Local news

ලක්ෂ 11ක විදුලි බිල නොගෙවා සැපට ඉන්න පොහොට්ටුවේ හිටපු ඇමති

ලක්ෂ 11ක විදුලි බිල නොගෙවා සැපට ඉන්න පොහොට්ටුවේ හිටපු ඇමති

පසුගිය 2008 වසරේ සිට පරිහරණය කළ නිල නිවස වෙනුවෙන් කිසිදු කුලී මුදලක්, ජල බිල්පතක්, විදුලි බිල්පතක් පොහොට්ටුවේ හිටපු ඇමති සුසන්ත පුංචිනිලමේ ගෙවා නැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් පාර්ලිමේන්තුවේදී (04) සඳහන් කරයි.

එම මුදල් අයකර ගැනීම වෙනුවෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් උත්සාහ කර ඇතත් පොහොට්ටුවේ හිටපු ඇමති සුසන්ත පුංචිනිලමේ කිසිදු මුදලක් ගෙවා නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් සඳහන් කරයි.

එනිසා මේ සම්බන්ධයෙන් වන ලිපි ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත භාරදෙන බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් සඳහන් කරයි.

තවද පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත පතිරණ ප්‍රේමකුමාරට පේදුරු කොටුව තුළ නිල නිවාසයක් ලබාදී තිබූ බවත් ඒ වෙනුවෙන් කුලී ගෙවීමක් කර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් සඳහන් කරයි.

උසස් පෙළ විභාගය කල් දමන්න කියු FR පෙත්සමේ නියෝගය

උසස් පෙළ විභාගය කල් දමන්න කියු FR පෙත්සමේ නියෝගය

පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළේය.

උසස් පෙළ විභාගය සඳහා පළමුවරට සහ දෙවන වරට පෙනී සිටින සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මේ අතර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට පසුගිය ජුලි මස (23) වනදා අභියාචනාධිකරණය තීරණය කළේය.

ශෂීන්ද්‍රගේ නඩුවට දින නියම වෙයි

ශෂීන්ද්‍රගේ නඩුවට දින නියම වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (05) දින කැඳවයි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගය සඳහා එළඹෙන සැප්තැම්බර් මස (28) වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

කර්මාන්ත 30%කට බලපත්‍ර නෑ.. රාජපක්ෂ හෙළිකරයි

කර්මාන්ත 30%කට බලපත්‍ර නෑ.. රාජපක්ෂ හෙළිකරයි

මෙරට කර්මාන්තවලින් 30% කට පමණ පරිසර ආරක්ෂණ බලපත්‍ර නොමැති බවට හෙළි වී ඇත.

එවැනි ආයතන තවත් හඳුනාගැනීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කරයි.

පරිසර බලපත්‍ර ලබාගෙන නොමැති කර්මාන්තකරුවන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කරන බවද අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කරයි.

පරිසර බලපත්‍ර ලබා නොගෙන හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරන කාර්මාන්ත කරුවන්ට එරෙහිව නඩු 200කට අධික සංඛ්‍යාවක් මේ වනවිට පවරා ඇති බවද අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කරයි.

දකුණේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි

දකුණේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි

පසුගියදා මීගමුව සහ මහර බන්ධනාගාරවල සිදුවූ ගැටුම් වලින් අනතුරුව දකුණු පළාතේ බූස්ස ඇතුළු බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇත.

මීගමුව සහ මහර බන්ධනාගාර ආශ්‍රිතව මෑතකදී වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්ව හමුවේ දකුණු පළාත තුළ එවැනි කිසිදු සිදුවීමක් ඇති නොවීමට වගබලා ගැනීම ප්‍රධාන අරමුණ වේ.

ගාල්ල, බුස්ස, මාතර, අඟුණකොළපැලැස්ස සහ වීරවිල බන්ධනාගාරවල වත්මන් තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩුගේගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී මේ බව තීරණය කර ඇත.

දකුණු පළාතේ ජනතාවගේ ආරක්ෂාව, ජීවිත දේපළ සහ සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

දිවයිනේ සෙසු බන්ධනාගාරවල වූ සිදුවීම් වලින් පාඩම් ඉගෙන ගනිමින්, බුද්ධි තොරතුරු හුවමාරුව කාර්යක්ෂම කිරීමටත්, සියලු ආරක්ෂක අංශ ඒකාබද්ධව ඕනෑම හදිසි තත්ත්වයකට කඩිනමින් ප්‍රතිචාර දැක්විය හැකි යන්ත්‍රණයක් සූදානම්ව තබා ගැනීමටද මෙහිදී උපදෙස් ලබාදී ඇත.

