Local news

ඥනසාර හිමිගේ නඩුවට දුන් නියෝගය

ඥනසාර හිමිගේ නඩුවට දුන් නියෝගය

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අදාළ නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිව ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය යළි ලබන (23) වැනිදා කැඳවන ලෙස නියම කළේය.

පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඥනසාර හිමිව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

සරණගේ බිරිඳ අසරණ වෙයි.. අධිකරණයෙන් නියෝග

සරණගේ බිරිඳ අසරණ වෙයි.. අධිකරණයෙන් නියෝග

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සරණ ගුණවර්ධනගේ බිරිඳ, අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලබන (20) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සිරදඬුවම් නියම වී සිටින සරණ ගුණවර්ධනට අදාළව කොළඹ මහාධිකරණ අංක 11 ශාලාවේ පවතින තවත් අල්ලස් නඩුවකට අදාළව සහනදායී දඬුවමක් ලබාදීම සඳහා රුපියල් 50,000ක් අල්ලස් ලබාදීම සහ ලබා ගැනීම, ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය.

සිංගප්පූරුවේ ඉදන් ආව විතරයි.. ශිරන්තිට දින නියම කරයි

සිංගප්පූරුවේ ඉදන් ආව විතරයි.. ශිරන්තිට දින නියම කරයි

සිංගප්පූරුවේ රැදී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඊයේ (05) දින රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිතා කරමින් ශිරන්ති රාජපක්ෂ පැමිණ ඇත.

කෙසේ වෙතත් මෙරටට පැමිණි ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් මස (13) වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී ඇත.

පසුගිය සැප්තැම්බර් මස (16) වැනි දින වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට දැනුම් දී තිබුණේය.

ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට

ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට

සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) දින කොළඹ මහාධිකරණයට රැගෙන විත් ඇත.

බන්ධනාගාරගත කළ ඥානසාර හිමියන් අද දින ගිහිඇඳුමින් (සුදු සරම) සැරසී අධිකරණයට පැමිණියේය.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඥානසාර හිමියන් මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත.

මාව අත්අඩංගුවට ගන්න එපා.. FCID ස්ථානාධිපතිට නොතීසි

මාව අත්අඩංගුවට ගන්න එපා.. FCID ස්ථානාධිපතිට නොතීසි

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම අද (06) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් මස (12) වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසට නොතීසි නිකුත් කළේය. 

අගමැති හරිනිගේ රූපය යොදාගත් වීඩියෝ සමාජ මාධ්‍යයේ

අගමැති හරිනිගේ රූපය යොදාගත් වීඩියෝ සමාජ මාධ්‍යයේ

තම රූපය සහ හඬ යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන සියලු වීඩියෝ මුළුමනින්ම ව්‍යාජ ඒවා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

සමාජ මාධ්‍ය සහ WhatsApp මාර්ගයෙන් විවිධ මූල්‍ය හා ආයෝජන ක්‍රම ප්‍රවර්ධනය කරමින් හුවමාරු වන මෙවැනි අසත්‍ය වීඩියෝ වලට හසු නොවන ලෙසද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අදහාගැනීමටත් නොහැකි තරම් අධික ලාභ ලබාදෙන බවට පොරොන්දු වන මෙවැනි වංචනික මූල්‍ය ජාවාරම්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව තේරුම් ගැනීමට තරම් මූලික බුද්ධියක් සහ මූල්‍ය සාක්ෂරතාවක් ජනතාවට තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

“මගේ රූපරාමු සහ කටහඬ නිර්මාණය කරමින් විවිධ ආයෝජන ක්‍රමවේද ප්‍රවර්ධනය කරන ව්‍යාජ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව මම දැනුවත්. මගේ කිසිදු සම්බන්ධයක් ඒවාට නැහැ. මම කිසිම ආයෝජකයෙකු හෝ එවැනි දේවල් ප්‍රවර්ධනය කිරීමට පෙනී සිටින්නේ නැහැ. මෙවැනි වීඩියෝ දුටු විගස ඒවා ව්‍යාජ බව ඔබ වටහාගත යුතුයි.”

කොළඹ කොටස් වෙළෙඳපොළේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

අසනීප සනීපයි.. ශිරන්ති රාජපක්ෂ දිවයිනට

අසනීප සනීපයි.. ශිරන්ති රාජපක්ෂ දිවයිනට

අසනීප තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණ ඇත.

ශිරන්ති රාජපක්ෂ මලයාසියාවේ සිට MH 179 දරණ ගුවන් යානයෙන් රාත්‍රි 11.26ට පමණ දිවයිනට පැමිණ ඇත.

“සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පසුගියදා කැඳවීමක් කළේය.

ඒ අනුව නැවතත් මෙරටට පැමිණි ශිරන්ති රාජපක්ෂ තවත් දින කිහිපයකින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

ආන්දෝලනාත්මක බටලන්ද විමර්ශන නැවතත්.?

