Local news

පළමු වතාවට අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි

පළමු වතාවට අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි

2026 ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ මාස 7 තුළ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

එලෙස අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක ප්‍රමාණය වාර්තා කර ඇත්තේ පළමුවරට බවත් එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයනය සහ සේවා අංශයේ අපනයන ආදායම කැපී පෙනෙන අගයන් වාර්තා කළ බවද සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ,

“ශ්‍රී ලංකා අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛණ දත්තවලට අනුව ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක වර්ධනයක් අපි අරගෙන තිබෙනවා.

එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,285කුත්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 351කුත් ලබාගෙන තිබෙනවා.

විශේෂයෙන් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මේ වසරේ මුල් මාස 7දී සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. මුල් වතාවට තමා අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් අපි ලබා ගන්නේ.

එහිදී විශේෂයෙන් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 8,188ක ප්‍රමාණයකුත්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,199ක ප්‍රමාණයකුත් වාර්තා වෙනවා.

එහිදී කැපී පෙනෙන අංශ වෙන්නේ තේ ආශ්‍රිත සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන. ඒවගේම රබර් කර්මාන්තය, ආහාර සහ බීම, විදුලි උපකරණ, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, වැනි ක්ෂේත්‍ර කැපී පෙනෙන වර්ධනයක් මුල් මාස 7දී දකින්න පුළුවන්.

ඒ වගේම සේවා අංශය ගත්විට කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙනවා අපගේ තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව. ඊට අමතරව ලොජිස්ටික් ක්ෂේත්‍රෙය් කැපී පෙනෙන වර්ධනයක් පසුගිය මාස 7දී දකින්න පුළුවන්.

මාස 7දී තේ ආශ්‍රිත අපනයනයේදී ගිය වසරට සාපේක්ෂව වර්ධනයේ අඩුවීමක් මාස 7දී පෙන්නුම් කරනවා. ඒකට හේතුව මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයත් එක්ක අපගේ තේ අපනයනය කිරීමේදී තිබෙන බාධාවත් පසුගිය මාස 7දී ඒ ටාගට් එක සපුරා ගැනීමට අපහසු වීම.“

22ට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

22ට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා සැප්තැම්බර් (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර ඇති අතර එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන කටයුතු කරයි.

අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන සෙසු විනිසුරුවරු එම මඩුල්ල නියෝජනය කරන සෙසු සාමාජිකයන් වේ.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ⁣ට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ⁣ට

අද (31) දින මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල වැඩි කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදු නොවන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇත.

ගිනි අවියක් සන්තකයේ තබාගැනීම – මහජනතාව⁣ට දැනුම්දීමක්

ගිනි අවියක් සන්තකයේ තබාගැනීම – මහජනතාව⁣ට දැනුම්දීමක්

ගිනි අවියක් සන්තකයේ තබාගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන 2027 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි (තුවක්කු) බලපත්‍ර අලුත් කිරීම 2026.09.01 දින සිට 2026.12.31 දින දක්වා පමණක් සිදු කරන බැවින්, 2026.12.31 වන දිනට ප්‍රථම බලපත්‍ර අලුත්කර ගැනීම සිදු කල යුතුය.

එදිනට බලපත්‍ර අලුත් නොකරන සියලු ගිනි අවි හිමිකරුවන් සඳහා තුවක්කු ආඥාපනතේ 22 වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබාගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.

2027/2028 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම 2026.09.01 සිට 2026.12.31 දින දක්වා සිදුකෙරෙන අතර ඉන්පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරයි.

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුවට දුන් නියෝගය

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුවට දුන් නියෝගය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (31) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට සම්බන්ධ කරුණකට අදාළව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එය සැප්තැම්බර් මස (04) වනදා සලකා බැලීමට නියමිතව තිබෙන බවයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව නැවත සැප්තැම්බර් මස (28) වනදා කැඳවන ලෙස නියෝග කළේය.

අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

රවී කරුණානායක අත්අඩංගුවට

රවී කරුණානායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රවී කරුණානායක අද (31) අල්ලස් කොමිසම හමුවට පැමිණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්

ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කිරීම මත, ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය ප්‍රකාශයක් කර ඇත.

ඒ අනුව ඉන්ධන මිල අඩු කළද, ත්‍රීරෝද රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා සඳහන් කළේ,

“අපිට කියන්න තියෙන්නේ, පැරණි මිලම තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. නීත්‍යානුකූල මිලක් එනකං. ඒ කියන්නේ පළවෙනි කිලෝමීටරයේ 110ක්, දෙවෙනි කිලෝමීටරයේ රුපියල් 90ක් කියන සීමාව තුළ තමයි අපිට ඉන්න වෙන්නේ.

නමුත් මහා මාර්ගයේදී සාමාන්‍ය ත්‍රිරෝදරථ භාවිතාවේදී, ඒ මිල ගණන්වලට නෙමෙයි, රුපියල් 110,120 ආදී වශයෙන් තමයි මිල අය කරන්නේ. නමුත් එතනදී තාම නීතියක් විදියට මේක ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමයි ඔය තත්වයටම පත් වෙලා තියෙන්නේ.

අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් මේ අදාළ නියාමනය යටතේ මේ මිල ගණන් එයි කියලා.“

IOC ඉන්ධන මිලේ වෙනසක්

IOC ඉන්ධන මිලේ වෙනසක්

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.

ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 399කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 475කි.

ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම.. නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම.. නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

එහෙත්, මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්  විසින් ඉදිරියේදී ගනු ලැබුණු තීරණ වලට අගතියක් නොවන පරිදි මෙම නියෝග නිකුත් කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත.

මැදපෙරදිග යළිත් උණුසුම්.. අමෙරිකානු හමුදා කඳවුර⁣ට ඉරානයෙන් ප්‍රහාර

මැදපෙරදිග යළිත් උණුසුම්.. අමෙරිකානු හමුදා කඳවුර⁣ට ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර වෙත ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කඳවුරේ රැඳී සිටින අමෙරිකානු හමුදා සහ හෙලිකොප්ටර් යානා ඉලක්ක කරමින් මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කර ඇත.

පසුගියදා ලාරක් දූපතේදී ඉරාන විප්ලවවාදී ආරක්ෂකයින් සහ ඉරාන සිවිල් වැසියන් ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කර ඇත.

මෙම ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැති අතර එම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වී ඇත.

✕
⌃ News
📰 Free News Subscription?