Local news

සජබ මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝම්බයක් හමුවෙයි

සජබ මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝම්බයක් හමුවෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධනගේ නිවස පිටුපස ඇළ මාර්ගයක තිබී විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් හමුවී ඇත.

මන්ත්‍රීවරයාගේ ජා-ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපසින් ගලා බසින දෙල්ගහ අර ඇළ මාර්ගයේ තිබී මෙම ජීව අත්බෝම්බය හමුවී ඇත.

ජාඇල නගර සභාවේ සේවකයින් විසින් අද (01) දින ඇළ මාර්ගය පිරිසිදු කරමින් සිටියදී මෙම අත්බෝම්බය හමුවී ඇති අතර අනතුරුව එම සේවකයින් කඳාන පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

අනතුරුව සිදුකළ මූලික පරීක්ෂණ වලින් පසුව එම ජීව අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එය රැගෙන ගොස් ඇත.

දෙහිබාලේගේ බාල සහෝදරයා ‘කළු මල්ලි’ ඩුබායිහිදී අත්අඩංගුවට

දෙහිබාලේගේ බාල සහෝදරයා ‘කළු මල්ලි’ ඩුබායිහිදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ශෙහාන් සත්සර හෙවත් “දෙහිබාලේ මල්ලි” නම් සැකකරුගේ බාල සහෝදරයා වන පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් ‘කළු මල්ලි’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් ‘කළු මල්ලි’ නම් 25 හැවිරිදි සැකකරුට දකුණු පළාතේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබුණේය.

ශානි දරපු CID අධ්‍යක්ෂ ධුරයට SSP රොෂාන් අමරසිංහ

ශානි දරපු CID අධ්‍යක්ෂ ධුරයට SSP රොෂාන් අමරසිංහ

‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත්කර ඇත.

සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීම හේතුවෙන් අධ්‍යක්ෂ ධූරය පුරප්පාඩුව පැවතිණි.

හිටපු ඇමති පියංකරට වසර 7ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

හිටපු ඇමති පියංකරට වසර 7ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් ගොනුකළ දූෂණ චෝදනාවක් යටතේ වරදකරු කළ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර ඇත.

කොළඹ මහාධිකරණය විසින් මීට සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.

පසුගිය 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් අදාළ සංග්‍රහ කටයුතු සඳහා මාරවිල පිහිටි පෞද්ගලික කේටර්ස් ආයතනයට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ගෙවා ඇති බවට චෝදනාවල සඳහන් වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් හමුවේ සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුව එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (01) දිනට දින නියම කර තිබුණේය.

ඒ අනුව පළමු චෝදනාව යටතේ වසර 7ක සිරදඬුවම් සහ දෙවැනි චෝදනාව යටතේ තවත් වසර 7ක සිරදඬුවම් නියම කළ අතර ඒ අනුව වසර 14ක් වු සිරදඬුවම වසර 7කින් එකවර ගෙවීයන ලෙස පැනවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

තවද පියංකර ජයරත්නට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද පැනවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

ලබන 12 වැනිදාට කලින් නාමල් ඇතුළට දානවා.?

ලබන 12 වැනිදාට කලින් නාමල් ඇතුළට දානවා.?

ආණ්ඩුව දැවැන්ත මර්දනයක් සිදු කරන බවත් ලබන (12) වැනිදාට කලින් තමන් ඇතුළට දැමීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

එහෙත් ඉදිරියට තමන්ගේ සාටකය ගලවන එක ලේසි වෙන්නේ නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“අද දැවැන්ත මර්දනයක් යනවා. සමහරවිට මේ කතා කරන නාමල් රාජපක්ෂ ලබන (12) වෙනිදාට කලින් ඇතුළට දාන්න ආණ්ඩුව උත්සාහ කරන්න බැරිත් නැ. මොකද (12) වෙනිදා අනුරාධපුරයට විශාල ජනකායක් එනවා කියලා ආණ්ඩුවට දැනුනාම සමහරවිට (12) වැනිදා වෙන්න කලින් නාමල් රාජපක්ෂව ඇතුළට දාන්න බැරිත් නෑ.”

