Attention

සුවිශේෂී බදු සහන මාලාවක්.!

සුවිශේෂී බදු සහන මාලාවක්.!

වසර 10ක් දක්වා විහිදෙන සුවිශේෂී බදු සහන මාලාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන දිරිගැන්වීම සඳහා මෙම සුවිශේෂී බදු සහන මාලාව ලබාදීමට රජය තීරණය කර ඇත.

යටිතල පහසුකම්, සංචාරක, නිෂ්පාදන, කෘෂිකර්මාන්ත, අධ්‍යාපන සහ තාක්ෂණ ඇතුළු ප්‍රධාන අංශ හරහා මහා පරිමාණ ආයෝජන සදහා බදු සහන ⁣ලබා දෙමින්, ශ්‍රී ලංකාව නව උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියාමන රාමුවක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

දිවයින පුරා නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවතට.!

දිවයින පුරා නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවතට.!

සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමිනි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ (15) පස්වරුවේ පවත්වනු ලැබීය.

එම සාකච්ඡාවේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළ කරමින් සඳහන් කර සිටියේ, සංගමයේ මහ සභාව විසින් ඒකමතික තීරණ 4ක් ගනු ලැබූ බවය.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලැබූ ඒකමතික තීරණ පහතින් දැක්වේ.

1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.

2. දිව ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.

3. මෙම කූර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.

4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

වසර 14කට පසුව රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට නීතිඥයින් 3,500ක පමණ පිරිසක් සහභාගී වූ බවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇතැමුන් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බවත් නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

රැස්වීමේ දී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එම ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මාර්ග බාධක 4ක් තියෙනවා.. ටිකට් නැත්තම් කරුණාකරලා එන්න එපා.!

මාර්ග බාධක 4ක් තියෙනවා.. ටිකට් නැත්තම් කරුණාකරලා එන්න එපා.!

අද (15) රාත්‍රියේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගය නැරඹීම සඳහා නිසි අවසරපතක් නොමැති කිසිදු ක්‍රීඩාලෝලියෙකු ක්‍රීඩාංගණය අසලට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලයි.

මේ සම්බන්ධයෙන් පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මෙම කරුණු පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ නිසි අවසරපතන් නැතිව ක්‍රීඩාංගණය අසලට පැමිණ අපහසුතාවට පත් නොවන ලෙසය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සජීව මැදවත්ත මහතා,  

“කරුණාකරලා, නිසි අවසර පත්‍රයක් නොමැති නම් පැමිණ අපහසුතාවයට පත්වෙන්න එපා. මාර්ග බාධක 4ක් තියෙනවා. සෝදිසි කපොලු 6ක් තියෙනවා. 

මේවාගෙන් ඇතුළු වෙන්න දෙන්නේ නෑ. QR කේතය එක්ක මේක ඕනේ. එහෙම එන්න එපා. ඇතැම් ස්ථානවල අපි පුළුල් තිර යොදලා අවශ්‍ය පහසුකම් යොදලා තියෙනවා” යැයි පැවසීය.

මේ අතර තහනම් භාණ්ඩ ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසද ඉල්ලීමක් කරන පොලීසිය, විශේෂයෙන් ක්‍රීඩා පිටිය දෙසට විසිකළ හැකි ලී කැබලි, කොඩි, බෝල හෝ බැට්, වතුර හෝ බීම බෝතල්, ගිනිපෙට්ටි හෝ ලයිටර් වැනි දේ මෙන්ම විශාල බැග්පැක් රැගෙන ඒමෙන් වළකින ලෙසද ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම තරගයෙන් අනතුරුව සාමකාමීව ක්‍රීඩාංගණයෙන් පිටව යන ලෙසත් පොලීසිය ක්‍රීඩාලෝලීන්ට දැනුම්දී සිටී.

ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්.!

ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්.!

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 වර්ෂය සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරඟ අතිසාර්ථක සහ සුරක්‍ෂිත ලෙස පවත්වාගෙන යාම සහතික කරනු පිණිස, ආරක්ෂක අමාත්‍යාංශය මගින් පුළුල් වූත්, බහු විධ වූත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර සිටියි.

මෙම තරඟාවලියේ පවතින ජාත්‍යන්තර වැදගත්කම මෙන්ම ලොව පුරා විවිධ රට වලින් පැමිණෙන ක්‍රීඩකයින්, නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිස සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් සැකසූ ඒකාබද්ධ ආරක්‍ෂක සැලැස්මක් මෙම අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කර ඇත.

