Attention (Sinhala)

දිල්ලි ගුවන්තොටුපොළේ විනාශයක්.. තිදෙනෙක් මරුට.!

අද (28) උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුනේ එම අනතුර හේතුවෙන් මේ වනවිට 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවත්, ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත්ය.

වහලයේ කොටස් කඩාවැටීමෙන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.

මේ වනවිට ගුවන්තොටුපොළ පළමු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඉන්දියානු සහන සේවා කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටින බව දිල්ලි ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නීතිය නවන්න හැදූ ඕ.අයි.සී ඇතුළු පොලිසියේ 03ක් බරපතළ වැඩ සහිතව වසර 7ක් ඇතුලට.!

මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා තීන්දුවක් ලබාදෙමින් නියෝග කරන ලද්දේ තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පෙලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමටයි.

ඒ හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගෙස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වීම හේතුවෙනි.

එහිදී විනිසුරුවරයා කෲරත්වයට පත්වු පුද්ගලයන් පස්දෙනාට රුපිල් ලක්‍ෂ 05 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.

එමෙන්ම විත්තිකරුවන්ට රුපියල් 10,000/- බැගින් දඩ මුදල්ද නියම කළේ විනිසුරුවරයා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි.

මෙලෙස දඬුවම් නියම වුයේ තිස්සමහාරාම පොලිසයේ ස්ථානාධිපතිවරයාව සිට දැනට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවයා ලෙස කටයුතු කරනා ප්‍රභාත් දේශබන්ධු, තිස්සමහාරාම පොලිසයේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කළ දැනට වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂවරයකු ලෙස කටයුතු කරනා සන්නස්ගල සහ තිස්සමහාරාම පොලිසයේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින කුලතුංග නමැති නිලධාරීන් හටයි.

මෙම නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාව වූයේ 2003 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේදී හෝටලයක හිමිකරු සහ එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සිව්දෙනකු පැහැරගෙන ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කිරීමයි.

තිස්සමහාරාම ප්‍රදේශයේ ‘තිස්ස විලේජ්’ නමැති හෝටලයේ හිමිකරු වන උදය ශාන්ත දිසානායක කොඩිතුවක්කු එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සමන්ත, අජන්ත, රුවන් සහ එවකට විශ්ව විද්‍යාල සිසුවකු වශයෙන් සිටි සුජීව දිසානායක නමැත්තන් මෙසේ අගතියට පත්වූ පිරිසට අයත්.

මෙම නඩු විභාගයේදී අනාවරණය වූයේ ‘තිස්ස විලේජ්’ නමැති හෝටලය සම්බන්ධයෙන් එහි හිමිකරු සහ තවත් පිරිසක් අතර ඇති වු ආරඅවුලක් හේතූවෙන් විත්තිකාර පොලිස් නිලධාරීන් හෝටලයේ හිමිකරු සහ එහි සේවකයන් පැහැරගෙන ගොස් ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කර ගිනි අවි, බෝම්බ ලඟ තබාගත් බවට ව්‍යාජව චෝදනා කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවයි.

සිදුවීමෙන් පසු හෝටලයේ හිමිකරු ඇතුළු සේවකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමෙන් අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කාර හෝටලයේ හිමිකරු ඇතුළු සේවකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු වූ අතර ඉන් පසුව පොලිස මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව විත්තිකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතීපතිවරයා මඟින් මාතර මහාධිකරණයේ නඩු පවරන ලදී.

සිදුවීම සම්බන්ධයෙන් වසර 19ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ අතර එම සියලුම චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන් බව විනිසුරුවරයා තීරණය කළේය.

පණ කෙන්ද රැකගන්න පුටින් අවසන් අවස්ථාව ලබාදෙයි.!

ලෝක සංවිධාන රැසක සහ රටවල් 90 ක එකමුතුවෙන් ස්විට්සර්ලන්තයේදී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා විශේෂ සාම සමුළුවක් පැවැත්වූ අතර, එම සමුළුවට රුසියන් ජනාධිපති පුටින් දැනුම්දී ඇත්තේ යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිහිනය සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බවයි.

ස්විට්සර්ලන්තයේදී පැවති එම ජාත්‍යන්තර සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වූ නමුත්, රුසියානු නියෝජිතයන්ට ආරාධනා කර නොතිබුණු බව පැවැසෙයි.

කෙසේවෙතත් එම සාම සමුළුවට එක් වූ යුරෝපා බටහිර රටවල් සියල්ලක්ම පාහේ, සාමය වෙනුවෙන්, රුසියන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

උතුරේ ආර්ථිකය දුබලයි.. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් තුලින් උතුර ගොඩනගනවා.!

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට උතුරු පළාතෙන් ලැබෙන දායකත්වය අවම මට්ටමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. උතුරේ ආර්ථිකය වර්ධනය කර රටේ දළ දේශීය නිෂ්පාදනයට ඉහල දායකත්වයක් ලබා ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ යාපනයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“උතුරු පළාත දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය 4.1%යි හැබැයි අපි සංසන්දනය කරොත් ඒක බස්නාහිර පළාත එක්ක බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතට දායකත්වයට 43.4%යි.

