Local news

මෛත්‍රීට කලින් ජනාධිපති වෙන්න ආරාධනා කලේ මට.. ආදරය නිසා මම බෑ කීවා

මෛත්‍රීට කලින් ජනාධිපති වෙන්න ආරාධනා කලේ මට.. ආදරය නිසා මම බෑ කීවා

පසුගිය 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේනට කලින් ආරාධනා කලේ තමන්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වැනි සංවත්සරයට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ,

“සියලුදෙනා සමගි වෙලා තරුණ කණ්ඩායමක් මේ පක්ෂය බාරගන්න. ඕනම වෙලාවක මගේ තනතුරු බාරදීමට මම ලෑස්ති පුද්ගලයෙක්. මම ඉන්නේ පක්ෂයට තියෙන ආදරය නිසා.

ඔබ දන්නවා 2015 මැතිවරණයේදී අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂය දාලා ගිහිල්ලා පොදු අපේක්ෂකයා වුණා. එතුමාට ඉස්සෙල්ලා ආරාධනය ආවේ මට.

නමුත් මම ජනාධිපතිකමට වඩා පක්ෂයට ආදරය කළා. ඒනිසා තමයි අදත් මේ පක්ෂයේ ඉන්නේ. මේ වැඩකටයුතු කරන්නේ. පක්ෂයට තියෙන ආදරය නිසා.”

තවදුරටත් ඉන්ධන මිල අඩු කිරීම ගැන රජයේ තීරණය

තවදුරටත් ඉන්ධන මිල අඩු කිරීම ගැන රජයේ තීරණය

පෙට්‍රල් සහ ඩීසල් සහ භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල එකවර පහළ දැමීමේ හැකියාවක් නොමැති බවත් ජනතාවට සහන ලබාදිය හැකි පළමු අවස්ථාවේදීම එම සහන ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඉන්ධන මිල ගණන් පහළ දැමීම සඳහා පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් රජය කටයුතු කරමින් සිටින බැවින් එළඹෙන මාසයේදී ඉන්ධන මිල තවදුරටත් පහළ දැමීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මැදපෙරදිග පවතින අර්බුදය හේතුවෙන් ලෝකයේම සෑම තැනකම ඉන්ධන මිල ඉහළ දැමු බවත් එනිසා ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමුවද, ඉන්ධන මිල ගණන් අඩු කිරීමට හැකි සෑම අවස්තාවකම ඉන්ධන මිල අඩු කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ලබන මාසය වනවිට පවතින තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වුවහොත් පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් තවදුරටත් අඩු කිරීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“අපි කොහොමත් ලබන මාසය වනවිට මෙම තත්ත්වය සමහන් වුණොත් අපිට සියල්ලගේම මිල අඩු කරන්න පුළුවන්කම ලැබේවි කියා බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව තියෙන්නේ, රජය කටයුතු කරමින් යන්නේ ඉන්ධන මිල සියල්ලම පහත දැමීම සඳහා. ඉන්ධන මිල යම් ප්‍රමාණයකට පහත දැම්මාට ඒහා සමානව, ඊට සාපේක්ෂව භාණ්ඩ හා සේවාවල මිලත් යම් ප්‍රමාණයකට අඩුවේ කියලා රජය බලාපොරොත්තු වෙනවා.”

රටින් පනින්න හැදූ හිටපු කොළඹ නගරාධිපතිගේ පුතා අත්අඩංගුවට

රටින් පනින්න හැදූ හිටපු කොළඹ නගරාධිපතිගේ පුතා අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු කොළඹ නගරාධිපති මොහොමඩ් මුසාමිල්ගේ පුත්‍රයා වන මොහොමඩ් නිෂාම් ජමල්ඩීන් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

47 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මූල්‍ය සහ වංචා අපරාධ විමර්ශන අංශය විසින් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් තිබියදී රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇත.

ක්‍රිකට් සභාපති කාලයේ කරපු සෙල්ලම් මාට්ටු.. ශම්මි කැඳවයි

ක්‍රිකට් සභාපති කාලයේ කරපු සෙල්ලම් මාට්ටු.. ශම්මි කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා සහ එහි හිටපු ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ශම්මි සිල්වා සහ ක්‍රිෂාන්ත කපුවත්ත එලෙස කැඳවා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඇති වූ ආන්දෝලනාත්මක වාතාවරණය සහ එල්ල වූ චෝදනා හමුවේ ශම්මි සිල්වා සහ ක්‍රිෂාන්ත කපුවත්ත සිය තනතුරු වලින් ඉල්ලා අස්විය.

