Local news

ගංවතුර තත්ත්වයක්.. අනතුරු අඟවයි

ගංවතුර තත්ත්වයක්.. අනතුරු අඟවයි

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වනවිට තද වැසි ඇදහැලෙමින් පවතියි. 

ඒ අනුව ඉදිරි පැය 24 කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් පිළිබඳ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.

ඉදිරියේදී ගඟෙහි ජලමට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුම්දීමක් කරයි.

පේරාදෙණිය සරසවියේ සියල්ල නවතී

පේරාදෙණිය සරසවියේ සියල්ල නවතී

අඛණ්ඩ වර්ෂාපතනය සහ හදිසි කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමුණත් එහි අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කරයි.

තම ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිත ගමන් කළ හැකි සිසුන්ට එසේ පිටත්ව යා හැකි බවත් නිවෙස් වෙත යාමට නොහැකි සිසුන්ට සරසවි මැදුර නේවාසිකාගාරය හැර විශ්ව විද්‍යාල නේවාසිකාගාර පාලනය දැනුවත් කර රැඳී සිටිය හැකි බව සඳහන් කරයි.

අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථාන වල රැඳී සිටින සිසුන් ආරක්ෂාවට විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම් ඔවුන් පිළිගෙන අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙස නේවාසිකාගාර පාලන අධිකාරියට උපදෙස් ලබාදී ඇත.

තවත් දිස්ත්‍රික්ක කිහිපයක සියලුම පාසල් වසා දමයි

තවත් දිස්ත්‍රික්ක කිහිපයක සියලුම පාසල් වසා දමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවත් දිස්ත්‍රික්ක කිහිපයක සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් හෙට (04) දින වසා දැමීමට පියවර ගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවලට නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබාදුන් බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ D.M.S.D. දිසානායක සඳහන් කරයි.

මේ අතර පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දින වසා දැමීමට තීරණය කර ඇත.

අඛණ්ඩ වර්ෂාපතනය සහ හදිසි කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත.

ජාත්‍යන්තරය අල්ලන්න ශ්‍රී ලංකාව සූදානම්

ජාත්‍යන්තරය අල්ලන්න ශ්‍රී ලංකාව සූදානම්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කර විශාල ආද‍ායමක් උපයා ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය කේන්ද්‍ර කරගනිමින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙම නව සංවර්ධන සැලැස්ම යටතේ ලංකා තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම ඒකාබද්ධව පවත්වාගෙන යන ටැංකි 81න් 29ක් නවීකරණය කිරීමට යෝජිතය.

මේ වන විටත් තෙල් සංස්ථාව සතු තෙල් ටැංකි දෙකක් අලුත්වැඩියා කර අවසන් කර ඇති අතර තවත් ටැංකි තුනක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.

වරායේ සිට විශාල නැව් මඟින් රැගෙන එන තෙල් මෙම ටැංකි වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා නව නළ පද්ධතියක් ස්ථාපිත කිරීමට මූලික කටයුතු සූදානම් කර ඇත.

වරාය අධිකාරිය සතු බෝයාවේ සිට මෙම නළ පද්ධතිය එළීම සඳහා ප්‍රීමා සමාගම ඇතුළු අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ එකඟතාව හිමිව ඇති බව වාර්තා වේ.

මෙම නව සංවර්ධන සැලැස්ම හරහා ත්‍රිකුණාමලය ප්‍රදේශය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකාව තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව වේ.

නිවසේ සිට අපට කියන්න.. මහජන ආරක්ෂක සේවා මැදිරිය විවෘත කරයි

නිවසේ සිට අපට කියන්න.. මහජන ආරක්ෂක සේවා මැදිරිය විවෘත කරයි

අද (03) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති විෂය පථයන්ට අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධව මහජන පැමිණිලි ලබාදීමේ ‘118 මහජන ආරක්ෂක සේවා මැදිරිය’ විවෘත කළේය.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී විවෘත කළ අතර මෙහිදී 118 ගාස්තු විරහිත ඇමතුම් සහ 118 pubsec.gov.lk හරහා මාර්ගගත මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී ඇත.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන ආගමන විගණන දෙපාර්තමේන්තුව, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පුනරුත්තාපන කොමසාරිත් ජනරාල් කාර්යාලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වලට අදාළ තොරතුරු සහ මහජන පැමිණිලි මෙම 118 අංකයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

