Local news

දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු අඟවයි

දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු අඟවයි

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

*අදියර 3 – රතු නිවේදන (ඉවත්වීමේ අනතුරු ඇඟවීම්)

ගාල්ල –  නෙළුව
කළුතර  – වලල්ලාවිට
මහනුවර –  පස්බාගේ කෝරළේ
කෑගල්ල – මාවනැල්ල, දෙරණියගල, අරණායක, යටියන්තොට, දෙහිඕවිට
නුවරඑළිය – නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බටහිර
රත්නපුර – රත්නපුර

*අදියර 2 – ඇම්බර් නිවේදන (අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම්)

කොළඹ – පාදුක්ක
ගාල්ල –  නාගොඩ, තවලම
කළුතර –  පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය
මහනුවර –  ගඟ ඉහළ කෝරළේ, උඩපළාත
කෑගල්ල – වරකාපොළ, බුලත්කොහුපිටිය, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල
මාතර – අතුරලිය, කොටපොළ, අකුරැස්ස, පිටබැද්දර
නුවරඑළිය – තලවාකැලේ
රත්නපුර – පැල්මඩුල්ල, කුරුවිට, අයගම, නිවිතිගල, කලවාන, ඇලපාත

*අදියර 1 – කහ නිවේදන (විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම්)

කොළඹ – සීතාවක
ගාල්ල – නියගම, බද්දේගම
ගම්පහ – මීරිගම, අත්තනගල්ල
මහනුවර – යටිනුවර, පහතදුම්බර, දොළුව, උඩුනුවර
කෑගල්ල –  රඹුක්කන
කුරුණෑගල – අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර – පස්ගොඩ
රත්නපුර-  ඇහැලියගොඩ, කහවත්ත, කොලොන්න, ඉඹුල්පේ

අදාළ ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

ඥානසාර දංගෙඩියට.. ජනපති අනුර මට ජනාධිපති සමාව දෙන්න

ඥානසාර දංගෙඩියට.. ජනපති අනුර මට ජනාධිපති සමාව දෙන්න

තමන් වහන්සේට අවවාදයක් ලබාදී ජනාධිපති සමාව දෙන්න වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට පුළුවන් බව, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් රචනා කරන ලද “9.05 විකෘතිය” නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කෙරුණ අතර එහිදී උන්වහන්සේ මේ බව පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් බන්ධනාගාරගත කිරීමට නියමිත පසුබිමක මෙම ග්‍රන්ථය එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළේ,

“ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව නෙමෙයිනේ මට නඩු දැ⁣ම්මේ. මට නඩු වැටුනේ යහපාලන ආණ්ඩුවෙන්. මොකද මට කියන්න අවස්ථාවක් නැතිවෙයි ජීවිතය අනිත්‍යයිනේ. ජනාධිපති සමාව දීම ඒගොල්ලන්ගේ වැඩක්.

මම හිටියෙ නෑනේ ජනාධිපති කාර්යාලයේ. කවුරුහරි ක්‍රමවේදයේ කරපු අය වරදක් වුණානම් ඒගොල්ලන්ට එපැයි දඩුවම් දෙන්න. ඇයි මගෙන් පළිගන්නේ. මට අවවාදයක් දීලා මගෙන් කොච්චර වැඩක් ගන්න පුළුවන්ද.”

“දැන් ඉන්න ආණ්ඩුවේ ජනාධිපතිතුමාට පුළුවන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරපු වරදක් වුණානම් එතුමාට නිවැරදි කරන්න පුළුවන් නේ. නායක හාමුදුරුවනේ ඔබවහන්සේලා ජනාධිපතිතුමාට කියන්න.

මේ උන්වහන්සේට ජනාධිපති සමාව දෙන්න කියලා. මොකද නිලධාරීන් කරපු වරදක්. වැදලා ඉල්ලන්නම් අපේ අනුනායක හාමුදුරුවන්⁣ගෙන් ඥනසාර දංගෙඩියට යයි.”

