Local news

තිරිඟු පිටි මිල ඉහළ⁣ට

තිරිඟු පිටි මිල ඉහළ⁣ට

අද (29) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන ඇත.

ප්‍රීමා සමාගම සඳහන් කළේ, විවිධ වර්ගවලට අයත් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15 සිට 17 දක්වා වූ මිල ගණන් යටතේ වැඩි කර ඇති බවයි.

සෙරන්ඩිබ් සමාගම සඳහන් කළේ, සියලුම තිරිඟු පිටි වර්ගවල කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් වැඩි කර ඇති බවයි.

නේපාලයේ මියගිය අයගේ සිරුරු ඉන්දියාවේ ගංගා වලින් මතුවෙයි

නේපාලයේ මියගිය අයගේ සිරුරු ඉන්දියාවේ ගංගා වලින් මතුවෙයි

පසුගියදා නේපාලයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයින් පිරිසකගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල තිබී සොයාගෙන ඇත.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් යන දිස්ත්‍රික්ක හරහා ගලාබසින ගංගාවල පාවෙමින් තිබියදී සිරුරු 7ක් හමුවී ඇත.

මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික්කයෙන් හඳුනා නොගත් සිරුරු 4ක් සහ ඊට කිලෝමීටර 70ක් පමණ පහළින් පිහිටි කුෂිනගර් දිස්ත්‍රික්කයෙන් තවත් සිරුරු 3ක් සොයාගත් බව ඉන්දීය පොලිසිය සඳහන් කරයි.

නේපාලයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් මෙම සිරුරු ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බව, මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සොගර්වාල් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

වෙනිසියුලාවේ තෙල් සංචිත වල පාලනය අමෙරිකාවට

වෙනිසියුලාවේ තෙල් සංචිත වල පාලනය අමෙරිකාවට

අමෙරිකාව සහ වෙනිසියුලාව අතර දැවැන්ත ගිවිසුමකට එළඹ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගුඑස් විසින් මෙම ගිවිසුම සාකච්ඡා කර ඇත.

තෙල් සංචිත වලින් බැරල් බිලියන 65ක් පාලනය කිරීම සඳහා මෙම ගිවිසුමට එළඹ ඇති අතර එය ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුම බව ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කරයි.

තෙල් බැරල් බිලියන 65ක නිශ්චිත ධාරිතාවක් සහිත තෙල් නිධි 17ක් සංවර්ධනය කිරීම මෙහි අරමුණ බව ගිවිසුමට අදාළව නිවේදනයක් නිකුත් කරමින් වෙනිසියුලානු වැඩබලන ජනාධිපතිවරිය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එය වෙනිසියුලාවේ සමත්ත තෙල් සංචිත වලින් පහෙන් එකක් බව සඳහන් වේ.

මත්පැන් බලපත්‍රයකට රනිල්ගේ නම ගෑවෙයි.. කෝටි ගණනකට අලෙවි කරයි

මත්පැන් බලපත්‍රයකට රනිල්ගේ නම ගෑවෙයි.. කෝටි ගණනකට අලෙවි කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකුට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදී ඇති බව ඒකාබද්ද විපක්ෂයේ කැඳවුම්කරු සංජය මහවත්ත සඳහන් කරයි.

අනතුරුව ඔහු එම බලපත්‍රය සිය මිතුරන් දෙදෙනෙකුට අලෙවි කර කෝටි ගණනක මුදලක් උපයා ඇති බවද කැඳවුම්කරු සංජය මහවත්ත සඳහන් කරයි.

මෙරට පවතින්නේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 13ක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් බවත් එවැනි වටිනා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද සංජය මහවත්ත සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඥාති පුත්‍රයාට මෙම බලපත්‍රය ලබාදීම පිටුපස බරපතළ දූෂණයක් පවතින බවද සංජය මහවත්ත සඳහන් කරයි.

එනිසා මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද සංජය මහවත්ත සඳහන් කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒකාබද්ද විපක්ෂයේ කැඳවුම්කරු සංජය මහවත්ත මේ බව සඳහන් කරයි.

ලංකාවේ පුද්ගලයින් 100ක් දිනකට මියයයි.. ඔබගේ ජීවිතයත් අනතුරේ

ලංකාවේ පුද්ගලයින් 100ක් දිනකට මියයයි.. ඔබගේ ජීවිතයත් අනතුරේ

ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවත් ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය මේ වනවිට හෙරොයින් මත්ද්‍රව්‍ය පරද්දා ඉදිරියට පැමිණ තිබෙන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කරයි.

මෙරට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 80-100ත් අතර ප්‍රමාණයකට දිවි අහිමි වන බවත් දිනකට මෙවැනි මරණ සිදුවෙන වෙනත් තනිපුද්ගල හේතුවක් නොමැති බවද ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කරයි.

ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන කරුණ වන්නේ දුම්පානය බවත් මධ්‍යසාර භාවිතයෙන් දිනකට පුද්ගල මරණ 10-15ත් අතර ප්‍රමාණයක් සිදුවන බවද ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කරයි.

“රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය හා ඒ සම්බන්ධ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.

ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ,

“ලංකාවේ දොරටු විවර කරලා දෙන ප්‍රධාන මත්ද්‍රව්‍යක් තමයි දුම්පානය. හෙරොයින්වලට භාවිතා කරන අයගෙන් බොහෝ පිරිසක් හෙරොයින්වලට පෙර දුම්පානය භාවිතා කරලා කියන එකට ඇති තරම් සාක්ෂි තියෙනවා.

ඒ වගේම තමයි ගංජා භාවිතයට පෙර ගොඩක් අය භාවිතා කරලා තියෙන්නේ එක්කෝ මධ්‍යසාර නැත්නම් දුම්වැටි. මේ වගේ මත්ද්‍රව්‍ය අතර තියෙනවා මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් අපට හදුනාගන්න පුළුවන්.

දෙවැන්න තමයි මේකෙන් වෙන හානිය. මේ තුළින් ආර්ථික, සමාජීය සහ සෞඛ්‍ය හානිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් කිව යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි සෞඛ්‍යමය පැත්ත ගත්තොත් ලංකාවේ එක දවසකට වැඩිම ජීවිත ප්‍රමාණයක් නැති කරන තනි හේතුව තමයි මත්ද්‍රව්‍ය.

දුම්පානය නිසා ලංකාවේ දිනකට ජීවිත 50කට වැඩි ප්‍රමාණයක් ඇතිවන ලෙඩ නිසා මරණයට පත්වෙනවා. ඒ වගේම මධ්‍යසාර නිසා දිනකට 10-15ත් අතර ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම තමයි අනෙකුත් මත්ද්‍රව්‍ය නිසා මිය වන ප්‍රමාණය තාමත් නිසි පර්යේෂණ මගින් තහවුරු කරලා නැති වුණාට අපි ඇස්තමේන්තුගත සාක්ෂි දත්ත බැලුවොත් එහෙම සාමාන්‍යෙයන් 10-15ත් අතර ප්‍රමාණයක් දිනකට මිය යනවා.

මේ අනුව සාමාන්‍ය දිනක් අනුව ගත් විට 80-100 අතර ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිසාම ජීවිතය නැතිවෙනවා. මේ මරණ දිහා ගත් විට මෙවැනි මරණ සිදුකරන වෙනත් තනිපුද්ගල හේතුවක් නැති තරම්.

රිය අනතුරු ගැන බලන්න. සියදිවි නසාගැනීම බලන්න. දියවැඩියාව අනෙකුත් බෝ නොවන රෝග අරන් බලන්න. කොරෝනා කාලයෙත් කොරෝනා වලටත් බැරිවුණා එක දිනක මේ මත්ද්‍රව්‍ය වාර්තාව කඩන්න.”

රතුවේවි මිහිමඬල වෙනුවෙන් ආ අගමැති හරිනි

රතුවේවි මිහිමඬල වෙනුවෙන් ආ අගමැති හරිනි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාරගේ ජීවිත කථාව ඇසුරින් ලියැවුණු “රතුවේවි මිහිමඬල” ග්‍රන්ථය අද (28) දින එලිදැක්වීය.

කොළඹ පදනම් ආයතනයේදී පැවති ග්‍රන්ථය එලිදැක්වීමේ අවස්තාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

මෙම අවස්තාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

“වාසුදේව නානායක්කාර කියන්නේ ශ්‍රී ලාංකික දේශපාලනයේ චරිතයක්. විශේෂයෙන්ම වාමාංශික දේශපාලනය තුළ මම හිතන්නේ, එහෙම චරිත බොහොමයක් හිටියා. ඒ ඉතිහාසය තමයි අපිට තියෙන්නේ.

ලාංකික දේශපාලනය තුළ වාමාංශික දේශපාලනය බලපෑමක් තිබ්බ අපේ රට අද මේ තැනට ගේන්න. ඉතින් ඒ ගමනේ චරිතයක් හැටියට තමයි මම වාසුදේව නානායක්කාර මහත්තයා දකින්නේ.”

අපි එකඟ වෙච්ච තැන් තිබ්බා. එකඟ නොවිච්ච තැන් තිබ්බා. දේශපාලනිකව අපි වෙනස් වුණු තැන් තිබ්බා. හැබැයි ඒ චරිතයට සහ වාමාංශික දේශපාලනයට ඔහු කරපු සේවයට හැමදාම ගරුත්වයක් තිබ්බා.”

පස්වන හැරල්ඩ් රජු ජීවිතයෙන් සමුගනී

පස්වන හැරල්ඩ් රජු ජීවිතයෙන් සමුගනී

දුර්ලභ රුධිර රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල් ගත කිරීමෙන් පසු නෝර්වේ රාජ්‍යයේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාත්ත වී ඇත.

අභාවප්‍රාප්ත වනවිට රජුගේ වයස අවුරුදු 89ක් වන අතර ඔස්ලෝ ජාතික රෝහලේදී රජු අවසන් සුසුම් හෙලූ බව නෝර්වේ රජ මාලිගය නිවේදනය කරයි.

වසර 35 කට ආසන්න කාලයක් කිරුළ හිමිව සිටි හැරල්ඩ් රජු, 14 වැනි සියවසෙන් පසුව නෝවේහිදී උපත ලැබූ පළමු රජු ලෙසද සැලකෙයි.

