Attention

ආපදාවෙන් පසු ලොකුම අභියෝගය පැමිණෙයි.!

ආපදාවෙන් පසු ලොකුම අභියෝගය පැමිණෙයි.!

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.

මේ වන විට ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා, සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවසීය. 

තීව්‍ර ලෙස ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවල සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව සඳහන් කළ ඒ මහතා, මේ කාලය තුළ සහන සේවා නිලධාරීන් ඉතා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බැවින් සිය සම්පූර්ණ සහාය ඔවුන්ට ලබා දෙන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

බලපත්‍ර අවශ්‍ය නෑ.. රියදුරන්ට සහන කාලයක් ලබා දෙයි.!

බලපත්‍ර අවශ්‍ය නෑ.. රියදුරන්ට සහන කාලයක් ලබා දෙයි.!

අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් වෙත නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණීමට බාධා එල්ලවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවය.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025.11.25 වන දින සිට 2025.12.25 වන දින දක්වා කාලය තුල කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා විශේෂ සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම කාල වකවානුව තුළ කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර ළඟ තබා ගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝණය කිරීමක් ලෙස නොසලකන ලෙසට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් පොලීිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව, ඉහත සඳහන් සහන කාලය තුළදී කල් ඉකුත් වන රියදුරු බලපත්‍රයක් ළඟ තබා ගනිමින් රිය පැදවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ක්‍රියා කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ආපදව වෙනුවෙන් ආණ්ඩුව නිසි පියවර ගත්තේ නෑ.. විරෝධය පාමින් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් නැගිට යයි.!

ආපදව වෙනුවෙන් ආණ්ඩුව නිසි පියවර ගත්තේ නෑ.. විරෝධය පාමින් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් නැගිට යයි.!

අද (01) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසූවේ මෙම ආපදා තත්වය සිදුවන බවට අදාල අංශ විසින් දැනුවත් කර තිබියදී ආන්ඩුව ඊට නිසි අවධානයක් ලබා නොදීම හේතුවෙන් විශාල ජීවිත ප්‍රමානයක් අහිමිවූ බවයි.

නිසි පියවර ගැනීමට රජය අපොහොසත් වූ බවත්, තමාට වැරදුණු බව රජය පිළිගත යුතු බවත් එහිදී මන්ත්‍රී කබීර් හෂීම් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ආන්ඩුව විසින් නිසි ක්‍රියාමාර්ග ගනු ලැබුවේනම් 75% වැඩි ජීවිත ප්‍රමානයක් බේරා ගැනීමට හැකිව තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු ආන්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පාමින් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යෑමටද පියවර ගත්තේය.

කෙසේවෙතත් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ පිරිස් වෙත විපක්ෂයේ ශෝකය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

හැමෝම ගැන හිතන්න.. බඩු රැස් කිරීම නවතන්න.!

හැමෝම ගැන හිතන්න.. බඩු රැස් කිරීම නවතන්න.!

ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාව විසින් භාණ්ඩ විශාල ලෙස එක් රැස් කරමින් සිටින අතර මෙම අවස්ථාවේ අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ අනවශ්‍ය තොග රැස් කිරීමෙන් වැළකී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙසය.

එමෙන්ම නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පමණක් නිකුත් කරන ලෙස ද සුපිරි වෙළෙඳසැල්වලින් සහ වෙළෙඳුන්ගෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කර ඇත.

පවතින මිල ගණන්වලට හා සාධාරණ මිල ගණන් යටතේ පමණක් භාණ්ඩ අලෙවි කරමින් මෙම අවස්ථාවේ දී රජයට සහ රටට සහාය පළ කරන ලෙස ද ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන් දැනුම් දී තිබේ.

එසේ නොමැති වෙළඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් සිදු කරන බවද එවැනි අපහසුතාවයන් පවතින්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සෘජුව අමතා තොරතුරු ලබා දෙන ලෙස ද මෙහිදී ජනතාවට දැනුම් දී ඇත.