වයඹ පළාත 11.2%ක් මධ්‍යම පළාත් 10%ක් මේවත් එක්ක සංසන්දනය කරහම උතුර තමයි පහළම තැනක තියෙන්නේ. ඒකෙන් බොහොම පැහැදිලියි ඒ උතුරේ ආර්ථික ක්‍රියාකාරීත්වය බොහොම දුබල මට්ටමක තිබෙනවා.

මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නිර්මාණය කිරීම උතුර ගොඩනැගීමේ එක අංගයක් හැටියට ක්‍රියාත්මක කරන අතරතුර උතුරේ තිබෙන මැතිවරණ කොට්ඨාස 10යේ ප්‍රාදේශ ලේකම් බල ප්‍රදේශ 15වේම නිෂ්පාදන කර්මාන්තය ගොඩනංවන, තොරතුරු තාක්ෂණ උද්‍යාන බිහිකරන, බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට උතුරු පළාතත් යාපනය කිලිනොච්චි දිස්ත්‍රික්කත් අපි දියුණු කරන්නට කැපවෙනවා කියන එක මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”

මේ ඇපල් සමාගමේ අවසානයද.. ටෙස්ලා සහ සැම්සුන්ග් අණතුරු අඟවයි.!

ඊයේ (10) අමෙරිකාවේ කැලිෆෝනියා හි ඇපල් සමාගමේ මූලස්ථානයේ පැවති Developers Conferance හිදී නිවේදනය කරනු ලැබුවේ ඇපල් සමාගමේ මීළඟ දුරකථන මාදිලිය සඳහා කෘතිම බුද්ධියෙන් (Al) බළ ගැන්වෙන Open AI සේවාවන් ඇතුලත් කිරීමට තීරණය කර ඇති බවයි.

එම සමාගම සඳහන් කළේ එම නවතම යාවත්කාලීන කිරීම හරහා ඇපල් සමාගමේ ios මෙහෙයුම් මෘදුකාංගයේ ඇතුලත් ‘Siri’ යෙදවුම හරහා කෙටි පණිවුඩ, ඊ-මේල් පණිඩුව සහ මෙතෙක් ඇතුළත්ව නොතිබූ තුන්වැනි පාර්ශ්වයේ දුරකථන යෙදවුම් සඳහාද ක්‍රියාත්මක වීමේ හැකියාව එමඟින් ලබා දෙන බවත් ඒ අනුව, කෘතිම බුද්ධිය මගින් ඊමේල් පණිවුඩ සඳහා සහ කෙටි පණිවුඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබෙන බවත්ය.

නමුත්, විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නවතම යාවත්කාලීන සම්බන්ධයෙන් ටෙස්ලා සහ ‘X’ හි හිමිකරු වන ඉලොන් මස්ක් විසින් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි.

ඉලෝන් මස්ක් විසින් තොරතුරු වල ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ සමාගම්වලින් අයිෆෝන් භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඔහු ප්‍රකාශකර ඇත්තේ “ඔවුන් ඔබේ දත්ත OpenAl වෙත ලභා දුන් පසු ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්දැයි Apple සමාගමට කිසිදු අදහසක් නැත” යනුවෙනි.

මේ අතර, ඇපල් සමාගමේ ප්‍රධාන තරඟකරු සැම්සුන් සමාගමද ඇපල් සමාගමේ මෙම නිවේදනය ‘X’ පණිඩවුඩයක් ඔස්සේ සමච්චලයට ලක්කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙවැනි බලවත් සමාගම් විසින් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයන් ඇපල් සමාගමේ අනාගතය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇතිකිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

වාහන හිමියන්ට සහනයක්.. රස්තියාදුව ඉවරයි.!

අද (11) සබරගමු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය පැවසූවේ බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීම සබරගමු පළාත් සභාව මගින් මෙම මස 03වන දින සිට ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අනුව, සබරගමු පළාත් සංකීර්නයෙන් ද රත්නපුර සහ කෑගල්ල දීස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29කින්ද බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන නොවන සෙසු පළාත්වල ලියාපදිංචි වූ වාහන සදහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකිවේ.

නොබෝ දිනකින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි වාහන සදහා වාහන ආදායම් බලපත්‍ර පළාත් හතේම අදාල ආයතන වලින් ලබා ගත හැකි වන බව වාර්තා වේ.

කෙසේවෙතත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මීට ඔමිනි බස් රථවලට අදාළ වාහන ආදායම් බලපත්‍ර අදාළ නොවන බවයි.

උප ජනාධිපතිවරයෙක් සමඟ තවත් ගුවන් යානයක් අතුරුදන්.!

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා (Saulos Chilima) රැගත් ගුවන් යානය ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත්වීමෙන් පසු අතුරුදන් වීමත් සමඟ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට එරට ජනපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

මලාවි උප ජනාධිපතිවරයා සහ තවත් 9 දෙනෙකු රැගත් හමුදා ගුවන් යානයක් මෙසේ අතුරුදන් වී ඇති අතර, යානය සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.

