Attention

ප්‍රවාහනයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

ප්‍රවාහනයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

රජය විසින් ක්‍රියාත්මක කර ඇති “මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහන” යතාර්ථයක් බවට පත්කිරීම සඳහා මේ වනවිට නෛතික සහ ප්‍රායෝගික පියවරයන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ මගින් ප්‍රවාහනයේ ආරක්ෂාව ඉහළ ප්‍රතිශතයකින් තහවුරු කිරීමට අපේක්ෂා කෙරෙන අතර උපාය මාර්ගික තිරසර වැඩපිළිවෙලක් යටතේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම මෙහි අරමුණයි.

මෙම වැඩපිළිවෙල කෙටි, මධ්‍ය හා දිගුකාලීන ජාතික වැඩසටහනක් ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරේ.

ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික වැඩපිළිවෙල සඳහා මෙරට රක්ෂණ සමාගම්වල දායකත්වය ලබාගැනීමේ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ප්‍රවාහනයේ ආරක්ෂාව සඳහා මෙරට පිළිගත් රක්ෂණ සමාගම්හි දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ප්‍රමිතිගත, ආරක්ෂිත රථවාහන භාවිතයත්, සුරක්ෂිත රිය ධාවනයත් ඇතුළු ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කරමින් කටයුතු කරන රියදුරන්ට දිරි ගැන්වීම් ක්‍රමයක් රක්ෂණ සමාගම් මගින් ක්‍රියාත්මක කිරීමටත්, වාහනවල ධාවනයට සුදුසු තත්ත්වය මත පදනම්ව නව රක්ෂණාවරණ ක්‍රම හඳුන්වාදීමටත්, අධිවේගී මාර්ග සඳහා විශේෂ රක්ෂණ ක්‍රමවේදයක් ඇතිකිරීම පිළිබදවත්, පාපැදිකරුවන්, පදිකයින් සදහා විකල්ප වන්දි යෝජනා ක්‍රම හදුන්වාදීම පිළිබදවත් මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

එමෙන්ම ඩිජිටල් රක්ෂණ කාඩ්පත ප්‍රවර්ධනයත් දැනට කිසිදු රක්ෂණාවරණයකට ලක්නොවන දුම්රිය මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා නිශ්චිත රක්ෂණ ක්‍රමවේදයක් ඇතිකිරීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කිරීමත් ඇතුළුව සියලු අංශවල ප්‍රවාහන ක්ෂේත්‍රයන් සඳහා රක්ෂණ සමාගම්වල දායකත්වය ලබාගැනීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණ.

රථවාහන අනතුරු මගින් වසරකට සිදුවන 2,750කට අධික ජීවිත හානි අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රවාහනයේ ආරක්ෂිත ප්‍රතිසංස්කරණ සඳහා මගීන් සහ රියදුරන් වඩාත් සමීපව දායක කරගැනීමට රක්ෂණ සමාගම්වල නව යෝජනා ඉදිරියේදී ලබාගැනීමට නියමිතය.

අගමැති හරිනි සහ මාලදිවයින් ජනපති අතර හමුවක්

අගමැති හරිනි සහ මාලදිවයින් ජනපති අතර හමුවක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ හමුවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා – මාලදිවයින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව අවධානය යොමු කළ අතර උසස් අධ්‍යාපනය සහ ධාරිතා වර්ධනය ඇතුළු අධ්‍යාපනයේ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය.

තවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පවත්වා ඇත. 

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු පැළයක් රෝපණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළේය.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර කුඩා දරු දැරියන් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ.

මාලදිවයින් ජනපති දිවයිනට

මාලදිවයින් ජනපති දිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා, ලබන (06) වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මාලෙ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ‘UL 116’ දරන ගුවන් යානයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුට අමතරව ජනාධිපති ආර්යාව සමගින් උසස් නිලධාරීන් 20 දෙනෙකු මෙලෙස කටුනායක වෙත පැමිණ ඇත.

පසුගිය 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.

තවත් පොඩි ගාණකින් ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි

තවත් පොඩි ගාණකින් ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බැවින් ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටරයක් 382ක් වෙනවා. ආණ්ඩුව විකුණන හැම තෙල් ලීටරයකම රුපියල් 100ක සහනාධාරයක් දෙනවා තෙල් සංස්ථාවටයි, අනිත් සමාගම් වලටයි. අදත් ඔබලා ෂෙඩ් එකෙන් ගන්න ඩීසල් ලීටරයක් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට. රුපියල් 100ක් දෙනවා ආණ්ඩුවෙන්. ජනතාව බලාගන්න ආණ්ඩුවක්.

තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා මෙරට ජනතාවට අවශ්‍ය වන ඉන්ධන සහනාධාරය ලබා දෙන්න. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු එහෙමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. තවත් කුඩා ප්‍රමාණයන්වල ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි. උපරිම ලෙස සහනාධාර දෙන්න කටයුතු කරනවා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තියෙනවා.

ගල්අඟුරු මිල ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ජලාශවල ජලය යම් ප්‍රමාණයක අඩුවෙලා තියෙනවා. ඒ නිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කිරීමට සිදුවෙලා තියෙනවා. අපි තීරණයක් අරන් තිබෙනවා, විදුලි පාරිභෝගිකයන්ගේ සියයට 96කට කිසිදු මිල වැඩිවීමකින් තොරව සහානාධාරයක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණය කරලා තියෙනවා.” 

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

අද (29) දින පස්වරුවේ හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ බටල්ගල වත්ත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.

අනතුරට ලක්වූ බස් රථය, තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් එක් අයෙක් මියගොස් ඇති අතර තුවාල ලැබූ 20 දෙනෙකු පමණ දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව වාර්තා වේ.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ පාසල් සිසුන් ඇතුළු 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වේ.

විදුලි දුම්රිය ආරම්භ කිරීමට සූදානම්

විදුලි දුම්රිය ආරම්භ කිරීමට සූදානම්

කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (29) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා පළමු අදියර වශයෙන් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සැලසුම්, මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි අභියෝග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමටද තීරණය කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා සහ මුදල් අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන සහ මහමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව තුළ ජීවමානව පවතින මෛත්‍රියේ සහ දයාවේ ප්‍රබලත්වය අපි අත්දැක්කා

ශ්‍රී ලංකාව තුළ ජීවමානව පවතින මෛත්‍රියේ සහ දයාවේ ප්‍රබලත්වය අපි අත්දැක්කා

නමෝ බුද්ධාය, නමෝ ධම්මාය, නමෝ සංඝාය.

ගෞරවනීය මහා සංඝරත්නයෙන් සහ බෞද්ධ විහාරස්ථ සභාවලින් අවසරයි,
ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිතුමනි,
ගරු අග්‍රාමාත්‍යතුමියනි,
ගෞරවනීය රාජ්‍ය නිලධාරීනි
සියලුම ආගමික නායකයිනි,
ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විසිරී සිටින ආදරණීය සහෝදර සහෝදරියනි,
ආයුබෝවන්!
කෘතඥතාවයෙන් පිරි හදින් යුතුව මම ඔබ සැමට ගෞරවපූර්වකව ආචාර කරමි.

අද දින අප සැම එක්ව සිටින්නේ සාමය උදෙසා ශ්‍රී ලංකාවේ පැවැත් වූ මෙම පාගමන සාර්ථකව නිමා කරන අවස්ථාවේ. මෙය හුදෙක් ඔබේ දේශය හරහා ‌භෞතිකව ගිය ගමනක් පමණක් නොවේ. එය එක් හදවතක සිට තවත් හදවතකට බැඳුණු සම්බන්ධතාවක්. පියවරෙන් පියවර, නගරයෙන් නගරය පසු කරද්දී, ශ්‍රී ලංකාව තුළ ජීවමානව පවතින මෛත්‍රියේ සහ දයාවේ ප්‍රබලත්වය අපි අත්දැක්කා.

අපි වර්ෂාව මැද ඇවිද ගියා, දැඩි හිරු රශ්මිය මැද ඇවිද ගියා, ශරීරයට මෙන්ම මනසටද අභියෝගයක් වූ රළු තාර පාරවල් මත පාවහන් රහිතව ඇවිද ගියා. එහෙත්, සෑම දුෂ්කරතාවකදීම මේ සුන්දර රටේ ජනතාව අප නොසලකා හැරියේ නැහැ. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ දයාවෙන්. අපගේ මාවත සුවපහසු කිරීමටත්, වේදනාව සමනය කිරීමටත් පාරවල් පුරා ජලය ඉස, කෙසෙල් කොළ සහ මල් ඇතිරිලි අතුරා තිබුණා.

