Local news

ගල්අඟුරු ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

ගල්අඟුරු ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දෙසැම්බර් (16) වනදා දක්වා දීර්ඝ කර ඇත.

අදාළ කොමිෂන් සභාවේ කාලය පසුගිය ඔක්තෝබර් (16) වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර ඒ අනුව එම කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර ඇත.

සජබ බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කෙරුවාව මෙන්න

සජබ බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කෙරුවාව මෙන්න

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය.

මෙම ප්‍රාදේශීය සභාව මඟින් ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසි පරිදි ඉටු නොවීම සහ දිට්වා ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

*රුපියල් මිලියන 718ක දිට්වා අරමුදල් මහජන සේවා සඳහා යොදා නොගැනීම,

*රුපියල් මිලියන 40ක් වැයකර ජල නල මිලදී ගෙන ඇතත් එයින් ජනතාව වෙනුවෙන් ව්‍යාපෘති නොකිරීම,

*ජනතා සේවා සඳහා වෙන් කළ රුපියල් මිලියන 18.5ක මුදලක් සේවා සඳහා ලබාදීමට අනුමත නොකිරීම,

ඒ අනුව පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ පාලන කටයුතු මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා වෙත පවරා ඇත.

සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමඟි ජන බලවේගය නියෝජනය කළ කේ.එස්.බී. රාජනායක, අධිකරණ කටයුත්තකට අදාළව මේ වනවිට සිරගතව සිටියි.

ඒ හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ, සර්ව ජන බලය නියෝජනය කරන පියල් ජයසිංහයි.

සරණගේ බිරිඳට දුන් නියෝගය

සරණගේ බිරිඳට දුන් නියෝගය

අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු අද (20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු ලබන (30) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළේය.

ඒ අනුව සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සහ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු වන චරිත් නමැත්තා මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධියට අදාළ තුන්වන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සරණ ගුණවර්ධනට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරුවරයා පෙළඹවීම සඳහා කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට අල්ලස් මුදලක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඇය අත්අඩංගුවට ගත්තේය.

දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු – මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම අවවාදාත්මක නිවේදනය අද (20) පෙරවරු 11.30ට නිකුත් කර ඇති අතර එය හෙට (21) අලුයම 1.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක්

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

පෙරේදා දිනයේදී මෙට්‍රික්ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව දිවයිනට පැමිණි අතර එම ගෑස් තොගය මේ වනවිට ගොඩබෑමේ කටයුතු සිදුකරමින් පවතින බව එම සමාගම සඳහන් කරයි.

තවද, ගෑස් තොගයක් රැගත් සිව්වන නෞකාව වන CORINTHIAN නෞකාව, ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් සමඟ අනිද්දා (22) දින මෙරටට ළඟා වීමට නියමිත බවද එම සමාගම සඳහන් කරයි.

මෙම තොග ලැබීමත් සමඟ දිවයින පුරා ගෑස් සැපයුම ස්ථාවර කරමින්, හිඟයකින් තොරව වෙළෙඳපොළට සුපුරුදු පරිදි ගෑස් බෙදාහැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවද එම සමාගම සඳහන් කරයි.

ඉරානයෙන් බරපතල අනතුරු ඇඟවීමක්.. අන්තර්ජාලය නවතීද.?

ඉරානයෙන් බරපතල අනතුරු ඇඟවීමක්.. අන්තර්ජාලය නවතීද.?

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිවෙන මුහුදු පතුලේ අන්තර්ජාල කේබල් ප්‍රධාන ඉලක්ක බවට පත්විය හැකි බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ඉදිරියේදී යළිත් යුදමය ගැටුමක් ඇතිවීමේ හැකියාව ඉරානය ප්‍රතික්ෂේප නොකරන බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙරට වඩා දැඩි ප්‍රතිචාරයක් දක්වන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නියෝජිතයෙක් සඳහන් කරයි.

“අපි යුද්ධයක් ඇතිවීමේ හැකියාව බැහැර කරන්නේ නැහැ. මෙවර අපගේ ප්‍රතිචාරය වඩාත් දැඩි වනු ඇති. එක්සත් ජනපදයට බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති අතර, ලෝකය ද දැඩි බලශක්ති අර්බුදයකට මුහුණදෙනු ඇත.”

