ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්රාමික) ගේ සංකල්පයකට අනුව ශ්රී ලංකාවේ වන අලි – ඇතුන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් ත්රිවිධ හමුදාවේ දායකත්වය සහිත ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳිගේ ප්රධානත්වයෙන් (23) වන දින පරිසර අමාත්යාංශයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි, යුද හමුදාපතිවරයා, ආරක්ෂක අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, ත්රිවිධ හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, රාජ්ය නිලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් ද සහභාගී වූහ.
ඒ අනුව ගම්මාන ආශ්රීතව වෙසෙන ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව සඳහා හමුදා අනුඛණ්ඩ යෙදවීමට පියවර ගෙන ඇති බවත් මෙම නව වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් පුළුල් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳී සඳහන් කරයි.
ආරක්ෂක අංශ සතු මෙහෙයුම් හැකියාවන් සහ සම්පත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කාර්ය භාරය සමඟ ඒකාබද්ධ කරමින්, වන අලි ආරක්ෂාව සහ අලි – මිනිස් ගැටුම් අවම කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි ප්රධාන අරමුණ වේ.
ත්රිවිධ හමුදාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්ය විශේෂඥයන් සහ අනෙකුත් අදාළ ආයතන අතර මෙහෙයුම් සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව විධිමත් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට ද යෝජනා කර ඇත.
වන අලි ඝාතන සහ අනෙකුත් වනජීවී අපරාධ වැළැක්වීම, නිරීක්ෂණ කටයුතු සහ තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම මෙන්ම අලි – මිනිස් ගැටුම් බහුල ප්රදේශ වල ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සහාය ලබාදීම ද මෙම වැඩපිළිවෙළේ ප්රමුඛ අරමුණු අතර වේ.
වන අලි ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම සහ වනජීවී නිලධාරීන් සමඟ සමීප සහයෝගීතාවක් වර්ධනය කිරීම සඳහා ද යෝජිත වැඩපිළිවෙළ යටතේ අවධානය යොමු කෙරිණ.
මෑතකදී තිරප්පනේ කැලෑ ප්රදේශයේදී ‘ අග්බෝ’ ඇතා සාර්ථකව සොයා ගැනීම, ත්රිවිධ හමුදාව සහ වනජීවී බලධාරීන් අතර පැවති ඵලදායී සහයෝගීතාවයේ කැපී පෙනෙන නිදසුනක් ලෙස සැලකිය හැකිය.
මේ ඇතුන් 13 දෙනා මෙන්න..
1.කුමන, ආරුගම්බේ ප්රදේශයේ සැරිසරන මහානාම
2.බූන්දල, වීරවිල සැරිසරන කාශ්යප
3.දිගම්පත හා මින්නේරියේ වෙසෙන විජයබා
4.කලාවැව ප්රදේශයේ වෙසෙන සුරනිමල
5.මහකනදරාවේ අග්බෝ
6.උඩවලවේ සුමේධ
7.මැදවච්චිය, හලාවත ප්රදේශයේ සැරිසරන සූර්යයා
8.ලුණුගම්වෙහෙර සැරිසරන මහාසේන
9.මහවිලච්චියේ සැරිසරන දීඝාභය
10.යාන්ඔය, වාහල්කඩ, පදවිය යන පෙදෙස්වල සැරිසරන ගජබාහු
11.මුලතිව්හි වෙසෙන වන්නියා
12.මාදුරු ඔය ප්රදේශයේ සැරිසරන ඇතෙක්
මේ අතර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි සඳහන් කළේ,
“ඒ හඳුනාගත් ප්රදේශ 13හි හමුදා අනුඛණ්ඩ යොදා ගනිමින් ඒ වගේම ඒ ප්රදේශ 13හි වනජීවී නිලධාරීන්, වනජීවි කාර්යාල සම්බන්ධීකරණය කරමින් විශේෂ ඒකකයක් පිහිටුවන්න මෙන්න මේ ඒකකය මගින් ඇතුන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවෙමින්, තොරතුරු හුවමාරු කර ගනිමින් කිසියම් අනතුරක් හෝ කිසියම් මැදිහත්වීමක් අවශ්ය මොහොතකදී වහාම මැදිහත්වීම සඳහා අවශ්ය කරන යාන්ත්රණයක් අපි සකස් කළා. මේ යාන්ත්රණය අද දිනයේ සිට ක්රියාත්මක වෙනවා. මේ කෙටි කාලීන් වැඩපිළිවෙළ දිගු කාලීන වැඩපිළිවෙළක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා දෙවෙනි අදියර හැටියට.”
