Local news

ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය අවධාරණය කළ කථානායක

ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය අවධාරණය කළ කථානායක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජනක සෙනරත්න සමඟින්, කාම්බෝජයේ නොම් පෙන් නුවර GDT සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති දෙවන අන්තර් පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුව (ISC-2) සඳහා සහභාගී වූහ.

කාම්බෝජ සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ඕෂනියාව සහ ලතින් ඇමරිකාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක ආයතනවල නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම් රැසක් සහභාගී වූහ.

“සාමය සහ හවුල් සමෘද්ධිය සඳහා සහයෝගීතාව: ජාත්‍යන්තර නීතිය ශක්තිමත් කිරීම සහ ගැටුම් සාමකාමීව විසඳීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.

කාම්බෝජ රාජකීය මාලිගයේදී එරට රජු වන ‘Preah Samdech Preah Boromneath Norodom Sihamoni’ හමුවීමෙන් අනතුරුව සමුළුවේ නිල කටයුතු ආරම්භ විය.

එහිදී ISC-2 සමුළුවේ සභාපති මෙන්ම කාම්බෝජ සෙනෙට් සභාවේ සභාපති වන ‘Samdech Akka Moha Sena Padei Techo Hun Sen’ සමඟ සුහද හමුවක් ද පැවැත්විණි. මීට අමතරව, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ‘Samdech Mohaborvor Thipadei Hun Manet’ සමඟ ද සුහද හමුවක් පැවැත්විණි.

සමුළුවේ ප්‍රධාන විවාද සැසිය අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා වැදගත් සහ ශක්තිමත් මැදිහත්වීමක් ලෙස පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේදී ව්‍යවස්ථාදායක ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ යුතු බවත්, දැඩි දේශපාලනික මතභේද පවතින අවස්ථාවලදී පවා විශ්වාසය ගොඩනැගීම සඳහා සන්නිවේදන මාර්ග විවෘතව පවත්වාගෙන යා යුතු බවත් කථානායකතුමා පෙන්වා දුන්නේය.

තවද, සැබෑ සහ තිරසාර සාමය යනු යුද්ධයක් නොමැති තත්ත්වයක් පමණක් නොවන බව අවධාරණය කළ කථානායකතුමා, එවැනි සාමයක් යුක්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ කිසිදු පුරවැසියෙකු අත් නොහැරෙන සියල්ලන් ඇතුළත් සංවර්ධනය මත පදනම් විය යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වභාවික පිහිටීම පිළිබඳව ද අවධානය යොමු කළ කථානායකතුමා, නොබැඳි ප්‍රතිපත්තිය, මිත්‍රත්වය සහ සාමකාමී සහජීවනය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය.

දේශසීමා නොතකන දේශගුණික විපර්යාස, සයිබර් අපරාධ සහ ආහාර අනාරක්ෂිතතාව වැනි නූතන අභියෝග කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බවත්, ඒ සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධ සහයෝගීතාවක් අවශ්‍ය බවත් කථානායකතුමා පෙන්වා දුන්නේය.

සිය දේශනය අවසන් කරමින් (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අඛන්ඩ සහයෝගය අවධාරණය කළේය. ගෝලීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම තුළින් පුළුල් සමාජ සාධාරණත්වයක් සහ හවුල් ආර්ථික සමෘද්ධියක් ළඟා කර ගත හැකි බවද පෙන්වා දුන්නේය.

කාම්බෝජයේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක මිල්ටන් ඩික් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක් විය.

එහිදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

පාර්ලිමේන්තු අත්දැකීම් සහ යහභාවිතයන් හුවමාරු කර ගැනීම මෙන්ම වැඩිදුර අන්තර් සබඳතා සහ සහයෝගීතාව තුළින් දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

එමෙන්ම, කථානායක වික්‍රමරත්න නේපාල ජාතික සභාවේ සභාපති ගරු නාරායන් ප්‍රසාද් දහල් ද හමුවිය. එහිදී ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන සහ සුහද සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

එසේම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ජීවිතයෙන් සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ජීවිතයෙන් සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ 64 හැවිරිදි ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී ඇත.

කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

දේහය අද (02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් එහි තැන්පත් කෙරෙනු ඇත.

ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ජේ.ඒ මිල්ටන් පෙරේරාගේ පුත්‍රයකු වූ ප්‍රියංකර පෙරේරා ජනප්‍රිය ගීත රැසක් ගායනය කර ඇති අතර රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වය ලබාදී තිබුණි.

