Local news

මේ රටේ සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම ඉටු කරනවා

මේ රටේ සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම ඉටු කරනවා

මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායක වී, මේ මහපොළොවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

දරුවන්ට හොඳ අනාගතයක් උරුම කරදී, මේ රට සුන්දර රටක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

“අපේ අපේක්ෂාව ඔබට වඩා හොඳ ජීවිතයක් උරුම කරදීමයි. ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් උරුම කරදී මේ රට වඩා සුන්දර රටක් බවට පරිවර්තනය කිරීමයි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ සහාය අපි අපේක්ෂා කරනවා. මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායක වී, මේ මහපොළොවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම අපි ඉටු කරනවා.”

සුපිරි පාපන්දු ක්‍රීඩකයා සමුදෙයි

සුපිරි පාපන්දු ක්‍රීඩකයා සමුදෙයි

ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

ලියනොල් මෙසීගේ වයස අවුරුදු 39ක් වන අතර ඔහු තරග 207කදී ගෝල 125ක් රැස් කරගෙන ඇත.

එය වාර්තා අතරට එක්වන්නේ ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා මෙන්ම වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා ලෙසයි.

2022 වසරේ කටාර් හි පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආජන්ටිනාව ජයග්‍රහණය සදහා කැදවාගෙන ගිය නායකයා වන්නේ ද ලියනොල් මෙසී.

රනිල්ගේ අග සිට මුලට හොයයි.. කජු කිලෝ දාහක් කන්න වෙයි

රනිල්ගේ අග සිට මුලට හොයයි.. කජු කිලෝ දාහක් කන්න වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පවුලට අයත් ව්‍යාපාර සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙම පැමිණිල්ලේ අරමුණ බව වාර්තා වේ.

තවද රාජ්‍ය බැංකු වලින් ලබාගත් ණය අනිසි ලෙස භාවිතා කිරීම සහ පවුලේ සාමාජිකයන් සතු ව්‍යාපාරික ජාලය පිළිබඳව පූර්ණ සොයා බැලීමක් සිදු කරන ලෙසද ඉල්ලා ඇත. 

මේ අතර පසුගිය සමයේ සිදුවු මුල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දේශපාලන පවුලකට අයත් ව්‍යාපාරයකට රාජ්‍ය බැංකු සතු මුදල් ණය ලෙස ලබාදීම හරහා අක්‍රමිකතාවක් සිදුව ඇද්දැයි පරීක්ෂණයක් කරන ලෙසට කෝප් කමිටුවෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය කැඳවුම්කරු සංජය මහවත්ත සඳහන් කළේ,

“මේකේ අපි හොයනවා, මේ වර්ණ කියන ආයතනයට එතනොල් කොපමණ ප්‍රමාණයක් ලබාගෙන තියෙනවාද.? ඒ ලබාගත්ත එතනෝල් වලටම නිෂ්පාදන කරලා තියෙනවාද.? රනිල් වික්‍රමසිංහ මහත්තයෝ මේකට නම් කජු කිලෝ දාහක් වත් කන්න වෙයි උත්තර දෙන්න.”

රවීට අසාධ්‍යයි.. මාරාන්තික ආසාදනයක්.. ඔන්න මෙන්න

රවීට අසාධ්‍යයි.. මාරාන්තික ආසාදනයක්.. ඔන්න මෙන්න

දූෂණ චෝදනාවක් සම්බන්ධව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරින ලෙස නියෝග කළේය.

ඒ අනුව සැකකාර රවී කරුණානායක රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

2015 වසරේ ජනවාරි මස (12) වනදා මෙම සැකකරු මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියකට යැයි සඳහන් කරමින් සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකාර සහකාරවරයෙකු ජාතික ලොතරැයි මණ්ඩලය මගින් බඳවාගෙන ඇති බව, සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළාය.

එම සේවකයින් තිදෙනාට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වැටුප් ගෙවා ඇති අතර ඔවුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ කිසිදු රාජකාරියක් සිදුකර නොමැති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

අදාළ සේවකයින් තිදෙනාට රුපියල් ලක්ෂ 37කට ආසන්න මුදලක් ගෙවා ඇති අතර එම සේවකයින් සැකකාර හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කටයුතු සඳහා යොදාගෙන තිබූ බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇති බවද සඳහන් කළාය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් විමර්ශන නිලධාරිනිය සඳහන් කළේ,

“ස්වාමිනි.. මෙම සැකකරු මුදල් අමාත්‍යවරයා ලෙස සිටියදී ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදලින් වැටුප් ගෙවීමේ පදනමින් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් යැයි සඳහන් කොට සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙක් සහ කළමනාකරණ සහකාරවරයෙක් බඳවාගැනීමක් සිදුව තිබෙනවා.

