Local news

පාර්ලිමේන්තුවට ආ නවක මන්ත්‍රී

පාර්ලිමේන්තුවට ආ නවක මන්ත්‍රී

අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ හපිපු ලෙබ්බේ මහමුදු රිපාඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.එස්. අබ්දුල් වාහිද් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මහමුදු රිපාඩ් නව මන්ත්‍රී ධුරයට පත්වුණි.

ඩිජිටල් වන අධිකරණ නඩු

ඩිජිටල් වන අධිකරණ නඩු

සියලු දිසා අධිකරණවල විභාගවන නඩු සඳහා ගැලපෙන පරිදි විද්‍යුත් ගොනු කිරීමේ ඩිජිටල් පද්ධති හදුන්වාදීමට පියවර ගෙන ඇත.

එහි පළමු පියවර ලෙස කොළඹ සුළු හිම්කම් අධිකරණයේ විද්‍යුත් නඩු ගොනු කිරීමේ ඩිජිටල් පද්ධතිය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින ආරම්භ කළ බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ සඳහාද එම ඩිජිටල්කරණය ආරම්භ කරන බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

පොලිස් නිෂ්කාශන අදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීම සහ විමසීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය විසින් නව පියවරක් ගෙන ඇත.

2026 සැප්තැම්බර් මස (23) දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිෂ්කාශන අංශය වෙත වට්ස්ඇප් (WhatsApp) මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහා විශේෂ නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

අයදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු වට්ස්ඇප් පණිවිඩ මඟින් යොමු කිරීමට සහ පොලිස් නිෂ්කාශන අංශය සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් විමසීම් සිදුකිරීමට මේ හරහා පහසුකම් සලසා ඇත.

විශේෂ නව දුරකථන අංකය – 071-8595950 (මෙම අංකය වට්ස්ඇප් පණිවිඩ සඳහා පමණක් සීමා වේ)

තෙල් මිලේ වෙනසක්

තෙල් මිලේ වෙනසක්

අද (24) ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 92.81ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.07ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 113.06ක් ලෙස ඉහළ ගොස් ඇත.

සලේගේ වංගු ගැහිල්ල අවසන්.. වෙනත් ක්‍රමයකින් තොරතුරු එළිය⁣ට

සලේගේ වංගු ගැහිල්ල අවසන්.. වෙනත් ක්‍රමයකින් තොරතුරු එළිය⁣ට

සුරේෂ්⁣ සලේ තවදුරටත් දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද ලබා දෙන්නේ නැතිනම් එය කර ගැනීමට වෙනත් අවස්ථා තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අධාර අනුබල හා කුමන්ත්‍රණය ඇතුළු චෝදනා මත රැඳවුම් නියෝග ලැබ ජාතික රෝහලේ රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ්⁣ සලේ සම්බන්ධ නඩුව (22) දින කැඳවු අවස්තාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කරයි.

අධිකරණයේදි සුරේෂ්⁣ සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ,

“සුරේෂ් සලේ බුද්ධි නිලධාරියෙකු බැවින් ඔහු දින දෙකෙන් දෙකට මුරපද මාරු කරනවා. එම නිසා සතියකට පෙර මුරපද මතකයේ නොරැදෙන බවත් ඔහු කීවා. එමෙන්ම මාස ගාණනාවකට පෙර තිබූ මුර පද කෙසේවත් මතක නැති බවත් සඳහන් කළා. මේ වෙද්දී මුරපද මතකයේ රැදී නොතිබීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.”

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලේ අත්අඩංගුවට ගත් මොහොතේ සිටම මුරපද ගැන විමසුවා. මුලින් ඔහු ලැප්ටොප් පරිගණකය දියණියගේ බව පවසා, පසුව මුරපද ලබා නොදී මගහැරීම දිගින් දිගටම කරගෙන ගියා ස්වාමීනි.

ස්වාමීනි., ඒ අවස්ථාවේදී හිටපු නිලධාරියාගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ඒ ලැප්ටොප් එක අපි ඒ අවස්ථාවේදී අපේ භාරයට ගත්තා. නැත්නම් ඔහු හැදුවේ එතනත් වංගුවක් ගහලා මාරු වෙන්න. ඔහු මුර පදය දෙන්නේ නැතිනම් ඒක කර ගැනීමට අපිට අවස්ථා තියෙනවා.”

