Local news

මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ඇප ගන්න නීති වෙනස් වෙයි

මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ඇප ගන්න නීති වෙනස් වෙයි

මත්ද්‍රව්‍ය සඳහා අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට මහාධිකරණය මගින් ඇප ලබාගැනීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සිදුකරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

එම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

තවද එම සංශෝධන ගෙන එන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් දීර්ඝ කාලයක් සැකකරුවන් බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ්⁣ සලේ සම්බන්ධ නඩුව (15) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කැඳවු අවස්තාවේදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ස්වාමීනි., මේ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, මගේ වුවමනාවටත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඔහු ගැන මුලින්ම කරුණු දැක්වූයේ 2019 වසරේදී විපක්ෂ නාකයවරයා පාර්ලිමේන්තුවේදී.

ව්‍යවස්ථාදායකය තුළ තමා ඔහු ගැන මුලින්ම කතා කළේ. විපක්ෂ නායක ඇතුළු මන්ත‍්‍රීවරුන් වගකීමක් ඇතුව ඒ ප්‍රකාශ කරලා ඇති කියලා මම හිතනවා. එම නිසා විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් ඔවුන් සිදුකර තිබෙන ප්‍රකාශයන්ට අදාලව ප්‍රකාශ සටහන් කර ගන්න කටයුතු කරනවා.”

ජාත්‍යන්තර සහායෙන් නාමල්ගේ රහසිගත ඊමේල් පණිවිඩ සොයාගනී

ජාත්‍යන්තර සහායෙන් නාමල්ගේ රහසිගත ඊමේල් පණිවිඩ සොයාගනී

එයාර් බස් ගනුදෙනුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් ලෙස අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබාදුන් බව ව්‍යපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇත.

ඒ අනුව ප්‍රමාදයකින් තොරව මෙම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කරයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

“මේ සැකකරුගෙන් සඳුදා දින බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද සිදුකළා. ස්වාමීනී., මේ විමර්ශනය ප්‍රංශයේ එයාර් බස් සමාගම ලංකාවේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම සමග ඇති කරගත් ගිවිසුම අනුව පුළුල් බඳ සහිත ගුවන් යානා 16ක් ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශනයක්.

ඒ අනුව මේ විමර්ශනයට අදාළව අල්ලස් පනත යටතේ වෙනම විමර්ශනයත් සිදු කෙරෙනවා. ඒ නඩුවට අදාළව මේ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ. මේ අධිකරණය හමුවේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ.

ඒකට හේතුව ස්වාමිනී., මීට පෙර අල්ලස් පනත යටතේ මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා සම්බන්ධව විමර්ශන සිදු කිරීමට බලයක් තිබුණේ නෑ. නමුත් දැන් නව දූෂණ වීරෝධි පනත අනුව ඒ බලයද අල්ලස් කොමිසමට හිමි වෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම එක්ව සිදු කරන විමර්ශනයක් ස්වාමීනී මේක.”

මෙම ගනුදෙනුවේදී මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් ලෙස අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබාදුන් බව ව්‍යපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ,

“ස්වාමීනි., මේ ප්‍රශ්ණගත එයාර් බස් ගනුදෙනුවේදී එයාර් බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක් අල්ලස් ලෙස ලබාදී තිබෙනවා. ඒ එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට.

ඇයට අයිති සිංගප්පූරුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ බිස් සොලුයුෂන්ස් අයිඑන්සී නම් ගිණුමකට තමා මේ මුදල් පළමුව බැර වෙන්නේ. එම ගිණුමෙන් නිමල් පෙරේරා යන අය සභාපතිත්වය දරණ සේබර් විෂන් හෝල්ඩින් ලිමිටඩ් සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි ඕසීබීසී බැංකුවේ ඇති ගිණුමකට මුදල් තැන්පත් වී තිබෙනවා.

මේ නිමල් පෙරේරා කියන පුද්ගලයා තමන්ට මරණ තර්ජන පවතින බැවින් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් බිස් සොලුයුෂන්ස් නමින් ඇති ගිණුමේ සිට ඔහුට අයත් සේබර් විෂන් හෝල්ඩින් සමාගමේ ගිණුමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් එනවා කියනවා.