භාණ්ඩ සාධාරණ ලෙස අලෙවි කරන්නේ ද බෙදා හරින්නේ ද යන්න පිළිබඳව සිය නිලධාරීන් විසින් නීරීක්ෂණය කරන බවත්, එසේ නොමැති වෙළෙදුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ආධාර එකතු කිරීම සඳහා නිවාසවලට පැමිණෙන වගකීම් රහිත පුද්ගලයින් ගැන අවදානය යොමු කරන ලෙසද පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ගුවන් හමුදාවේ මුදාගැනීම් මෙහෙයුම් වලට බාධා වන ලෙස ඩ්‍රෝන යවන්න එපා.!

ගුවන් හමුදාවේ මුදාගැනීම් මෙහෙයුම් වලට බාධා වන ලෙස ඩ්‍රෝන යවන්න එපා.!

සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කර ඇත්තේ, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම්  ක්‍රියාත්මක කිරීම  ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙන බවය.

ගුවන් අවකාශයේ අනවසර ඩ්‍රෝන යානා පැවතීම ගුවන් ගමන් මාර්ගවලට සහ මුදාගැනීමේ සහ සහන මෙහෙයුම්වලට බාධා කළ හැකි අතර ගුවන් යානා අනතුරු සිදුවීමට ඉඩ ඇති බව ද ගුවන් හමුදාව අවධාරණය කරයි.

එවැනි සිදුවීම් යානයේ සිටින ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත, ගුවන් යානා සහ භූමියේ සිටින පුද්ගලයින්ට බරපතළ තර්ජනයක් එල්ල කරන බව ද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ වන විට ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරන මානුෂීය ආධාර සහ ආපදා සහන ‍මෙහෙයුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

තවද සියලුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව පහත අංක අමතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සාමාන්‍ය දුරකථන: 0112343970 / 0112343971
ක්ෂණික දුරකථන: 115

ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළට.. 366ක් අතුරුදන්.!

ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළට.. 366ක් අතුරුදන්.!

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (01) උදෑසන 9ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත.

පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, , කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 46 දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 35 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.

නයාරු ප්‍රධාන පාලම විනාසයි.!

නයාරු ප්‍රධාන පාලම විනාසයි.!

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් දරුණු ජල ගැලීම් හමුවේ මුලතිව්, නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරන ආකාරයට නයාරු කලපුව හරහා ඉදි කර තිබූ මෙම පාලම, දැඩි ජල පහරට හසුවීමෙන් එහි බැමි කැඩී ගොස් ජල පහරට ගසාගෙන ගොස් ඇත.

මෙම පාලම බිඳ වැටීමත් සමඟ එම මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම මුලතිව් සිට වැලිඔය දක්වාත්, මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වාත් මෙන්ම කෝකිලායි ප්‍රදේශය දක්වාත් පවතින රථවාහන ගමනාගමනය ඇතුළු සියලුම ප්‍රවාහන සබඳතා මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

නයාරු ප්‍රදේශයේ ජල ප්‍රවාහය සාමාන්‍ය මට්ටමට වඩා ඉතා ඉහළ අගයක් ගෙන ඇති බැවින් පාලමට මෙම හානිය සිදුව ඇති අතර, මේ හේතුවෙන් ප්‍රදේශවාසීහු තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටිති. උතුරු පළාතේ ආපදා තත්ත්වය පිළිබඳ තොරතුරු ලැබීම සාමාන්‍යයෙන් සීමිත වුවද, මෙම සිදුවීමත් සමඟ එම ප්‍රදේශයේ පවතින අවදානම් සහගත තත්ත්වය සහ ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතාව මැනවින් පෙන්නුම් කරයි.
කැඩුණ පාලමේ ඡායාරූප එකතුව

නුවරැළියේ කොටුවී සිටි විදේශීය සංචාරකයින් ගුවනින් කොළඹට රැගෙන එයි.!

නුවරැළියේ කොටුවී සිටි විදේශීය සංචාරකයින් ගුවනින් කොළඹට රැගෙන එයි.!