ඔබ පෙන්වූ ගෞරවය, මුවඟ රැඳි සිනහව සහ විවෘතව ලබාදුන් රැකවරණය සැබෑ ශක්තිය කුමක්දැයි පෙන්වා දුන්නා. සාමකාමී ජාතියක් යනු මෙවැන්නක්. මේ වෙනුවෙන් මගේත්, සාම පා ගමන් කණ්ඩායමේත්, මෙම ගමන අත්වින්ද සැමගේත් හෘදයාංගම ස්තූතිය පුද කරනවා.

අද දින මම ඉතා වැදගත් කරුණක් සිහිපත් කිරීමට කැමතියි. අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට සාමකාමීව ජීවත්වන ආකාරය පමණක් නොව, ජාතියක් ලෙස සාමය ස්ථාපිත කර පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මඟ පෙන්වා තිබෙනවා.

සමාජයක සහජීවනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ගුණාංග හතක් තිබෙනවා. ඒවා අතීතයේ දේශනා කළද අදටත් ඉතාමත් වලංගුයි.

පළමුවෙන්ම, සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නිවැරදි සහ වැදගත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතියක් නිරන්තරයෙන් සාමූහිකව රැස්විය යුතුයි. ප්‍රඥාවෙන් සහ අවබෝධයෙන් යුතුව සන්නිවේදනය කිරීම නැවැත්වූ විට බෙදීම් ආරම්භ වෙනවා.

දෙවනුව, එසේ රැස්වන විට සමගි සම්පන්නව රැස්විය යුතුයි. සමගියෙන් කටයුතු කළ යුතුයි. සමගියෙන් විසිර යා යුතුයි. රැස්වීම පමණක් ප්‍රමාණවත් නොවේ, අප එකිනෙකාට සලකන ආකාරයද වැදගත්.

තෙවනුව, සාමකාමී ජාතියක් යුක්තියට සහ සදාචාර මූලධර්මයට ගරු කළ යුතුයි. ආවේගශීලී හෝ කිසිදු ජීවියෙකුට හානිකරන ක්‍රියා මගින් අක්‍රමිකතා ඇති නොකළ යුතුයි.

සිව්වනුව, ජීවන අත්දැකීම් සහ ප්‍රඥාව ඇති වැඩිහිටියන්ට ගරු කළ යුතුයි. වැඩිහිටියන් නොසලකා හරින සමාජයක වටිනාකම් ගිලිහෙනවා.

පස්වනුව, කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කළ යුතුයි. ආරක්ෂාව සහ ගෞරවය ඇති තැන ස්ථාවරභාවය සහ වර්ධනය පවතිනවා.

හයවනුව, ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් සුරැකිය යුතුයි. පූජනීය ස්ථාන, සම්ප්‍රදායන් සහ ඉගැන්වීම් ජාතියක අනන්‍යතාවේ නැංගුරම් ලෙස සැලකිය හැකියි.

සත්වනුව, සාරධාර්මික ජීවිතයක් ගත කරන අයට ජාතියක් ගරු කළ යුතුයි. මන්ද, ගුණවත් පුරවැසියන් යනු සමාජයක නිදහස, ස්ථාවරත්වය සහ සදාචාරය පවත්වා ගැනීමේ පදනමයි.

මෙම ගුණාංග සුරකින්නේ නම්, සාමය යනු අප හඹා යා යුතු දෙයක් නොවේ. එය අප ස්වභාවිකවම අත්විඳින දෙයක් බවට පත් වෙනවා.

එහෙත් අද මට මෙය තවත් පියවරක් ඉදිරියට ගෙන යාමට අවශ්‍යයි. අප සෑම කෙනෙකුටම තමන්ගේ අභ්‍යන්තරිකව ලෝකයක් පවතිනවා. මේ කය සහ මනස තුළ සීමා මායිම් තිබෙනවා, ගැටුම් තිබෙනවා, සාමයද තිබෙනවා. අපට අපගේ අභ්‍යන්තර ලෝකය ප්‍රඥාවෙන් පාලනය කළ නොහැකි නම්, බාහිර ලෝකය සාමකාමී වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නේ කෙසේද?

එබැවින් ඔබෙන්ම අසන්න. මම මගේ සිතුවිලි දෙස සතිමත්භාවයෙන් බලනවාද? මම යහපත් දේට ගරු කර අයහපත් දේ මගහරිනවාද? මම මගේ අභ්‍යන්තරයේ සහ වටපිටාවෙහි පවතින ප්‍රඥාවට සවන් දෙනවාද? මම කරුණාව සහ ඉවසීම පුරුදු කරනවාද? සෑම පුද්ගලයෙකුම තමා තුළ සාමය ඇති කර ගන්නේ නම්, පවුල් සාමකාමී වෙනවා, සමාජය සාමකාමී වෙනවා, ජාතීන් සාමකාමී වෙනවා, එවිට මුළු ලෝකයම සාමකාමී වෙනවා. සාමය ගොඩනැගෙන්නේ බාහිරින් ඇතුළට නොවේ, අභ්‍යන්තරයෙන් බාහිරටයි.