පත්වීම් ලැබූ එක් අයෙක් එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලීනව ප්‍රාදේශීය දේශපාලනය කරලා, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අයෙක්. ඒ වගේම තවත් අයෙක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවය කළ තැනැත්තෙක්. ඔවුන්ට ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදලින් වැටුප් ගෙව්වාට එම ආයතනයට කිසිඳු සේවයක් ලබාගෙන නැහැ.

ඔවුන් මේ සැකකරුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කරලා දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොදවා තිබෙනවා. මෙහිදී රජයට සිදුවී ඇති පාඩුව ලක්ෂ 37කට අධිකයි. එබැවින් දූෂණය නැමැති වරදට කුමන්ත්‍රණය කිරීම සහ අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගත්තා.”

“ස්වාමිනි.. මේ සැකකරුට විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදෙන්න අවස්ථා 04කදී කැඳවීම්කර තිබුණත්, ඔහු පෙනී සිටියේ නැහැ. දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයකට නුවරඑළියේ යන බව කීවත්, ඔහු සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක. දිගින් දිගටම මෙම සැකකරු අල්ලස් කොමිසම මඟහරිනවා.

ඒ වගේම සැකකරු සොයන්න අපි 29 වනදා ඔහුගේ නිවසට ගිහින් ආපුවාම අනෙක් පසට පළමු සැකකාරියත් ඔහුගේ නිවසට යනවා. මොවුන් දෙදෙනාම එකතු වෙලා සාක්ෂිකරුවන්ට සහ විමර්ශනයට බලපෑම් කරමින් ඉන්නවා. එබැවින් මේ සැකකරුට ඇප ලබා නොදී මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

මෙහිදී සැකකාර රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරු හෘද රෝගය මෙන්ම, නින්දේදී හුස්ම හිරවන ස්ලීප් ඇප්නියා (Sleep Apnea) නමැති රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවයි.

නීතිඥ අශෝක වීරසූරිය අධිකරණය හමුවේ සඳහන් කළේ,

“පසුගිය 29 වනදා මොහුගේ දෙවන දියණියගේ Homecoming එක පැවැත්වුණා. පළමුවෙන් නුවරඑළියේ එම සාදය පැවැත්වීමට නියමිතව තිබුණත්, පසුව දේශගුණික හේතු නිසා එය හම්බන්තොට හෝටලයක පැවැත්වුණා.”

“ස්වාමිනි.. මගේ සේවාදායකයාගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විශේෂයෙන් සඳහන් කරනවානම් මේ වෙද්දිත් මොහුගේ හෘදයට Stent 05ක් දමා තිබෙනවා. තවත් Stent එකක් දැමීමේ 70%ක – 99%ක ප්‍රවණතාවයක් තිබෙනවා.  ඒ වගේම මොහු 2014 වසරේ සිට Sleep Apnea රෝගී තත්ත්වයෙන් පීඩා විදිනවා.

ඊට අදාළ උපකරණය නොමැතිව නිදා ගත්තොත් රාත්‍රියේදී මොහුට හෘදයාබාධයක් හෝ පෙණහලු ආශ්‍රිත ආබාධයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මොහුට Cellulitis කියන දුර්ලභ මාරාන්තික බැක්ටීරියා ආසාදනය තිබෙනවා. එබැවින් මොහු පරිසර ආසාදනයන්ට ගොදුරුවිය හැකි ස්ථානවල රැඳී සිටීමත් සුදුසු නැහැ.

ඒ වගේම මොහුට පාලනය කළ නොහැකි දියවැඩියා රෝගී තත්ත්වයක් තිබෙනවා. මොහුට තිබෙන මේ සියලුම රෝග පිළිබඳ සිංගප්පූරුව මවුන්ට් එළිසබෙත් රෝහලෙන් ඉදිරිපත් කළ වාර්තාවක් මා අධිකරණයට ඉදිරිපත් කරනවා.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියම කළ අතර පැමිණිල්ල නැවත නොවැම්බර් මස (03) වනදා කැඳවන ලෙස නියම කළේය.

පානදුර නිලංගගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කරයි

පානදුර නිලංගගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කරයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “පානදුර නිලංග” නැමැත්තාගේ මස්සිනා වන “ඩිලා” නමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර ඇත.