ඉන්ධන QR කේතය ගැන රජය ගත් තීරණය

ඉන්ධන QR කේතය ගැන රජය ගත් තීරණය

ඉන්ධන නිකුත් කරන QR කේතය ක්‍රියාත්මක කිරීම පටන් අරගෙන මාස 06ක් පමණ වන බවත් එහිදී ඇතිවු ගැටලු වලට මේ වනවිටත් විසදුම් ලබාදී තිබෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එනිසා ඉන්ධන නිකුත් කරන QR කේතය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් QR නොමැතිව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් තෙල් සංස්ථාව ක්‍රියාමාර්ගය ගන්නා බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“දැන් QR කේතය ක්‍රියාත්මක කරන්න අරගෙන මාස 06ක් විතර ගතවෙලා තියෙනවා. මුල් වෙලාවේදී සමහර යන්ත්‍ර ක්‍රියාත්මක කරන අය ගැන ප්‍රශ්න මතු වුණාට, ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා ඒවට විසදුම් ලබාදුන්නා.”

“කිසිම කර්මාන්තයක් වැහුණේ නෑ. කිසිම ඉදිකිරීම් තැනක් වැහුණේ නෑ තෙල් ප්‍රශ්නය නිසා. ඔබ මාස 06කට පස්සෙත් කියනවා නම් තෙල් ගහගන්න බැරිවුණා කියලා තණකොළ කපන අයට, මට කරුණාකරලා කියන්න ඒ කොහෙද කියලා. මම ඒක හොයලා බලන්නම්.”

“QR එක ක්‍රියාත්මක වෙනවා තවමත්. කොහේ හරි එහෙම වෙන්නේ නැත්නම්, ඒකට තෙල් සංස්ථාව කටයුතු කරනවා. මම දන්න අවස්ථා ගණනාවකදී තෙල් සංස්ථාව මැදිහත් වෙලා ඒකට ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. පොදුවේ ගත්තොත් එහෙම, කලින් වතාවේ QR වලට වඩා මේ අවස්තාවේ QR බලන එක අපි දැකලා තියෙනවා.”

පොහොට්ටුවේ දැවැන්ත රැළිය තියන්න තැනක් නෑ.. නාමල් අසරණ වෙයි

පොහොට්ටුවේ දැවැන්ත රැළිය තියන්න තැනක් නෑ.. නාමල් අසරණ වෙයි

අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීම සඳහා ක්‍රීඩාංගණ ලබාදීම අනුරාධපුර නගර සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

අනුරාධපුර නගරයේ පිහිටි වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය සහ සල්ගාදු ක්‍රීඩාංගණය මෙම දේශපාලන රැස්වීම සඳහා ලබාදිය නොහැකි බවට නාගරික කොමසාරිස්වරයා දැනුම් දී ඇත.

ඒ අනුව 2026.09.07 දින සිට 2026.09.13 වන දින දක්වා සංගීත ප්‍රසංගයකට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය වෙන් කර ඇති අතර නගර සභා ක්‍රීඩාංගනය (සල්ගාදු) 2026.09.07 වන දින සිට 2026.09.12 වන දින දක්වා අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් වෙන්කර ඇති බවට දැනුම් දී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් (12) වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් රැස්වීම සඳහා විකල්ප ස්ථානයක් සොයා ගැනීමට එම පක්ෂයේ සංවිධායකවරුන්ට සිදුව ඇත.

රනිල් වික්‍රමසිංහ කියන දේවල් පට්ටපල් බොරු

රනිල් වික්‍රමසිංහ කියන දේවල් පට්ටපල් බොරු

2028 වසරේදී විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව රට වැටෙන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරන ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති බොරුවක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

වැරදි දත්ත පදනම් කරගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බොරු ප්‍රකාශ සිදු කරන බවත් කිසිදු අවස්ථාවක රට වැටෙන්නේ නැති බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ,

“තෙල් ආනයය කරන්න අපි ලොකු මුදලක් වැය කරනවා. මේකට විසඳුමක් විදිහට අපි කළේ QR කෝඩ් එක හඳුන්වා දීම විතරයි. අපි අපේ සංචිත කඩා වැටෙන්න නොදී ආරක්ෂා කළා. මෙහෙම තියෙත්දී රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා කියනවා 2028 දී ණය ගෙවා ගන්න රට වැටෙනවා කියලා. මේක කිසිදු පදනමක් නැති පට්ටපල් බොරුවක්.

