Local news

අග්බෝ ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයාගනී

අග්බෝ ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස “අග්බෝ” ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයා ගැනීමට හැකි වී ඇත.

එම ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික විසින් තහවුරු කර ඇති පරිදි, සොයා ගන්නා අවස්ථාව වන විටත් අග්බෝ ඇතා ඉතා නිරෝගී සුවයෙන් සහ යහපත් ශාරීරික තත්ත්වයෙන් පසුවෙයි.

ඒ අනුව, අග්බෝ ඇතා මේ වනවිට නාච්චාදූව වැව් රක්ෂිත පරිශ්‍රයේ කිසිදු උවදුරකින් තොරව, පූර්ණ සුරක්ෂිතභාවයෙන් සහ නිරෝගීව සැරිසරන බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

අධිකරණයට අපහාස කිරීම – විමල් ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ලට නියෝගයක්

අධිකරණයට අපහාස කිරීම – විමල් ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ලට නියෝගයක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද (19) අභියාචනාධිකරණය හමුවේ කැඳවයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එම පැමිණිල්ල ලබන (23) වැනිදා යළි කැඳවීමට නියෝග කර ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පළ කළ විරෝධතාවලදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු පිරිස සිදුකළ ප්‍රකාශ මඟින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

අකුරණ මහා අනතුරක්.. පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

අකුරණ මහා අනතුරක්.. පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

අද (19) දින අකුරණ ප්‍රදේශයේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ මාර්ගයේ ධාවනය වෙමින් තිබු වාහන කිහිපයක සිමෙන්ති පැටවූ ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් සිදුවූ තුවාල, ජීවිත හානි සහ දේපොළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

කෙසේ වෙතත් අනතුරින් ත්‍රිරෝද රථ, ලොරි රථ සහ යතුරුපැදි ඇතුළු වාහන අටකට පමණ හානි සිදුව ඇති අතර එම අනතුරින් මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයන් කිහිපදෙනෙකු ද අනතුරට ලක්ව ඇත.

තුවාල ලැබු පුද්ගලයින් අටදෙනෙකු අකුරණ ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රංශ ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රංශ ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස වන එලීසේ මාලිගයේ සිට ජාතිය අමතමින් ජනාධිපති මැක්‍රෝන් අවධාරණය කරයි.

ප්‍රංශ වැසියන් ලක්ෂ 5කට අධික පිරිසක් පැරිස් ඇතුළු නගර වල සිදුකල විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ, කිසිදු ඉල්ලීමක් පවතින අසීමිත ප්‍රචණ්ඩත්වය හරහා සාධාරණීකරණය කළ නොහැකි බවයි.

ප්‍රංශයේ ඓතිහාසික වටිනාකම් ඇති පැරණි ගොඩනැගිලි, පොදු ස්ථාන, මෝටර් රථ සහ පෞද්ගලික ව්‍යාපාර ඇතැම් විරෝධතාකරුවන් සති අන්තයේදී ගිනි තබා විනාශ කර ඇත.

සුප්‍රකට සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිසැල් මෙන්ම කුඩා ව්‍යාපාර වෙත කඩා වදින මුහුණ ආවරණය කරගත් විරෝධතාකරුවන් භාණ්ඩ කොල්ලකන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත වේ.

ගුරුවරු හිඟය ඇතුළු ගැටළු හුවා දක්වමින් එරට අධ්‍යාපනයට වෙන් කෙරෙන අරමුදල් ඉහළ නංවන්නැයි රජයට බලකරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ මුල ප්‍රංශයේ උසස් පාසැලක විරෝධතාවක් පැවැත්වුණි.

පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වූ පාසැල් සිසුන් රට පුරාම සිය පාසැල් තුළ අදාළ විරෝධතා ආරම්භ කළේය.

සති අන්තයේ පමණක් පුද්ගලයින් 2,400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

ශ්‍රී ලාංකික කාන්තාවක් උඩුගුවනේදී දරුවෙක් ප්‍රසූත කරයි

ශ්‍රී ලාංකික කාන්තාවක් උඩුගුවනේදී දරුවෙක් ප්‍රසූත කරයි

අද (19) දින කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇත.

එම කාන්තාව අද (19) අලුයම 2.52ට කුවේට් ගුවන් තොටුපොළේ සිට J9-551 දරන ගුවන් යානයෙන් කටුනායක බලා පැමිණෙමින් සිටියදී මෙම දරු ප්‍රසූතිය සිදුව ඇත.

