුර ගැලෙවුවා ඉතිං. ප්‍රශ්නයක් නෑනේ. සිවුර ගැලෙව්වත් ඥානසාර හාමුදුරුවෝ ඥනසාර හාමුදුරුවෝ තමයි.”

නිල් පාට බසයෙන් එනවා.. යනවා.. නාමල්ට නියෝගයක්

නිල් පාට බසයෙන් එනවා.. යනවා.. නාමල්ට නියෝගයක්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ එම සැකකරුවන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන ලබන (16) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝගය කළේය.

අනතුරුව එම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන (16) වනදා ප්‍රකාශයට පත් කරන බවද නියෝග කළේය.

රනිල් හදිසියේම සිංගප්පූරු යයි

රනිල් හදිසියේම සිංගප්පූරු යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) දින සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

අද අලුයම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

Follow WhatsApp Channel