සම්ප්‍රදාය බිඳ දමමින්, හැරල්ඩ් රජු සාමාන්‍ය පවුලක තරුණියක සමග විවාහ වු අතර අද ඇය නොර්වේ රැජින ලෙස කටයුතු කරයි.

පස්වන හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු ඔහුගේ 53 හැවිරිදි පුත් හැකොන් කුමරුට කිරුළ හිමිවෙයි.

මීගමුව බන්ධනාගාර ගැටුම – ප්‍රධාන ජේලර් සහ නිලධාරීන් ඇතුළු 20කට නොතිසි

මීගමුව බන්ධනාගාර ගැටුම – ප්‍රධාන ජේලර් සහ නිලධාරීන් ඇතුළු 20කට නොතිසි

මීගමුව බන්ධනාගාරයේ ‎ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධ වූ නඩුකරය අද (28) දින යළිත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවයි.

බන්ධනාගාර ගැටුමෙන් 30 දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට 20 දෙනෙකුට නොතිසි නිකුත් කරන ලෙසට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා නියෝග කළාය.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස (08) වැනිදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මීගමුව ප්‍රධාන ජේලර් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 20කට නොතිසි නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය නඩුවාරයේදී සැකකරුවන් 70 නම් කර තිබු අතර අද දින සැකකරු අංක 1 සිට 6 දක්වා හඳුනා ගැනීමේ පෙ‍රට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේය.

එහෙත් සෞඛ්‍ය හේතුවක් සහ වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් අද දින සැකකරුවන් දෙදනෙකු ඉදිරිපත් නොකළ අතර සැකකරුවන් හතර දෙනෙකු සහ එම සැකකරුවන් හඳුනා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුවන් 4 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළේය.

‎ඉදිරිපත් නොකළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බන්ධනාගාරය විසින් අධිකරණයට ලිපි ඉදිරිපත් කරනු ලැබු අතර හඳුනාගැනීමේ පෙරට්ටුවට සාක්ෂිකරුවෝ 4 දෙනෙක් ඉදිරිපත් වූ අතර ඔවුහු විසින් සැකකරුවෝ හඳුනා ගත්තහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2,100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් තවත් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

ලොව අනෙක් වරායවල් පසුකර ඉස්සරහට ආ කොළඹ වරාය

ලොව අනෙක් වරායවල් පසුකර ඉස්සරහට ආ කොළඹ වරාය

ජාත්‍යන්තර Alphaliner වාර්තාවලට අනුව, 2025 වසර අගදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ පසුවූ කොළඹ වරාය 2026 වසරේ ලොව ප්‍රමුඛතම බහාලුම් වරායවල් 20 අතරට පිවිසීමට සමත්ව ඇත.

2026 වසරේ පළමු මාස 06 ඇතුළත බහාලුම් මෙහෙයුම් 11.9%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර එම මාස 06 තුළදී පමණක් කොළඹ වරාය මගින් මෙහෙයවා ඇති සමස්ත බහාලුම් ප්‍රමාණය මිලියන 4.4 (4,444,034) කට අධිකය.

එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී මෙහෙයවන ලද බහාලුම් මිලියන 3.9 (3,972,053) හා සැසඳීමේදී බහාලුම් ලක්ෂ 4 (471,981) කට වැඩි වර්ධනයකි. ඒ අනුව 2025 වසරේදී සමස්ත බහාලුම් මිලියන 8.3ක් මෙහෙයවමින් තැබූ අභිබව යෑමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ යුරෝපය යා කෙරෙන ප්‍රධාන නෞකා මාර්ගයන්හි මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරාය, ඉන්දියන් සාගරයේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි.

2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළදී ද බහාලුම් මිලියන 2.915ක් මෙහෙයවමින් 13.9%ක වර්ධනයක් වාර්තා කිරීමටද කොළඹ වරාය සමත් විය.

වර්ධනය වන බහාලුම් ධාරිතාවට අනුරූපව යටිතල පහසුකම්, නවීන තාක්ෂණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කරන අතර ඉදිරි වසර 1-3 ත් අතර කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 2ක පමණ ආයෝජනයන් වරාය ක්ෂේත්‍රයට ලබාගැනීමට සැලසුම් කර ඇත.

බලය අයුතු ලෙස පරිහරණය කළ මනූෂගේ විමර්ශන අවසන්

බලය අයුතු ලෙස පරිහරණය කළ මනූෂගේ විමර්ශන අවසන්

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීමේදී සිදුකළ අක්‍රමිකතාවක් තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මනුෂ නානායක්කාරට එරෙහිව එම විමර්ශනය සිදු කළේය.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් දැනුම් දුන්නේ මනූෂ නානායක්කාරට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වෙත ඉදිරිපත් කර ඇති බවයි.

අනතුරුව මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය යළි දෙසැම්බර් (18) වනදා කැඳවීමට නියම කළ අතර එදින මෙම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසද අල්ලස් කොමිසමට නියම කළේය.

✕
⌃ News
📰 Free News Subscription?