Local news

පාස්කු තීන්දුව.. අවසන් මොහොතේ විත්තිකරුවන් හස්ත මුද්‍රාවෙන් පෙන්නුවේ මොකක්ද.?

පාස්කු තීන්දුව.. අවසන් මොහොතේ විත්තිකරුවන් හස්ත මුද්‍රාවෙන් පෙන්නුවේ මොකක්ද.?

පසුගිය 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ප්‍රහාර එල්ල කළේය.

ඒ අනුව එම ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා වලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට වසර 260 දක්වා සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (22) වනදා තීන්දු කළේය.

පුරා වසර 6කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 200 සිට 260 දක්වා වූ සිර දඬුවම් නියම කෙරිණි.

දඬුවම් නියම කිරීමට පෙර නීතිඥවරුන් නොමැතිව හයවන විත්තිකාර මොහොමඩ් රිස්කාන් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“මම මේ මුළු නඩුවේදීම නිහඩව සිටියේ. සියල්ල නිහඩව බලාගෙන සිටියා. එහෙම ඉඳලා අද වැරදිකරුවෙක් වෙලත් බොහෝම සතුටින් ඉන්නේ. නමුත් මම දන්නවා ඔබතුමන්ලා විශාල පීඩනයකින් ඉන්නේ. යම් වරදක් වුණා, යම් කෙනෙක් ඒක කළා. නමුත් මේ වගේ දෙයක් අපි සැලසුම් කළේ නැහැ.

හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ වගේ මේකට සම්බන්ධ යම් පිරිසක් ඉන්නවා. අපි මේකට වැරදිකාරයෝ වෙලත් සතුටින් ඉද්දි, මේකට සම්බන්ධ යම් පිරිසකගේ ඔළුව ගිනි අරන් සෑහෙන දුකකින් ඇත්තේ. අපි CID එකේ ඉද්දි ඇහුණ යම්යම් දේවල් තියෙනවා.

මේකට අදාළ කට්ටිය ඉන්නවානම් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. අල්ලා දෙවියන්ගේ නාමයෙන් අපි වරදක් කරලා නැහැ. නමුත්. නැහැ එක්කෝ ඕනේ නැහැ.”

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර කරුණු දක්වමින් සඳහන් කළේ,

“ස්වාමිනි., විත්තිකරුවන්ට එරෙහිව පවත්නා නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව ඔවුන්ට ලිහිල් හෝ අත්හිටවූ සිරදඬුවම් ලබාදෙන්න හැකියාවක් නැහැ. මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරකයින් වූ සහරාන්, ඉන්ෂාෆ් වැනි අය කිව්වේ මොකක්ද.? ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කරන්න අන්‍යාගමිකයින් මරාදමන්න කියලා. ඒ මහා අපරාධයට කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදුන් මේ විත්තිකරුවන් තවමත් ඒ මතයේම එළඹ සිටිනවා.

මොවුන් කිසිවෙක් මේ මොහොතේත් පශ්චත්තාපවීමක් හෝ කනගාටුවක් පළ කරන්නේ නැහැ. මෙවැනි විත්තිකරුවන් හැකිතාක් සමාජයෙන් දුරස්කර තැබිය යුතුයි. මෙවැනි අන්තවාදී අදහස් දරන්නන්ට වැදගත් පණිවුඩයක් ලබාදෙමින් මේ විත්තිකරුවන්ට දියහැකි උපරිම දඬුවම් ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා.”

අනතුරුව රාත්‍රී 11.00ට පමණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමේ නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින්ද බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

තවද, එම වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාගේම නිශ්චල සහ චංචල දේපළ සියල්ල නඩු තීන්දුව නිකුත් කළ මොහොතේ පටන් රාජසන්තක කරන බවද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

අනතුරුව බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ විත්තිකරුවන් 15 දෙනා (23) දින අලුයම 2.30ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගියේය.

එම විත්තිකරුවන් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන මොහොතේ සිනාමුසු මුහුණින් පැමිණෙන ආකාරයත් නිරීක්ෂණය වු අතර ඇතැම් විත්තිකරුවන් ඇගිල්ලක් ඔසවමින් යම් හස්ත මුද්‍රාවක් පෙන්නුම් කරන ආකාරයක් නිරීක්ෂණය විය.

ඒ ආකාරයට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් මේ ආකාරයටම ඇගිල්ලක් ඔසවමින් යම් හස්ත මුද්‍රාවක් පෙන්නුම් කළේය.

