Local news

හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මකයි.. නැත්නම් වාහන අරන් පාරට එන්න එපා

හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මකයි.. නැත්නම් වාහන අරන් පාරට එන්න එපා

ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම සඳහා ලබාදී තිබූ වසරක පමණ සහන කාලය අද (18) දිනයෙන් අවසන් බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව හෙට සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

ආසන පටි නොමැති රථ වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට හෙට සිට අවසර ලබා නොදෙන බවත් සියලුම රථ වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ද ආසන පටි පැළඳිය යුතු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

හෙට සිට මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ දඩ හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් අරමුණු කරගෙන නොව, රියදුරන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

එනිසා හෙට දිනයේ සිට ආසන පටි නොමැති වාහනවලින් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ නොකරන ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කරයි.

නාමල්ගේ පළමු දින 14 අවසන්.. අද මොකද වෙන්නේ.?

නාමල්ගේ පළමු දින 14 අවසන්.. අද මොකද වෙන්නේ.?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධව බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2026 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරු නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා අත්අඩංගුවට ගෙන අද (18) දින දක්වා බන්ධනාගාරගත කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් සඳහා පසුගිය (04) වැනිදා ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත්තේය.

මේ අතර ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (23) වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය (16) වැනිදා නියෝග කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවුයේ යැයි කියන අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය යන සිදුවීම් වලට අදාළ නඩු දෙකේම මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කර ඇත.

ශිරන්ති සිංගප්පූරුවේ ඉන්න තැන කියන්න බෑ.. පවුල කැමති නෑ

ශිරන්ති සිංගප්පූරුවේ ඉන්න තැන කියන්න බෑ.. පවුල කැමති නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වනවිට සිටිනා ස්ථානය හෙළිදරව් කිරීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සූදානමක් නැතැයි මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය රැකවරණ ලබාදීම සදහා ශිරන්ති රාජපක්ෂ ඉක්මනින් ආපසු පැමිණෙන බවට තමන්ට දැනුම් දුන් බවද මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සඳහන් කරයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ලබන (24) වනදා පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට මේ වනවිට දැනුම් දී ඇත.

මේ අතර ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් කර විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බව වාර්තා වේ.

හොර අධ්‍යාපන සහතික සකස් කරමින් නිලධාරීන් 360ක් දෙපාර්තමේන්තුවට රිංගයි

හොර අධ්‍යාපන සහතික සකස් කරමින් නිලධාරීන් 360ක් දෙපාර්තමේන්තුවට රිංගයි

ඉහළ නිලධාරීන් කීපදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් 360 දෙනෙකු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ තනතුරු ලබාගෙන ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමෙන් බවට අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු වීමෙන් පසුව නිලධාරීන් 77 දෙනෙකු සේවයෙන් පහකර ඇති අතර තවත් 20 දෙනෙකු පනත ප්‍රකාරව වන්දි ලබා ගැනීමේ එකඟතාවයෙන් සේවයෙන් ඉවත්ව තිබූ බවද විගණන කාර්යාලය සඳහන් කරයි.

ව්‍යාජ අධ්‍යාපන ප්‍රතිඵල සටහන් සකස් කිරීම හා ඉදිරිපත් කිරීම 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනත සහ ආයතන සංග්‍රහයේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දැක්වුණද ඊට එරෙහිව කටයුතු කර නොතිබුණ බව එම විගණන වාර්තාව සඳහන් කරයි.

ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ මෙම නිලධාරින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.

ජාතියේ නිධානය දරුවන්.. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරිම රජයේ වගකීමයි

ජාතියේ නිධානය දරුවන්.. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරිම රජයේ වගකීමයි

දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

‘දිවියට සවියක්’ නිවාස වැඩසටහන තුළින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් සුරක්ෂිත නිවසක් වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියනයක් ලබා දුන් බවද, මේ වසරේදී එය රුපියල් මිලියන දෙක දක්වා වැඩි කළ බවද පැවසූ ජනාධිපතිවරයා ඒ මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් තව දුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන දිවියට සවියක් නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට ජනාධිපති ලේකම් කාර්යාලයේදී (17) සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

මෙම වැඩසටහන යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජ ගත වු වයස අවුරුදු දහඅටට වැඩි තරුණ තරුණියන් සහ අනාරක්ෂිත සහ අධිඅවදානම් සහිත තත්ත්වයේ පසුවන බවට හඳුනා ගත් දරුවන් සඳහා නිවාස ඉදිකිරීමට මිලියන දෙකක ආධාර මුදලක් පිරිනමනු ලබයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