ගුවන් යානය තුළදී ගුවන් සේවිකාවන්ගේ සහාය ඇතිව දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර එය කිසිදු සංකූලතාවකින් තොරව සිදුව ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් එලෙස දරුවෙකු ප්‍රසූත කර ඇති අතර ඇය 2024 වසරේදී ගෘහ සේවය සඳහා කුවේට් රාජ්‍යයට ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, ගුවන් යානය ගොඩබැස්වීමට පෙරම ගිලන් රථයක්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයක් සූදානම් කර තැබීමට පියවර ගෙන ඇත.

දරු ප්‍රසූතියෙන් පසු මව සහ බිළිඳා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කර ඇති අතර ඔවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තොරතුරු වාර්තා වේ.

ගුවන් ගමනට සහභාගී වීමේදී ගර්භණීභාවය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවයේ නියමයන් සහ වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගත යුතු පසුබිමක, අදාළ කාන්තාව සිය ගර්භණීභාවය ගුවන් සේවා නිලධාරීන්ගෙන් සඟවාගෙන සිටි බවට තොරතුරු වාර්තා වේ.

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට තවත් 5ක් අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට තවත් 5ක් අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ ආශ්‍රිත නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වූ තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මූලිකව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ ප්‍රධාන සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට මේ වනවිට විමර්ශන මඟින් අනාවරණය වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සහ වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන පුළුල් කර ඇති බවද පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලිසිය එක්ව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියි.

පුත්තලම හිටපු මන්ත්‍රී ගංජා තොගයක් සමග අත්අඩංගුවට

පුත්තලම හිටපු මන්ත්‍රී ගංජා තොගයක් සමග අත්අඩංගුවට

පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

පුත්තලම, තිල්ලඩිය ප්‍රදේශයේදී ඊයේ (18) පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු තිල්ලඩිය ප්‍රදේශයේ සිට පුත්තලම නගරයට කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නකුලේෂ්වරන් නමැති අයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් පක්ෂයේ අපේක්ෂකයෙක් ලෙසද කටයුතු කර ඇත.

පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ජාවාරම සඳහා යොදාගත් බව කියන යතුරුපැදිය අද (19) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නාමය භාවිත කරමින් සිදුකරන වංචනික ක්‍රියාකාරකම් වලට හසු නොවන ලෙස එම ගුවන් සේවය මහජනතාවට දැනුම් දෙයි.

ගුවන් සේවයේ නාමයෙන් පෙනී සිටින ව්‍යාජ ජංගම යෙදුම් සහ සමාජ මාධ්‍ය ගිණුම් හරහා සිදුවිය හැකි මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද එම ගුවන් සේවය සඳහන් කරයි.

WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන සැක සහිත දැන්වීම් සහ පණිවිඩවල සඳහන් සබැඳි හරහා ගෙවීම් සිදුකිරීමෙන් වළකින ලෙසද එම ගුවන් සේවය අවධාරණය කරයි.

තවද OTP අංක, බැංකු කාඩ්පත්වල PIN අංක සහ අනෙකුත් රහස්‍ය තොරතුරු කිසිදු පුද්ගලයෙකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙසද එම ගුවන් සේවය සඳහන් කරයි.

ආසන පටි නීතිය කඩ කළ අයට වැඩ වරදී

ආසන පටි නීතිය කඩ කළ අයට වැඩ වරදී

අධිවේගී මාර්ගයේ ආසනපටි නීතිය කඩ කළ පුද්ගලයින් රැසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අධිවේගී මාර්ගයේ ආසනපටි නීතිය කඩ කළ පුද්ගලයින් 5200කට ආසන්න පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට බොහෝ පිරිසක් ආසන පටි නීතියට අනුගතවී ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

මාස 9ට අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවු ආදායමක්

මාස 9ට අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවු ආදායමක්

මෙම වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවූ ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ගතවූ මාස 9ක කාලය තුළ ලබා ඇති සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,245.2ක් වන අතර පසුගිය 2025 වසරේ එම කාලය සාපේක්ෂව සංසන්දනය කළ විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇතැයි මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.

මෙම 2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ මෙරටට සංචාරකයින් 1,693,679ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් එම ආදායම උපයාගෙන ඇත.

පසුගිය 2025 වසරේදී ගතවූ මාස 9ක කාලය තුළදී සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,472.9ක් උපයා ඇත.

Follow WhatsApp Channel