අනතුරුව ඒ සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අතර සිද්ධියට අදාළ විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියෝග කළේය.

නාමල්ට වෙච්ච දෙයක්.. මහේස්ත්‍රාත්ගෙන් නියෝග තුනක්

නාමල්ට වෙච්ච දෙයක්.. මහේස්ත්‍රාත්ගෙන් නියෝග තුනක්

ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (30) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ (23) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අධිකරණයට දැනුම් දුන්නේ, නඩුකරයට අදාළව තම අධිකරණයට ඇප ලබාදීමේ බලයක් තිබුණද, සැකකරුට තම අධිකරණයේ හමුවේ පවතින නඩුව සහ සමාන නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේද විභාග වන බවයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ,

“මෙම මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙහිම සිදුවන විමර්ශන ඒකාබද්ධ කර එක් නඩුකරයක් ලෙස පවත්වාගෙන යා හැකි බව පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් මේ සම්බන්ධව අධිචෝදනා ගොනු කරන්නේ ද නැද්ද යන වග තවමත් දන්වා නොමැති නිසා ඇප ලබාදීම ගැන සලකා බැලිය නොහැකියි.

නමුත් අවශ්‍ය නම් මෙම නඩුකරයද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළ හැකියි. මෙම අධිකරණය මගින් ඇප ලබාදීමට බලය තිබුණද සැකකරු මෙම සිද්ධිය හා සම්බන්ධව විභාග වන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

එවන් පසුබිමක මෙම නඩුවට සැකකරුට ඇප ලබා දීමෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වනවා. එම නිසා ඉදිරි දින කරුණු පිලිබඳව ලිඛිතව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පැමිණිලි පාර්ශ්වයට නියෝග කරනවා.”

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන තවදුරටත් සඳහන් කළේ,

“මා පැමිණිල්ලෙන් පැහැදිලි කිරීම් තුනක් ඉල්ලා සිටිනවා. මෙම සිද්ධියට සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සහ අල්ලස් පනත යටතේ සිදු කරන විමර්ශන ඒකාබද්ධව සිදු කරන්නේ ද.? යන කාරණය පිළිබඳව දැනුම් දෙන ලෙසත්, මෙම අධිකරණයේ පවතින නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ යුතු ද.? යන කරුණ පිළිබඳව දැනුම් දෙන ලෙසත්,

සැකකාර නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරයේ දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබේ ද.? යන කාරණා සම්බන්ධයෙන් ලබන (30) වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසත් මා පැමිණිල්ලට නියම කරනවා.”

එම කරුණු ඉදිරිපත් වීමෙන් පසුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය තමන් ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

2026 සැප්තැම්බර් (25) වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් (28) වන සඳුදා දින දක්වා කාලය තුළ පහත සඳහන් පළාත් 8 හි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව දැනුම් දෙයි.

මධ්‍යම පළාත/ උතුරු මැද පළාත/ වයඹ පළාත/ දකුණු පළාත/ නැගෙනහිර පළාත/ උතුරු පළාත/ සබරගමුව පළාත/ ඌව පළාත

පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇත.

අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව, 2026 සැප්තැම්බර් (29) වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබාදීමට පද්ධතිය සක්‍රීය කරනු ලැබේ.

පාස්කු තීන්දුව.. අවසන් මොහොතේ විත්තිකරුවන් හස්ත මුද්‍රාවෙන් පෙන්නුවේ මොකක්ද.?

පාස්කු තීන්දුව.. අවසන් මොහොතේ විත්තිකරුවන් හස්ත මුද්‍රාවෙන් පෙන්නුවේ මොකක්ද.?

පසුගිය 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ප්‍රහාර එල්ල කළේය.

ඒ අනුව එම ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා වලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට වසර 260 දක්වා සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (22) වනදා තීන්දු කළේය.

