Local news

රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පැන්නූ පුද්ගලයාට දුන් නියෝගය

රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පැන්නූ පුද්ගලයාට දුන් නියෝගය

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ටෙලිග්‍රාෆ් ට්‍රාන්ස්ෆර් (TT) හරහා විදේශීය ගිණුම් වලට රුපියල් බිලියන 24.8ක් වටිනා අමෙරිකානු ඩොලර් මාරු කළ බවට චෝදනා එල්ල වූ සැකකරු ලබන ඔක්තෝබර් (01) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් භාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා ඩොලර් සංචිත මෙරටින් බැහැර කර ඇති බවට පොලිස් මූලස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

අනතුරුව ඊයේ (22) සිදුකළ විමර්ශනවලදී අදාළ සමාගම් අතරින් සමාගම් 05ක් මගින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85ක වටිනාකමින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි වේල්ලවීදිය, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2024 දෙසැම්බර් සිට 2025 නොවැම්බර් දක්වා කාලය තුළ භාණ්ඩ ආනයනයකින් තොරව ටෙලිග්‍රැෆික් (TT) හුවමාරු ක්‍රමය හරහා අදාළ ඩොලර් විදේශ ගිණුම් වෙත යොමු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පාර්ලිමේන්තුවේදී 22ට ඡන්දය දෙන්න ඕන විදිහ ගැන නීතීඥ සංගමය කියයි

පාර්ලිමේන්තුවේදී 22ට ඡන්දය දෙන්න ඕන විදිහ ගැන නීතීඥ සංගමය කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

එවැනි පසුබිමක, ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම හෘදය සාක්ෂියට එකඟව අදහස් ප්‍රකාශ කිරීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නිදහස ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

යෝජිත සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුද යන්න තීරණය කිරීමේ දැවැන්ත වගකීම දැන් පාර්ලිමේන්තුවට සහ ඡන්දය ප්‍රකාශ කරන සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ජනතාවගේ නියෝජිතයන් වශයෙන් තම ව්‍යවස්ථාමය වගකීම සහ ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත ඇති යුතුකම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින්, පක්ෂ භේදවලින් තොරව ප්‍රතිපත්ති ගරුක ස්ථාවරයක පිහිටා කටයුතු කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

සිසු සිසුවියන්ට ලබාදෙන දීමනාව දෙගුණයකින් වැඩි කරයි

සිසු සිසුවියන්ට ලබාදෙන දීමනාව දෙගුණයකින් වැඩි කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන “සුභග”, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව වැඩසටහන් තව දුරටත් පුළුල් කරමින් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත “සුභග”, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා කාලීනව සිදුකළ යුතු වෙනස්කම් හා අදාළ දීමනා සිසු සිසුවියන් වැඩි පිරිසකට ලබාදීමටත් හැකිවන පරිදි ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඒ අනුව ලබන වසරේ සිට “සුජාත දියණි” සහ “තාක්ෂණවේදය” ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව රුපියල් 1500ක් දක්වාත්, ලබාදෙන ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය 950 සිට 1000 දක්වාත් වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙන්ම සියලු ගෙවීම් ජනාධිපති අරමුදල මඟින් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

එසේම සිසු සිසුවියන් වෙනුවෙන් ගෙවීමට නියමිත හිඟ ශිෂ්‍යාධාර කඩිනමින් ගෙවා නිම කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීම – කථානායකවරයාගේ සහතිකය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීම – කථානායකවරයාගේ සහතිකය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත්‍ කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය (22) සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු (04) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් (09) වැනිදා පැවැති අතර අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.

2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් වේ.

තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇත.

ඒ අනුව, උක්ත පනත්‍ කෙටුම්පත 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වේ.

ඉන්ධන මිල ගැන සංස්ථාවෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල ගැන සංස්ථාවෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

පසුගිය දිනවල අනෙකුත් ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් දක්නට ලැබුණු බවත් මේ සම්බන්ධව පසුගිය සතියේ සියලුම ඉන්ධන සමාගම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බවද සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

එහිදී එම සමාගම් තමන්ට සිදුවන පාඩු පිළිබඳව රජයට දැනුම් දී ඇති අතර RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක්, Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක් පෙන්වා දී ඇත.

IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇති අතර රජයට ජාතික වගකීමක් පැවරී තිබුණද, අනෙකුත් සමාගම් ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන බැවින් පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කරයි.

එම ඉන්ධන සමාගම් සමඟ අත්සන් කර ඇති ගිවිසුම් අනුව, නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම්, එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ප්‍රතිපාදන පවතින බවත් එම සමාගම් වලට පාඩුවක් නොවන පරිදි ඔවුන්ට ඉන්ධන අලෙවි කිරීමට ඉඩ ලබාදීම හෝ රජය මැදිහත්වී සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුවන බවද සභාපතිවරයා සඳහන් කරයි.

අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

මෙම වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12.01ක් ලෙස වාර්තා වී ඇත.

පසුගිය 2025 වසරේ පළමු මාස අට තුළ වාර්තා වූ ඩොලර් බිලියන 11.52ක අගය හා සැසඳීමේදී 4.26%ක වැඩිවීමකි.

නාමල් සුපුරුදු පරිදි හිටපු තැනටම

නාමල් සුපුරුදු පරිදි හිටපු තැනටම

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (23) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ මස (30) දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (23) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

හරක් කටා සහ පද්මේ අතර ගැටුමට හේතුව මොකක්ද.?

හරක් කටා සහ පද්මේ අතර ගැටුමට හේතුව මොකක්ද.?

බන්ධනාගාරය තුළ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා සහ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ගැටුමක් හටගෙන ඇත.

ඉන් තුවාල ලැබූ කෙහෙල්බද්දර පත්මේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු පත්කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තුවාල ලැබු කෙහෙල්බද්දර පද්මේ මේ වන විට වැලිසර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව මහාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ

නව මහාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇත.

ඒ අනුව යාපනය දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරුමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක වන ආනන්දි කනගරත්නම් සහ කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන ඤාණේස ලලිත් කන්නන්ගර මෙසේ නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (23) පෙරවරුවේ ඔවුන් වෙත භාරදෙන ලදී.

ගෝඨාගෝගම අරගල භූමියට පහරදීම.. දේශබන්දු සහ ජොන්ස්ටන්ට වැඩ වරදී

ගෝඨාගෝගම අරගල භූමියට පහරදීම.. දේශබන්දු සහ ජොන්ස්ටන්ට වැඩ වරදී

ගෝඨාගෝගම අරගල භූමියට පහරදුන් බව කියන සිද්ධියට අදාළ නඩුව විභාග කිරීමට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා නීතීපතිවරයා, අගවිනිසුරුවරයාට ලිපියක් යොමු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 20 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කරන අතර චෝදනා 328ක් යටතේ අධිචෝදනා ගොනු කෙරෙන බව නීතීපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදුන් බව කියන සිද්ධියේදී 56 දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කෙරෙන බව නීතීපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Follow WhatsApp Channel