දිවියට සවියක් වැඩසටහන අපේ රටේ වැදගත් ක්ෂේත්‍රයක ආරම්භයක්. දරුවන් කියන්නේ ජාතියේ නිධානය. අපේ රටේ දෙමාපිය රැකවරණය යටතේ හැදෙන දරුවන් ඉන්නවා. අම්මා තාත්තා යටතේ නැත්නම් ආච්චි සීයා යටතේ හැදෙන දරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල හැදෙන දරුවෝ ඉන්නවා. මේ ආකාරයට විවිධ ස්ථානවල අපේ දරුවෝ ගොඩනැගෙනවා. කොතැන කොයි ආකාරයෙන් ජීවත් වුණත් ඒ අපේ දරුවෝ.

දෙමාපියන් සහ දරුවන් අතර බැඳීමක් තිබෙනවා. ඔවුන් උත්සාහ කරනවා තමන්ගේ දරුවන් ජීවිත යහපත් කරන්න. ආරක්ෂා කරන්න. ඒ වගේම සමාජය සහ දරුවන් අතර සම්බන්ධයකුත් තියෙනවා. සමාජය හැම විටම උත්සාහ කරනවා දරුවන්ට හොඳ රැකවරණයක් ලබාදීමට. රජය සහ දරුවන් අතරත් බැඳීමක් තිබෙනවා. රජය දරුවන්ට රැකවරණය සැලසීමට කටයුතු කරනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඒක රජයේ වගකීමක්.

සංස්කෘතිකමය වශයෙන් ගත්තම මේ බැඳීම් ඉතාමත් යහපත් මට්ටමක තිබුණත් තවමත් අපි කිසිසේත් අපේක්‍ෂා නොකරන සිදුවීම්වලට දරුවන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඒ කියන්නේ අපි තවමත් සමත් වෙලා නෑ, දරුවන්ට සම්පූර්ණයෙන්ම රැකවරණය සලසන්න. ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු වාතාවරණයක් සහිත පරිසරයක් නිර්මාණය කරන්න අපි තවමත් සමත් වෙලා නැහැ.

සමාජයට, රාජ්‍යයට, දෙමාපියන්ට අපි කාටත් ලොකු වගකීමක් තියෙනවා මේ දරුවන්ගේ රැකවරණය සැලසීම පිළිබඳව. කිසිම දරුවෙක් අනාරක්ෂිතව හෝ සෙනෙහසකින් තොරව ගොඩනැගිය යුතුය කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපේ වගකීම සෑම දරුවෙකුටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් සහිත පරිසරයක් ගොඩනැගීම. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.

1956 වසරේ සිට ළමා ශ්‍රමය තහනම් වී තිබුණත් 1998 තමයි එහි කාර්යභාරය සම්පූර්ණ වුණේ. නමුත් ළමයින්ගේ ජීවිත අනාරක්ෂිත වුනේ ළමා ශ්‍රමය විකිණීමෙන් පමණක් නෙවෙයි. තවත් ක්ෂේත්‍ර ගණනාවක් තුළින් ඔවුන් පීඩාවට පත්වුණා.අනාරක්ෂිත වුණා. ඒ නිසා තවත් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අපි ඔවුන්ගේ ආරක්ෂාවට තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.

අද මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉන් එක් පැත්තක්. එකක් ළමා සංවර්ධන මධ්‍යස්ථානයක හැදී සමාජගත වන තරුණ තරුණියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම. අනාරක්ෂිත නිවාස වල ජීවත්වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම. තමන්ගේ උපන් දිනය දන්නේ නැති, වාසගමක් දන්නේ නැති දරුවෝ අපිට මුණගැහිලා තියෙනවා.

හැම අම්මා තාත්තා කෙනකුටම තමන්ගේ දරුවන් පිළිබඳව සිහිනයක් තිබෙනවා. නමුත් මේ දරුවෝ ගැන සිහින දකින්නේ කවුද? ආර්ථික හැකියාව අනුව දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අනාගතය, ඔවුන්ට අවශ්‍ය ගේ දොර ගොඩ නගනවා. මේ මධ්‍යස්ථානවල ඉන්න දරුවන් වෙනුවෙන් ගෙවල් දොරවල් හදන්නේ කවුද? අන්න ඒ වගකීම තමයි අපි මේ ඉටු කරන්න උත්සාහ කරන්නේ. ඒක අපේ වගකීමක්.

ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සමාජයට එකතු වන විට ඔවුන්ට යම් මුල්‍ය ඉතිරියක්, තමන්ටම වූ වත්කමක් හිමි කර දිය යුතුයි කියන අදහසින් අපි මේ නිවාසවල ඉන්න හැම දරුවෙකුටම බැංකු ගිණුමක් ආරම්භ කර හැම මාසයකම එක් ගිණුමකට රුපියල් 5000ක මුදලක් තැන්පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා.

සමහර දරුවන්ගේ ගිණුම් විවෘත කිරීමේදිත් යම් යම් ගැටලු මතු වෙලා තිබුණා. නමුත් අපි ඒක කරනවා. ඒ වගේම අපි අවුරුදු 18 සම්පූර්ණ වෙලා සමාජ ගත වූ දරුවන්ට තමන්ගේ අනාගතය සුරක්ෂිතව ගත කළ හැකි පරිදි නිවසක් ලබාදෙන්න තීරණය කළා. ඒ වගේම අනාරක්ෂිත නිවාසවල ජීවත්වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් අපේ වගකීමක්. සමහර නිවාසවල පවතින ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසාම සමහර දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වෙලා.

ඒ අනුව අපි ගිය වසරේ ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වුණ සුරක්ෂිත නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක් ලබාදුන්නා. ඒක ප්‍රමාණවත් නෑ කියපු නිසා මේ වසරේ ලක්ෂ විස්සක් නැත්නම් මිලියන දෙකක් වෙන් කළා. ඒකත් මදි නම් කියන්න අපි ලෑස්තියි තව ප්‍රතිපාදන වෙන් කරන්න. මොකද දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම අපේ වගකීමක්. අපි වැඩ කරන්නේ ඒ වගකීම භාරගත් ආණ්ඩුවක් හැටියටයි.

ඒ වගේම ජාතියේ නිධානය වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට සමාජයටත් ලොකු වගකීමක් පැවරී තිබෙන බව අපි විශ්වාස කරනවා. කුමක් හෝ හේතුවකට දරුවන් සහ දෙමාපියන් අතර තිබුණ යහපත් සබඳතාවය බිඳ වැටෙමින් තිබෙනවා. සමාජය හා දරුවන් අතර සබඳතාවයත් දුර්වල වෙමින් තිබෙනවා. දරුවා දරුවෙක් ලෙස තේරුම් ගනිමින් ඔවුන්ගේ රැකවරණය සැලසිය යුතුයි.

එය අපේ වගකීමක්. ඒ සම්බන්ධයෙන් රජයට වගකීමක් තිබෙනවා. නමුත් රජයට විතරක් මේක කරන්න බැහැ. දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු වෙන්න නම් සමාජය ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ යුතුයි. නමුත් සමාජය හා දරුවන් අතර සබඳතාවය බිඳ වැටෙමින් තිබෙනවා.

ඒ සමාජය අපි ඉහළ තලයකට ඔසවා තැබිය යුතුයි. අපේ දරුවන් රැකබලා ගැනීමේ වගකීම ජාතික වශයෙන් අපි භාරගත යුතුයි. එක දරුවෙකුට හෝ හානියක් සිදු නොවිය යුතුයි. අපි රජයක් ලෙස ඒ වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කරනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. සමාජයක් ලෙස ඒ වගකීම ඉටු කරන ලෙස ඔබ සියලු දෙනාගෙන්ද ඉල්ලා සිටිනවා.”

වාහන මිල දැනෙන්න පහළට

වාහන මිල දැනෙන්න පහළට

මෝටර් රථ මිල ගණන් දේශීය වෙළෙදපොළ තුළ රුපියල් ලක්ෂ 3 සිට 10 දක්වා වූ සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කරයි.

වසර 5ක කාලයක් පුරා පැවති වාහන ආනයන සීමා කිරීම් හමුවේ නිර්මාණය වූ හිඩැස පියවීමට පසුගිය සමයේ විශාල වශයෙන් වාහන මෙරටට ගෙන්වීම සහ පසුව පැනවූ අධිභාර හේතුවෙන් වෙළෙඳපොළ තුළ වාහන අතිරික්තයක් නිර්මාණය වී ඇති බව සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කරයි.

වැගන් ආර්, යාරිස්, රේස්, වෙසල් වැනි මෙරට ජනප්‍රිය මෝටර් රථ සහ වෑන් රථ රැසක් ආනයනික පිරිවැයටත් වඩා අඩු මුදලකට පාඩු ලබමින් අලෙවි කිරීමට වෙළෙන්දන්ට සිදුව ඇති බවත් එය වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට ඉතා වාසිදායක අවස්ථාවක් බවද සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කරයි.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මේ බව සඳහන් කරයි.

දෙමටගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මරුට

දෙමටගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මරුට

දෙමටගොඩ කළු පාලම අසන්නයේ වෙඩි තැබීමක් සිදුකර ඇත.

මම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

ජනප්‍රිය රංගන ශිල්පි විශ්ව කොඩිකාර මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

ජනප්‍රිය රංගන ශිල්පි විශ්ව කොඩිකාර මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාර ඇතුළු පස්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී විශ්ව කොඩිකාර සතුව කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1050ක් තිබී සොයාගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත.

තමන් සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරද අධිකරණය හමුවේ පිළිගත් රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩ මුදලක් ගෙවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (17) දින නියෝග කළාය.

මින් ඉදිරියට කිසියම් හෝ අවස්ථාවක මෙවැනි මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් නැවත අධිකරණයට ඉදිරිපත් වුවහොත් කිසිදු සමාවක් නොදී සෘජුවම පුනරුත්ථාපනය සඳහා යොමු කරන බවට සැකකාර රංගන ශිල්පියා ඇතුළු පිරිසට මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී දැඩි ලෙස අවවාද කළාය.

රේණුක පෙරේරාට අධිකරණයෙන් දුන් නියෝගය

රේණුක පෙරේරාට අධිකරණයෙන් දුන් නියෝගය

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත්  කළේය.

අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන (29) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙම සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු එකවර අය කර ගැනීමකින් තොරව නිකුත් කර තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කරයි.

මෙම බලපත්‍ර නිකුත් කිරීමට අදාළව 2014 වසරේ සැප්තැම්බර් මස (19) වනදා අමාත්‍ය මණ්ඩලය විසින් නිර්ණායක නිකුත් කර තිබූ බවත් එම නිර්ණායක උල්ලංඝනය කරමින් තමන් විසින්ම පත් කළ කමිටුවක් හරහා ලබාගත් නිර්දේශ මත සැකකරු මෙම බලපත්‍ර 56 නිකුත් කර තිබෙන බවද එම නිලධාරියා සඳහන් කරයි.

සැකකරු විසින් පත් කළ කමිටුව විසින් කළ නිර්දේශ මත බලපත්‍ර 30ක් නිකුත් කර ඇති අතර සැකකරුගේ අභිමතය පරිදි තවත් බලපත්‍ර 26 ක් නිකුත් කර තිබූ බවද එම නිලධාරියා සඳහන් කරයි.

මෙම බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තු එකවර අයකර ගනු ලැබුවොත් රුපියල් 86,747,880ක මුදලක් රජයට අයකර ගැනීමට හැකියාවක් තිබුණද, මෙම සැකකරු වාර්ෂික ගාස්තුවෙන් අඩක් පමණක් අය කරගෙන අදාළ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් රුපියල් තුන්කෝටි හසු නව ලක්ෂයකට අධික මුදලක් රජයට අහිමිවී තිබෙන බවද සඳහන් කරයි.

මේ තුළින් සැකකරු දූෂණය නමැති වරද සිදුකර තිබෙන බව සඳහන් කළ නිලධාරියා, බැංකු වාර්තා මෙන්ම දුරකථන ඇමතුම් වාර්තා ලබා ගැනීමට නියමිතව බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතු වලට බාධා සිදුවිය හැකි හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කරයි

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කරයි

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ඔක්තෝබර් මස (13) වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරයි.

අදාළ නඩුව අද (17) දින කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඇප මත සිටින විත්තිකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී මෙම නඩුවේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ඇතැම් ප්‍රකාශවල සම්පූර්ණ පිටපත් විත්තියට ලබාදී නොමැති බව වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේය.

තවද, අල්ලස් කොමිසම විසින් ලබාදී ඇති ඇතැම් ලේඛන අපැහැදිලි බැවින් ඒවායේ පැහැදිලි පිටපත් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේය.

අනතුරුව, විත්තිය ඉල්ලා සිටින ඇතැම් ලේඛන මහාධිකරණයට භාරදී ඇති බැවින් ඒවා ලබාදීමට නොහැකි බවත් කොමිසම සතුව පවතින ලේඛන ලබාදිය හැකි බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිණි වික්‍රමසිංහ සඳහන් කළාය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අධිකරණය භාරයේ පවතින විත්තිය ඉල්ලා සිටි ලේඛන නියමිත ගාස්තුවට යටත්ව ලබාදීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම සතුව පවතින සෙසු අදාළ ලේඛන ඇත්නම් ඒවාද විත්තියට ලබාදීමට කටයුතු කරන ලෙසද නියෝග කළේය.

Follow WhatsApp Channel