Attention

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත්, මේ වනවිට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවතත් අදාළ පාර්ශවයන් වෙත නිදහස් කර ලබාදීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් අද (20) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වන අතර ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පිරිසගේ කාර්යභාරය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ මත පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් මොනවා ද යන්නත්, නිදහස් කළ නොහැකි ඉඩම් මොනවාද යන්නත් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන ලෙසද උපදෙස් දුන්නේය.

අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පැත්තෙන් සිතා බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය බැහැර කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ ලබාදෙන ඉඩම් කොටස්වලට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සලසා දීමට කටයුතු කිරිමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය.

ඒ සඳහා ඉහළ ඵලදායීතාවක් ලබාගත හැකි නවීන කෘෂි තාක්ෂණය සහිත ව්‍යාපෘති හඳුන්වා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.

දැඩි උණුසුම නිසා ජීවිතය අනතුරේ.. මරණය.?

දැඩි උණුසුම නිසා ජීවිතය අනතුරේ.. මරණය.?

උණුසුම් කාලගුණය හමුවේ හිරු රශ්මියට නිරාවරණය වීම තුළින් බොහෝ රෝග වැලඳිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

සමේ ඇතිවන කුෂ්ඨ සහිත තත්ත්වයන්, මස්පිඩු පෙරළීම මෙන්ම අධික උෂ්ණත්වයට නිරාවරණය වීම තුළින් ජීවිත පවා අහිමි වීමේ හැකියාව පවතින බවද විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

එළිමහන් ස්ථානවල කාර්යයන් සිදුකරනු ලබන පුද්ගලයින්ද, කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසට ද මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

එම තත්ත්වයට මුහුණදීමේ වැඩිම අවදානමක් ඇති කාණ්ඩ ලෙස කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් මෙන්ම බෝ නොවන රෝග, නිදන්ගත රෝග පවතින පුද්ගලයින් හඳුනාගත හැකි බවද විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

එනිසා ජලය පානය කිරීම, ලා පැහැති ඇඳුම් ඇදීම, හිස ආවරණය කිරීම සහ විශේෂයෙන්ම නිදන් ගත රෝග ඇති පුද්ගලයින් ඖෂධ නිසි මාත්‍රාවට භාවිත කිරීම ඉතා වැදගත් සාධකයක් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

පාසල් ළමුන් සුරක්ෂිත කර ගැනීම සඳහා දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සිදුකර ඇති බවත් දරුවන්ට පාසල් අවසන්වන වේලාවට හිස් ආවරණයක්, කුඩයක් භාවිත කළ යුතු බවත් අනවශ්‍ය ලෙස එළිමහනේ සෙල්ලම් කිරීම අවම කිරීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළේ,

“සම වියළීමක් වෙන්න පුළුවන් මේකට වතුර පුළුවන් තරම් බොන්න ඕනි. වතුර බීම තුළින් ඒ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. ප්‍රමිතිගත ආලේපන වර්ග භාවිතා කරන්න පුළුවන්. එතුළින් මේ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. උණු කරපු සිසිල් පැන් භාවිතා කරන්න. සිසිල් කියන්නේ ශීත කරපු වතුර කියන එකම නෙවෙයි.”

අද (19) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.

ගීත සාහිත්‍යයට, බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වෙති

ගීත සාහිත්‍යයට, බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වෙති

මෙරට ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී ඇත.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අද පස්වරුවේ මෙලෙස අපවත් වී ඇති අතර උන්වහන්සේ අපවත්වන විට 76 වන වියෙහි පසු වූහ.

1963 වසරේ ජූලි (22) වැලිව ගංගාතිලක විහාරස්ථානයේදී “රඹුකන සිද්ධාර්ථ” නමින් පැවිදි බිමට අවතීර්ණ වූ උන්වහන්සේ, 1972 වසරේදී මහනුවර මල්වතු මහාවිහාර උපෝසථාගාරයේදී උපසම්පදා ලැබ ඇති බව සඳහන් වේ.

මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ, ගාල්ල හෙට්ඨාචල පිරිවෙනෙන් සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙන් ද්විතීක අධ්‍යාපනය ලබා, අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් හදාරා ඇත.

මෙරට බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිත ගීත මෙන්ම විවිධ මාතෘකා යටතේ මෙරට සංගීත ලෝලීන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගීත රැසක් උන්වහන්සේ විසින් රචනා කර ඇත.

ලා දළු බෝපත්/ මේ ඉර හඳ යට, සඳ තරු මල්/ බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති/ සෙනෙහස පුදා/ බුදු බණ ඇසුවා/ මේ ප්‍රේම කතා/ අව්වට වැස්සට හුරු මිනිසුන්නේ/ වෙහෙරක් වගේ/ පන්සලේ පල්ලියේ/ සියක් ආයු ලැබ වැනි ගීත ඒ අතර වේ.

