Local news

ශ්‍රී ලංකන් ගොඩගන්න මෙහෙයුම අරඹයි

ශ්‍රී ලංකන් ගොඩගන්න මෙහෙයුම අරඹයි

පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම තම අරමුණ බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කරයි.

රටේ ජාතික සම්පතක් වන මෙම සමාගම පාඩු ලබන ආයතනයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට අපට නොහැකි බවත් නව කළමනාකාරීත්වය සමඟ එක්ව, විනිවිදභාවයෙන් සහ වෘත්තීයභාවයෙන් යුතුව මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීමට තමා ඇතුළු රජය සූදානම් බවත්, ජනතා මුදලින් නඩත්තු වන ආයතනයක් ලෙස ජනතාවට වගකියන ආයතනයක් බවට පත් කිරීමට කැපවී රාජකාරී සිදු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම සමාගමේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා හමුවූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සහ මහජනතාව තුළ ගුවන් සමාගම පිළිබඳ පවතින විශ්වාසය යළි ගොඩනැගීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අය කිරීම ගැන තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අය කිරීම ගැන තීන්දුවක්

දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප් වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංගමය, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන්, අතිරේක මහෙස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගමය විසින් අභියාචනා පෙත්සම් ගොනු කළේය.

ඒ අනුව ගොනුකළ එම අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

රේණුක පෙරේරා අත්අඩංගුවට

රේණුක පෙරේරා අත්අඩංගුවට

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ලෙස බස්රථ සදහා මාර්ග ධාවන බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට අදාළව රේණුක පෙරේරා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සදහන් කරයි.

යෝෂිත සහ වසන්තට එරෙහි නඩුව – පූර්ව නඩු විභාගය

යෝෂිත සහ වසන්තට එරෙහි නඩුව – පූර්ව නඩු විභාගය

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (17) දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා ඇත.

මෙම නඩුව කැඳවු අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන මෙන් නියම කර ඇත.

සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනුකර ඇත. 

සුවිශේෂි හේතු සොයා ශිරන්ති මවුන්ට් එලිසබෙත් රෝහලට

සුවිශේෂි හේතු සොයා ශිරන්ති මවුන්ට් එලිසබෙත් රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් වී ඇති බව වාර්තා වේ.

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂට විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක සතියක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ හදිසියේම ඊයේ (16) දින සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ශිරන්ති රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම පැමිණ FCIDය වෙත කැඳවීමේ ලිපිය ගෙනැවිත් භාරදුන් බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් සඳහන් කරයි.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂට ලබන (24) වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙසට පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

අවශ්‍ය වුවහොත් මහින්ද ඇදක තියාගෙන හරි වේදිකාවට ගේනවා

අවශ්‍ය වුවහොත් මහින්ද ඇදක තියාගෙන හරි වේදිකාවට ගේනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දේශපාලන ප්‍රවාහයේ පරමාදර්ශී නායකයා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජීවතුන් අතර සිටින තාක් කල්, අවශ්‍ය වුවහොත් රෝද පුටුවෙන් හෝ ඔහුව දේශපාලන වේදිකාවට රැගෙන විත් ජනතාවට පෙන්වීමට කටයුතු කරන බවද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

ජනතාව සැමවිටම සැබෑ නායකයන් දැකබලා ගැනීමට දැඩි කැමැත්තක් දක්වන බැවින්, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඇඳක තබාගෙන හෝ එතුමාව ජනතාව හමුවට පමුණුවන බවද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කරයි.

වර්ජනය අරඹයි.. එහෙත් ධාවනය සාමාන්‍ය පරිදි

වර්ජනය අරඹයි.. එහෙත් ධාවනය සාමාන්‍ය පරිදි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් මේ වනවිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (16) දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48ක වැඩවර්ජනයක් මෙලෙස ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් මෙම වර්ජනය ක්‍රියාත්මක වුවද සියලුම කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එක් දුම්රියක් හැර අනෙක් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි මේ වන විට ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කරයි. 

‘සිරිලිය සවිය’ සිදුව ඇතැයි කියන ප්‍රධාන දූෂිත ගනුදෙනු කිහිපය

‘සිරිලිය සවිය’ සිදුව ඇතැයි කියන ප්‍රධාන දූෂිත ගනුදෙනු කිහිපය

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සභාපති ධූරය දැරූ සිරිලිය සවිය සංවිධානයේ සිදුව ඇතැයි කියන දූෂිත ගනුදෙනු වලට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය 2015 වසරේ සිට මෙම විමර්ශනය ක්‍රියාත්මක වුවද, පසුගිය කාලයේදී එහි ලිපිගොනු විවිධ ස්ථානවල සිරවී තිබුණද, යළිත් ආරම්භ කර ඇති මෙම විමර්ශනයේදී අවධානයට ලක්ව ඇති ප්‍රධාන ගණුදෙනු කිහිපයකි.

*රාජ්‍ය ආයතන විසින් සිරිලිය සවිය සංවිධානයට මුදල් බැර කිරීම,

*බදු නිදහස් කරමින් සිරිලිය සවිය සංවිධානයට වාහන ආනයනය කිරීම,

*සිරිලිය සවියේ වාහන සීඑස්එන් (CSN) ආයතනය භාවිත කිරීම,

*රිජ්වේ ආර්යා ළමා රෝහල සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා ආධාර රැස් කිරීම සහ එම මුදල් වැය කිරීම,

*ඒඩ්ස් මර්දන වැඩසටහන් සඳහා ආධාර ලබාගැනීම සහ එම මුදල් වැය කිරීම,

*සිරිලිය සවිය සංවිධානයේ භාණ්ඩාගාරිකගේ ලිපිනය ලෙස දක්වා ඇති ශිරන්ති රාජපක්ෂට අයත් බව කියන කොළඹ නිවසක් පිළිබඳව විමර්ශනය,

*ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස 222222222V යනුවෙන් අංකයක් සඳහන් කරමින් ආරම්භ කළ බැංකු ගිණුමක් සම්බන්ධව විමර්ශනය,

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වනවිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂට ලබන (24) වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ඇප ගන්න නීති වෙනස් වෙයි

මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ඇප ගන්න නීති වෙනස් වෙයි

මත්ද්‍රව්‍ය සඳහා අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට මහාධිකරණය මගින් ඇප ලබාගැනීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සිදුකරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

එම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

තවද එම සංශෝධන ගෙන එන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් දීර්ඝ කාලයක් සැකකරුවන් බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ්⁣ සලේ සම්බන්ධ නඩුව (15) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කැඳවු අවස්තාවේදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ස්වාමීනි., මේ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, මගේ වුවමනාවටත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඔහු ගැන මුලින්ම කරුණු දැක්වූයේ 2019 වසරේදී විපක්ෂ නාකයවරයා පාර්ලිමේන්තුවේදී.

ව්‍යවස්ථාදායකය තුළ තමා ඔහු ගැන මුලින්ම කතා කළේ. විපක්ෂ නායක ඇතුළු මන්ත‍්‍රීවරුන් වගකීමක් ඇතුව ඒ ප්‍රකාශ කරලා ඇති කියලා මම හිතනවා. එම නිසා විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් ඔවුන් සිදුකර තිබෙන ප්‍රකාශයන්ට අදාලව ප්‍රකාශ සටහන් කර ගන්න කටයුතු කරනවා.”

Follow WhatsApp Channel