ඉදිරි අවුරුදු 05 කාලය සැලකීමේදී ගිය අවුරුද්දේ තමයි අපිට වසරකදී ගෙවන්න තිබුණ වැඩිම ණය මුදල ගෙවන්න තිබුණේ. ඒ ඩොලර් බිලියන 3.9 ක්. අපි ඒක ගෙව්වා. මේ වසරේ ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන 3.7 යි. ලබන වසරේ ඩොලර් බිලියන 2.5 යි.

2028 දී ‌ඩොලර් බිලියන 3.3 යි. 2030 දී ඩොලර් බිලියන 3.5 යි. 2031 දී ඩොලර් බිලියන 3.4 ක්ද 2032 දී ඩොලර් බිලියන 3.3 ක්ද ගෙවන්න තියෙනවා. ගෙවන්න තියෙන ලොකුම ගාන පහුගිය අවුරුද්දේ ගෙව්වා නම් මේ වනවිට රටේ ආදායම් වැඩි වෙනවා නම් අපිට ඉදිරි ණය මුදල් ගෙවන්න බැරි වෙන්නේ කොහොමද.? වැරදි දත්ත මත තමයි රනිල් වික්‍රමසිංහ මේ වගේ බොරු ප්‍රකාශ කරන්නේ.“

වත්තේගම පැවැති රැස්වීමකදී නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව සඳහන් කරයි.

අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට.?

අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට.?

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒම සඳහා රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එම රටවල පවතින නීති පද්ධති එක්ක අර්ජුන් මහේන්ද්‍රන් කොහොම හරි ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“අපි සියලුම අපරාධකරුවන් ගෙන ඒමට තමයි උත්සාහ කරමින් ඉන්නේ. ඒක රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරනවා. හැබැයි එම සියලුම අපරාධකරුවන්, ඔබ හිතන්න එපා අපි ඉල්ලපු ගමන් සියලු රටවල් දෙයි කියලා.

ඒවට රාජ්‍යතාන්ත්‍රික විශාල මැදිහත්වීමක් කරන්න සිදුවෙනවා. ඒ රටවල පවතින නීති පද්ධති එක්ක අර්ජුන් මහේන්ද්‍රන් කොහොම හරි ලංකාවට ගෙනල්ලා ඒ කටයුතු කිරීම තමයි අපේ බලාපොරොත්තුව.”

මේ අතර, අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම පවතින බවත් ඒ අනුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා සඳහන් කළේය.

22ට එරෙහි පෙත්සම් විභාගය.. ෆුල් බෙන්ච් එකක් දෙන්න බෑ කියයි

22ට එරෙහි පෙත්සම් විභාගය.. ෆුල් බෙන්ච් එකක් දෙන්න බෑ කියයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයන් කළ ඉල්ලීම අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද (01) දින ප්‍රතික්ෂේප කළේය.

අදාළ පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්තේය.

පෙත්සම් විභාගය ආරම්භ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනි.. මෙය කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනත් කෙටුම්පත්. මේ හරහා අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ වෙනවා. සෙසු විනිසුරුවරුන්ගේත් විශ්‍රාම වයස දීර්ඝ වීමක් සිදුවෙනවා. ඒ නිසා ළබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් ශ්‍රෙෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.” 

තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්‍රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වුවාය.

එහිදී රජය සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න කරුණු දක්වමින් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) වගන්තියට අනුව ඕනෑම නඩුකරයකට අදාළ විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ නෛතික අභිමතය සතු වන්නේ අගවිනිසුරුවරයාට පමණක් බවයි.

එනිසා ඒ සඳහා මැදිහත් වීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නැති බවත් සුදුසු විනිසුරු මඩුල්ලක් නම් කිරීමේ පූර්ණ බලය අගවිනිසුරුවරයා සතු බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් සඳහන් කළේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීම සඳහා විනාඩි 15කට කටයුතු අත්හිටවූ විනිසුරු මඩුල්ල යළි රැස්වෙමින්, පූර්ණ විනිසුරු මඩුල්ලක් පිළිබඳ ඉල්ලීම බැහැර කර දැනට නම් කර ඇති පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම් විභාගය ඉදිරියට ගෙන යන බව නිවේදනය කළේය.