පයාගල, නයිමුල්ල පඹය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

පෙට්‍රල් මිල අඩු කරපු නිසා මාර්ග තදබදය වැඩි වෙනවා

පෙට්‍රල් මිල අඩු කරපු නිසා මාර්ග තදබදය වැඩි වෙනවා

පෙට්‍රල් මිල ගණන් අඩු කිරීම හේතුවෙන් මාර්ග තදබදය වැඩිවීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොකිරීම හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තයට යම් සහනයක් ලැබී ඇති බවද සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

පසුගිය කාලයේ ඉන්ධන පරිභෝජනයෙන් වැඩි ප්‍රමාණයක් ඩීසල් සඳහා වෙන්වී තිබූ බවත් ඩීසල් මිල වැඩි වීම සහ අඩු වීම පෞද්ගලික බස් කර්මාන්තයට විවිධ ආකාරයේ බලපෑම් ඇති කරන බවද සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ,

“ඩීසල් වැඩි නොවීම හෝ අඩුවීම අපට යම් ගැටලුවක් වෙනවා. වැඩි වුණත් ප්‍රශ්නයක් වෙනවා. අඩු වුණත් ප්‍රශ්නයක් වෙනවා. මෙවර මේ මාසෙදී ඉන්ධන ගැලපුමේදී වෙනස් නොකර තිබීම ඩීසල් වලට විශේෂයෙන්ම පෞද්ගලික බස් කර්මාන්තකරුවන්ට යම් සහනයක් ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් අපි දකිනවා දැන් පෙට්‍රල් අඩු කිරීම තුළ තවදුරටත් විශේෂයෙන්ම මේ මාර්ග තදබදය දිගින් දිගටම වැඩි වෙනවා. මා මේ දිනවල විශේෂිත සමීක්ෂණයක් කරගෙන යනවා.”

රුපියල් කෝටි 800කට අධික මත්ද්‍රව්‍ය තොගයක් වරායෙන් අල්ලයි

රුපියල් කෝටි 800කට අධික මත්ද්‍රව්‍ය තොගයක් වරායෙන් අල්ලයි

කොළඹ වරායේදී බහාලුම් දෙකක් තුළ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 463කට ආසන්න බවත් එහි වටිනාකම රුපියල් කෝටි 800කට අධික වනු ඇති බව පොලීසිය සඳහන් කරයි.

අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයත් ඒකාබද්ධ වී විශේෂ වැටලීමක් සිදුකර ඇත.

එම වැටලීමේදි සැකසහිත බහාලුම් දෙකක් රේගුවේ උපකාරය මත විවෘත කර පරීක්ෂා කර ඇති අතර එහිදී කිලෝග්‍රෑම් 463කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

අදාළ බහාලුම තුළ තිබූ තුවා තුළ සූක්ෂම ලෙස සඟවා පකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කරයි.

ඛනිජ සම්පත් ගවේෂණය සහ කැණීම්

ඛනිජ සම්පත් ගවේෂණය සහ කැණීම්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (31) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මෙරට ඛනිජ සම්පත ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් ලෙස උපයෝගී කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

දේශීය නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජකයන් සඳහා සහන ලබා දීම මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු විය.

විදේශීය සහ දේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර කැණීම් සඳහා බලපත්‍ර ලබාගැනීම ඇතුළු රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී ආයෝජකයින්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

එසේම, පැවති ප්‍රතිපත්තියේ ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ආයෝජන කැඳවා ගැනීමේදී ඉතා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ අදාළ සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

රවී කරුණානායකට දුන් නියෝගය

රවී කරුණානායකට දුන් නියෝගය

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක අද (31) දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් රවී කරුණානායක අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රවී කරුණානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රවී කරුණානායක අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.

මෙම විමර්ශනයට අදාළව මීට පෙර ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණද, රවී කරුණානායක එම අවස්ථාවලදී කොමිසම හමුවේ පෙනී නොසිටියේය.

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර ජීවිතයෙන් සමුගනී

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර ජීවිතයෙන් සමුගනී

ජනප්‍රිය ශ්‍රී ලාංකික නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අද (31) දින අභාවප්‍රාප්ත වී ඇති අතර ඇය අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 46කි.

වසර විස්සකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නාමයක් දිනා සිටි චූලා පත්මේන්ද්‍රන්, 2006 වසරේ ටැන්සානියාවේ පැවැති ‘Miss Tourism Model of the World’ තරගාවලියේ මාධ්‍ය සම්මානය දිනාගනිමින් ජාත්‍යන්තර අවධානය දිනාගත් තැනැත්තියක්ද වේ.

✕
⌃ News
📰 Free News Subscription?