Local news

දිලිත්, විමල්, ගම්මන්පිලට අධිකරණ අපහාස නඩු

දිලිත්, විමල්, ගම්මන්පිලට අධිකරණ අපහාස නඩු

දිලිත් ජයවීර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සුගීෂ්වර බණ්ඩාර,අසංක නවරත්න, මහින්ද පතිරණට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අභියාචනාධිකරණයට කරුණු වාර්තා කරන්නැයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (05) දින නියෝග කර ඇත.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි (07) සහ (15) අතර පැවති සත්‍යග්‍රහය අතරතුර අධිකරණ ක්‍රියාවළිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් පලකිරීමේ චෝදනාවට අදාළව එම නියෝගය කර ඇත.

ජූනි (07) වනදා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වෙමින් සහ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් මොවුන් අධිකරණයට අපහාස කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේය.

මේ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (05) දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු වාර්තා කළේය.

මෙම පුද්ගලයින්ගේ ප්‍රකාශවලින් අධිකරණ ක්‍රියාවලිය විවේචනය කර ඇතැයි බැලූ බැල්මට පෙනී යන බව එහිදී මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මෙම තීරණය අභියාචනාධිකරණය වෙත දැනුම් දීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

“ඉවත් වෙනු” ලංකාව සුද්ද කරන්න ඉන්දියාවේ උපරිම සහාය

“ඉවත් වෙනු” ලංකාව සුද්ද කරන්න ඉන්දියාවේ උපරිම සහාය

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රී (Vikram Misri) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී දෙරට අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතා පිළිබඳ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනුණි.

2022/2023 පැවති ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම දිට්වා ආපදා අවස්ථාවේදී ලබා දුන් මානුෂීය ආධාර සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ලබා දුන් සහයෝගයත්, විශේෂයෙන් මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට ලබා දුන් සහාය පිළිබඳවත් කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඉන්දීය රජය වෙත සිය ස්තූතිය පළ කළේය.

ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියද සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ඉන්දියාවේ සහාය අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා කලාපීය තර්ජනයක්ව ඇති නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී ඉන්දියාවේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

කාලගුණ විපර්යාසය හමුවේ මුහුණ දෙන අභියෝග වලට පිළියම් සෙවීමේදී කලාපීය රටවල් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සතුට පළ කළ ඉන්දීය විදේශ ලේකම්වරයා විෂ මත්ද්‍රව්‍ය උවදුර මුළිනුපුටා දැමීමේ රජයේ වැඩපිළිවෙළට ඉන්දියාවේ උපරිම සහයෝගය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද සඳහන් කළේය.

එසේම, තාක්ෂණය, බලශක්තිය සහ වෙළෙඳ ඇතුළු ක්ෂේත්‍රයන්ට අදාළව දෙරට අතර පවතින සහයෝගය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන අන්දමින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.

ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්

හෙට (06) පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 05 ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මැදවල (පැරණි) සේවා ජලාශය =
කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්‌ට සහ තලපැලැල්ලේගොඩ පාර.

මැදවල (නව) සේවා ජලාශය =
බටුගොඩ, ඇහැළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරංකහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද.

ගල්ලෙනවත්ත සේවා ජලාශය =
ගල්ලෙනවත්ත සහ ඛාන්අංග.

ගලගෙදර සේවා ජලාශය =
ගලගෙදර, වැමඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර.

මාවතගම සේවා ජලාශය =
මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර එම කාලය තුළ ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රනිල්ගේ ආදරණීය හිතවතා බන්ධනාගාරයට

රනිල්ගේ ආදරණීය හිතවතා බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් බඳවාගෙන ඔවුන්, පුද්ගලික වැඩවලට යොදාගැනීමේ චෝදනාවකට අදාළව ඔහු අද අත්අඩංගුවට ගත්තේය.

කාලගුණය කැළඹෙයි.. හෙට සිට තද වැසි

කාලගුණය කැළඹෙයි.. හෙට සිට තද වැසි

සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (06) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවර එළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතියි.

තවද අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ආන්දෝලාත්මක අනතුරු.. නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

ආන්දෝලාත්මක අනතුරු.. නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

මෙරට මෑතකදී සිදුවූ ආන්දෝලාත්මක බරපතල ගනයේ රිය අනතුරු බොහොමයක් සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද විමර්ශනවලදී වාහනවල ධාවන තත්ත්වයේ පවතින කාර්මික දුර්වලතා එම අනතුරුවලට හේතුවී ඇති බව අනාවරණ වී ඇත.

එබැවින්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලයීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල ධාවන යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා‌ගෙන ඇත.

ඒ සඳහා නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙමින්, (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව 2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝග, අංක 2489/22 දරන 2026-05-19 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාලයක්

ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාලයක්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ පවතින ඉහළ පුහුණු අවශ්‍යතා සැලකිල්ලට ගෙන, පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ නව පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර 2025-02-10 දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට අනුබද්ධ ශාඛාවක් ලෙස එම නව පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් වලව කලාපයේ මයුරපුර කොට්ඨාසයේ හෙක්ටයාර 3.11ක ඉඩම් කොටසක ඉදිකිරීමට සැලසුම් කර ඇත.

කිරිඉබ්බන්වැව පාවෙන සූර්යය විදුලි බලාගාරය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානය ආසන්නයේ එම නව පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට යෝජිත බැවින්, සිසුන්ට ඍජු ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇත.

යෝජිත නව පුහුණු මධ්‍යස්ථානය සහ අදාළ අනෙකුත් ආයතන ඒකාබද්ධව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ පුහුණු ජාලයක් (Training Hub) ක්‍රියාත්මක කිරීම එම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

එකී පුහුණු ජාලය හරහා බලශක්ති කාර්යක්ෂමතාව, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මෙන්ම සූර්ය, සුළං, ජල විදුලි සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විෂය දැනුම හා ප්‍රායෝගික පුහුණු ලබාදීම මඟින් දක්ෂ වෘත්තීය තාක්ෂණ ශිල්පීන් බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, රුපියල් මිලියන 398ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් එකී පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට

හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට

හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අද (05) දින එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති කාර්යාලයට පිරිසක් බඳවා ගෙන ඔවුන් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අයහපත් කාලගුණය.. ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග ගැන තීරණයක්

අයහපත් කාලගුණය.. ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග ගැන තීරණයක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) දින පැවැත්වුණි. 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්විය.

එහිදී ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව සිදුකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව ඇත.

හෙට (06) සහ (07), (08) දිනවල වැසි සහිත කාලගුණයක් ඇති වුවහොත් විභාග කටයුතු සම්බන්ධව ඇති වෙන බලපෑම් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරියේ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිතය.

වැසි සහිත කාලගුණය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 

2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු (09) වැනිදා පැවැත්වීමට නියමිත අතර 2026 අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු (10) වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අවසන් මොහොතේ රටින් පිටවෙන්න යෝෂිත අවසර ඉල්ලයි

අවසන් මොහොතේ රටින් පිටවෙන්න යෝෂිත අවසර ඉල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ව්‍යාපාරික සමුළුවකට සහභාගීවීම සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙසට ඉල්ලා ඇත.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කළ නොහැකි යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම (04) දින සඳහන් කළේය.

සැකකරුට එරෙහිව මේ වනවිට අධිචෝදනා ගොනුකර ඇති බැවින් ඊට අදාළව නියෝගයක් මහාධිකරණයෙන් ලබා ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

නොතිසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන දෙදෙනාටම නියම කළේය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, මෙම සැකකරුවන් දෙදෙනා හට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බවයි.