රත්මලානේ බෝම්බ ප්‍රහාරය.. පාතාලය ගැටෙයි.?

රත්මලානේ බෝම්බ ප්‍රහාරය.. පාතාලය ගැටෙයි.?

අද (05) දින අලුයම රත්මලානේ, ඥානේන්ද්‍ර මාර්ගයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධව පාතාල සබඳතාවයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

ප්‍රහාරය හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවසේ ජනෙල් පියන් 02ක වීදුරු පුපුරා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර ඉන් එකක් පුපුරා ගොස් අනෙක් අත්බෝම්බය ගෙවත්තේ වැටී තිබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

නිවසේ හිමිකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු වන දැනට විදෙස්ගතව සිටින රසල් ඇලෝසියස් ස්මිත් යන අයගේ පියාගේ සහෝදරයෙකුගේ පුතෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

රසල් ඇලෝසියස් ස්මිත් යන අය අපරාධ කල්ලි නායකයින් වන සිංහාර අමල් ශාමින්ද සිල්වා නොහොත් අංජු හා එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් ධර්මේ යන අයවලුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බව වාර්තා වේ.

සියල්ල තහනම් කරමින් ශිෂ්‍යත්ව විභාගයට පෙර දැනුම්දීමක්

සියල්ල තහනම් කරමින් ශිෂ්‍යත්ව විභාගයට පෙර දැනුම්දීමක්

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙර විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අද (05) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම විභාග කටයුතු අවසන් වනතුරු මෙම තහනම බලපැවත්වෙන අතර එම කාලයේදී ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම සිදු නොකළ යුතුයි.

විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබාගැනීම සපුරා තහනම් වේ. 

හිටපු ඇමති දුමින්දට අධිචෝදනා

හිටපු ඇමති දුමින්දට අධිචෝදනා

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී ඇත.

වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේදී සොයාගත් රන් ආලේපිත T56 සිදුවීමට අදාළව දුමින්ද දිසානායකට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇත.

මීට අමතරව එම රන් ආලේපිත T56 සිද්ධියේ සැකකාරියට එරෙහිව ද නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇත.

ජොන්ස්ටන්ගේ නිදහස අවලංගුයි.. වැඩ වරදින නඩුවක් යළි කරළියට

ජොන්ස්ටන්ගේ නිදහස අවලංගුයි.. වැඩ වරදින නඩුවක් යළි කරළියට

අල්ලස් කොමිසමේ සියලු කොමසාරිස්වරුන් අත්සන් නොකිරීමේ ⁣තාක්ෂණික දෝෂයක් මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කළ අල්ලස් නඩුවක් නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

සතොස ආයතනයේ සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර දුන් නියෝගය බලරහිත කිරීමට අභියාචනාධිකරණය (04) දින පියවර ගත්තේය.

එම චෝදනාවලට අදාළව හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිසට එරෙහිව පවරා ඇති සියලුම නඩු නැවත මුල සිට විභාග කරන ලෙස පී. කුමාරරත්නම්, දමිත් තොටවත්ත, කේ.එම්.එස්. දිසානායක, කේ.පී. ප්‍රනාන්දු සහ අන්නලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේ, 1994 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 2 (8) වගන්තියට අනුව කොමිසමේ බලතල ක්‍රියාත්මක කිරීමට කොමසාරිස්වරුන් තිදෙනාම එකට සිටීම අනිවාර්ය නොවන බවයි.

2010 – 2014 කාලයේ සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතුවල යොදවමින්, රජයේ මුදලින් ඔවුන්ට වැටුප් හා අතිකාල දීමනා ගෙවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහොමඩ් සකීර්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ නඩු 07ක් ගොනුකර තිබුණේය.

එහෙත්, මෙම විමර්ශන ආරම්භ කිරීම සහ නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැති බවට විත්තියේ නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණය විසින් 2023 මැයි (19) වනදා මොවුන් නිදහස් කිරීමට තීන්දු කළේය.