“අපි පැහැදිළිවම මේ රටේ ජනතාව එක්ක දේශපාලනය කරලා තියෙනවා. ජනතාවට අපි අවංකව පෙනී සිටිනවා. සමහරු දිනන කොට එක ඇදුමයි, පැරදුනාම තව ඇදුමයි. ජනතා විරෝධයක් එනකොට එක විදියයි. අපි ඉදිරියටත් අපේ ඇදුම ගලවන්න ලේසි වෙන්නේ නෑ. සාටකය ගලවන්නත් බෑ, ජාතික ඇදුම නැත්නම් රෙද්දයි බැනියමයි ගලවන්නත් බෑ. “

හිටපු නගරාධිපති ශිරන් බාසික් සමග සබඳතා.. ප්‍රශ්න කරයි

හිටපු නගරාධිපති ශිරන් බාසික් සමග සබඳතා.. ප්‍රශ්න කරයි

දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග අද (01) දින ප්‍රකාශයක් ලබාදීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එලෙස පැමිණ ඇත.

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන්ගෙන් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික්, ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුගිය අගෝස්තු (14) වැනිදා ඔහු මෙරටට රැගෙන එනු ලැබීය.

ශ්‍රෙෂ්ඨාධිකරණයේ ආරක්ෂාව තර කෙරේ

ශ්‍රෙෂ්ඨාධිකරණයේ ආරක්ෂාව තර කෙරේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත් වේ.

අද (01) දින අදාළ පෙත්සම් විභාගය සඳහා 502 ශාලාවේ කැඳවා තිබුණ අතර පසුව එම ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකම නිසා එය 501 ශාලාවට මාරු කරන ලෙස ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියම කර ඇත.

මේ වනවිට ශ්‍රෙෂ්ඨාධිකරණයේ ආරක්ෂාව තර ඇත.

ඉරානයට දැඩි ප්‍රහාර.. ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානයට දැඩි ප්‍රහාර.. ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානය විසින් ජෝර්දානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර වලට ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තවද, වැදගත් මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන හෝ පිටවන යාත්‍රා අවහිර කරන ලෙසට ජනපති ට්‍රම්ප් එක්සත් ජනපද නාවික හමුදාවට නියෝග කර ඇත.

ඉරානයේ න්‍යෂ්ටික සහ නැව්ගත කිරීමේ අභිලාෂයන් සම්බන්ධයෙන් කොන්දේසි වලට එකඟ වුවහොත් නාවික අවහිර කිරීම සහ හමුදා ක්‍රියාමාර්ග අවසන් වන බවද ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත.

පිටිය උණුසුම්.. අද සටන ඇරඹෙයි

පිටිය උණුසුම්.. අද සටන ඇරඹෙයි

අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය (18) වනදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණේය.

ඒ අනුව අද (01) දින පෙරවරු 10.00 සිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව ඇත.

එම පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරුමඩුල්ලක් ඊයේ (31) දිනයේ ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා අගවිනිසුරුවරයාට අමතරව අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග නම් කරනු ලැබීය.

තව මාසයයි.. කාලගුණය කැළඹෙයි.. ලංකාවට රතු එළියක්

තව මාසයයි.. කාලගුණය කැළඹෙයි.. ලංකාවට රතු එළියක්

එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් වැඩි අවධානයක් අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

නවතම තක්සේරුවට අනුව මෙරටට අදාළ ප්‍රධාන අවදානම වන්නේ වියළි කාලගුණ තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වසරේ අවසාන භාගයේදී වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

එම වැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර, ජලයෙන් යටවීම් සහ කෘෂිකාර්මික කටයුතු වලට බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

එල්-නිනෝ දේශගුණික තත්ත්වය පිළිබදව ආසියානු කලාපයේ රටවලට සිදුව හැකි බලපෑම සම්බන්ධයෙන් වන නවතම තක්සේරු වාර්තාව නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව සඳහන් කරයි.

ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී බොහෝ ප්‍රදේශ වලට වර්ෂාපතනයක් ලැබෙනු ඇති අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාවක් ලැබිය හැකි බවද සඳහන් කරයි.

දේශගුණික අවදානමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනය ඉහළ යා හැකි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

එහෙත් මෙම අවදානම පුළුල් බලපෑමක් බවට පත්ව නොමැති බැවින් පූර්ව සූදානම් වීම සඳහා තීරණාත්මක අවස්ථාවක් තවමත් පවතින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?