සියලුම තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන, කණ්ඩායම් රැඳී සිටින හෝටල්, පුහුණු මධ්‍යස්ථාන, ගුවන් තොටුපළ සහ නම් කරන ලද ප්‍රේක්ෂක කලාප සඳහා විශේෂ ආරක්ෂක විධි විධාන යොදවා ඇත.

තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව පුරාම සුරක්ෂිත පරිසරයක් සහතික කරනු පිණිස විසි හතර පැය පුරා ක්‍රියාත්මක ආරක්ෂක පද්ධති, ප්‍රවේශ පාලන ක්‍රියා පටිපාටි, වාහන පරීක්ෂා කිරීමේ ස්ථාන සහ ප්‍රේක්ෂක හැසිරවීමේ ක්‍රම වේදයන් ක්‍රියාත්මක කරනු ලැබේ.

සහභාගී වන කණ්ඩායම්, සංවිධායකයින් මෙන්ම සම්භාවනීය අමුත්තන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා සමීප ආරක්ෂාව සැපයීමට විශේෂ ආරක්ෂක ඒකක යොදවා ඇත.

CCTV නිරීක්ෂණ සහ තත්කාලීන බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය ඇතුළු ආවේක්ෂණ පද්ධති හරහා, පවතින තත්ත්වයන් නිරීක්ෂණය සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කෙරේ.

එසේම, ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගුවන් අවකාශය පිළිබඳ නිරීක්ෂණ කටයුතු ද ඉහළ නංවා ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා වෛද්‍ය ඒකක ඇතුළු හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇත.

තරඟාවලියේ උත්සවශ්‍රීය ආරක්ෂා වන පරිදි මහජන සාමය සහ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සහතික වෙයි.

ආරක්ෂක නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ක්‍රීඩාංගණ මාර්ගෝපදේශ පිළිපදින ලෙසත්, ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් පිළිබඳව බලධාරීන් දැනුවත් කරමින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහාය වන ලෙසත්, අමාත්‍යාංශය ප්‍රේක්ෂකයින් ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉහළ වෘත්තීය මට්ටමකින් සහ විශිෂ්ටත්වයෙන් යුතුව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව විදහා දක්වමින්, සුරක්‍ෂිත පරිසරයක අමතක නොවන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් නැරඹීමට අවකාශය ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය කැපවී සිටියි.

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය.!

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය.!

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව දේශීය අධ්‍යක්ෂ Shannon Cowlin සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය වන Shannon Cowlin අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූවාය.

නව අධ්‍යක්ෂවරිය නිල වශයෙන් ජනාධිපතිවරයාට හඳුන්වා දීම ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වැඩසටහන් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති ආකාරය සහ ආයතනික සම්බන්ධීකරණ ක්‍රියාවලියේ පවතින ඵලදායිතාව පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී සතුට පළ කළහ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානයක් යොමු වූ අතර යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

වත්මන් රජය යටතේ ළඟා කර ගත් ආර්ථික ප්‍රගතිය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සිටින ජනතාව වෙත දැනෙනසුලු ලෙස ගලායාමට සැලැස්වීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළේය.

මධ්‍යම කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින දිගුකාලීන පාරිසරික බලපෑම්ද පැහැදිලි කරමින්, එම පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රජාව සඳහා ස්ථිර ජීවනෝපාය මාර්ග සකස් කර දීම සඳහා වන කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ තත්ත්ව වලට මුහුණ දීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අභියෝගවලට මුහුණ දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහාය කෘතවේදීව පිළිගන්නා බවද පැවසීය.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුව විසින් 2026 වසරේ සිට මෙරට සිදු කරනු ලැබීමට සැලසුම් කර ඇති ආයෝජන, ලබා දීමට අපේක්ෂිත අයවැය සහාය සහ 2026 මැදභාගයේදී සිදු කිරීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු ඉදිරි සැලසුම් සමාලෝචනය කෙරුණු අතර, තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම යළි තහවුරු කෙරිණි.

කථානායක පෞද්ගලික ලේකම්ට එරෙහිව අල්ලස් කොමිසට පැමිණිල්ලක්.!