මෙට්‍රෝ බස් මගීන්ට සහන පැකේජයක්

මෙට්‍රෝ බස් මගීන්ට සහන පැකේජයක්

පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථවල ගමන් ගන්නා මගීන්ට සති අන්තයේ සහන පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙට්‍රෝ (Metro) බස් රථවල සති අන්තයේ ගමන් ගන්නා මගීන්ට රුපියල් 799ක සහන පැකේජයක් හඳුන්වාදීමටත් වයස අවුරුදු 12ට අඩු ළමුන්ගෙන් මුදල් අය නොකිරීමට ද තීරණය කර ඇත.

මෙරට පොදු ප්‍රවාහනයේ නව පරිවර්තනයකට තවත් ශක්තිමත් පියවරක් ලෙස පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථ 104ක් පසුගියදා මෙරටට රැගෙන ආවේය.

රටේ ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් මෙරටට ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට ප්‍රවාහනයට යෙදවීමට නියමිතය.

හේමසිරි සහ පූජිත්ට කොටු රෙදි.. ඇතුලෙන් විතරයි.. පිටින් බෑ

හේමසිරි සහ පූජිත්ට කොටු රෙදි.. ඇතුලෙන් විතරයි.. පිටින් බෑ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනා වලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මරණ දඬුවම නියම කළේය.

ඒ අනුව මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් සඳහා ලබාදෙන විශේෂිත ඇඳුම වන කොටු රෙද්ද සහ කමිසය පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට වෙත ලබාදී ඇත.

තවද පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට බන්ධනාගාරය තුළදී විශේෂ පහසුකම් ලබාදී නොමැති අතර ඔවුන්ගේ පවුලේ අයට සතියකට වරක් බැලීමට අවසර ලබාදී ඇත.

කෙසේ වෙතත් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට පවුලේ අය බැලීමට පැමිණීමේදී පිටින් කෑම ගෙන ඒම තහනම් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය කෑම බන්ධනාගාරයෙන් ලබාදෙයි.

හේමසිරි ප්‍රනාන්දු සිරකරුවන් 40ක් පමණ රැදී සිටින වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවකට යොමුකර ඇති අතර පූජිත් ජයසුන්දරගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් වාට්ටුවකට යොමුකර ඇත.

කාලගුණය කැළඹෙයි.. පාසල් රැසක් වසා දමයි

කාලගුණය කැළඹෙයි.. පාසල් රැසක් වසා දමයි

පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ පාසල් රැසකට නිවාඩු ලබාදී ඇත.

ඒ අනුව නුවරඑළිය සහ හැටන් කලාප කාර්යාල දෙක යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) නිවාඩු ලබාදී ඇත.

පවතින අයහපත් කාලගුණය හමුවේ පාසල් පවත්වාගෙන යැම සම්බන්ධයෙන් බලය විදුහල්පතිවරුන්ට පවරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි සඳහන් කළේය.

හැටන්, නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, තෙල්දෙනිය, සහ මහනුවර අධ්‍යාපන කලාපවල පාසල් පවත්වාගෙන යාම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

පේරාදෙණිය සරසවිය යටවෙයි

පේරාදෙණිය සරසවිය යටවෙයි

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගං ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.

ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “සරසවි මැදුර” නේවාසිකාගාරයේ පහළ මහලේ රැඳී සිටි සිසුන් වහාම ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නේවාසිකාගාරවල සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටින අනෙකුත් සිසුන්ට ද දැඩි අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇත.

තීරණාත්මක සාකච්ඡාවට ට්‍රම්ප් සූදානම්

තීරණාත්මක සාකච්ඡාවට ට්‍රම්ප් සූදානම්

අද (03) දින පස්වරුවේ ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වේ.

තමන් යුද්ධයකට වඩා ගිවිසුමකට කැමැත්තක් දක්වන බවත් ප්‍රහාර හේතුවෙන් සිදුවන විශාල මිනිස් ජීවිත හානි වැළැක්වීම තම අරමුණ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.