අගමැතිනිය ඝාතන සැලසුමක් ගැන පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

LIVE

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව එම කාර්යාංශයේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලින්ද ද සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.

Facebook හරහා “Breaking හරිනි ඝාතන සැලසුමක්” යන තේමාව යටතේ ද්වේෂසහගත ලෙස සහ රාජ්‍ය නොසන්සුන්තාවක් ඇති කිරීමේ අරමුණින් මෙම අසත්‍ය ප්‍රචාරය සිදුකර ඇති බවත් අග්‍රාමාත්‍යවරියට වස දී ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව පවසමින් මෙම ව්‍යාජ තොරතුරු සමාජගත කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියෝග කළේය.

0 Comments
Most Voted
Newest Oldest