Attention

සියයක පිරිසක් සමග මහින්ද එන්න සූදානම්

සියයක පිරිසක් සමග මහින්ද එන්න සූදානම්

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එළැඹෙන (12) වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ලිපියක් මගින් දැනුම් දී තිබුණේය.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිදුකර තිබූ කැඳවීම පිළිගන්නා අතර අදාළ දිනයේදී ඒ සඳහා පෙනී සිටීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

එම ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළැඹෙන (12) වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

මේ අතර එළඹෙන (12) වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණෙන විට, එම ස්ථානයට සියයක පමණ පිරිසක් රැගෙන පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අටමස්ථානාධිපති අත්අඩංගුවට ගන්න නියෝග

අටමස්ථානාධිපති අත්අඩංගුවට ගන්න නියෝග

දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව සැකකරුවන් ලෙස නම් කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර ඇත.

අද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීම් සහ ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

තවද විදෙස් ගමන් තහනමක් පැනවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය අප්‍රේල් (27) වනදා නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් මෙම දැරිය, ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය අවස්ථා ගණනාවකදී දූෂණයට ලක්ව ඇති බව තහවුරු විය.

අනතුරුව දැරිය හෙළි කර ඇත්තේ, තමන්ව මුලින්ම දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවත් අනතුරුව සිය පෙම්වතා සහ ඥාති මස්සිනා අතින් දූෂණයට ලක්වූ බවයි.

සිදුකළ විමර්ශන වලදී විහාරාධිපති හිමියන් තමන්ව මුලින්ම දූෂණය කළ අවස්ථාවේ රුධිරය තැවරුණු ඇඳුම් දැරියගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඇඳුම් සහ අනෙකුත් නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය මීට පෙර නියෝග කළේය.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි දියණිය එම හිමියන් වෙත ලබාදී ඇති බවයි.

අගමැතිනිය සහ වියට්නාම ජනාධිපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

අගමැතිනිය සහ වියට්නාම ජනාධිපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද (08) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

මෙහිදී වියට්නාම ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීම පිළිබඳව කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 56 වසරක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මගින් දෙරට අතර ශක්තිමත් හවුල්කාරිත්වය, විශ්වාසය සහ මිත්‍රත්වය පිළිබිඹු කෙරෙන බවත් ඉදිරියේදි දෙරට අතර සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇති බවටත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඇතුළු බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සහ විවිධාංගීකරණය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

යෝෂිතගේ නඩුවේ නියෝගයට දින නියම වෙයි

යෝෂිතගේ නඩුවේ නියෝගයට දින නියම වෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ අද (08) කැඳවනු ලැබුවෙිය.

එහිදී යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය, එළැඹෙන (14) වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (08) දැනුම් දුන්නේය.

මෙම නඩුවේ දෙවන විත්තිකාර ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩුවෙන් මුදාහරිනු ලැබුවේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

බරපතළ සැකයක් ඉතිරි කළ කපිලගේ මරණය.. පොලීසිය කරුණු වාර්තා කරයි

බරපතළ සැකයක් ඉතිරි කළ කපිලගේ මරණය.. පොලීසිය කරුණු වාර්තා කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී  කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

අද (08) උදෑසන කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර පොලීසිය විසින් සොයාගත් අතර නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ උපදෙස්මත ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා – වියට්නාම අතර අවබෝධතා ගිවිසුම් මෙන්න

ශ්‍රී ලංකා – වියට්නාම අතර අවබෝධතා ගිවිසුම් මෙන්න

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම් ජනාධිපති ටෝ ලාම් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් රැසකට එළැඹුණි.

එහිදී හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම් පහතින්..

*මෙරට පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

*මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

*මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම,

*මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම,

*මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

මහින්දගේ නම හෙළිකල කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය

මහින්දගේ නම හෙළිකල කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හදිසියේම මියගොස් සිටියදී ඔහුගේ දේහය අද (08) දින ඔහුගේ කොල්ලුපිටිය පිහිටි නිවසේදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

එයාර් බස් ගනුදෙනුවකට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන, ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ යළිත් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) වරෙන්තු නිකුත් කළේය.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා 14ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූවා යැයි කියන විශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳට එරෙහිව අල්ලස් කොමිසම මගින් නඩු පවරා තිබුණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන එයාර් බස් ගණුදෙනුවෙන් ලද අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක මුදලක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබාදුන් බව පසුගියදා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එළඹෙන (12) වැනිදා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.

මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට පැමිණීමට තවත් දින කිහිපයක් තිබියදී කපිල චන්ද්‍රසේන හදිසියේම මරණයට පත්වෙයි.

ඇත්තටම මෙම මරණය, සියදිවි හානිකර ගැනීමක්ද.? ඝාතනයක්ද.? සියදිවි හානිකර ගැනීමට කවුරු හෝ පෙළඹුවාද.? යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකළ යුතුයි.

මෙය ඇත්ත අපරාධකරුවන් හංගන්න සිදුකළ තවත් සාක්ෂි විනාශ කිරීමක්ද.?

එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ කපිල චන්ද්‍රසේන ඝාතනය කරලා.?

එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ කපිල චන්ද්‍රසේන ඝාතනය කරලා.?

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මියගොස් සිටියදී සිරුර සොයාගෙන ඇත.

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (07) දින අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණි.

කපිල චන්ද්‍රසේනගේ මරණය සියදිවි හානි කරගැනීමක්ද.? නැතිනම් ඝාතනය කිරීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර ඔහුගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

නැවතත් ඉහළ ගිය බොරතෙල් මිල

නැවතත් ඉහළ ගිය බොරතෙල් මිල

අද (08) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.59%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 101.65ක් ලෙස සටහන්ව ඇත.

WTI බොරතෙල් බැරලයක් 1.95%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.66ක් ලෙස සටහන්ව ඇත.

මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.66ක් ලෙස සටහන්ව ඇත.

PayPal ශ්‍රී ලංකාවට

PayPal ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සහ විදේශ විනිමය ගලා ඒමේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.

වසර ගණනාවක් පුරා මෙරට ව්‍යාපාරික ප්‍රජාව තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සහ නිදහස් සේවකයින් විසින් සිදුකළ ඉල්ලීම් සහ ඔවුන්ගේ බලවත් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් රජය මෙම සේවාව ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව එළඹෙන මැයි මස (15) වනදා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමට පැවති නීතිමය සහ තාක්ෂණික බාධා ඉවත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මෙරට පෞද්ගලික බැංකු පද්ධතිය එක්ව පසුගිය කාලය පුරා සිදුකළ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම අවස්ථාව උදා වී ඇත.

මින් ඉදිරියට විදේශීය සේවාදායකයින්ගෙන් ලැබිය යුතු ගෙවීම් ලබා ගැනීම සඳහා ව්‍යාජ විදේශීය ලිපින භාවිත කිරීමට හෝ අවධිමත් මුදල් හුවමාරු ක්‍රම මත යැපීමට මෙරට ව්‍යවසායකයින්ට අවශ්‍ය නොවන බව සඳහන් කරයි.