පුරා වසර 6කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 200 සිට 260 දක්වා වූ සිර දඬුවම් නියම කෙරිණි.

දඬුවම් නියම කිරීමට පෙර නීතිඥවරුන් නොමැතිව හයවන විත්තිකාර මොහොමඩ් රිස්කාන් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“මම මේ මුළු නඩුවේදීම නිහඩව සිටියේ. සියල්ල නිහඩව බලාගෙන සිටියා. එහෙම ඉඳලා අද වැරදිකරුවෙක් වෙලත් බොහෝම සතුටින් ඉන්නේ. නමුත් මම දන්නවා ඔබතුමන්ලා විශාල පීඩනයකින් ඉන්නේ. යම් වරදක් වුණා, යම් කෙනෙක් ඒක කළා. නමුත් මේ වගේ දෙයක් අපි සැලසුම් කළේ නැහැ.

හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ වගේ මේකට සම්බන්ධ යම් පිරිසක් ඉන්නවා. අපි මේකට වැරදිකාරයෝ වෙලත් සතුටින් ඉද්දි, මේකට සම්බන්ධ යම් පිරිසකගේ ඔළුව ගිනි අරන් සෑහෙන දුකකින් ඇත්තේ. අපි CID එකේ ඉද්දි ඇහුණ යම්යම් දේවල් තියෙනවා.

මේකට අදාළ කට්ටිය ඉන්නවානම් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. අල්ලා දෙවියන්ගේ නාමයෙන් අපි වරදක් කරලා නැහැ. නමුත්. නැහැ එක්කෝ ඕනේ නැහැ.”

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර කරුණු දක්වමින් සඳහන් කළේ,

“ස්වාමිනි., විත්තිකරුවන්ට එරෙහිව පවත්නා නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව ඔවුන්ට ලිහිල් හෝ අත්හිටවූ සිරදඬුවම් ලබාදෙන්න හැකියාවක් නැහැ. මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරකයින් වූ සහරාන්, ඉන්ෂාෆ් වැනි අය කිව්වේ මොකක්ද.? ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කරන්න අන්‍යාගමිකයින් මරාදමන්න කියලා. ඒ මහා අපරාධයට කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදුන් මේ විත්තිකරුවන් තවමත් ඒ මතයේම එළඹ සිටිනවා.

මොවුන් කිසිවෙක් මේ මොහොතේත් පශ්චත්තාපවීමක් හෝ කනගාටුවක් පළ කරන්නේ නැහැ. මෙවැනි විත්තිකරුවන් හැකිතාක් සමාජයෙන් දුරස්කර තැබිය යුතුයි. මෙවැනි අන්තවාදී අදහස් දරන්නන්ට වැදගත් පණිවුඩයක් ලබාදෙමින් මේ විත්තිකරුවන්ට දියහැකි උපරිම දඬුවම් ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා.”

අනතුරුව රාත්‍රී 11.00ට පමණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමේ නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින්ද බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

තවද, එම වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාගේම නිශ්චල සහ චංචල දේපළ සියල්ල නඩු තීන්දුව නිකුත් කළ මොහොතේ පටන් රාජසන්තක කරන බවද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

අනතුරුව බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ විත්තිකරුවන් 15 දෙනා (23) දින අලුයම 2.30ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගියේය.

එම විත්තිකරුවන් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන මොහොතේ සිනාමුසු මුහුණින් පැමිණෙන ආකාරයත් නිරීක්ෂණය වු අතර ඇතැම් විත්තිකරුවන් ඇගිල්ලක් ඔසවමින් යම් හස්ත මුද්‍රාවක් පෙන්නුම් කරන ආකාරයක් නිරීක්ෂණය විය.

ඒ ආකාරයට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් මේ ආකාරයටම ඇගිල්ලක් ඔසවමින් යම් හස්ත මුද්‍රාවක් පෙන්නුම් කළේය.

