Local news

පොලීසියේ වයසට ගියත් යහපත් නම් තවත් වසරක්

පොලීසියේ වයසට ගියත් යහපත් නම් තවත් වසරක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර ඉන් 6,000 දෙනෙකු මේ වනවිට රාජකාරි භාරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

යහපත් කල්ක්‍රියාවක් සහිත වයස අවුරුදු 60 සම්පුර්ණ පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමේ හැකියාව සම්බන්ධව අවධානය යොමුව ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ මානව සම්පත් හිඟයක් පවතින බව පිළිගන්නා බවත් හිඟය කළමනාකරණය කරමින් විශේෂයෙන් පහළ ශ්‍රේණිවල නිලධාරීන් මුහුණදෙන රාජකාරි බර අවම කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අද (04) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.

එක මීගමුව.. දෙක මහර.. තවත් බන්ධනාගාර තුනක් ගැන තොරතුරු එළියට

එක මීගමුව.. දෙක මහර.. තවත් බන්ධනාගාර තුනක් ගැන තොරතුරු එළියට

මහර බන්ධනාගාරයේ දේපළ වලට සිදුවූ හානිය ගණනය කරගෙන යන බවත් ඒවාට සම්බන්ධ රැඳවියන්ට හිරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

රැඳවියන් පෙර නොවු විරූ ආකාරයට ගිනි තැබීම් සිදුකර තිබෙන බවත් මෙම ගැටුම පිටුපස එම බන්ධනාගාරය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් තිබෙන බවට පෙනී යන බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

බන්ධනාගාරයේ පසුව ඇතිවූ තත්ත්වයන් ගැන බලන විට එහි බාහිර පාර්ශවයක් මැදිහත් වූ බවට සැකයක් මතුවන බවත් ‌එනිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

මෙම ගැටුම් රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන් ද කියන එක ගැන අවධානය යොමුව තිබෙන බවත් තවත් බන්ධනාගාර තුනක් සම්බන්ධයෙන් තමාට ලැබී ඇති තොරතුරු බන්ධනාගාර ප්‍රධානීන්ට ලබාදුන් බවද අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

මෙය රැල්ලක් වශයෙන් පැතිරෙන්න පුළුවන් ද කියන එක අපි අවධානය යොමුව තිබෙනවා. මේ අවස්තාව වනවිට සියලුම බන්ධනාගාර අධිකාරිවරුන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍ය තැන්.

ඒ වගේම තව බන්ධනාගාර දෙකක හෝ තුනක සම්බන්ධයෙන් අපට යම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලබාදීලා තිබෙනවා. එනිසා ඇතිවන ඕනෑම තත්ත්වයක් මැඩලන්න අවශ්‍ය සම්බන්ධීකරණයක් අපි ගොඩනගනවා.”

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් ආඥාවක්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇත.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි ‌වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කළ බව, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (04) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ප්‍රසන්න රණතුංගගේ නඩුව – අධිකරණයෙන් නියෝග

ප්‍රසන්න රණතුංගගේ නඩුව – අධිකරණයෙන් නියෝග

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහි නඩු කරය අද (04) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී සිය සේවාදායකයාට ජර්මනිය සහ ඩුබායි රාජ්‍යයන්ට යාම සඳහා වීසා බලපත්‍ර ලබාගැනීමට අවශ්‍යව තිබෙන බැවින් දැනට ඇප මත මුදාහැර තිබෙන විදේශ ගමන් බලපත්‍රය තවදුරටත් ඔහු භාරයේ තබාගැනීමට අවසර දෙන ලෙස, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා ඇත.

ඒ අනුව පෙර නියම කළ පරිදි අදාළ විදේශ ගමන් බලපත්‍රය සැකකරු භාරයේ රඳවා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී ඇත.

අනතුරුව දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස (20) වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියම කළේය.

තෙල් මිල ඉහළ⁣ට

තෙල් මිල ඉහළ⁣ට

අද (03) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සුළු අගයකින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඊයේ (03) දින BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.46 දක්වා පහළ ගියද, අද (04) දින බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.92 දක්වා ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල ඊයේ (03) දින අමෙරිකානු ඩොලර් 79.81ක් දක්වා පහළ ගියද, අද (04) දින බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.93 දක්වා ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල 85.49 දක්වා ඉහළ ගියද, අද (04) දින බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.83 දක්වා පහළ ගොස් ඇත.

දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ, සජිත් අතහැර අනුර ලඟට

දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ, සජිත් අතහැර අනුර ලඟට

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් (03) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණදී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තේරීම්කාරක සභාවක් පත් කර තිබෙන බවත්, මතුව ඇති ගැටලු පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දුන්නේ එම කාර්යය හදිසියේ කළ හැක්කක් නොවන බවත්, විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විමසුමක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවත්ය.