හෙට පාසල් පැවැත්වීම ගැන තීරණයක්

හෙට පාසල් පැවැත්වීම ගැන තීරණයක්

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල හෙට (21) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින් වෙත දැනුම්දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කරයි.

මේ අතර නුවරඑළිය කලාපයේ හෙට (21) දිනය තුළ පාසල් පවත්වාගෙන යෑමට අපහසු නම් ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධක්ෂවරයා විසින් ලබාදී ඇත.

ඒ අනුව අදාළ පාසල් පවත්වන්නේද, නැද්ද යන තීරණය කිරීමේ බලය අදාළ විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇත.

මේ අතර හෙට (21) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහනුවර තදබදයට විසඳුමක්.. තවත් සති කිහිපයකින් ජනතා අයිතියට

මහනුවර තදබදයට විසඳුමක්.. තවත් සති කිහිපයකින් ජනතා අයිතියට

මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදෙමින් ඉදිකෙරෙන මහයියාව නව මගී හා වාහන උමං මාර්ගයේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු අද (20) නිරීක්ෂණය කිරීම සදහා අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන එක්විය.

මේ වනවිට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය 80%ක් පමණ වන අතර ඉතිරි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම පිළිබඳව ව්‍යාපෘති නිලධාරීන් සහ ඉංජිනේරුවන් සමඟ එහිදී අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන තවදුරටත් සාකව්ඡා කළේය.

මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 2+064 සහ 2+097 අතර ඉදිකෙරෙන මෙම උමං මාර්ගය මීටර් 31.7ක දිගකින්, මීටර් 21ක පළලකින් සහ මීටර් 6.15ක උසකින් යුක්තය. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 650ක පමණ මුදලක් වැය කෙරෙයි.

මහනුවර නගරයට දිනපතා පිවිසෙන ජනතාවගේ ගමනාගමනය වඩාත් පහසු කිරීමත්, වත්තේගම, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව සහ යාපනය ඇතුළු ගමනාන්ත වෙත ගමන් කරන වාහන සඳහා වඩාත් කාර්යක්ෂම ගමනාගමන පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ලබන මාසයේ තෙල් මිලට සහනාධාරයක්

ලබන මාසයේ තෙල් මිලට සහනාධාරයක්

ලබන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සංශෝධනය සම්බන්දයෙන් සහනාධාරයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ගණන් හමුවේ මෙරට තෙල් මිල වැඩි කිරීමට සිදුවන බැවින් යම් සහනාධාරයක් ලබාදීලා එය පාලනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“ලෝක වෙළෙඳපොල අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල වැඩි කරන්න ඕනි. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩිවෙන්න ඕනි.

හැබැයි අපි අපේක්ෂා කරනවා සහනාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩු අන්න එහෙමයි. මරාලයක් කඩා වැටුණම මුළුමනින්ම ඒක ජනතාව පිට දාන්න බෑ. ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕනි. හොඳ නැද්ද එහෙම.”

අද (20) දින අකුරැස්සේ පැවති ජන රැලියකට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිලේ වෙනසක්

සැප්තැම්බර් මස අවසානයේ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිකල ප්‍රකාශයක් කරයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල යළි ඉහළ යාම සැලකිල්ලට ගෙන සැප්තැම්බර් මස අවසානයේ ඉන්ධන මිල සංශෝධනය කිරීමක් විය හැකි බව අමාත්‍ය අනුර කරුණාතිකල සඳහන් කරයි.

මේ වනවිටත් ඉන්ධන මිල ඉහළ අගයක පවතින බැවින් තවදුරටත් මිල ඉහළ යාමක් ජනතාවට දැරිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡාවක් රජය තුළ පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

හෙට කාලගුණය කැළඹෙයි.. දිස්ත්‍රික්ක රැසකට තද වැසි

හෙට කාලගුණය කැළඹෙයි.. දිස්ත්‍රික්ක රැසකට තද වැසි

හෙට (21) දිනයේදී දිස්ත්‍රික්ක රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන් කරයි.