පාස්කු ප්‍රහාරය ඔස්සේ බලය ලබා ගැනිම.. ගෝඨාභයට දඬුවම් දෙන්න

පාස්කු ප්‍රහාරය ඔස්සේ බලය ලබා ගැනිම.. ගෝඨාභයට දඬුවම් දෙන්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පැනවීම තුළින් ඔහුද පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැක සහිත පුද්ගලයෙකු බවට පත්ව ඇති බව ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

එනිසා එම සැකය දුරු කිරීමට හෝ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පවරා විභාග කොට දඬුවම් ලබාදිය යුතු බවද ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

එලෙස දඬුවම් ලබාදීමෙන් පසු පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සියලු වැඩකටයුතු අවසන් වන බවත් එම නඩු තීන්දුවෙන් පසුව සියලුම වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ට වන බවද අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

පාස්කු මහ නඩුවේ තීන්දුව ලබාදීමෙන් අනතුරුව (22) රාත්‍රියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ,

“මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සහ ඒ ඔස්සේ බලය ලබාගැනීමේ ක්‍රමවේදයට මේක තල්ලු කරපු, මෙම කොටස් දෙකම එකතු කරපු කණ්ඩායමක් ඉන්නවා. අපි කියන්නේ දැන් ඒ කණ්ඩායම හොයන්න ඕනා.

විශේෂයෙන්ම දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කරපු අය, මේ වෙනකොට සුරේෂ්⁣ සලේ මහත්මයා අපරාධ කොට්ඨාශ අංශය විසින් සැකකරුවෙක් ලෙස තියාගෙන ඉන්නවා. ඉතින් මේ වනවිට ඔහු රෝහල්ගත කරලා තියෙන්නේ.

රෝහල්ගත කරලා මෙච්චර කාලයක් ඔහුව තබාගන්නට තරම් අසනීප නෑ මම හිතන්නේ. ඉතිං ඒක නිසා මේ රටේ ජනතාව මෝඩයෝ නෙමෙයි. මේ පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් සෑබෑ තොරතුරු අරගෙන, අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා.

කරුණාකර සුරේෂ්⁣ සලේ මහත්මයාට ඒ සුදුසු විධිවිධාන යටතේ නඩු පවරලා ඔහුවත් සාධාරණව විනිශ්චය කරලා එම විනිශ්චය ලබාදෙන්න කියලා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාවෙන් කරපු නිර්දේශ අනුව මෛත්‍රීපාල සිරිසේන, නිලන්ත ජයවර්ධන මහත්තයාට සුදුසු ක්‍රමවේදයන් ඔස්සේ නඩු පවරලා ඒ අයට දඬුවම් ලබාදෙන්නට.

ඒ වගේම පහුගිය දවස්වල අපි දැක්කා ගෝඨාභය ජනාධිපතිතුමන්ට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා. ඒ කියන්නේ එතුමාත් මේ සම්බන්ධව යම්කිසි සැක සහිත පුද්ගලයෙක් කියන දේ. ඉතිං ඒ සැකය දුරු කරන්නට හෝ ඔහුට විරුද්ධවත් නඩු පවරලා ඒ ඔස්සේ දඬුවම් දෙන්නට කියලා.

අන්න එතකොට තමයි මේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සියලු වැඩකටයුතු අවසන් වෙන්නේ. ඒ ඔස්සේ සියලු දෙනාට පරීක්ෂණ කරලා. ඒ අයට දඬුවම් ලබාදුන්නොත්. ඒක නිසා අපි බලාගෙන ඉන්නවා මේ නඩු තීන්දුව මේ ආකාරයෙන් සාධාරණව සිද්ද වුණා වගේම, ඉතිරි නඩු තීන්දුත් සාධාරණව සිද්ද වෙලා වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ට කරලා දෙයි.”

ජනතාවගේ විදුලි බිලට සහනයක්.. පාර්ලිමේන්තුවේ අනුමැතිය

ජනතාවගේ විදුලි බිලට සහනයක්.. පාර්ලිමේන්තුවේ අනුමැතිය

විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍යමය සහනාධාරයක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අද (23) දින පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වී ඇත.

2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම මුදල වෙන් කිරීමට නියමිතය.

මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කරයි.

අදාළ පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඊට අදාළ කාරක සභාවේ අනුමැතිය හිමි විය. 

Follow WhatsApp Channel