එය 1972 සහ 1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මෙන් එක් පාර්ශ්වයක් විසින් හඳුන්වා දෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවිය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඒ පිළිබඳ අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතරම, විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය බවයි.

එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ කතිකාවක් ආරම්භ කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

විවිධ ජන ප්‍රජාවන් වෙන් වෙන්ව තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන රටක් ගොඩනැගීමේ පදනම වත්මන් රජය යටතේ මේ වනවිට ස්ථාපිත වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය කාල සීමාව තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් රට තුළ ඇති නොවූ බවද පෙන්වා දුන්නේය.

නිශ්චිතව පාර්ලිමේන්තුවට වග කියන පාලන ක්‍රමයක් සිය අපේක්ෂාව බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මලෛයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා, වතු කම්කරුවන්ට සහ වතු කාර්ය මණ්ඩලයට පදිංචිය වෙනුවෙන් පර්චස් 10ක ඉඩම් කැබැල්ලක නීත්‍යානුකූල අයිතිය ලබා දීමේ රජයේ යෝජනාව පිළිබඳව මෙහිදී අදහස් දැක් වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) වී. රාධක්‍රිෂ්ණන් සඳහන් කළේ, සමාගම්වල විරෝධතාව නිසා තම ආණ්ඩුවලින් ඉටු කරගත නොහැකි වූ එම කාර්යය වත්මන් ආණ්ඩුව යටතේ ඉටු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මධ්‍ය කඳුකරයේ කිසිදු ජනාවාසයක් නොමැති ප්‍රදේශවල පවා පුපුරායම් වාර්තා වී තිබෙන බවත්, ඒ අනුව එම ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ මධ්‍ය කඳුකරයේ තිරසාර පැවැත්ම සහතික කරමින් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මේ වන විටත් වෙනම අධිකාරියක් පිහිටුවා ඇති බවත් සඳහන් කළේය.

එම කටයුතු සමග මලෛයගම් ජනතාවගේ ගැටලු සඳහාද විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

විවිධ වකවානුවල විවිධ අවශ්‍යතා අනුව වතු සමාගම් සමග ගිවිසුම්ගත වී ඇති බවත්, 2042 වසරට පෙර මෙම ගිවිසුම් අලුත් කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අනුව නුදුරේදීම සමාගම් සමග නව ගිවිසුම්වලට එළැඹීමට අපේක්ෂා කරන බවත්, මලෛයගම් ජනතාවට ඉඩමක නීත්‍යානුකූල අයිතිය ලබාදීම පිළිබඳ වගන්ති ඊට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

ඉන්දියානු ආධාර යටතේ මලෛයගම් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මන නිවාස ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම ජනතාවට නිවසක හිමිකම ලැබුණද, ජල, විදුලි බිල්පත් ගෙවා ගැනීම ඇතුළු පහසුකම් සපයා ගැනීමේදී ඔවුන් ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දී සිටින බව ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) ජීවන් තොණ්ඩමන් පෙන්වා දුන්නේය.

එම ජනතාවට ආර්ථික සහනයක් ලබා දීම වෙනුවෙන් තොණ්ඩමන් පදනම සහ නෙවීඩා පදනම ඒකාබද්ධ කර නව වැඩපිළිවෙළක් සකස් කිරීමට දැනටමත් යෝජනා කර ඇති බවත්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙනුවෙන් මෙම වසරේ වෙන් කළ ප්‍රතිපාදනවලට වඩා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් 2027 අයවැයෙන් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරේ සහ මධ්‍යම කඳුකරයේ ඉඩම් ගැටලු විසඳීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනතාවගේ ඉඩම් ජනතාවටම හිමි විය යුතුය යන්න රජයේ ස්ථාවරය බවත්, කොමිෂන් සභා පත් කිරීම ඇතුළු ඒ වෙනුවෙන් වූ සාධනීය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම, යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් විසඳමින් එම ජනතාව වෙනුවෙන් අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදි කිරීමට 2027 සහ 2028 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ ජනතාවට නිවාස ඉදිකර දීමට කටයුතු කරන බවත්, එම නිවාස ඉදිකරන තුරු තාවකාලික නිවාස ඉදිකර දීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා එම කටයුතු අවසන් වන තෙක් එම ජනතාවට කුලි නිවාස දීමනාව ලබා දීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කළේය.

පළාත් සභා ඡන්ද ක්‍රමය සහ සීමා නිර්ණය කොමිසමේ කටයුතු පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරු අදහස් දැක් වූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ආදී ආයතන පැරණි ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීම නිසා උතුරේ සහ නැගෙනහිර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කළහ.