මෙම ගමනේදී අපි තනි වූයේ නැහැ. ඉතා සුවිශේෂී ජීවියෙකු අප සමඟ ඇවිද ගියා, ඒ “ආලෝකා”. ආලෝකාට අපේ භාෂාව කතා කිරීමට හඬක් නැහැ. එහෙත් ඔහු අප සැමට ඉතා ගැඹුරු යමක් සන්නිවේදනය කළා. මෛත්‍රිය කරුණාව සීමා නොවිය යුතු බව ඔහුගේ පැවැත්මෙන් අපට මතක් කර දුන්නා. එය සියලු සත්වයන් වෙත ව්‍යාප්ත විය යුතුයි. සමාජයක් සතුන්ට සලකන ආකාරය එම සමාජයේ මනුෂ්‍යත්වයේ ගැඹුර පිළිබිඹු කරයි. ශ්‍රී ලංකාවේදී අප දුටු දේ සැබවින්ම දිරිගන්වන සුළුයි. මඟ දෙපසදී ආලෝකට සහ අනෙකුත් සතුන්ට පෙන්වූ ආදරය, රැකවරණය සහ කරුණාව අපගේ හදවතට බෙහෙවින් දැනුණා.

මෙය මෙම පා ගමනින් පමණක් අවසන් වීමට ඉඩ නොදෙන්න. එයට වර්ධනය වීමට ඉඩ දෙන්න. සතුන් යනු භාණ්ඩ නොවන බවත්, ඔවුන් බිය, විශ්වාසය සහ හැඟීම් ඇති ජීවීන් බවත් යන අවබෝධය තවදුරටත් ශක්තිමත් කරගනිමු. ඔවුන් අපේ කරුණාව බලාපොරොත්තු වෙනවා. කුඩා හෝ වේවා විශාල හෝ වේවා සියලු සතුන් ඇතුළත් නොවන තාක් අපගේ මෛත්‍රිය සම්පූර්ණ වන්නේ නැහැ.

අද දින ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය වෙත මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමටද මම කැමතියි. ඔබ වහන්සේලාගේ ආශිර්වාදය, මගපෙන්වීම සහ වැඩසිටීම මෙම ගමනට විශාල ශක්තියක් වුණා. එමෙන්ම ගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි සහ රජයේ සියලුම නිලධාරීනි, ශ්‍රී ලංකාව තුළ මෙම අවස්ථාව සහ සාමය උදෙසා වූ පා ගමන සාර්ථක කර ගැනීමට ඔබ ලබා දුන් සුවිශේෂී සහයෝගයට ස්තුතිවන්ත වෙනවා.

එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි “ධම්මචේතිය” ව්‍යාපෘතිය සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි අංකුරයක් තෑගි කිරීම පිළිබඳව අපගේ ගෞරවනීය කෘතඥතාව පළ කරනවා.

මෙය හුදෙක් තෑග්ගක් පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ලෝකය යා කරන ජීවමාන ධර්ම පාලමක්. එසේම ඇමරිකාවේ “හං දාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ” පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට අවසර දීම පිළිබඳවද අපි කෘතඥ වෙනවා. මෙය දහස් ගණනකගේ සිත් සතන් පහන් කරන උතුම් පින්කමක්.

මෙම ත්‍යාගශීලීභාවය සහ විශ්වාසය වෙනුවෙන් මහා සංඝරත්නයටත්, ගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමියටත්, සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත් අපගේ ගැඹුරු කෘතඥතාව පළ කර සිටිනවා. එමෙන්ම නාවික හමුදාවට, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ ආරක්ෂක අංශවලටත්, කැපවීමෙන් කටයුතු කළ පශු වෛද්‍ය කණ්ඩායමට, වෛද්‍ය කණ්ඩායමට සහ මාධ්‍ය කණ්ඩායමටත් අපගේ ස්තූතිය හිමියි.