‘සඳකඩපහණ’ චිත්‍රපටය වෙනුවෙන් ලියූ ‘පෙර සංසාරේ’ ගීතය සඳහා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූවේය.

වසර 75කට පසු ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක්

වසර 75කට පසු ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක්

වසර 75කට පසුව ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයකට මෙවර මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසර අගවනවිට එල්-නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල තත්ත්වයක් වීමේ සම්භාවිතාව 90%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගෝලීය පුරෝකථන අනුව මෙම එල්-නිනෝ තත්ත්වය ශක්තිමත්ව වර්ධනය වන බවත් එය මේ වසර අවසන් වනතුරුම පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කළේ,

“මේ එල් – නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෛන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ.

මේ වසරේ ඇතිවන එල්-නිනෝ තත්ත්වය පහුගිය වසර 75ක, 1950 ඉදලා මේ දක්වා වගේ ඇතිවුණු එල්-නිනෝ සංසිද්ධීන් එක්ක සංසන්ධනය කරන කොට මෙම එල්-නිනෝ තත්ත්වය ඒ සියලුම එල්-නිනෝ තත්ත්වයන්ට වඩා ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමට තියෙන සම්භාවිතාව 70%කට ආසන්නව මේවන විට පුරෝතකනය වෙනවා” 

ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්

ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිතුක් කර ඇත.

ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව සඳහන් කරයි.

මඩකලපුව සිට කන්කසන්තුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන් කරයි.

එනිසා මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසද දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගංවතුර තත්ත්වයක්.. අනතුරු අඟවයි

ගංවතුර තත්ත්වයක්.. අනතුරු අඟවයි

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වනවිට තද වැසි ඇදහැලෙමින් පවතියි. 

ඒ අනුව ඉදිරි පැය 24 කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් පිළිබඳ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.

ඉදිරියේදී ගඟෙහි ජලමට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුම්දීමක් කරයි.

අද දිස්ත්‍රික්ක කිහිපයකට රතු එළියක්

අද දිස්ත්‍රික්ක කිහිපයකට රතු එළියක්

අද (30) දින දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව උතුරු, උතුරු – මැද, වයඹ සහ මධ්‍යම පළාත් සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු – මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන් කරයි.

එනිසා මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

රටම බලාසිටින තීරණය අදයි

රටම බලාසිටින තීරණය අදයි

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 2කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද (27) දින තීරණයක් ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 2කින් දීර්ඝ කිරීමේ යෝජනාව අද (27) දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වර්තමාන විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස නියම කර ඇති අතර නව යෝජනාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විශ්‍රාම වයස අවුරුදු 67ක් දක්වා දීර්ඝ කරයි.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වර්තමාන විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙස නියම කර ඇති අතර නව යෝජනාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කරයි.

තවද මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සීමාවන් සම්බන්ධයෙන් ද සමාන්තර යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දුනිත්ට – භානුකට – අවිශ්කට තරග පාවා දෙන්න ඩොලර් මලු

දුනිත්ට – භානුකට – අවිශ්කට තරග පාවා දෙන්න ඩොලර් මලු

තරග පවාදීමේ චෝදනා මත, වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ජැග්නා කින්ග් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මජෝත් කද්රා ඇතුළු සැකකරුවන් ලබන (31) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

එහිදී වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

“ස්වාමීනි.. LPL ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩකයන්ට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනෙකුට මෙම සැකකරු තරග පාවාදීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. පසුව අවන්හලකදී ක්‍රීඩකයන් හමුවී තරග හතරක් පාවාදීම සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබාදෙන බව සැකකරු විසින් යෝජනා කර තිබෙනවා.

මේ පිළිබඳව අදාළ ක්‍රීඩකයන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශයට දැනුම් දීමක් සිදුකළා. ඒ අනුව විමර්ශන නිලධාරීන් ලබාදුන් උපදෙසකට අනුව මෙම ක්‍රීඩකයන් එක් තරගයක් සඳහා අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් ඉල්ලා තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සියලු දුරකතන සංවාද පටිගත කර තිබෙනවා. වීඩියෝ දර්ශනත් තිබෙනවා. ඒවා අපි අද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරනවා. රුපියල් ලක්ෂ 120ක ගනුදෙනුවක් පසුව රුපියල් ලක්ෂ 80ට අඩු කරලා ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 115කට එකඟ වෙලා තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 95ක මුදලක් දෙවන සැකකරු විසින් 16 දින කොළඹ ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කළා. කළු පැහැති බෑග් එකක තමයි එම මුදල් රැගෙන ආවේ. එම බෑගයත් අධිකරණයට ඉදිරිපත් කරනවා.”

Follow WhatsApp Channel