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රධාන මුහුදු පතුලේ කේබල් හතක් දිවෙන බවත්, ගෝලීය අන්තර්ජාල සම්බන්ධතා සහ වාණිජ දත්ත හුවමාරුව සඳහා ඒවා වැදගත් බවත් එම කේබල් ඉලක්ක කරගැනීමේ හැකියාව පිළිබඳව ප්‍රතිවාදී පාර්ශ්වයට සිහිපත් කරන බවද ඔහු සඳහන් කරයි.

දිවයින පුරා විදුලි කප්පාදුවක්

දිවයින පුරා විදුලි කප්පාදුවක්

අද (20) දින සහ හෙට (21) දිනයේදී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරයි.

ඒ අනුව අද සවස 4.30ත් රාත්‍රී 8.30ත් අතර පැයක කාලයක් රට කලාප හතරකට බෙදා විදුලිය සැපයුම කළමණාකරණයට පියවර ගන්නා බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් රෝහල් සහ අත්‍යාවශ්‍ය සේවා ස්ථාන ආශ්‍රිතව විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව සඳහන් වේ.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ලබන (22) වනදා වනවිට පද්ධතියට එක්කර ගැනීමට අපේක්ෂිත බව එහි ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර සඳහන් කරයි.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙහි ඇති වූ බිදවැටීමක් හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ මෙගාවොට් ප්‍රමාණය සපුරාලීමට සහ පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමට විදුලි කළමණාකරණයට පියවර ගත්තේය.

අකුරණ බිහිසුණු අනතුරේ අලුත්ම තත්ත්වය

අකුරණ බිහිසුණු අනතුරේ අලුත්ම තත්ත්වය

අකුරණ කුරුගොඩ 7 කණුව ප්‍රදේශයේ ඊයේ (19) දින සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කණ්ඩායමක් අද (20) දින පැමිණීමට නියමිතව ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි, සිමෙන්ති මිශ්‍රණ රථයේ රියදුරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

අලවතුගොඩ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ සිමෙන්ති මිශ්‍රණ රථයක් පාලනයෙන් ගිලිහි ගොස්, ත්‍රිරෝද රථ 4ක, යතුරු පැදි 3ක, ටිපර් රථයක හා කුඩා ලොරියක ගැටීමෙන් අනතුර සිදුවුණි.

සිමෙන්ති මිශ්‍රණ රථය ට්‍රාන්ස්ෆෝමරයක ද ගැටී ඇති අතර අනතුරට ලක් වූ යතුරු පැදියක් ගිනිගෙන ඇතැයි සඳහන් වේ.

මියගිය පිරිස අතරට පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළත් වේ.

මියගොස් ඇත්තේ 38 හා 51 හැවිරිදි අලවතුවල හා අකුරණ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු හා 16 හා 28 හැවිරිදි මාතලේ හා අකුරණ ප්‍රදේශවල පදිංචිකාරිනියන් දෙදෙනෙකි.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අධීක්ෂණයට කමිටුවක්

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අධීක්ෂණයට කමිටුවක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව (2025–2029) ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ යටතේ පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කාර්යයන් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීමට සහ ඒ සඳහා නායකත්වය ලබාදීමට, කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් 13 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නම් කර ඇත.

මේ සඳහා නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,

– හර්ෂණ නානායක්කාර
– සුනිල් වටගල
– කෞශල්‍යා ආරියරත්න
– ජේ. සී. අලවතුගල
– අනුරාධ ජයරත්න

– ශානක්‍යන් රාසමාණික්කම්
– ඕෂනි උමංගා
– ප්‍රගීත් මධුරංග
– චන්දිමා හෙට්ටිආරච්චි
– ධර්මප්‍රිය විජේසිංහ
– දේවානන්ද සුරවීර
– එම්. නිසාම් කාරියප්පර්

2026 සැප්තැම්බර් (25) වන දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබුවේය.

කාවන්තිස්සට වෛද්‍යවරු ප්‍රතිකාර කිරීමේදී අතපසුවීම්.? විශේෂ පරික්ෂණයක්

කාවන්තිස්සට වෛද්‍යවරු ප්‍රතිකාර කිරීමේදී අතපසුවීම්.? විශේෂ පරික්ෂණයක්

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරිමේදී වෛද්‍යවරුන්ගෙන් අතපසුවීම් සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව වෛද්‍යවරුන්ගෙන් අතපසුවීම් සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර ස්වාධින පරික්ෂණයක් සිදු කරන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ සඳහන් කරයි.

Follow WhatsApp Channel