Local news

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන තීරණයක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන තීරණයක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-04-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 08ක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වන, ජර්මනියේ Muhlbauer ID Services GmbH වෙත පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 05ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව යුරෝ මිලියන 4.93ක මුදලකට පිරිනැමීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පාස්කු නඩුවේ විත්තිකරුවන් 15ක් වරදකරුවන් වෙයි

පාස්කු නඩුවේ විත්තිකරුවන් 15ක් වරදකරුවන් වෙයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ඒ අනුව අදාළ විත්තිකරුවන් 24 දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නම් කර ඇත.

සෙසු විත්තිකරුවන් 09 දෙනා නිදහස් කිරීමට නියමිත අතර වරදකරුවන් වූ 15 දෙනා සම්බන්ධයෙන් වන දඬුවම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

79 වන නිදහස් උත්සවය වෙනුවෙන් අනුකමිටුවක්

79 වන නිදහස් උත්සවය වෙනුවෙන් අනුකමිටුවක්

79 වන නිදහස් දින සමරු උ‌ළෙලේ සංවිධාන කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

2027-02-04 දිනට යෙදෙන මෙරට 79 වන නිදහස් දින සමරු උළෙලෙහි කටයුතු සංවිධානය හා මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර ඇත.

මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත පහත නම් සඳහන් අධිකරණ සේවා නිලධාරීන් තිදෙනා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (23) දින පත් කිරීමට නියමිතය.

01- පෙරුමාල් සිවකුමාර්
02- ආනන්දි කනගරත්නම්
03- ඤාණේස ලලිත් කන්නන්ගර

කට නිසා වැඩ වැරදුන විමල්ට එරෙහිව පරීක්ෂණ අරඹයි

කට නිසා වැඩ වැරදුන විමල්ට එරෙහිව පරීක්ෂණ අරඹයි

පසුගිය (12) වන දින අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇද්ද යන්න පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව ඉදිරි දිනකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත කැදවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.

කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට සිදුකළ නියෝග මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

අධිකරණයට එරෙහිව මහාධිකරණයට ගිය සුගීෂ්වරට දුන් නියෝගය

අධිකරණයට එරෙහිව මහාධිකරණයට ගිය සුගීෂ්වරට දුන් නියෝගය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප කිරීමට එ⁣රෙහිව ඔහුගේ බිරිඳ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අනතුරුව සුගීෂ්වර බණ්ඩාරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප කිරීමට එ⁣රෙහිව ඔහුගේ බිරිඳ කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය (12) වැනිදා ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සුගීෂ්වර බණ්ඩාර පසුගිය ජුනි මස (18) වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් සහ එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව ඇති චෝදනා වේ.

ශ්‍රී ලංකාවට උසස්වීමක්

ශ්‍රී ලංකාවට උසස්වීමක්

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency default rating) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් කරයි.

බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කර ඇති ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් මෙම ණය ශ්‍රේණි උසස් කිරීම සිදු කර ඇති අතර එහි අපේක්ෂාව (Outlook) ස්ථාවර මට්ටමක පවත්වා ගෙන ඇත.

“බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කර ඇති සහ කම්පනවලට එරෙහිව යම් ඔරොත්තු දීමේ හැකියාවක් සපයන, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් අනාවරණය වන සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙම ණය ශ්‍රේණි උසස් කිරීම මගින් පිළිබිඹු වේ”

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ තවදුරටත් ඉහළ මට්ටමක පවතින ණය සහ ණය සේවා අනුපාතික මෙන්ම, විදේශ විනිමය සංචිත තවමත් මධ්‍යස්ථ මට්ටමක පැවතීම යන සාධක රටේ ණය පැතිකඩට තවදුරටත් බාධාවක් වී ඇති බව එම ආයතනය සඳහන් කරයි.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපල ක්‍රියාවිරහිත කරයි

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපල ක්‍රියාවිරහිත කරයි

සංවිධානානාත්මක අපරාධකරුවෙකු සහ නීතී විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ලොකු පැටී නැමැත්තාගේ රුපියල් ලක්ෂ 350ක පමණ වටිනාකමකින් යුත් දේපල ක්‍රියාවිරහිත කර ඇත.

නීතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවට එරෙහිව  මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව සිදුකරන විමර්ශනයකට අදාළව එම දේපල ක්‍රියාවිරහිත කර ඇත.

ඒ අනුව වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි පර්චස් 15ක ඉඩම සහ දෙමහල් නිවස ක්‍රියාවිරහිත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අවුරුදු 5ට අඩු දරුවන් සමග බන්ධනාගාරයේ සිටින මව්වරුන්ගේ නඩු ගැන තීරණයක්

අවුරුදු 5ට අඩු දරුවන් සමග බන්ධනාගාරයේ සිටින මව්වරුන්ගේ නඩු ගැන තීරණයක්

බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පුනරුත්ථාපනයට යොමු කිරීම සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙම කරුණු සාකච්ඡා විය.