අපව සාදරයෙන් පිළිගත් සෑම ආගමික නායකයෙකුටම සහ සත්කාර කළ අයටත්, සෑම පරිත්‍යාගශීලියෙකුටම, ස්වේච්ඡා සේවකයෙකුටම මෙන්ම මෙහි සිටින සහ ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ නරඹමින් මේ සඳහා සහාය දෙන අයටත් මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔබ සැම මෙම සාමයේ පංගුකරුවන්. කිසිදු පුද්ගලයෙකු මෙම මාවතේ තනිව ගමන් කරන්නේ නැහැ.

අවසාන වශයෙන්, මම ඔබට සරල පුහුණුවක් ඉතිරි කරනවා. මෙම ගමන පුරාවටම මම එකම පණිවිඩයක් නැවත නැවතත් බෙදා ගත්තා. එය සරල නමුත් ඔබ එය අවංකව පුහුණු කරන්නේ නම් ඉතා බලවත් එකක් වේවි.

සිහියෙන් සිටින්න. ඔබේ සිතුවිලි පිළිබඳව සිහියෙන් සිටින්න. ඔබේ වචන පිළිබඳව සිහියෙන් සිටින්න. ඔබේ ක්‍රියාවන් පිළිබඳව සිහියෙන් සිටින්න. එමෙන්ම ඕනෑම පසුබිමක්, විශ්වාසයක් හෝ අනන්‍යතාවක් ඇති අයෙකු වේවා, තමන් කෙරෙහිත්, අන් අය කෙරෙහිත්, සියලු සත්වයන් කෙරෙහි වන මෛත්‍රිය කරුණාව ඔබේ මඟ පෙන්වන්නා කරගන්න. එකමුතුකම යනු අප සැම එක හා සමාන වීම නොවේ.

එකමුතුකම යනු අප අතර පවතින වෙනස්කම් මධ්‍යයේ වුවද අප සාමය තෝරා ගැනීමයි. අපට මෙය සුළු ආකාරයකින් හෝ කළ හැකි නම්, අප මෙහි ආරම්භ කළ දේ මෙතැනින් අවසන් නොවේවි. එය ඔබේ නිවසේ, ඔබේ ප්‍රජාව තුළ සහ ඔබේ හදවත් තුළ දිගටම පවතීවි.

එබැවින් මෙම සාම පා ගමන අප අවසන් කරන විට, මෙම පණිවිඩය හුදු මතකයක් ලෙස නොව, දෛනික පුහුණුවක් ලෙස ඉදිරියට කර ගෙන යන ලෙස මම ඔබට ආරාධනා කරනවා. මෙම ගමනේදී මා බොහෝ වරක් පැවසූ පරිදි, මෙම වැකිය ලියා තබාගෙන ශබ්ද නගා කියවීමෙන් ඔබේ දවස ආරම්භ කරන්න.

“අද දිනය මගේ සාමකාමී දිනයයි.”

ස්තූතියි! ඔබ සැමට යහපතක්ම වේවා, සතුට උදා වේවා, සාමය උදාවේවා!

නමෝ බුද්ධාය!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාරා ජස්මින් ගැන හෙළිදරව්වක්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාරා ජස්මින් ගැන හෙළිදරව්වක්

2019 අප්‍රේල් (21) වනදා, පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වනවිට බරපතල කරුණු රැසක් අනාවරණය වෙමින් පවතියි.

පාස්කු දින ප්‍රහාරය එල්ල කළ කල්ලියේ සිටි පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බය පුපුරුවා ගත් මොහොමදු හස්තූන්ගේ බිරිඳ වේ.

සාරා ජස්මින් මෙම ත්‍රස්ත ක්‍රියාව සඳහා සක්‍රීයව දායකවූ බව විමර්ශන වලදී හෙලිවන අතර ⁣පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සමස්ථ ක්‍රියාවළිය පිළිබඳව ඇය ප්‍රබල සාක්ෂියකි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු 2019 අප්‍රේල් (26) ආරක්ෂක අංශ අම්පාර සයින්දමර්දුවල සහරාන්ගේ නිවස වැටලු අතර සහරාන් හෂීම්ගේ සහෝදරයා, මොහොමඩ් රිල්වාන් බෝම්බයක් පුපුරවා ගත්තේය.

වැඩිහිටියන් සහ ළමයින් ඇතුළු 16 දෙනෙක් මේ ස්ථානයේ මියගිය බව පසුව ප්‍රකාශය කෙරුණද එම වෙලාවේ සාරා ජස්මින් හිටියාද.? නැතිනම් පැනලා ගියාද.?