මෙම සියලු කරුණුවලට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට මෙවැනි එකමුතුවක් ගොඩනගා ගැනීම පිළිබඳ සියලු දෙනා වෙත ස්තූතිය පළ කළේය.

එමෙන්ම සමාජය තුළ දුරවබෝධයක් ඇති නොවන ලෙස පොදුවේ මහජන ගැටලු පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා එම නියෝජිතයන් හමුවේ යෝජනා කළේය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් එහි සභාපති එම්.එස්.එස්. අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.එම්. තාහීර්, එන්.පී.එම්.එම්. තාහීර්, ලංකා කම්කරු කොංග්‍රසය (CWC) නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ද, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) නියෝජනය කරමින් සෙල්වම් අඩෛක්කලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මුරුගේසු චන්ද්‍රකුමාර්, ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්‍යන් රාසමානික්කම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, නිෂාම් කාරියප්පර්ද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) නියෝජනය කරමින් වී. රාධක්‍රිෂ්ණන්, භරත් අරුල්සාමි මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යෝෂිතට සහ වසන්තට අධිකරණයෙන් නියෝගයක්

යෝෂිතට සහ වසන්තට අධිකරණයෙන් නියෝගයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අද (04) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

අනතුරුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට, නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

අස්සෙන් ඉස්සර කිරීම බෑ.. විශේෂ මංතීරුවෙන් විතරයි

අස්සෙන් ඉස්සර කිරීම බෑ.. විශේෂ මංතීරුවෙන් විතරයි

ප්‍රධාන මාර්ගවල යතුරුපැදි ධාවනයට විශේෂ මංතීරුවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා මෙම විශේෂ මංතීරුව හඳුන්වා දෙන බවත් එහි පළමු අදියර කලවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“ලංකාවේ සාමාන්‍යයෙන් මිනිස්සු 2,500ක් විතර මාර්ග අනතුරුවලින් මියයනවා. 2025 දී 2,750ක් මැරිලා තියෙනවා. අපි යතුරුපැදිවල ඉස්සරහා සහ පිටුපස යන දෙගොල්ලන්ගෙන්ම 2019 දී 1,400ක් මියගිහින් තියෙනවා.

මේ අවුරුදු 9,000ක් නැති වෙලා තියෙනවා යතුරුපැදිවල ගිහින්. ලංකාවේ රථ වාහන අනතුරු සහ මරණ නැති කරන්නම් යතුරුපැදි භාවිතය ගැන ඇති වෙලා තියෙන ගැටලුව විසඳන්න ඕනේ.

අපි ලංකාවේ පළවෙනි පාරට කලවංචිකුඩි නගරයේ යතුරුපැදි සඳහාම මංතීරුවක් ප්‍රධාන පාරේ කොටසක් අපි වෙන් කරනවා. සුදු ඉරකින් නෙමෙයි බ්‍රේකර්ස් දාලා හදනවා. මොකද ඒ පැත්තේ යතුරුපැදි ටිකක් වැඩියි.

මහ වැසි හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද.?

මහ වැසි හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද.?

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් අතර අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ,

උසස් පෙළ විභාගය සමඟ ඒ කාලයට ඇතිවෙන දේවල් ගැන කතා කරන්න අපි විභාග දෙපාර්තමේන්තුවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 5 වැනිදා හමුවක් සුදානම් කරලා තියෙනවා. එතැනදී අපි සුදානම් වෙනවා කොහොමද ඒකට මුහුණදෙන්නේ කියලා.

අපි ගත්තොත් අගෝස්තු මාසය වැසි අඩු කාලයක්. නමුත් මෝසම සක්‍රීය වීම සමඟ මේක තාවකාලික සිදුවීමක්. ඒ එක්කම 6,7, සහ 8 දිනවලින් පස්සේ තරමක් දුරට වැස්ස අඩුවේවි. කොහොමත් විභාගය තියෙන්නේ 10න් පස්සේ ඒ වෙද්දි මේ බලපෑම ගොඩක් අඩුයි.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප්

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප්

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පත් කළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද (04) පෙරවරු 10.00ට කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී සිදු කෙරේ.

2026 ජූනි (22) දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපති විධානයකට අනුව මෙම කොමිෂන් සභාව පිහිටුවා ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය සිදුවිය යුතුද යන්න සඳහා නිර්දේශ ලබාදීම ආදිය පිළිබඳ වගකීම මෙම කොමිසම වෙත පවරා ඇත.

එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාව වෙතින් අදහස් සහ යෝජනා කැඳවීමද අද දිනයේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.