අනතුරුව ආරම්භ වූ මූලික පෙත්සම් විභාගයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සඳහන් කළේ,

“යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර් ගත ව්‍යවස්ථා කිහිපයක්ම උල්ලංඝනය වෙනවා. විශේෂයෙන් 03 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. මෙවැනි අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයක් සදහා යොමුකිරීමට තීරණය කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 ව්‍යවස්ථා ජනතා පරමාධිපත්‍යය හා කෙලින්ම සම්බන්ධ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන ව්‍යවස්ථාවට සිදු කරන සියලු වෙනස්කම් 03 වන ව්‍යවස්ථාවට බලපානවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 ව්‍යවස්ථාව තුළින් ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය හරහා ක්‍රියාත්මක වන බව දක්වා තිබෙනවා.“

අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

“විනිසුරුවරුන්ට නිදහසේ සිය රාජකාරි ඉටු කිරීමට පරිසරයක් තිබිය යුතුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබු පමණින් එම නිදහසට බාධා සිදුවෙන්න බැහැ. අධිකරණ ඉදිරියේ මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුවීම ගැන මා කනගාටු වෙනවා. මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුව තිබෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහායි. ඔබතුමන්ලාගේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන්.“

පෙත්සම් විභාගය තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ක්‍රියාත්මක වේ.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය

1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත, බෝ වන රෝග පැතිරීම වැළැක්වීම සහ නිරෝධායන පියවර ක්‍රියාත්මක කිරීම පාලනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නීතිය වේ.

එහෙත්, වර්තමානය වන විට පුද්ගලයන්ගේ, භාණ්ඩවල හා සේවාවල ජාත්‍යන්තර සහ දේශීය සංචලනයේ සැලකිය යුතු වැඩි වීම හේතුවෙන් දේශසීමා හරහා බෝවන රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානම ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.

නිතර සිදුවන ජාත්‍යන්තර සංචාර සහ ජාත්‍යන්තර වෙළෙඳාම හේතුවෙන් බෝවන රෝග රටවල් අතර වේගයෙන් පැතිරී යාම සිදු වන බවත් නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව, 1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2016 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇති නමුත්, එකී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොමැත.

එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව, පසුගිය කාලසීමාව තුළ ඇති වූ වසංගත තත්ත්වයන් අතරතුර ලබා ගත් අත්දැකීම් ද සැලකිල්ලට ගෙන, මේ වන විට සකස් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කරමින් වර්තමාන සෞඛ්‍ය අභියෝග වලට මෙන්ම අනාගතයේ ඇති විය හැකි අභියෝග වලට මුහුණ දීමට හැකි වන පරිදි යෝග්‍ය සංශෝධන යෝජනා කිරීම පිණිස සමාලෝචන කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

නිකුත් කරන ලද නියමයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

නිකුත් කරන ලද නියමයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ තොරතුරු තාක්ෂණ, උපදේශන සේවා, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම, සැපයුම් සේවා (ලොජිස්ටික්ස්), යටිතල පහසුකම් දෙමුහුන්/සංයුක්ත ව්‍යාපාර ආකෘති හා පොදු ව්‍යාපාර සහ ව්‍යාපාරික අංශයන්ට අයත් ව්‍යාපාර ආයතන 68ක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කිරීමට 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, එම ව්‍යාපාර 68 ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් 2026-04-10 දිනැති අති විශේෂ ගැසට් නිවේදන මඟින් නියමයන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පිල්ලෙයාන් ඇතුළු පිරිසට දුන් නියෝගය

පිල්ලෙයාන් ඇතුළු පිරිසට දුන් නියෝගය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව අද (01) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවයි.

මම නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරයේ සිට මාර්ගගත (Zoom) තාක්ෂණය ඔස්සේ සැකකරුවන් වන පිල්ලෙයාන්, මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන තිදෙනා ඉදිරිපත් කළේය.

2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි හිදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතිවු – කරෙයියන්කන්තිවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

මෙම ඝාතන සම්බන්ධයෙන් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනා සහ ලන්ඩනයේ පදිංචි ‘මොහොමඩ් ෆායිස්’ නමැත්තා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව 2026 ජූනි (17) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර එතැන් සිට මෙම සැකකරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

ඒ අනුව අද දින කරුණු සලකා බැලීමෙන් අනතුරුව ‘පිල්ලෙයාන්’ සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා සැප්තැම්බර් (15) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලන්ඩනයේ සැඟව සිටින ‘මොහොමඩ් ෆායිස්’ නැමැත්තාට එරෙහිව විවෘත වරෙන්තුව (Open Warrant) නැවත නිකුත් කළේය.

✕
⌃ News
📰 Free News Subscription?