පාස්කු ප්‍රහාරය ඔස්සේ බලය ලබා ගැනිම.. ගෝඨාභයට දඬුවම් දෙන්න

පාස්කු ප්‍රහාරය ඔස්සේ බලය ලබා ගැනිම.. ගෝඨාභයට දඬුවම් දෙන්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පැනවීම තුළින් ඔහුද පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැක සහිත පුද්ගලයෙකු බවට පත්ව ඇති බව ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

එනිසා එම සැකය දුරු කිරීමට හෝ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පවරා විභාග කොට දඬුවම් ලබාදිය යුතු බවද ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

එලෙස දඬුවම් ලබාදීමෙන් පසු පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සියලු වැඩකටයුතු අවසන් වන බවත් එම නඩු තීන්දුවෙන් පසුව සියලුම වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ට වන බවද අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

පාස්කු මහ නඩුවේ තීන්දුව ලබාදීමෙන් අනතුරුව (22) රාත්‍රියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ,

“මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සහ ඒ ඔස්සේ බලය ලබාගැනීමේ ක්‍රමවේදයට මේක තල්ලු කරපු, මෙම කොටස් දෙකම එකතු කරපු කණ්ඩායමක් ඉන්නවා. අපි කියන්නේ දැන් ඒ කණ්ඩායම හොයන්න ඕනා.

විශේෂයෙන්ම දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කරපු අය, මේ වෙනකොට සුරේෂ්⁣ සලේ මහත්මයා අපරාධ කොට්ඨාශ අංශය විසින් සැකකරුවෙක් ලෙස තියාගෙන ඉන්නවා. ඉතින් මේ වනවිට ඔහු රෝහල්ගත කරලා තියෙන්නේ.

රෝහල්ගත කරලා මෙච්චර කාලයක් ඔහුව තබාගන්නට තරම් අසනීප නෑ මම හිතන්නේ. ඉතිං ඒක නිසා මේ රටේ ජනතාව මෝඩයෝ නෙමෙයි. මේ පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් සෑබෑ තොරතුරු අරගෙන, අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා.

කරුණාකර සුරේෂ්⁣ සලේ මහත්මයාට ඒ සුදුසු විධිවිධාන යටතේ නඩු පවරලා ඔහුවත් සාධාරණව විනිශ්චය කරලා එම විනිශ්චය ලබාදෙන්න කියලා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාවෙන් කරපු නිර්දේශ අනුව මෛත්‍රීපාල සිරිසේන, නිලන්ත ජයවර්ධන මහත්තයාට සුදුසු ක්‍රමවේදයන් ඔස්සේ නඩු පවරලා ඒ අයට දඬුවම් ලබාදෙන්නට.

ඒ වගේම පහුගිය දවස්වල අපි දැක්කා ගෝඨාභය ජනාධිපතිතුමන්ට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා. ඒ කියන්නේ එතුමාත් මේ සම්බන්ධව යම්කිසි සැක සහිත පුද්ගලයෙක් කියන දේ. ඉතිං ඒ සැකය දුරු කරන්නට හෝ ඔහුට විරුද්ධවත් නඩු පවරලා ඒ ඔස්සේ දඬුවම් දෙන්නට කියලා.

අන්න එතකොට තමයි මේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සියලු වැඩකටයුතු අවසන් වෙන්නේ. ඒ ඔස්සේ සියලු දෙනාට පරීක්ෂණ කරලා. ඒ අයට දඬුවම් ලබාදුන්නොත්. ඒක නිසා අපි බලාගෙන ඉන්නවා මේ නඩු තීන්දුව මේ ආකාරයෙන් සාධාරණව සිද්ද වුණා වගේම, ඉතිරි නඩු තීන්දුත් සාධාරණව සිද්ද වෙලා වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ට කරලා දෙයි.”

ජනතාවගේ විදුලි බිලට සහනයක්.. පාර්ලිමේන්තුවේ අනුමැතිය

ජනතාවගේ විදුලි බිලට සහනයක්.. පාර්ලිමේන්තුවේ අනුමැතිය

විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍යමය සහනාධාරයක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අද (23) දින පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වී ඇත.

2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම මුදල වෙන් කිරීමට නියමිතය.

මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කරයි.

අදාළ පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඊට අදාළ කාරක සභාවේ අනුමැතිය හිමි විය. 

රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පැන්නූ පුද්ගලයාට දුන් නියෝගය

රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පැන්නූ පුද්ගලයාට දුන් නියෝගය

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ටෙලිග්‍රාෆ් ට්‍රාන්ස්ෆර් (TT) හරහා විදේශීය ගිණුම් වලට රුපියල් බිලියන 24.8ක් වටිනා අමෙරිකානු ඩොලර් මාරු කළ බවට චෝදනා එල්ල වූ සැකකරු ලබන ඔක්තෝබර් (01) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් භාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා ඩොලර් සංචිත මෙරටින් බැහැර කර ඇති බවට පොලිස් මූලස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

අනතුරුව ඊයේ (22) සිදුකළ විමර්ශනවලදී අදාළ සමාගම් අතරින් සමාගම් 05ක් මගින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85ක වටිනාකමින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි වේල්ලවීදිය, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2024 දෙසැම්බර් සිට 2025 නොවැම්බර් දක්වා කාලය තුළ භාණ්ඩ ආනයනයකින් තොරව ටෙලිග්‍රැෆික් (TT) හුවමාරු ක්‍රමය හරහා අදාළ ඩොලර් විදේශ ගිණුම් වෙත යොමු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පාර්ලිමේන්තුවේදී 22ට ඡන්දය දෙන්න ඕන විදිහ ගැන නීතීඥ සංගමය කියයි

පාර්ලිමේන්තුවේදී 22ට ඡන්දය දෙන්න ඕන විදිහ ගැන නීතීඥ සංගමය කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

එවැනි පසුබිමක, ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම හෘදය සාක්ෂියට එකඟව අදහස් ප්‍රකාශ කිරීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නිදහස ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

යෝජිත සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුද යන්න තීරණය කිරීමේ දැවැන්ත වගකීම දැන් පාර්ලිමේන්තුවට සහ ඡන්දය ප්‍රකාශ කරන සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ජනතාවගේ නියෝජිතයන් වශයෙන් තම ව්‍යවස්ථාමය වගකීම සහ ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත ඇති යුතුකම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින්, පක්ෂ භේදවලින් තොරව ප්‍රතිපත්ති ගරුක ස්ථාවරයක පිහිටා කටයුතු කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

සිසු සිසුවියන්ට ලබාදෙන දීමනාව දෙගුණයකින් වැඩි කරයි

සිසු සිසුවියන්ට ලබාදෙන දීමනාව දෙගුණයකින් වැඩි කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන “සුභග”, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව වැඩසටහන් තව දුරටත් පුළුල් කරමින් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත “සුභග”, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා කාලීනව සිදුකළ යුතු වෙනස්කම් හා අදාළ දීමනා සිසු සිසුවියන් වැඩි පිරිසකට ලබාදීමටත් හැකිවන පරිදි ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඒ අනුව ලබන වසරේ සිට “සුජාත දියණි” සහ “තාක්ෂණවේදය” ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව රුපියල් 1500ක් දක්වාත්, ලබාදෙන ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය 950 සිට 1000 දක්වාත් වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙන්ම සියලු ගෙවීම් ජනාධිපති අරමුදල මඟින් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

එසේම සිසු සිසුවියන් වෙනුවෙන් ගෙවීමට නියමිත හිඟ ශිෂ්‍යාධාර කඩිනමින් ගෙවා නිම කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීම – කථානායකවරයාගේ සහතිකය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීම – කථානායකවරයාගේ සහතිකය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත්‍ කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය (22) සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු (04) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් (09) වැනිදා පැවැති අතර අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.

2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් වේ.

තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇත.

ඒ අනුව, උක්ත පනත්‍ කෙටුම්පත 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වේ.

ඉන්ධන මිල ගැන සංස්ථාවෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල ගැන සංස්ථාවෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

පසුගිය දිනවල අනෙකුත් ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් දක්නට ලැබුණු බවත් මේ සම්බන්ධව පසුගිය සතියේ සියලුම ඉන්ධන සමාගම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බවද සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

එහිදී එම සමාගම් තමන්ට සිදුවන පාඩු පිළිබඳව රජයට දැනුම් දී ඇති අතර RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක්, Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක් පෙන්වා දී ඇත.

IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇති අතර රජයට ජාතික වගකීමක් පැවරී තිබුණද, අනෙකුත් සමාගම් ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන බැවින් පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කරයි.

එම ඉන්ධන සමාගම් සමඟ අත්සන් කර ඇති ගිවිසුම් අනුව, නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම්, එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ප්‍රතිපාදන පවතින බවත් එම සමාගම් වලට පාඩුවක් නොවන පරිදි ඔවුන්ට ඉන්ධන අලෙවි කිරීමට ඉඩ ලබාදීම හෝ රජය මැදිහත්වී සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුවන බවද සභාපතිවරයා සඳහන් කරයි.

අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

මෙම වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12.01ක් ලෙස වාර්තා වී ඇත.

පසුගිය 2025 වසරේ පළමු මාස අට තුළ වාර්තා වූ ඩොලර් බිලියන 11.52ක අගය හා සැසඳීමේදී 4.26%ක වැඩිවීමකි.

නාමල් සුපුරුදු පරිදි හිටපු තැනටම

නාමල් සුපුරුදු පරිදි හිටපු තැනටම

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (23) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ මස (30) දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (23) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

✕
⌃ News
📰 Free News Subscription?