Local news

කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව

කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට (21) දින පස්වරුවේ ගැටඹේ ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතව ඇත.

රෝගාතුරුව සිටි පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය (18) දින අපවත්වූ අතර උන්වහන්සේගේ දේහය මේ වනවිට රාජෝපවනාරාමයේ තැන්පත් කර ඇත.

අපවත් වනවිට 96 වැනි වියෙහි පසුවූ අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසාත්, සංස්කෘතික අභිවෘද්ධිය උදෙසාත් සුවිශාල මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේනමකි.

සජබ බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

සජබ බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට බලය හිමි මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු විසින් ඊයේ (19) දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අත්හිටුවීම සිදුකර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ප්‍රාදේශීය සභාව මඟින් ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසි පරිදි ඉටු නොවීම සහ දිට්වා ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව, පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සභිකයින් ප්‍රාදේශීය සභා පනත යටතේ වරදක් සිදුකර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ පත්කර ඇත.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්යයන් ඉටුකිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා පත්කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

තෙල් මිලේ වෙනසක්

තෙල් මිලේ වෙනසක්

අද (20) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් වල වෙනසක් සිදුව ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98.21 ලෙස සටහන්ව ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 109.02 ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.01 ලෙස සටහන්ව ඇත.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් අවි ආයුධ ජාවාරමේ.. තොරතුරු හෙළිවෙයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් අවි ආයුධ ජාවාරමේ.. තොරතුරු හෙළිවෙයි

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වල නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම මහේන් ගොපල්ලව සහ ඒ. ප්‍රේම්ශංකර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ (19) දින සලකා බැලීම සිදුවිය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා සඳහන් කළේ, මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වල නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි.

අන්තවාදී සංවිධාන සමඟ මොහු සම්බන්ධ වී කටයුතු කර ඇද්ද යන්න පිළිබඳවද වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බැවින්, ඉදිරිපත් වූ සාධාරණ කරුණු මත පදනම්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම රඳවා තබාගැනීම සිදුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ, සැකකරුට නිවසින් එළවළු ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන ලෙසත් නීතිඥවරුන් හමුවීම සඳහා දැනට ලබාදී ඇති කාලයට වඩා වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ, නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස කරන ඉල්ලීම ගැටලුකාරී බවත් මෙම සැකකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එවැනි සීමා පැනවීමට පොලිසිය ක්‍රියා කර තිබෙන බවයි.

අනතුරුව එම ඉල්ලීම් ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා දිනයකදී අධිකරණයට කරුණු දක්වන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළේය.

නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සංජය සමරසිංහ නමැත්තා අද (19) රාත්‍රියේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය.

අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමෙන් අනතුරුව සංජය සමරසිංහ නමැත්තා අත්අඩංගුවට ගත් අතර ඔහු හෙට (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අල්ලස් කොමිසමට ලද තොරතුරකට අනුව ඉකුත් සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.00ට පමණ එහි විමර්ශන නිලධාරින් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි ඔහුගේ නිවසක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

ඔහු සම්බන්ධයෙන් එම කොමිසම සතුව ඇති ලිපි ගොනුවකට අදාළව මෙම සෝදිසි මෙහෙයුම දියත් කළ අතර අනතුරුව නිවසේ තිබී සේප්පුවක් විමර්ශන නිලධාරින් භාරයට ගැනුණි.

කස්සප හිමිට පහරදීම.. සුමංගල හිමිගෙන් ප්‍රශ්න කරයි

කස්සප හිමිට පහරදීම.. සුමංගල හිමිගෙන් ප්‍රශ්න කරයි

කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් උලපනේ සුමංගල හිමිගෙන් පැය 4ක පමණ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

විහාරමාහා දේවී උද්‍යානයේදී බලංගොඩ කස්සප හිමියන් හට පොලීසිය පහරදුන් බවට උලපනේ සුමංගල හිමියන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

දින කිහිපයක විදුලි කප්පාදුවක්.. කපන වේලාවන් මෙන්න

දින කිහිපයක විදුලි කප්පාදුවක්.. කපන වේලාවන් මෙන්න

අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව සියලුම කලාප 04කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්‍රී 9.00 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතය.

එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් සහ කලාප පහතින්.

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට දුන් නියෝගය

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට දුන් නියෝගය

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අද (19) පස්වරුවේ මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරුවන් දෙදෙනා එළැඹෙන (28) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සැකකරුවන් මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අනුරාධා සෙනවිරත්න මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (19) දින සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026.08.19 දින අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පනත් කෙටුම්පත සම්බන්ධව 2026.10.08 වැනි දින දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, එහිදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

ඒ අනුව මෙම පනත මගින්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු, සිංහල සහ ඉංග්‍රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ සහ නඩු පැවරීමේ ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම අරමුණු කෙරේ.

මෙම සංශෝධන මඟින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමටත් අපේක්ෂිතය.

ඒ අනුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

ඥානසාර හිමි සිරගෙට.. අධිකරණයේ තීරණය නිවැරදියි.. තමන් එම තීන්දුවට ගරු කරනවා

ඥානසාර හිමි සිරගෙට.. අධිකරණයේ තීරණය නිවැරදියි.. තමන් එම තීන්දුවට ගරු කරනවා

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන ‘තාක්ෂණික දෝෂය’ කුමක්ද යන්න පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කිරීමේදී අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ, උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි.

ගරු අධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, තමා එම තීන්දුවට ගරු කරන බවද මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ඥාණසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු දෙකක් විභාග වී ඇති අතර, අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ (37417/10 සහ 40042 යන නඩු අංක යටතේ) මෙම නඩු පැවතී ඇත.

Screenshot
Follow WhatsApp Channel