ශ්‍රී ලංකන් අල්ලස් ගැනීම.. වැඩ වැරදුන නාමල් අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකන් අල්ලස් ගැනීම.. වැඩ වැරදුන නාමල් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ (04) වනදා පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහුගේ නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි සඳහන් කරයි.

ලබන (04) වැනිදා පෙරවරු 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.

අලි දුම්රියෙහි ගැටීම වැළැක්වීමට නවීන තාක්ෂණය

අලි දුම්රියෙහි ගැටීම වැළැක්වීමට නවීන තාක්ෂණය

වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී සිදු විය.

“ක්ලීන් ශ්‍රී ලංකා”වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සමඟ එක්ව මහජන බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

3 Beam detection, Passive infrared ( PIR ) සංවේදක, ස්වයංක්‍රීය උෂ්ණත්ව සංවේදක සහ කිලෝ ග්‍රෑම් 20ට වැඩි සතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම හඳුනා ගැනීම සහ අනවසර බලපෑම් හඳුනාගන්නා (Temper alarm ) පද්ධතියකින් මෙය සමන්විතය.

දුම්රිය මාර්ග දෙපස සවි කරන සංඥා ලාම්පු (රතු/කහ/කොළ) මෙන්ම, දුම්රිය එන්ජින් මැදිරිය තුළ ස්ථාපනය කෙරෙන විශේෂ තිරයක් මගින් අලියා සිටින නිශ්චිත ස්ථානය රියදුරු වෙත කල්තබා සන්නිවේදනය කරනු ලබයි.

පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ අදාළ නිලධාරීන් ඉදිරියේ මෙම පද්ධතියේ ආදර්ශ පරීක්ෂණය සාර්ථකව සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකසා තිබේ.

මෙම ක්‍රියාවලිය වනඅලි අනතුරු බහුලව සිදුවන ස්ථාන 13කදී නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන මස සිට ක්‍රියාත්මක කෙරෙන අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය සජීවීව දැකබලා ගැනීම සඳහා අලුතින්ම නිර්මාණය කළ වෙබ් අඩවියද දියත් කිරීමට නියමිතය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන්ට හිංසා කළොත් දෙමාපියන් අත්අඩංගුවට.?

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන්ට හිංසා කළොත් දෙමාපියන් අත්අඩංගුවට.?

අද (02) දින 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළේය.

ඒ අනුව එම ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම් ලබා දෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන් දණ්ඩණයට ලක් කිරීම, මානසිකව හිංසනයට ලක්කිරීම සිදු කිරීමෙන් වළකින ලෙසද දෙමාපියන්ට දැනුම් දී ඇත.

තවද, විභාග ප්‍රතිඵල මත දරුවන් අපහසුතාවයට පත්වන අයුරින් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙසද එම අමාත්‍යංශය අවධාරණය කර ඇත.

එලෙස කටයුතු කිරීම ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වන බැවින් එසේ සිදු කරන්නන් හට උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

දරුවන් යනු ශාරීරිකවත් මානසිකවත් ඉතා සංවේදී, රැකවරණය සහ ආදරය අත්‍යවශ්‍ය පිරිසක් නිසා ඔවුන්ට සිදුකරන ශාරීරික හෝ මානසික හිංසනයන් සිදු කිරීමෙන් අනාගතයට දැඩි බලපෑමක් එල්ල වේ.

22ට එරෙහි විභාගය අවසන්.. රහසිගත තීන්දුව කථානායකට

22ට එරෙහි විභාගය අවසන්.. රහසිගත තීන්දුව කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කර ඇත.

ඒ අනුව පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (02) සඳහන් කළේය.

22 වන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (03) දින ප.ව. 3.00ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී පාර්ශ්වකරුවන්ට නියම කළේය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව අද (02) දින නිකුත් කළේය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk වෙත පිවිස ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු (09) වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.

සලේට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද.? අධිකරණයෙන් නියෝගයක්

සලේට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද.? අධිකරණයෙන් නියෝගයක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත එම නියෝගය නිකුත් කර ඇත.

✕
⌃ News
📰 Free News Subscription?