මේ මුදල තමා ස්වාමීනි මේ සැකකරුට ලැබෙන්නේ. ඒ කියන්නේ, ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් මේ සැකකාර නාමල්ට දුන් බව නිමල් පෙරේරා ඔහුගේ ප්‍රකාශයෙන් කියනවා. ප්‍රියංකා නියෝමාලිගේ බිස් සොලුයුෂන්ස් සිංගප්පූරු සමාගමෙන් යුරෝ එක්ලක්ෂ හැට දහස් හාරසියක මුදලක් එවකට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යවලා. මේ සියල්ල විමර්ශකයින් හට විමර්ශන වලදී අනාවරණය වු කරුණු.”

මෙම සිද්ධියට අදාළව ජාත්‍යන්තර සහාය ඇතිව සිදුකළ වෝහාරික පරීක්ෂණයේදී නාමල් රාජපක්ෂ එයාර් බස් සමාගම සමග සිදුකළ ගනුදෙනු හා සම්බන්ධව ඊමේල් පණිවිඩ සොයාගෙන ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ,

“ස්වාමීනි., එයාර් බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට ඇවිත් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබාදීලා තිබෙනවා මේ සිද්ධියට අදාලව. මේ සම්බන්ධව කළ වෝහාරික පරීක්ෂණයේදී එයාර් බස් සමාගම හා මේ සැකකරු හුවමාරු කර ගත් ඊමේල් පණිවිඩ සොයා ගැනීමට හැකි වුණා. එම ඊමේල් පණිවිඩ මඟින් මේ සැකකරු ක්‍රියා කර ඇති ආකාරය අනාවරණය වී තිබෙනවා.”

“මේ නඩුවේ පළමු සැකකරු මිය ගිහින්. ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද එසේත් නැත්නම් ස්වභාවික මරණයක්ද කියා තවම විමර්ශනය කරනවා. ඔහුගේ බිරිඳ දෙවන සැකකාරීය ප්‍රියංකා නියෝමාලි ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඇයව ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ ඇමරිකාවේ ඉන්නවා. ඔහුට රතු වරෙන්තු නිකුත් කර තිබෙන්නේ. ඔහු ඒ සම්බන්ධව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ නඩුවේ සැකකරුවන් සම්බන්ධව මේ ආකාරයේ තත්ත්වයක් තමා තියෙන්නේ.

නඩුවේ සාක්ෂිකරුවන් ජීවිත තර්ජන තියෙනවා කියලා බයෙන් ඉන්නවා සාක්ෂි දෙන්න එන්න. එම නිසා ස්වාමීනි මේ අවස්ථාවේ මේ සැකකරුට ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධ වෙනවා.”

අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සඳහන් කළේ,

“මාගේ සේවාදායකයා ශ්‍රී ලංකාව තුළ දේශපාලන කටයුතුවල සක්‍රීයව නිරතවන දේශපාලඥයෙක්. ඉතින් විදේශගත වෙලා දේශපාලනය කරන්න බෑනේ ස්වාමීනී. මොලේ තියෙනවා නම් ලංකාවේ ඉදන් තමා ඉතිං දේශපාලනය කරන්න ඕනේ.

ඒ නිසා මගේ සේවාදායකයාට දිවයිනෙන් පිටව යන්න අවදානමක් තියෙනවා කියලා පැමිණිල්ල කියන කාරණය මන:කල්පිත අදහසක් විතරයි. තවද පැමිණිල්ල විසින් මාගේ සේවාදායකයාට ඇප ලැබුණු පසු සාක්ෂිකරුවන්ට බලපෑම් කරයි කියලා කියනවා. ස්වාමීනි මගේ සේවාදායකයා අමාරුවෙන් ඇප අරගෙන එළියට ගිහින් ඇප කාරයන්ට බලපෑම් කරයිද.?

මෝඩයෙක් නෙමෙයිනේ ඒ වගේ දෙයක් කරන්න. ඔබතුමාගේ අධිකරණයෙන් ඇප පුදානය වුණොත් ඇප ලැබුණු පසුව අපි ගිහිල්ලා සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නේ නැහැ ස්වාමිනී. මොකද අපි දන්නවනේ එහෙම කරොත් අපට ලැබිලා තියෙන ඇප කොන්දේසි අවලංගු වෙලා ආයි අපට රක්ෂිත බන්ධනාගාර ගතවෙන්න වෙනවා කියලා.”

අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැප්තැම්බර් (23) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි

අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි

ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධව යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය, අන්තර්ජාල ක්‍රීඩා සහ AI චැට්බොට් (Chatbots) භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට යෝජනා කර ඇත.

අවුරුදු 13ත් 15ත් අතර ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කළ හැක්කේ දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන විශේෂ “Mini Accounts” හරහා පමණක් බවද ඇය සඳහන් කළාය.

ළමයින් අන්තර්ජාලයේ ඇති දැඩි ඇබ්බැහි කරවන විශේෂාංග, නරක අන්තර්ගතයන් සහ AI මගින් සාදන අසභ්‍ය ඡායාරූප වැනි අන්තරායන්ගෙන් ආරක්ෂා කරගැනීම මෙහි අරමුණ වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

දූෂණ විරෝධී පනතට අදාළ සංශෝධන කිහිපයක් මෙම කෙටුම්පතෙන් යෝජනා කර ඇති අතර මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ලෝකයේ හොඳම හෙල්ල කට්ටලය ඩඩ්ලිගෙන් රුමේෂ්ට

ලෝකයේ හොඳම හෙල්ල කට්ටලය ඩඩ්ලිගෙන් රුමේෂ්ට

ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවාදරයක් ලබාදුන් හෙල්ල විසිකිරීම ඉසව්වේ ශූර රුමේෂ් තරංගට සෑම වසරකම ලොව හොඳම හෙල්ල කට්ටලය ලබාදීමට ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඉදිරිපත් වී ඇත.

රුමේෂ් තරංගගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න සමග සාකච්ඡාකර අදාළ අනුග්‍රාහගත්වය ලබාදීමට ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මෙලෙස ඉදිරිපත්ව ඇත.

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම ශ්‍රී ලංකාවට රැගෙන ඒම දක්වාම රුමේෂ්ට සහයෝගය ලබාදීමට ඩඩ්ලි සිරිසේන මෙහිදී රුමේෂ්ගේ පුහුණුකරුට පොරොන්දුවක් ලබාදී ඇත.

ඒ අනුව රජය විසින් ලබාදෙන හෙල්ල කට්ටලයට අමතරව, ලෝකයේ හොඳම තත්ත්වයේ හෙල්ල විසිකිරීමේ කට්ටල සෑම වසරකම රුමේෂ් තරංගට ලබාදීමට ඩඩ්ලි සිරිසේන තීරණය කර ඇත.

නැගෙනහිර ජනතාව වෙනුවෙන් අති නවීන හෘද රෝග ඒකක ගොඩනැගිල්ල අරඹයි

නැගෙනහිර ජනතාව වෙනුවෙන් අති නවීන හෘද රෝග ඒකක ගොඩනැගිල්ල අරඹයි

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබාදීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) දින සිදු විය.

හෘද වාහිනී රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වූ පහසුකම් ශක්තිමත් කරමින් ජපාන රජයේ මූල්‍ය සහාය මත ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 2,403ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

අති නවීන ශල්‍යාගාර, බාහිර රෝගී අංශ, නේවාසික රෝගී ප්‍රතිකාර පහසුකම් සහ අංග සම්පූර්ණ විද්‍යාගාරවලින් සමන්විත මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 08කින් සමන්විත අතර 2028 මැයි මාසය පමණ වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය

මෙහිදී සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමගද සුහද කතා බහක නිරත විය.

Turkish Airlines රුමේෂ්ගෙන් සමාව ඉල්ලයි.. සිදුවූ හානියට විශාල වන්දි මුදලක්

Turkish Airlines රුමේෂ්ගෙන් සමාව ඉල්ලයි.. සිදුවූ හානියට විශාල වන්දි මුදලක්

හෙල්ල විසි කිරීමේ ලෝක ශුරයා වන රුමේෂ් තරංගගේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා උපකරණ වලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට “Turkish Airlines” ආයතනය එකඟතාව පළකර ඇති බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සදහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් Turkish Airlines නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) දින සිවිල් ගුවන්සේවා අධිකාරී පරිශ්‍රයේදී පවත්වා තිබුණ අතර එහිදි මෙම වන්දි මුදල ලබාදීමට “Turkish Airlines” ආයතනය එකඟතාව පළකර ඇත.

වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිතරුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සහ සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ ඇතුළු නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් එක්ව සිටියේය.

