Local news

ශ්‍රී ලංකාවට අයිති තෙල් සහ ගෑස් උල්පත

ශ්‍රී ලංකාවට අයිති තෙල් සහ ගෑස් උල්පත

පසුගිය කාලයේ සිදුකරන ලද ගවේශණ වලදී ස්වාභාවික වායු සහ ද්‍රව සොයා ගැනීමට හැකිවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පවතින බවට තහවුරු වී ඇත.

මෙම ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක ප්‍රමාණයක් කැණීම් වලින් ලබා ගැනීමට හැකි වෙතැයි දැනට ඇති දත්ත වලින් අනුමාන කරයි.

විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේශණය සිදුකර නොමැති බැවින් නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට සහ ගවේෂණ සිදු කිරීමට නියමිතය.

ඒ සඳහා ජාත්‍යන්තර සමාගම් වලට අවස්ථාව ලබාදීමටත්, දැනට අධිකාරිය සතු මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇත.

ඒ අනුව මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසුගියදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද අවස්ථාව බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේශෂ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරී නැමීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්

ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්

නේපාල හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර ඇත.

ජීවිත හානි, අවතැන්වීම් සහ අති මහත් විනාශයක් සිදුකළ ව්‍යසනකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාව දක්වන සහයෝගිතාව පෙන්නුම් කරමින්, නේපාලයේ අඛණ්ඩ මානුෂිය සහ සහන කටයුතු සඳහා සහාය වීමේ ප්‍රයත්නයක් වශයෙන්, අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක රජයට උපදෙස් දී ඇත.

මෙම ඛේදජනක ජිවිත හානි සහ ව්‍යසනයෙන් ඇති වූ පීඩාකාරී තත්ත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන් තම ආදරණීයන් අහිමි වූ පවුල් වලට, නේපාල රජයට සහ ජනතාවට, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන්, ජනාධිපතිවරයා සිය හෘදයාංගම ශෝකය පළ කළේය.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප සහ දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගිතාවයේ බැඳීම් සිහිපත් කරමින්, මෙම හදිසි ව්‍යසනයේදී ශ්‍රී ලංකාව, නේපාල ජන්තාව සමඟ ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනපති අනුර දළදා පෙරහර නැරඹීමට එක්වෙයි

ජනපති අනුර දළදා පෙරහර නැරඹීමට එක්වෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක එක්විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ ගාමන්ට් අද වැසී යමින් පවතිනවා

රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ ගාමන්ට් අද වැසී යමින් පවතිනවා

රටේ තරුණ පරපුර, දරු පරපුර මෙන්ම මව්වරුන් අද වන විට බරපතල ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

බලයට පත්වීමට පෙර ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් ආණ්ඩුව මෙතෙක් ඉටු කර නොමැති බවත් ඒ හේතුවෙන් ජනතාවම දැඩි පීඩනයකට පත්ව ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ ඇඟලුම් කර්මාන්තශාලා පවා අද වනවිට වැසී යමින් පවතින බවත් නව රැකියා උත්පාදනයක් හෝ විදේශ ආයෝජන රටට නොපැමිණෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

රටේ ජනතාවගේ අයිතිවාසිකම් රජය විසින් උදුරාගෙන ඇති බවත් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර වරායට ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බවට කළ ප්‍රකාශ අමතක කර ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

සමගි ජන බලවේගය රජයක් යටතේ ගම් සහ නගර දියුණු කරමින්, කෘෂිකර්මාන්තය, සේවා සහ කර්මාන්ත ක්ෂේත්‍ර ශක්තිමත් කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

තවද සමගි ජන බලවේග රජය මන්දපෝෂණය තුරන් කර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන නව බලාපොරොත්තුවක් රටට ලබාදෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කරයි.

ජනපති මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී

ජනපති මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගි වීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේගේද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියේය.