51 හැවිරිදි උප ජනාධිපති Saulos Chilima රැගත් යානය සඳුදා ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත්වී විනාඩි 45 කට පමණ පසුව උතුරට කිලෝමීටර් 370 ක් (සැතපුම් 230) පමණ දුරින් Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගමන්කරමින් තිබූවද, එම ගමනාන්තය වෙත ලඟාවීමට නොහැකි වී ඇත.

ගුවන් යානය දේශීය වේලාවෙන් උදෑසන 9 ට පසුව (07:00 GMT) ගුවන් ගත වී ඇති බව එරට ආරක්ෂක හමුදා පවසයි.

සමාජ මාධ්‍ය කැළඹූ මෝදිගේ අභිරහස් සත්වයා ගැන සැකය දුරුවෙයි.!

පෙරේදා (09) ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය අතරතුර රාෂ්ට්‍රපති භවන් හි අභිරහස් සත්වයකු දර්ශනය වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වෛරසයක් මෙන් පැතිර ගිය අතර මීට සුළු මොහොතකට පෙර ඒ පිළිබඳව දිල්ලි පොලිසිය විසින් නිල ප්‍රකාශයක් සිදුකර තිබේ.

සමාජ මාධ්‍යවල බොහෝ දෙනා පවසන පරිදි දිවියෙකු වැනි සතෙකු, භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් උයිකේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී ජනාධිපති වරයාට ආචාර කරන මොහොතේ පසුබිමේ එම අත්භූත සත්වයා දක්නට ලැබුණු බවයි.

දිල්ලි පොලිසිය X පණිවිඩයක් කරමින් කරමින් කියා සිටින්නේ

“මෙම කරුණු සත්‍ය නොවේ, කැමරාවට හසු වූ සත්වයා සාමාන්‍ය ගෘහාශ්‍රිත පූසෙකි. කරුණාකර එවැනි කටකතාවලට හසු නොවන්න” යනුවෙනි.

දිල්ලි පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ, පරිශ්‍රය තුළ සිටින්නේ බල්ලන් සහ ‘ගෘහස්ථ’ බළලුන් පමණක් බවයි.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු උපුටා දක්වමින් PTI පුවත් සේවය වාර්තා කළේ, ජනාධිපති වතුයායේ කිසිදු දිවියෙකු මින් පෙර වාර්තා නොමැති බවයි.

උතුරු කොරියාව කුණු යුද්ධයක පැටලීමට දැඩි උත්සාහයක.!

දකුණු කොරියාවේ දේශසීමා වෙත කුණු රැගෙන යන බැලූන යැවීමට උතුරු කොරියාව නැවතත් කටයුතු කර තිබේ.

අද (09) අළුයම මෙම කසළ පිරවූ බැලූන දකුණු කොරියානු අග නගරය වන සෝල් සහ දේශ සීමාව ආසන්න ප්‍රදේශවලින් සොයාගත් බව දකුණු කොරියානු හමුදාව පවසයි.

දකුණු කොරියානු රජය නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ, උතුරු කොරියාවෙන් එවන මෙම කසළ පිරවූ බැලූන පිළිබඳ ඉතා බැරෑරුම් ලෙස සලකන බවත් අවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීමට සීරුවෙන් සිටිනා බවත්ය.

කුරුළු උණ හේතුවෙන් ලොව පළමු පුද්ගල මරණය වාර්තා වෙයි.. තවත් වසංගතයක මුලපිරීමක් ලෙස අනතුරු අඟවයි.!

මීට පෙර මිනිසුන් තුළ තහවුරු නොවූ කුරුළු උණ රෝගයක් වැළඳීමෙන් මෙක්සිකෝවේ පුද්ගලයෙකු මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා (05) ප්‍රකාශ කළේය.

මෙක්සිකෝ නගරයේ රෝහල් ගත කර සිටි 59 හැවිරිදි රෝගියෙකුගෙන් මෙසේ වෛරසය පිළිබඳ අනාවරණය වී ඇත.

එම රෝගියා තුල උණ, හුස්ම හිරවීම සහ පාචනය වැනි සංකූළතා ඇතිවී සතියක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පැවසේ. එය H5N2 ලෙස හැඳින්වෙන කුරුළු උණ වයිරස ප්‍රභේදය මිනිසෙකුට වැළඳීමේ පළමු අවස්ථාව ලෙස රසායනාගාර පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති ඇත.

මධ්‍යම මෙක්සිකෝවේ ජීවත් වූ මියගිය රෝගියා සතුන්ට නිරාවරණය වී ඇති බවක්ද තහවුරු වී නොමැති බවද පැවසේ. එම පුද්ගලයා ජීවත් වූ මෙක්සිකානු ප්‍රාන්තයේ කුකුළු මස් වල කුරුළු උණ වාර්තා වී ඇතත් ඔහු වෛරසයට නිරාවරණය වූයේ කෙසේදැයි මෙතෙක් ස්ථිරව හඳුනාගෙන නැත.