මෙම විශේෂ සාකච්ඡාවේදී රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ වලට සිදුවූ හානිය සම්බන්ධයෙන් “Turkish Airlines” නියෝජිතයින් සිය කනගාටුව පළකර ඇති අතර අනතුරුව අදාළ හානිය පිළිබඳ තක්සේරුවක් සිදුකර, ඒ වෙනුවෙන් රුමේෂ් තරංගට වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට එකඟ වී ඇත.

නාමල්ට දුන් නියෝගය

නාමල්ට දුන් නියෝගය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවෙක්.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන (23) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කළේය.

එමෙන්ම මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනම ප්‍රකාශයට පත්කරන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

මේ වනවිට බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද දින මෙම නඩු කටයුත්ත සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

පාස්කු මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ නාම ලේඛන දෙකක්.. 94 සහ 126

පාස්කු මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ නාම ලේඛන දෙකක්.. 94 සහ 126

අන්තවාදී කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නාම ලේඛන දෙකක් සකසා තිබු බවත් එහි එක් ලැයිස්තුවක පුද්ගලයින් 94 කගේ නම් තිබෙන බවත් අනෙක් ලැයිස්තුවේ 126 කගේ නම් තිබෙන බව අධිකරණයේදී අනාවරණය විය.

එම නාම ලේඛන තුළ සහරාන් හෂීම් ඇතුළු පාස්කු බෝම්බ ප්‍රහාර සිදුකල මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ සහ කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ විත්තිකරුවන්ගේ නම් තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

ඒ අනුව එම වාර්තාව නිකුත් කළ, රාජ්‍ය සේවයේ අන්තවාදී කටයුතු සම්බන්ධව සොයාබැලු අංශයේ හිටපු පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාරට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ එම ඉල්ලීමට අධිකරණය අවසර ලබාදුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ කාලයේ ඔහු නිකුත් කළ බුද්ධි වාර්තා තුළ ඔහු විසින්ම අන්තවාදී කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නාම ලේඛන දෙකක් සකසා තිබෙනවා. ඔහු සැකසූ එක් ලැයිස්තුවක අන්තවාදී ක‍්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින් 94 කගේ නම් තිබෙනවා.

තවත් ලැයිස්තුවක 126 කගේ නම් තිබෙනවා. මොහු විසින් සකස් කල එම නාමලේඛන තුළ සහරාන් හෂීම් ඇතුළු මෙම බෝම්බ ප්‍රහාර සිදු කල මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ සහ කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ විත්තිකරුවන්ගේ නම් තිබෙනවා.

2009 අප්‍රේල් (03) සහරාන් පිළිබඳ විදේශයන්ගෙන් ලද තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මල්ලවආරච්චිට දානවා. මල්ලවආරච්චි ඒ තොරතුරු මේ රාජ්‍ය බුද්ධි සේවයේ කෝනාර බණ්ඩාරට දෙනවා, මේ සම්බන්ධව වැඩිදුර කටයුතු කරන්න කියලා.

බණ්ඩාර ඒ තොරතුර මත කාත්තන්කුඩි ප්‍රදේශයට පිටත් වෙනවා. කාත්තන්කුඩි වලට ගිහින් ඔහු හමුවෙනවා ශයිනි මවුලවිව. ශයිනි මවුලවි කියන්නේ සහරාන්ගේ සහ රීල්වාන්ගේ බාල සෙහොයුරා. මොහු විසින් අන්තවාදීන් පිළිබඳ සැකසූ නාම ලේඛණයේ මේ ෂෙයිනි මවුලවිගේ නම තිබෙනවා.

එහෙම තියෙද්දී මොහු ශෙයිනි මවුලවි හම්බෙලා ඔහු සමඟ චැට් එකක් දාලා තේ එකක් බීලා ඇවිල්ලා ඔහුව අත්අඩංගුවට ගන්නේ නැතුව. එදා‍ ඔහුව අත්අඩංගුවට ගත්තා නම් මේ පාස්කු ප්‍රහාරය නවත්වා ගන්න සහ සහරාන්ව අත්අඩංගුවට ගන්න හැකියාව තිබිබා ස්වාමීනී..

මේකත් මේ ප්‍රහාරය සිදු කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක්ද කියා විමර්ශන සිදු කරනවා දැන් ස්වාමිනී.”

Follow WhatsApp Channel