Local news

විශ්වාසය කඩ කරමින් ගැබිණි කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරයි

විශ්වාසය කඩ කරමින් ගැබිණි කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරයි

26 හැවිරිදි ගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.⁣

කල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී ඊයේ (03) දින දහවල් තියුණු ආයුධයකින් එම කාන්තාවට පහරදී ඇති අතර එහිදී තුවාල ලැබූ කාන්තාව කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය කාන්තාව සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන්වී වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව සිට ඇති අතර එහිදී පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවත් ඉන්ධන මිල ගණන් අඩු කරයි

තවත් ඉන්ධන මිල ගණන් අඩු කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් අඩු කිරීමට පියර ගෙන ඇත.

ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිල අඩු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

තවද දැවිතෙල් ලීටරයක මිල රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් අඩු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අද (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් අඩු කරන බව සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

ජනපති අනුර පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවයි

ජනපති අනුර පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන පොලිස් නිලධාරීන් ඉතා අතළොස්සක් සිටින බවට වාර්තා වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එනිසා වහාම ජාවාරම්කරුවන්ට මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන ලෙසට ආරාධනා කරන බවත් එසේ නොමැති නම් වහාම නිල ඇඳුම අත්හරින ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එසේත් නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිලඇඳුම් ඉවත් කිරිමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනයභාර නිලධාරීන් වෙත පැවරී තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“වර්තමාන පොලීසිය සතුව තිබෙන ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ මේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම බව අපි විශ්වාස කරනවා. එය ඔබට රාජකාරීමය වශයෙන්ම පැවරී තිබෙනවා.

එහෙත් අපේ හදවතේ තෙතමනයක් තිබෙන මිනිසුන් ලෙස රාජකාරියෙන් ඔබ්බට යන සමාජ වගකීමක් ලෙසද සලකා ඒ වෙනුවෙන් කැපවිය යුතුව තිබෙනවා.

මේ සමාජ දේහය පුරා පැතිර යමින් තිබෙන විෂ මත්ද්‍රව්‍ය නම් මහා බිහිසුණු රකුසා සහ සන්නද්ධ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා දායකවන ලෙස, මම මෙම විශේෂ දිනයේදී ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මේ වගකීම දෙවුර දරාගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන නිලධාරීන්ද ඉතා අතළොස්සක් සිටින බව අපිට වාර්තා වී තිබෙනවා. ඒ වගේම බිය නිසා මේ ජාලයේ ගොදුරු බවට පත්වි සිටින නිලධාරීන් සිටිනවා.

තවත් පිරිසක් මිලදි ගෙන සිටිනවා. ඔබ වහාම බිය අත්හැර මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන්න කියලා මම මේ දෙපිරිසටම ආරාධනා කරනවා. එසේ නොමැති නම් ඔබ නිල ඇඳුම අත් හරින්න.

එසේ නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිලඇඳුම් ඉවත් කිරිමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනයභාර නිලධාරීන් වෙත පැවරී තිබෙන බව මම විශ්වාස කරනවා. මහා ගෞරවයක් සහිත පොලීසිය මේ අතළොස්සක් නිසා අපකීර්තියට ලක් නොවිය යුතුයි.”

නාමල්ට අද මොකද වෙන්නේ.. අත්අඩංගුවට.?

නාමල්ට අද මොකද වෙන්නේ.. අත්අඩංගුවට.?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (04) දින පෙනී සිටීමට නියමිතව ඇත.

ඒ අනුව අද දින පෙරවරු 9.00ට නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.

මේ අතර ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත රැස්වීමට පෙර තමන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කිරීමට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම හේතුවෙන් ආණ්ඩුව දැඩි කලබලයකට පත්ව ඇති බවත් මර්දනය මගින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අමතර මුදලක් එක්ක පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කරයි

අමතර මුදලක් එක්ක පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කරයි

රාජ්‍ය සේවකයන් සඳහා තුන්වන වැටුප් වර්ධකය ලබන ජනවාරි මාසයේදී ලබාදෙන බවත් ඊට අමතරව පොලීසියේ සියලුම නිලධාරීන්ට අවධානම් දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී විශාල උසස්වීම් ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර උසස්වීම් නිසි පරිදි ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියට 10,000ක් අලුතින් බඳවා ගැනීමට අපි දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. ඔබ ඉතා අසීරු රාජකාරියක නිරත වෙනවා.

රාජ්‍ය සේවකයන් සඳහා තුන්වන වැටුප් වර්ධකය ලබන ජනවාරි මාසයේදී ලැබෙනවා. ඊට අමතරව පොලීසියේ සියලු නිලධාරීන්ට අවධානම් දීමනාවක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පොලිස් නිලධාරීන්ට තම උසස්වීම් පිළිබඳ විශාල පසුතැවීමක් තිබෙනවා. මා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා “පොලීසියට බැදෙනකොටත් කොස්තාපල්, බඳිනකොටත් කොස්තාපල්, විශ්‍රාම යන විටත් කොස්තාපල්” කියලා.