ආන්දෝලනාත්මක බටලන්ද විමර්ශන නැවතත්.?

බටලන්ද වධකාගාරය තුළ සිදුවු ඝාතන සම්බන්ධයෙන් යළි විමර්ශනය කළ යුතු බවට නීතිපතිවරයා නිගමනය කර තිබෙනවා.

එම නිගමනය ඇතුළත් නිරීක්ෂණ ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර අති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බටලන්ද කොමිෂන් වාර්තාවේ සාක්ෂි මත පමණක් සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කළ නොහැකි බව නීතිපතිවරයාගේ මතය වේ.

බටලන්ද වදකාගාරය යනු, 1988 – 1990 කාලයේදී ශ්‍රී ලංකාවේ බියගම, බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිතව පවත්වාගෙන ගිය බවට දැඩි චෝදනා එල්ල වූ අනීතික රඳවා තබා ගැනීමේ සහ වධහිංසා පැමිණවීමේ මධ්‍යස්ථානයකි.

රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවට අයිතිව තිබු බියගම, බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිතව පිහිටි නිවාස තුළ නීතිවිරෝධී ලෙස තරුණයින් රදවාගෙන, වධහිංසා කර, ඝාතනය කිරීම හෝ අතුරුදන් කිරීම පිළිබඳව සොයා බලා වගකිවයුතු පුද්ගලයින් හඳුනා‌ගෙන නිර්දේශ වාර්තා කිරීමට එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1995 සැප්තැම්බර් (21) දින නිකුත් කළ නියෝගයකට අනුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය.

එම කොමිසම අවස්ථා 12කදී කාලය දීර්ඝ කරමින් 1998 මාර්තු (26) වැනිදා සිය වාර්තාව එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත බාරදුන්නේය.

එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී බරපතල අනාවරණයන් රැසක් හෙළිවිය.

3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න

3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කඩ කළ පුද්ගලයින් 3,000ට ආසන්න පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි, පොලීසිය සඳහන් කරයි.

බොහෝ පිරිසක් එම නීතියට අනුගත වුවද සුළු පිරිසක් එම නීතිය අනුගමනය නොකරන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

පසුගිය (19) වැනිදා සිට අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලු මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කළේය.

ඥනසාර හිමිගේ අවසන් ඉල්ලීම

ඥනසාර හිමිගේ අවසන් ඉල්ලීම

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නියම කරන ලද බරපතළ වැඩ සහිත වසර 06ක සිර දඬුවමෙන් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ විවෘත වරෙන්තුව මත අත්අඩංගුවට ගත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුදත් ජයසුන්දර අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනී., වගඋත්තරකාර හිමි පසුගිය දිනවල මානසික වශයෙන් බිඳ වැටී රෝගාතුර තත්ත්වයකට පත්වුණා. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියා. මානසික වශයෙන් විවේකයක් ලබාගැනීම සඳහායි එහි රැඳී සිටියේ. එසේ නොමැතිව අධිකරණය මග හැරයාමේ චේතනාවක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ.“

එම අවස්ථාවේදී විනිසුරු ලක්මාලී කරුණානායක ප්‍රශ්න කළේ,

“එසේ නම් වගඋත්තරකරු නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු නොකළේ ඇයි.?”

අනතුරුව නීතීඥවරයා සඳහන් කළේ,

“ස්වාමීනි., වගඋත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන සංඥා (Signal) දුර්වල තත්ත්වයකයි තිබුණේ. ඒ නිසයි නීතිඥවරු සම්බන්ධ කරගෙන උපදෙස් ලබාදෙන්න බැරි වුණේ.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“වගඋත්තරකාර ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් සිර දඬුවම් නියම කළා. ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වැනිදා උන්වහන්සේට ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කළා.

එහෙත් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වගඋත්තරකාර හිමියන්ට ප්‍රදානය කරන ලද සමාව නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවට ඉකුත් සැප්තැම්බර් (10) වනදා තීන්දුවක් ලබා දුන්නා.

ඒ අනුව තමයි මේ මෝසම ඉදිරිපත් කිරීමට අප කටයුතු කළේ. මේ අවස්ථාවේ අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස.“

අනතුරුව නීතිඥ සුදත් ජයසුන්දර, සිය සේවාදායක හිමියන්ට අධිකරණය හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

එහිදී ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥවරයකු කරුණු දක්වා තිබෙන බැවින් එම ඉල්ලීමට අවසර දිය නොහැකි බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් සඳහන් කළේය.

අනතුරුව ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමින් ගෙවීමට නියමිත ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසද නියෝග කළේය.

මේ අතර සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිරකරුවන් සඳහා නියමිත ඇඳුම (ජම්පරය) ලබාදී ඇති අතර උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා තැබීමට පියවර ගෙන ඇත.

Follow WhatsApp Channel