Attention

ඉදිරියේදී නියං කාලයක්.. කාලගුණයෙන් අනතුරු අඟවයි

ඉදිරියේදී නියං කාලයක්.. කාලගුණයෙන් අනතුරු අඟවයි

මේ දිනවල පවතින උණුසුම් තත්ත්වය අප්‍රේල් මාසය පුරාවට අඩු වැඩි වෙවී පවතින බවත් එය ලබන මාසයේ සති 2ක් 3ක් පමණ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කරයි.

තවද නිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බවත් එනිසා පානීය ජලය සහ සියලු වාරිමාර්ග කටයුතුවල ජල කළමනාකරණය සිදුකළ යුතු බවද අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කරයි.

අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කළේ,

“අපි බලාපොරොත්තු වෙනවා මේ පවතින උණුසුම් තත්ත්වය මේ මාසය පුරාවටමත් අඩු වැඩි වෙවි ලබන මාසයේ සති 2ක් 3ක් පමණ පවතී කියලා. 20න් විතර පස්සේ නිරිත දිග මෝසම පටන් ගන්නවා.

නිරිත දිග මෝසම පටන් ගන්නකොට මේ උණුසුම ටිකක් අඩු වෙනවා. ඒත් දැනට මේ දැනෙන දැඩි අපහසුකාරි තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ 3 වෙනි සතියෙන් විතර පස්සේ ගොඩාක් දුරට පහවෙලා යාවී. 

ඒත් එක්කම මේ නිරිත දිග මෝසමේදී එල්-නිනෝ තත්ත්වයක් ආවොත් ජූනි, ජූලි, අගොස්තු වැස්ස අඩු වෙනවා සැප්තැම්බර් දක්වාම. නියං කාලයක් ඒවී.

ඒ නිසා හැම අංශයෙන්ම පානීය ජලය, සියලුම විදියට වාරි මාර්ග කටයුතුවලට ජලය කළමනාකරණය කරන්න සිදුවෙයි. විශේෂයෙන් ඉදිරියේ දී ඒ ගැන අවදානය යොමු කරන්න වේවි.”

පෙට්‍රල් සහ ඩීසල් සඳහා රජයෙන් සහනාධාරයක්

පෙට්‍රල් සහ ඩීසල් සඳහා රජයෙන් සහනාධාරයක්

යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන සහනාධාර වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මසකට රුපියල් කෝටි 2000 බැගින් වැය කිරීමට සැලසුම් කර ඇති බවත් ඉදිරි මාස තුනක කාලය සඳහා රජය රුපියල් කෝටි 6000ක මුදලක් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක් සහ සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 20ක සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා අද (07) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

එළැඹෙන මැයි (01) වනදා හෝ ඊට ආසන්න දිනකදී සිදුවන ඉන්ධන මිල ගැලපුමේදී පෙර මාසයේ පිරිවැය දත්ත මත පදනම්ව මෙම සහනාධාරය ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

වෙළඳපොළ පිරිවැය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 600 සීමාව ඉක්මවා යා හැකි වුවද, රජය මැදිහත් වී පිරිවැයෙන් රුපියල් 100ක් දැරීම හරහා ජනතාවට සහනයක් සැලසීමට තීරණය කර ඇති බවද සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“එළැඹෙන මැයි මාසයේ (01) වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න.

පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රුපියල් කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ.”

බැංකුවක වංචාවක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

බැංකුවක වංචාවක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

National Development Bank PLC තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එම වංචාව මගින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදුවිය හැකි බව එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

මෙම වංචාව නිසා, කිසිදු ගනුදෙනු කරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතු වලට, බලපෑම් සිදුවී නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඔවුන් දැනුම් දී ඇති බවද අදාළ නිවේදනය සඳහන් වේ.

National Development Bank PLC විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විය හැකි මුල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගැයීමක් සිදු කර ඇති අතර ඒ අනුව වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුවද, National Development Bank PLC හට එහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වා ගෙන යා හැකි බවට ප්‍රකාශ කර ඇත.