බන්ධනාගාරවල පවතින අධික තදබදයට, වරදකරුවන් වූ සිරකරුවන්ට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් බලපාන බව මෙහිදී පෙන්වා දෙන ලද්දේය.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට ඇප ලබා ගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවන බවද මෙහිදී අනාවරණය විය.

එසේම ඇතැම් සැකකරුවන් මාස 18 සිට වසර 02 දක්වා කාලයක් රස පරීක්ෂක වාර්තා නොමැතිව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ද මෙහිදී පැමිණි නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදි.

මේ අතර, කුඩා මත්ද්‍රව්‍ය ප්‍රමාණ සමඟ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් සෘජුවම බන්ධනාගාරගත කිරීම වෙනුවට වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ හැකි වන පරිදි නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පවතින පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා පුහුණු පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී කාරක සභාව කියා සිටියේය .

වසර හතරකට අඩු දඬුවම් ලැබූ සිරකරුවන් සහ දඩ මුදල් ගෙවාගත නොහැකිව සිටින සුළු වැරදිකරුවන් සේවා හෝ වැඩ කඳවුරු වෙත හෝ යොමු කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

සුළු වැරදි සම්බන්ධයෙන් ඇප මුදල් තබා ගත නොහැකිව සිටින පුද්ගලයන්ගේ නඩු කඩිනමින් අවසන් කර ඔවුන් සුදුසු සේවා කඳවුරු වෙත යොමු කිරීම මගින් බන්ධනාගාර තදබදය අඩු කළ හැකි බව ද පැමිණි නිලධාරීහු පැවසුහ.

තවද, රැඳවියන් අධිකරණ වෙත භෞතිකව රැගෙන යාම වෙනුවට දුරස්ථ තාක්ෂණය සහ වීඩියෝ සම්බන්ධතා ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

දෛනිකව රැඳවියන් අධිකරණ වෙත රැගෙන යාමේදී බන්ධනාගාර නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යෙදවීමට සිදු වන බැවින්, මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් නිලධාරී හිඟය මෙන්ම ආරක්ෂක අවදානම ද අවම කරගත හැකි බව පැමිණි නිලධාරීහු ප්‍රකාශ කළහ. ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා විය.

වයෝවෘද්ධ, පූර්ණ ආබාධිත සහ දීර්ඝකාලීනව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සිරකරුවන් සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර, වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත පවතින නීතිමය ක්‍රමවේදයන්ට අනුව ඔවුන් නිදහස් කිරීමේ හැකියාව පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක් විය.

මේ අතර, වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මව්වරුන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය.

එම මව්වරුන් සිරකාරියන් සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාරියන් යන දෙපිරිසෙන්ම සමන්විත වන අතර, කුඩා දරුවන් බන්ධනාගාර පරිසරය තුළ දීර්ඝ කාලයක් ගත කිරීම ඔවුන්ගේ අනාගත වර්ධනයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බැවින්, නඩු කඩිනමින් විභාග කර දඬුවම් නියම කිරීම හෝ නිදහස් කිරීමේ ක්‍රමවේදයක් හෝ අවශ්‍ය බව පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ.

බන්ධනාගාර පද්ධතියේ යටිතල පහසුකම් පිළිබඳවද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, බන්ධනාගාරවල පැරණි හා අබලන් ගොඩනැගිලි කඩිනමින් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමේ අවශ්‍යතාව සාකච්ඡා විය.

මිල්ලෑව/හොරණ නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම, බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ පවතින බන්ධනාගාර ධාරිතාව උපරිමයෙන් භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම, අධික තදබදයක් පවතින බන්ධනාගාරවල රැඳවියන් සාපේක්ෂව තදබදය අඩු බන්ධනාගාර වෙත මාරු කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, අධිකරණ කටයුතු සඳහා රැඳවියන් ප්‍රවාහනය කිරීමේදී සහ රෝහල්ගත රැඳවියන් සඳහා ආරක්ෂාව සැපයීමේදී විශාල නිලධාරී පිරිසක් යෙදවීමට සිදුවීම නිලධාරී හිඟය තවදුරටත් උග්‍ර කරන බව ද අනාවරණ විය.

ඒ අනුව, දුරස්ථ අධිකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මෙන්ම රෝහල්වල රැඳවියන් සඳහා වෙන්කර ඇති විශේෂ වාට්ටු නැවත සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා විය.

බාහිර ආරක්ෂාව සඳහා අවශ්‍ය අවස්ථාවලදී පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීම, බන්ධනාගාර නිලධාරීන්ගේ උසස්වීම් හා වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු විසඳීම සහ ඔවුන්ට එල්ල වන ජීවිත තර්ජන සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීම පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු කෙරිණි.

අවසානයේදී, බන්ධනාගාර තදබදය අවම කිරීම සමඟම සමාජගත වන පුද්ගලයන් නැවත වැරදිවලට යොමු වීම වැළැක්වීම සඳහා ප්‍රජා පාදක විශෝධන සහ පසු විපරම් ක්‍රමවේද ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කරන ලදී.

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ‘දූෂණ විරෝධී (සංශෝධන)’ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා අද (22) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි අතර ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතුව ඇත.

✕
⌃ News
📰 Free News Subscription?