ග්‍රෙගරි වැව අසල පෝනියෙකුට අමානුෂික ලෙස පහරදුන් තරුණයා අත්අඩංගුවට

ග්‍රෙගරි වැව අසල පෝනියෙකුට අමානුෂික ලෙස පහරදුන් තරුණයා අත්අඩංගුවට

නුවරඑළිය ග්‍රෙගරි වැව අසල සිටි පෝනියෙකුට අමානුෂික ලෙස පහරදුන් තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් පෝනි සංචාර සඳහා යොදා ගන්නා පෝනියෙකුට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

අනතුරුව නුවරඑළිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති 26 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නේපාල ගංවතුරෙන් මියගිය ගණන 300 දක්වා ඉහළ⁣ට

නේපාල ගංවතුරෙන් මියගිය ගණන 300 දක්වා ඉහළ⁣ට

නේපාලයේ සිදුවූ විනාශකාරී ජලගැලීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගංවතුර තත්ත්වයෙන් මේ වනවිට නේපාලයේ පුද්ගලයින් 800කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශසීමාවේ දෙපසම, විදේශිකයන් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති අතර නේපාලය පවසන්නේ, එයට ඉන්දියාවෙන් සංචාරකයින් 178ක්, නේපාලයෙන් 127ක්, අමෙරිකානුවන් 65ක් සහ එක්සත් රාජධානියෙන් 33ක් ඇතුළත් බවයි.

අතුරුදන් වූ පිරිස අතර චීන ජාතිකයන් 100ක් පමණ සිටින බවට චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කර ඇත.

මේ අතර ටිබෙටයේද අවම වශයෙන් පුද්ගලයින් 558 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනපතිගේ නියමයෙන් දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි

ජනපතිගේ නියමයෙන් දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි

දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නියම කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවා ඇත.

මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නියමය නිකුත් කර ඇති අතර එය අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වේ.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක ඇතුළත් වේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා එම දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තීරයද නියමයට ඇතුළත් කර ඇත.

සමාජ මාධ්‍ය කැළඹු දුවද්දි වැටිල්ල.. තවත් නිලධාරීන් දෙදෙනෙකු වහාම මාරු

සමාජ මාධ්‍ය කැළඹු දුවද්දි වැටිල්ල.. තවත් නිලධාරීන් දෙදෙනෙකු වහාම මාරු

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පසුගිය (24) දින රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් (II) පොලිස් අධිකාරීවරයා යටතේ ආරම්භ කළ විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

එම විමර්ශනයට අනුව සැකකරු අත්අඩංගුවට ගත් නිලධාරීන් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා පසුගිය (25) වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළේය.

ඒ අනුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුද ඊයේ (26) දින වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.

මේ අතර ⁣එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පසුගියදා සඳහන් කළේ, එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දිවයාමට උත්සහ දරා ඇති බවත් අනතුරුව දිව යාමට නොහැකිව ඇද වැටී රුධිර වහනය වු බවයි.

හිටපු ඇමතිලා, ඇමතිනියන් ශිරාන් බාසික්ගෙන් සල්ලි අරන්.. අට දෙනෙකුට වැඩ වරදී

හිටපු ඇමතිලා, ඇමතිනියන් ශිරාන් බාසික්ගෙන් සල්ලි අරන්.. අට දෙනෙකුට වැඩ වරදී

පසුගියදා අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සමග සමීප සබඳතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබාගත් බව කියන ප්‍රබල දේශපාලඥයින් 08 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

එලෙස ප්‍රශ්න කිරීමට නියමිත ප්‍රබල දේශපාලඥයින් අතර වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ හිටපු හිටපු අමාත්‍යවරියන් දෙදෙනකු සිටින බව වාර්තා වේ.

මෙම දේශපාලඥයින්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී වරින් වර ශිරාන් බාසික් විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති අතර තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකුට නිවාස සහ හෝටල් ඉදිකිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බවද වාර්තා වේ.

සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ශිරාන් බාසික් හෙළිකළ තොරතුරු මත එම ප්‍රබල දේශපාලඥයින්ගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කරමින් සිටියි.

✕
⌃ News
📰 Free News Subscription?