මම දැන් ජනාධිපතිවරයා. ඒ නිසා නිසි පරිදි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කොට අවශ්‍ය මානව සම්පත දිරි ගැන්වීම සහ ඇගයීමක් සිදු කිරීම මගේ වගකීමයි. අද ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් ලබා දෙනවා වගේම කුසලතා සහ විභාග මත උසස්වීම් ලබා දිය යුතුයි.

අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. උසස්වීම් ලබා දීමේදී විශාල උසස්වීම් ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර උසස්වීම් නිසි පරිදි ලබා දීම සඳහාත්, උසස්වීම් නොලැබී සිටින අය එම තනතුරේම අතිරේක ලෙස පිහිටුවීම සඳහාත් අපි කටයුතු කරනවා.”

රුපියල් මිලියන 21ක් සාවද්‍ය පරිහරණය – ගම්මන්පිලට මොකද වෙන්නේ.?

රුපියල් මිලියන 21ක් සාවද්‍ය පරිහරණය – ගම්මන්පිලට මොකද වෙන්නේ.?

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කරමින් ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික දෙදෙනෙකුට අයත් සමාගම් කොටස් විකිණීමෙන් රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන් කළේය.

ඒ අනුව රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි නඩුවේ ලිඛිත දේශන ලබන (18) වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

අද (03) දින සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මෙම නියෝගය ලබාදී ඇත.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටෝනි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව චෝදනා හතරක් යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

රටේ ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන සිදු කරන්න පැකිලෙන්නේ නෑ

රටේ ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන සිදු කරන්න පැකිලෙන්නේ නෑ

සිදුකරන විමර්ශන වේගවත් කළ යුතු බවත් අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් හිමිවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ වැළැක්වීම වේගවත් කර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට කිසිසේත්ම නොපැකිළෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“විමර්ශන වේගවත් විය යුතුයි වගේම අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් හිමිවිය යුතුයි. ඒ නිසා මීට අදාළ සෑම ආයතනයක්ම ශක්තිමත් විය යුතුයි. අපරාධයට නිසි දඬුවම නිසි වේලාවේදී ලබා නොදීම අපරාධයට උත්තේජනයක් වෙනවා. ඒ නිසා අපි ඒ සියලු ක්‍රියාදාමයන් කාර්යක්ෂම කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සහ අවශ්‍ය යටිතල පහසුකම් උපරිම ලෙස ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් මේ රටේ පොදු ජනතාවගේ සහ රටේ සුබ සිද්ධිය මෙන්ම තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව එම ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කරනවා.

මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කිරීමට කිසිසේත් පැකිළෙන්නේ නැති බව ඔබට සහතික වෙනවා.”

ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

නව අභියාචනාධිකරණ විනිසුරු දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරු දිවුරුම් දෙයි

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දෙන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙසද ඇය කටයුතු කළාය.

දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිශ්චයකාරධූරයක් වෙනුවෙන් අදාළ පත්වීම සිදුකර තිබේ.

නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට

නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ, දුම්රිය ස්ථාන 100ක් පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ”සිහින ගමනාන්තය” ජනතා වැඩසටහන මඟින් නවීකරණය කල පොළොන්නරුව දුම්රිය ස්ථානය යලි ජනතා පරිහරණයට පවරා දීම අද (03) දින සිදු කළේය.

අද දිනයේ ජනතා පරිහරණයට පත් කල පොළොන්නරුව දුම්රිය ස්ථානය අරලිය සමූහ ව්‍යාපාරය විසින් රුපියල් මිලියන 35 ක මුදලක දායකත්වයෙන් නවීකරණය කර ඇත.

ඒ යටතේ විවේකාගාර, දුම්රිය භාණ්ඩ ගබඩාව, පූජ්‍ය පක්ෂය, පුරුෂ සහ කාන්තා විවේකාගාර ආදී පහසුකම් පැරණි ගොඩනැගිල්ල නවීකරණය කිරීමෙන් පසු ගොඩනගා ඇත.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, පෞද්ගලික ව්‍යවසායකත්ව සේවා හා මූල්‍ය දායකත්වයෙන්, සිහින ගමනාන්තය දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජනතා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

වාහන ආදායම 100% පනී

වාහන ආදායම 100% පනී

මෙම වසරේ ජූනි (30) වන විට අපේක්ෂිත රේගු ආදායම රුපියල් මිලියන 1,060,559ක් බවත් ඒ වනවිට රුපියල් මිලියන 1,379,084ක් උපයා ඇති බවත් එය ප්‍රතිශතාත්මකව 130%ක ප්‍රගතියක් බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කළ අවස්ථාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් මේ බව සඳහන් කරයි.

මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් පසුගිය 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවද එම නිලධාරීන් සඳහන් කරයි.

2026 ජූනි (30) වන විට වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ඒ අනුව ලැබී ඇති බවත් රුපියල් මිලියන 386,726ක ඉන් වැඩිම බදු ආදායම වන ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි බවද සඳහන් කරයි.

එන්ජින් ධාරිතාව 1000ccට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව ඇති අතර එම අගය රුපියල් බිලියන 137.4ක් බවත් එය සමස්ත ආදාමෙන්  සියයට 9.96ක ප්‍රතිශතයක් බවද සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?