ප්‍රහාරයෙන් පසුව දෙවතාවක් සිදුකල DNA පරීක්ෂණ වලින් සාරා ජස්මින් මියගිය බව තහවුරු වූ නොමැති අතර 2022 අප්‍රේල් (27) වෙනිදා ආයෙමත් DNA පරීක්ෂාවක් සඳහා සායින්දමර්දුවලදී මියගිය සිරුරු ගොඩ ගත්තේය.

අනතුරුව හදුනානොගත් අස්ථි කොටස් දැමූ බෑගයක තිබූ අස්ථි කොටස් දෙකකින් ඒවා සාරා ජස්මින්ගේ මවගේ දියණියකගේ බවට DNA පරීක්ෂාවේදී හදුනා ගත් බව එවක නිලධාරින් සඳහන් කළේය.

කෙසේ වෙතත් එම අවස්තාවේදි හරියටම සාරා ජස්මින්ගේ කියලා සඳහන් නොකළ අතර පසුව 2023 වසරේ මාර්තු මාසයේ එවක අපරාධ පරීක්ෂණය සිදුකල පිරිස නිවේදනයක් නිකුත් කළේය.

ඒ නිවේදනයේ සඳහන් වුණේ, 2019 අප්‍රේල් මස (26) සායින්දමර්දුවල මියගිය අය අතර සාරා ජස්මින් සිටින බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් තහවුරු කරන බවයි.

සාරාගේ මවගෙන් ලබාගත් DNA සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කීපයක DNA සාම්පල මව සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරුවන ප්‍රතිපලයක් බවත් එහි සඳහන් කළේය.

කෙසේ වෙතත් 2022 වසරේ සිදුකළ මෙම DNA පරීක්ෂාව සැකසහිත බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2025 වසරේ නැවත පන ගැන්වූ විමර්ශනයෙන් පසුව අධිකරණයට වාර්තා කළේය.

මෙම විමර්ශනයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සාක්ෂි දෙමින් හෙළිකර තිබුණේ සායින්දමර්දු බෝම්බ පිරිම්වලින් හා වෙඩි තැබීම්වලින් පසු ප්‍රදේශයම සම්පුර්ණයෙන් නිශ්ෂබ්ද වූ බවයි.

එම අවස්ථාවේදී යතුරු පැදියක් පණගන්වා පිටව යන ශබ්දය හොදින් ඇසුණු බව සාක්ෂිකරු හෙළිකර ඇති අතර පොලිස් අධිකාරීවරයෙකු ලබාදුන් තවත් සාක්ෂියක හෙළිකර තිබුණේ එම යතුරුපැදියේ ශබ්දය තමාටද ඇසුණු බවයි.

සහරාන්ගේ පවුලේ සමාජිකයින් මෙම සායින්දමර්දු නිවස වෙත පැමිණීමට වෑන් රථයක් සහ යතුරු පැදි දෙකක් උපයෝගී කරගත් බවට තොරතුරු ලැබුනද පිපිරීම අවස්ථාවේ තිබී ඇත්තේ එක් යතුරු පැදියක් පමණක් බව පොලිස් අධිකාරිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.

බදුල්ල අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ, සාරා ජස්මීන්ගේ සිරුර වාෂ්පවී යාමට තරම් පිපිරීමක් සයින්දමර්දු නිවස තුළ සිදුව නොතිබූ බවයි.

සාරා ජස්මින් සායින්දමර්දු පිපිරීමෙන් පසු කල්මුණේ නගරයට පැමිණ වෙල්ලාවලි පිහිටි ඇගේ ඥාතී නිවසකට ගොස් ඇති බවත් පසුව මංකාඩු සිට මන්නාරමට මුහුදු මාර්ගයෙන් ගොස් ඇති බවත් පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියෙකුගේ සාක්ෂියකින් හෙලිවී ඇත.

සාරා ජස්මින් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය ජෝසුවා නැමැත්තා පිපිරීමෙන් පසු ඇයට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති බවත් එවිට ඇගේ දුරකථනය විසංධි වී තිබූ නමුත් පසුව ජෝසුවාගේ දුරකථනයට සාරාගේ දුරකථනයෙන් ඇමතුමක් ගෙන තිබූ බවද එම බුද්ධි නිලධාරීයා ප්‍රකාශ කර ඇත.

ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට

ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක්, අමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ක්‍රි.පූ. 1-2 සියවස් වලට අයත් අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා, තායිලන්තයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතුන් වහන්සේලා සහ මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය.

එම සර්වඥ ධාතූන් වහන්සේලා මැයි (02) වැනිදා සිට මැයි (10) වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.