Local news

හිටපු ඇමති ලේකම් අත්අඩංගුවට

හිටපු ඇමති ලේකම් අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයකුගේ ලේකම්වරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් සිය බැංකු ගිණුමට බැර කරවා ගැනීම සම්බන්ධයෙන් එම ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ‌ගෙන ඇත.

රටම බලාසිටි අවසන් තීන්දුවට කථානායකවරයා දුන් නියෝගය

රටම බලාසිටි අවසන් තීන්දුවට කථානායකවරයා දුන් නියෝගය

“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (22) දින පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

එම නිවේදනය පහත පරිදි වේ..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.

  • ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවේ.
  • “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ සඳහන් ව්‍යතිරේකය තුළ අඩංගු “හැට හතට එලඹෙන දිනය” යන වාක්‍ය ඛණ්ඩය, “හැට හත සම්පූර්ණ කළ දිනය” යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතුය.

“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පතේ 2 වගන්තියේ දෙවන ව්‍යතිරේකය ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතුය.

“එසේම, පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර හයක ධුර කාල සීමාව, මෙම පනත ක්‍රියාත්මක වන දිනයේදී අගවිනිසුරු ධුරය දරන කිසිදු තැනැත්තෙකුට අදාළ නොවිය යුතුය.”ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ, “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (22) දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

සුඛෝභෝගී මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි.. වීදුරු කඩා එළියට ගත් මෙහෙයුම

සුඛෝභෝගී මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි.. වීදුරු කඩා එළියට ගත් මෙහෙයුම

අණ නොතකා පලාගිය සුඛෝභෝගී මෝටර් රථයක් පසු පස පොලීසිය පන්නා, පන්නල නගරයේදී එය නවතා රියදුරු සහ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ගිරිඋල්ල පොලිසිය මෝටර් රථය නැවතීමට කළ සංඥා නොතකා එය ඉදිරියට ධාවනය කර පලායාමේදි වෙඩි තබා ඇති අතර අනතුරුව පසුපස හඹා ගොස් පන්නල නගරයේදී ජීප් රථය සහ තවත් වාහන කීපයක් මග හරස්කර නවතා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථයේ පැදවූ රියදුරු මෝටර් රථයේ දොරවල් වසා මෝටර් රථය තුළට වී සිටියදී පොලිස් නිලධාරීන් T 56 ගිනි අවිය එල්ල කර වෙඩි තබන බව පැවසුවත් මෝටර් රථයේ දොරවල් විවෘත නොකිරීම හේතුවෙන් වීදුරු කඩා දොර විවෘත කළ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා සන්තකයේ තිබී මත්ද්‍රවය සුළු ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් බවද පොලීසිය සඳහන් කරයි.

අගමැතිනිය ඝාතන සැලසුමක් ගැන පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

අගමැතිනිය ඝාතන සැලසුමක් ගැන පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව එම කාර්යාංශයේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලින්ද ද සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.

Facebook හරහා “Breaking හරිනි ඝාතන සැලසුමක්” යන තේමාව යටතේ ද්වේෂසහගත ලෙස සහ රාජ්‍ය නොසන්සුන්තාවක් ඇති කිරීමේ අරමුණින් මෙම අසත්‍ය ප්‍රචාරය සිදුකර ඇති බවත් අග්‍රාමාත්‍යවරියට වස දී ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව පවසමින් මෙම ව්‍යාජ තොරතුරු සමාජගත කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කළේය.

මහාධිකරණයේ ආරක්ෂාව තර කරයි.. STF කැඳවයි

මහාධිකරණයේ ආරක්ෂාව තර කරයි.. STF කැඳවයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අද (22) දිනයේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය, ⁣විශේෂ කාර්ය බලකාය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇත.

අද මහාධිකරණයේදී නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද දිනයේ මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

22 පාර්ලිමේන්තුවට.. රටම බලාසිටි තීන්දුව

22 පාර්ලිමේන්තුවට.. රටම බලාසිටි තීන්දුව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද (22) දින පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

එළඹෙන 2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් හාරදහස් නවසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූඅට දහසක් වශයෙන් ඇස්තමේන්තු කර ඇත.

මෙවර විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන මස (07) වන දින සිදුකිරීමට නියමිත අතර විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් (12) වන දින සිදුකිරීමට නියමිතය.

අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් මස (13) වන දින සිට (20) වන දින දක්වා පැවැත්වීමට  නියමිත අතර කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස (21) වන දින සිට දෙසැම්බර් මස (14) වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

වසර 7කට පසුව ලැබෙන අවසන් තීන්දුව.. විත්තිකරුවන් 24 දෙනා මෙන්න

වසර 7කට පසුව ලැබෙන අවසන් තීන්දුව.. විත්තිකරුවන් 24 දෙනා මෙන්න

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව අද (22) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.

නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මෙම නඩුව සදහා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදුන්නේය.

නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා වන්නේ,

1.මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි,

2.මොහොමඩ් සරිපු ආදම් ලෙබ්බේ හෙවක් ගපූර් මාමා,

3.හයාතු මොහමදු අහමදු මිල්හාන්,

4.මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා,

5.මොහොමඩ් ඊබ්‍රහිම් සාහිඩ් අබ්දුල් හක්,

6.මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්,

7.මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්,

8.අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස්,

9.මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්,

10.අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි,

11.හුසේනූල් රිස්වි කාලිද් සමීර්,

12.මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන්,

13.මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ්,

14.රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්,

15.මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන්,

16.මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස්,

17.කච්චි මොහොමදු ජෙස්මින්,

18.සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්,

19.මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්,

20.මීරා සහීඩ් මොහොමඩ් නෆ්ලි,

21.මොහොමඩ් අමීර් මොහොමදු අයතුල්ලා,

22.මොහොමඩ් අන්සාඩීන් හිල්මි,

23.මොහොමඩ් ඉල්මි හෙවත් ඉල්මි,

24.මොහොමඩ් අක්‍රම් අහක්කම්,

තව දින දෙකයි.. ශිරන්ති නැවතත් ලංකාවට.?

තව දින දෙකයි.. ශිරන්ති නැවතත් ලංකාවට.?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හැම අවස්තාවකම පරීක්ෂණ වලට සහභාගී වෙලා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට සහයෝගය ලබාදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම්, නීතීඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

සාගර කාරියවසම් මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ,

“ශිරන්ති රාජපක්ෂ මහත්මියට යම්කිසි පරීක්ෂණයකට එන්න කියලා කටවුත්තරයක් දෙන්න කියලා දැනුම්දීලා තියෙන අවස්තාවක එතුමිය විදේශගත වුණා නම්, ඔබ කියන කාරණය සම්බන්ධයෙන් කිසියම් හෝ සත්‍යතාවයක් ජනතාවට හිතන්න තිබුණා.

හැබැයි එතුමිය ලංකාවෙන් එළියට යනකම් ඉදලා එතුමිය පරීක්ෂණ මගහරින්න ගියා කියලා කියන කාරණයම මම හිතන්නේ හාස්‍යජනකයි. ඒ කියපු හැම අවස්තාවකම එතුමිය ඒ සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ වලට සහභාගී වෙලා, ඒ අවශ්‍ය සහයෝගය නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ලබාදුන්නා.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පසුගිය (16) වනදා දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ඒ ශිරන්ති රාජපක්ෂගේ රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රථිකාර කිරීමට සහ විශේෂ පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත පිටත්ව ගියේය.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂ පසුගිය (19) වනදා පරීක්ෂණ කටයුතු සිදුකර නැවත දිවයිනට පැමිණෙන බව සඳහන් කළද, අද දිනය වනවිටත් ඇය දිවයිනට පැමිණ නැත.

කෙසේ වෙතත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ලබන (24) වනදා පෙනී සිටින ලෙසට ශිරන්ති රාජපක්ෂට මේ වනවිට දැනුම් දී ඇත.

ශිරන්ති රාජපක්ෂ ලබන (24) වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීම සඳහා දිවයිනට පැමිණෙයිද.?

මම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නෑ

මම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නෑ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට තමන් සම්බන්ධ කිරීමට උත්සාහ කරමින් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.

ඇතැම් පාර්ශ්වයන් විසින් තමන් ඉලක්ක කර ගනිමින් සිදුකරන එවැනි පදනම් විරහිත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකළ විමර්ශන වලදී තමන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බව තහවුරු වී අධිකරණයෙන් නිදහස්ව සිටින බවද මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.

එවැනි පසුබිමක, යළිත් මෙවැනි චෝදනා එල්ල කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවද මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?