හෙට දිනයේදී ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සරසවි සිසුන්ට නොමිලේ ඇස්

සරසවි සිසුන්ට නොමිලේ ඇස්

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබ දීමේ වැඩසටහනේ පළමු වැඩසටහන (19) දිනය පුරා රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

නොමිලේ ඇස් පරීක්ෂා කර කාච ලබා දීමද මෙහිදී සිදු කෙරුණු අතර පෞද්ගලික අංශයේද දායකත්වය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග ලෙස ලැබී ඇති ඇස් කණ්ණාඩි රාමු පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ අඩු ආදාම්ලාභී පුරවැසියන් වෙත නොමිලේ ලබාදීමට සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ සඳහන් කළේ, රටේ සියලු දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අපේක්ෂාව බවත්, ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ වනවිට ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ රටේ සියලු දරුවන්ට සහ එහි ප්‍රතිලාභ හිමි විය යුතු පිරිස් වෙතම හිමි වන බව පෙන්වා දුන් රෝෂන් ගමගේ, යහපත් කළමනාකාරීත්වය නිසා ජනාධිපති අරමුදල පසුගිය වසර දෙක ඇතුළත 50%කින් ශක්තිමත් වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය ලබාදුන් සියලුදෙනා වෙත ස්තූතිය පළ කිරීමටද රෝෂන් ගමගේ මෙහිදී කටයුතු කළේය.

රාජපක්ෂ පරම්පරාවම අනිවාර්යෙන් නීතිය හමුවට ගෙනියන්න ඕන

රාජපක්ෂ පරම්පරාවම අනිවාර්යෙන් නීතිය හමුවට ගෙනියන්න ඕන

වත්මන් රජය නීතිය හරියටම ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

රටට සාධාරණය ඉටු කිරීම අගයන්න අවශ්‍ය බවත් රාජපක්ෂලාගේ පරම්පරාවටම අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙනියන්න අවශ්‍ය බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ,

“රජය හරියට නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා. මෙතෙක් දුරට හරි මාර්ගයට ගිහිල්ලා තියෙනවා කියලා මගේ මතය. ඉතුරු ටිකත් අපිට බලාගෙන ඉන්න වෙනවා.

මේ රජය ඒ වෙනුවෙන් උනන්දුවක් අරගෙන ජනතාවට, රටට සාධාරණය ඉෂ්ට කරන්න උත්සාහ කරන එක අපි අගයන්න ඕනි. රාජපක්ෂලාගේ පරම්පරාවටම අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙනියන්න ඕනේ.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ බව සඳහන් කරයි.

අන්තවාදය ගැන ලියපු පොත එළිදක්වා ඥනසාර හිමි නැවතත් බන්ධනාගාරයට

අන්තවාදය ගැන ලියපු පොත එළිදක්වා ඥනසාර හිමි නැවතත් බන්ධනාගාරයට

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් රචනා කරන ලද “9.05 විකෘතිය ලෝකය කැළඹූ මතවාදයක ලාංකික සෙවණැලි” නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතය.

කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය, විද්වතුන්, දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව ඇත.

දිගු කලක් තිස්සේ විවේචනයට හා විරෝධයට ලක් කළ ආගමික අන්තවාදී මතවාදයන්හි පසුබිම මෙන්ම, එමඟින් ලාංකේය සමාජ දේහයට එල්ල වී ඇති බලපෑම් සහ එහි සැඟවුණු පැතිකඩ පිළිබඳව ගැඹුරු විග්‍රහයක් මෙම කෘතියට ඇතුළත්ව ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

අධිකරණයට අපහාස කළ බවට සිර දඩුවම් නියමව සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් ඒම සමාව අධිකරණය විසින් අහෝසි කිරීමෙන් පසු ඥානසාර හිමි නැවතත් බන්ධනාගාරගත කිරීමට නියමිතය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් බන්ධනාගාරගත කිරීමට නියමිත පසුබිමක මෙම ග්‍රන්ථය එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

Follow WhatsApp Channel