කථානායක පෞද්ගලික ලේකම්ට එරෙහිව අල්ලස් කොමිසට පැමිණිල්ලක්.!

අද (11) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ විමර්ශනවලට බාධා වන අයුරින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවට ඔවුන් එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මීට පෙර ගොනු කර ඇති පැමිණිල්ලේ සඳහන් කරුණුවලට අදාළ වාර්තාවක් කථානායකවරයාට ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරියට දැනුම් දී ඇති බවය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට දූෂණ චෝදනා එල්ල කරමින්, වැඩ තහනමට ලක්ව සිටින චමින්ද කුලරත්න මහතා  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉකුත් දෙවැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

තමාට හිමි ප්‍රමාණය ඉක්මවා නිලවාහන භාවිත කිරීම, නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබාගැනීම හා නිල නිවාස දෙකක් භාවිත කිරීම ඇතුළු චෝදනා රැසක් චමින්ද කුලරත්න මහතා සිය පැමිණිල්ලෙන් කථානායකවරයාට එරෙහිව  ඉදිරිපත් කර තිබුණි.

එවන් පසුබිමක අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට යොමු කළ ලිපියක් පිළිබඳ පෙබරවාරි 05 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදි කරුණු අනාවරණය කළේය.

කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා යොමු කර ඇති මෙම ලිපිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට එම මන්ත්‍රීවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබුණි.

චන්ද්‍රිකා රජයට අනතුරු අඟවයි.!

චන්ද්‍රිකා රජයට අනතුරු අඟවයි.!

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසන්නේ වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බවයි.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව මෙහිදී හිටපු ජනාධිපතිනිය විශේෂයෙන් සඳහන් කර ඇති අතර ඇය වැඩිදුරටත් පවසන්නේ තමා සමන් ඒකනායකව පෞද්ගලිකව හඳුනන බවත්, ඔහු ඉතා අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත් ය.

එමෙන්ම යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමාවීම රටේ පාලන පද්ධතියට බරපතළ තර්ජනයක් බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙහිදී අවධාරණය කර ඇත.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

“වෘත්තීය මට්ටමේ, කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ඉදිරියට යා නොහැකියි. දේශපාලන නායකයන්ට පරිපාලන පළපුරුද්දක් නොතිබුණද, ඔවුන්ට නොසැලෙන අවංකභාවයක් තිබිය යුතු අතර රට පාලනය කිරීමේදී වෘත්තීය මට්ටමේ නිලධාරීන් මත විශ්වාසය තැබිය යුතුයි. අපගේ ශ්‍රේෂ්ඨ ජාතිය නැවත ගොඩනඟන්නේ කෙසේදැයි ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කළ යුතුයි”

ජනපති සහ බෝරා ප්‍රජාවේ නායක අතර හමුවක්.!

ජනපති සහ බෝරා ප්‍රජාවේ නායක අතර හමුවක්.!

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් (10) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ටේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.

ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සුහද කතා බහක නිරත වූ අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළහ.

එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ වංචා දූෂණ වැළැක්වීමට රජය ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ඊට සිය ආශිර්වාදය පළ කළහ.

ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ප්‍රජාවන් අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව මෙන්ම බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව මෙම හමුවේදී බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ මෙරට සංචාරය පිළිබඳ සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන බව සඳහන් කළේය.

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි.!

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි.!

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙලෙස අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත පිරිස අතර ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙක් ඇතුලත් වෙයි.

මෙම කණ්ඩායම පසුගිය දෙවැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වේ.

අමිතිරිගල මැදගොඩ මෝටර් රථ යතුරුපැදි අනතුරකින් 3ක් ජීවිතක්ෂයට.!

අමිතිරිගල මැදගොඩ මෝටර් රථ යතුරුපැදි අනතුරකින් 3ක් ජීවිතක්ෂයට.!

රුවන්වැල්ල පොලිසිය පවසන්නේ අද (8) පස්වරු 5.00ට පමණ තල්දූව, අමිතිරිගල මැදගොඩ ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම අනතුරෙන් පසු මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර, යතුරුපැදිය ද ගිනිගැනීමකට ලක්ව තිබූ බවට වාර්තා වෙයි.

තුවාලකරුවන් තිදෙනෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර කාර් රථයේ දෙදෙනකු සහ යතුරුපැදියේ සිටි අයකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.