පොලිස්පතිවරයා ඝාතනය කිරීම.. සාගරගේ ලැයිස්තුවේ නම් එළියට පනී

පොලිස්පතිවරයා ඝාතනය කිරීම.. සාගරගේ ලැයිස්තුවේ නම් එළියට පනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් විසින් වත්මන් පොලිස්පතිවරයා ඝාතනය කිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශය මගින් පොලිස්පතිවරයා මහමඟදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදෙන බවක් පෙන්නුම් කරන බවත් එය ඉතා බරපතල තත්ත්වයක් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ, පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක් සාගර කාරියවසම් ලබාදෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඒක ඉතාම බරපතල ප්‍රකාශයක්.

වර්තමාන පොලිස්පතිවරයා මේ අපරාධ සම්බන්ධයෙන් වේගයෙන් පොලීසිය මෙහෙයවමින් කටයුතු කරමින් ඉන්නවා. පාතාලය මර්දනය කරන්න කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා.”

පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට, කළු සල්ලි ජාවාරමට, දූෂිත දේශපාලනයට එරෙහිව පොලිස්පතිවරයා තමන්ගේ ආයතනය, නිලධාරීන් මෙහෙයවමින් සිටියදී යම් කිසි පක්ෂයක මහ ලේකම්වරයෙක් කිව්වා නම් මේ පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය වෙනව වගේ ප්‍රකශයක්.

ඒක බරපතලයි. මාධ්‍ය සාකච්ජාවකදී බොහොම හොදින්, හිතාමතා සැලසුම් සහගතව කියපු ප්‍රකාශයක්. පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය කරනවා වගේ ප්‍රකාශයක් කරනවා නම්, ඊට පසුබිම් වන කතන්දරය පිළිබඳව පරීක්ෂණ කරන්න පොලීසියට සිදුවේවි.

අනිවාර්යයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. මේ ප්‍රකාශ නිකන් වචන කියලා බැහැර කරන්න බැහැ. මේවා නික තැනක කිව්වා නෙවෙයි. මාධ්‍ය සාකච්ඡාවකදී හිතාමතා සැලසුම් සහගතව කියපු එකක් කියලා තමයි පේන්න.”

මේ අතර පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් පසුගියදා සඳහන් කළේ,

අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

ඔවුන්ට බලය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගන්න තියෙන හැකියාව තමයි නැවත නැවත ඔවුන් මේ ඔප්පු කරමින් ඉන්නේ. මේ වෙනකොට වර්තමාන පොලිස්පතිතුමා විශේෂයෙන් තමන්ගේ සේවාව කාර්යක්ෂමව, මැනවින් ඉටු කරමින් ඉන්නවා.”

ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ බොහෝ පිරිස් විවිධ වංචා වලට සම්බන්ධ වෙලා, මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශන ඉතාම කාර්යක්ෂමව සිද්ධ වෙමින් පවතිනවා. මෙවැනි දූෂිතයන් මේ වෙනකොට බියට පත්වෙලා මේ වගේ මනෝ විකාර ප්‍රකාශ කරනවා.”

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

ඔබතුමාලට අසීමිතව කඩේ යන පොලිස්පතිව අසරණ කරන්න එපා. මම කියනවා තමයි. අහගෙන ඉන්න. ඔබතුමාලා දන්නවා නම් පෙර දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට, පොලීසියට ගියපු කළදසාව ඔබතුමාලගේ පොලිස්පතිව අනාථ කරන්න එපා. මම මේ කියන්නේ ඒක. ඔහොම කිය කිය ඉන්න.”

159ම විනෝද වෙන්න. ඔහොම තමයි අවසාන කාලේ වෙනකොට ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබතුමාල මෙතන මේ කයිවාරු ගහන්න පුළුවන්. ඔබතුමාලා මෙතන දඟලන්න පුළුවන්. බොරු කියන්නත් පුළුවන්.

අපි ඔයාලා වගේ පස්සෙ දොරෙන් දුවන අය නෙමෙයි ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා. අපි හැංගි හොරා වැඩ නෑ. අපි ඒක වෙලාව ආවාම බලාගමු.”

මේ අතර පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් විසින් පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය කිරීම සම්බන්ධව දුන් ඉගිය පිළිබඳව, ප්‍රකාශයට අදාළව මේ වනවිට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.