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ අතරමංව සිටි විදේශීය සංචාරකයින් කණ්ඩායමක් ගලවා ගැනීමට ගුවන් හමුදාව සමත්වී තිබෙනවා.

සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ මෙලෙස බේරාගත් විදේශ සංචාරකයින් කණ්ඩායමට විවිධ රටවල් නියෝජනය කරන සංචාරකයින් 21 දෙනෙකු ඇතුළත් බවයි.

ඒ අනුව, එම පිරිස අතරට ඉන්දියානු සංචාරකයින් 11දෙනෙක්, දකුණු අප්‍රිකානු සංචාරකයින් 04දෙනෙක්, ජර්මානු ජාතික සංචාරකයින් 02ක්, බ්‍රිතාන්‍ය සංචාරකයින් 02ක් සහ ස්ලෝවේනියානු සංචාරකයින් 02ක් ඇතුළත්.

මෙම සංචාරකයින් කණ්ඩායම ඊයේ (30) පස්වරුව වන විට හෙලිකොප්ටර් මගින් කොළඹ වරාය නගරය (Port City Colombo) වෙත ආරක්ෂිතව රැගෙනවිත් තිබෙනවා.

එළවළු මිල අහස උසට.. කැරට් කිලෝවක් රුපියල් 3500/=ට විකිණෙයි.!

එළවළු මිල අහස උසට.. කැරට් කිලෝවක් රුපියල් 3500/=ට විකිණෙයි.!

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වන එළවළු තොග මිල ගණන් ශීඝ්‍ර වශයෙන් ඉහළ ගොස් තිබේ. 

කැරට් කිලෝ එකක තොග මිළ රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා ඉහළ ගොස් ඇති අතර සිල්ලර මිල රිපියල් 2000 – 3500 අතරට පැමිණ තිබේ.

බෝංචි, ලීක්ස් වැනි එළවළු ද රුපියල් 500ත් 800ත් අතර ඉහළ මිලකට තොග වශයෙන් අලෙවි වන බව වාර්තා වේ.

රුපියල් 30කට පමණ අලෙවි වූ වට්ටක්කා කිලෝ එකක මිල ද රුපියල් 100ත් 130 අතර මිලකට දඹුල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි වී ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සඳහන් කළේ වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් එළවළු කොටු විශාල වශයෙන් විනාශ වීම මෙසේ මිල ගණන් ඉහළ යාමට බලපා ඇති බවයි.

යක්කල ප්‍රධාන මාර්ගය ගිලා බැසීමෙන් නුවර පාර වැසෙයි.!

යක්කල ප්‍රධාන මාර්ගය ගිලා බැසීමෙන් නුවර පාර වැසෙයි.!

අත්තනගලු ඔයේ අතු ඇළක් වන යක්කල ආයුර්වේදය අසලින් ගලා බසින ඇළ හරහා ඉදිකර ඇති පාලම ආසන්නයෙන් මාර්ගය ගිලා

බැසීමට ලක් වීම නිසා කොළඹ මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමූ බව විරඟුල පොලිසිය කියයි.

එම මාර්ගයේ ගමන් කරන්නන් විකල්ප මාර්ග භාවිත කරන්නැයිද පොලිසිය කියයි.

මෙම මාර්ගය සහ පාලම මීට මාස කීපයකට ඉහත දී නවීකරණ කළ එකක් බව ද දැනගන්නට ඇත.

පවතින අධික වරෂාවත් සමග විකල්ප මාර්ග භාවිත කිරිමට අපහසුවී ඇත ඇතැම් ස්ථානවලින් මාර්ග තවමත් යටවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම මාර්ගය අසල අත්තනගලු ඔය අතු අළ වසර ගණනාවක් තිස්සේ පිළිසකර නොකිරීම නිසා සාමාන්‍ය වැස්සකදී පවතා එහි ජලය පීරි ඉතිරීයයි. ජල බැස්ස නිසියාකාරව සිදු නොවන බව අසල පදිංචිකරුවකු පැවැසීය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වී කඩිනමින් මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අප වාර්තාකරුවෝ පැවැසීය.