තවදුරටත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර අවශ්‍ය පරිදි සුදුසු පියවර ගන්නා බවත් අවශ්‍ය වුවහොත්, පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකු වලට ලබාගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, National Development Bank PLC හට, තාවකාලිකව ද්‍රවශීලතා ලබා ගැනීමේ හැකියාව පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්ද අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා, එම ක්‍රමවේදය ජනතාවට වඩා පහසු සහ ආකර්ෂණීය ක්‍රමවේදයක් බවට පත් කර ගැනීමට මෙරට බැංකු පද්ධතියෙන් ලබා ගත හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කළේය.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වන බාධා ඉවත් කර ගනිමින් සමාජය තුළ එය වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දුන්නේ, ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබා දීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවත්, නව ක්‍රමවේදය මගින් ගනුදෙනු කිරීමේදී ඇති වන පරිවර්තනයත් සමග එම පිරිවැය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත්ය.

එමෙන්ම, නව ක්‍රමවේදය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවද මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින්, ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක අදහස් දක්වමින් සඳහන් කළේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීමට ජනතාව දිරි ගැන්වීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි.

රජය ආරම්භ කළ මෙම නව වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනට සිය දායකත්වය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තුව හෙට (07), (09) සහ (10) යන දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

අප්‍රේල් (07) වැනිදා පෙ.ව. 11.30 සිට ප.ව 4.45 දක්වා ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතය. 

තවද 2026.03.17 දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ද්විත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් නොවුණහොත් මෙදින දෙවනවර කියවීමට තීරණය වී ඇත.

අප්‍රේල් (09) වැනිදා පෙ.ව 11.30 සිට ප.ව 2.00 දක්වා (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනත යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනත යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනත යටතේ නියෝග විවාදයට ගැනේ. 

තවද මහජන ආරක්ෂක ආඥා පනත යටතේ සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතුමා විසින් ප්‍රකාශන පළ කරනු ලැබුවහොත් ඊට අදාළ වූ යෝජනා සම්මත ද්විත්වය මෙදින විවාදයට ගැනීමට තීරණය වී ඇත.

අප්‍රේල් (10) වැනිදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර ඇත.

ලාෆ් ගෑස් මිල තවත් ඉහළ⁣ට.. නව මිල මෙන්න

ලාෆ් ගෑස් මිල තවත් ඉහළ⁣ට.. නව මිල මෙන්න

අද (05) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 5,700කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 418කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,280කි.

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරුමැද පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථාන වෙත සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

විශේෂඥ වෛද්‍යවරු වර්ජනයෙන් ඉවත් වෙයි

විශේෂඥ වෛද්‍යවරු වර්ජනයෙන් ඉවත් වෙයි

අද (04) දින උදෑසන සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහාය පළ නොකරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදු කරන අතර රෝහල්වල විශේෂ වෛද්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යන බවද එහි ලේකම් විශේෂඥ වෛද්‍ය R ඥානසේකරම් සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තුළ වෛද්‍යවරුන් 2,300ක් පමණ සිටින අතර සියලු දෙනාම සාමාන්‍ය පරිදි රාජකාරීවල නිරත වන බවද ඔහු සඳහන් කරයි.

ප්‍රතිපත්තියක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජන සඳහා සහභාගී නොවන බවත් පශ්චාත් පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් වර්ජනය සඳහා සහාය නොදක්වන බවද ඔහු සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ තර්ජන වලට බය නෑ.. ඇමති නලින්ද දැඩි තීරණයක

වෛද්‍යවරුන්ගේ තර්ජන වලට බය නෑ.. ඇමති නලින්ද දැඩි තීරණයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එය හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බවද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සීමාවාසික පුහුණුව අවසන් කළ නවක වෛද්‍යවරුන් 453 දෙනෙකුට රජයේ සේවයට එක්වීමට ඇති අවස්ථාව GMOA විසින් අවහිරකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබාදී ඇති කාලය එළැඹෙන සෙනසුරාදා දහවල් 12.00න් අවසන් වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එළැඹෙන සෙනසුරාදා දහවල් 12.00න් පසුව දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බැවින් කාගෙවත් තර්ජනයට හෝ කාගෙවත් විකෘති සහගත ප්‍රකාශ වලට අහුවෙන්නේ නැතුව ඉල්ලුම් කරන ලෙසද අමාත්‍යවරයා සඳහන් කරයි.

යම් හෙයකින් වෛද්‍යවරුන්ට පත්වීම් ලබා ගැනීමට බාධා කරන හෝ තර්ජනය කරන කණ්ඩායම් සිටී නම්, ඒ පිළිබඳව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“මේ වැඩ වර්ජනයට කිසිදු පදනමක් නෑ. මොකක්හරි හේතුවක් අල්ලගෙන දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ වුවමනාව හැර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වැඩ වර්ජනය කරන්න කිසි සාධාරණ හේතුවක් තිබුණේ නැහැ.”

“මේකට කිසිඳු පදනමකුත් නැහැ. මේකෙන් කාටවත් සුගතියක් වෙන්නෙත් නැහැ. සෙනසුරාදා දවල් 12.00 වෙනකොට රජයේ සේවයට ඇතුළත් කිරීම සඳහා යම්කිසි වෛද්‍යවරයෙක් නේවාසික පුහුණුවෙන් පසුව ඉල්ලුම් කරේ නැත්නම්, ඔහුට රජයේ සේවයට ඇතුළත් වෙන්න බැහැ.

දැන් ඒ අය ඉන්න රෝහල්වලින් ඒ අයගේ සේවාව අවසන් වෙනවා. ඊළඟට ඒ අයගේ වැටුප් නතර වෙනවා. එතකොට ඒ අයට සිද්ධවෙන්නේ උපාධිය ලබාගෙන සීමාවාසික පුහුණුව අවසන් කරලා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරු හැටියට පුද්ගලික සේවයේ නිරත වෙන්න.

ඉල්ලුම් නොකරපු කිසිම කෙනෙක්ට රාජ්‍ය සේවයට ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට මේ කියන්නේ, ඔබ කිසිවෙකුට බය වෙන්න එපා. 

ඔබට කවුරුහරි කණ්ඩායමක් හැටියට හෝ පුද්ගලයෝ හැටියට රජයේ සේවයට ඇතුලත් කිරීම සඳහා අයදුම් කිරීමට එරෙහිව ඔබව බියගන්වන ආකාරයට යම් තර්ජනයක් කරලා තිබෙනවා නම්, වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ ගැන පැමිණිලි කරන්න.” 

මහින්ද සහ ගෝඨාභය ඉදිරියේ පාස්කු මහ මොළකරු හෙළිකරයි

මහින්ද සහ ගෝඨාභය ඉදිරියේ පාස්කු මහ මොළකරු හෙළිකරයි

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම (31) දින සිදුවිය.

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සියලු පහසුකම් සපයාගැනීම සහරාන් හෂීම් විසින්ම සිදුකර ඇති බැවින් මහ මොළකරු සහරාන් හැර වෙනත් අයකු විය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කරයි.

එම ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය එක්රැස් කිරීම සහ බෝම්බකරුවන් තෝරාගැනීම සහරාන් විසින්ම සිදුකර ඇති බවත් බෝම්බ පිපිරවිය යුතු ස්ථාන තීරණය කර ඇත්තේ ඔහු විසින්ම බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

ජාත්‍යන්තර ISIS සංවිධානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ එම සංවිධාන නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරයේ සියලු මෙහෙයවීම් සිදුකළ බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

මහ මොළකරු ලෙස සහරාන්ව හැඳින්වීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බවත් මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් ලබාදී ඇති බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

Follow WhatsApp Channel